ඉමෝජිවල අරුත්

TMR72

Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet

    ඉමෝජිවල අරුත්

    ST4sZ4m.jpg

    Snapchat, Viber ආදියේ ඔවුන්ගේම ඉමෝජි තිබුණත් යුනිකේත සමූහය මඟින් පුළුල් පරාසයක ඉමෝජි දුරකතන හා පරිගණක උපාංග වෙත ගෙන එමින් සම්මතයක් පවත්වා ගන්නවා. නමුත් Samsung, Google, Apple, WhatsApp ආදී විවිධ නිෂ්පාදකයන් තමන්ගේම ඉමෝජි හැඩතල මඟින් ඒවාට විවිධ පෙනුම් ගෙන දෙනවා. මේ නිසා ඒවා හඳුනාගැනීමට අපහසු වන බැවින් එකම ඉමෝජියට තේරුම් ගණනාවක් එන බව පර්යේෂණ මඟින් සනාථ වුණා. ඉතින් ඔබේ පහසුව පිණිස බහුලව භාවිතා වන මුහුණු සහිත ඉමෝජිවල අරුත් ගෙන එන්නට අපි කල්පනා කළා.

    සිනාමුහුණු සහිත ඉමෝජි

    bh1o8ur.jpg

    සිහින් වුණු ඇස් සහිත සිනා මුහුණ ( 😄 ) හා මඳ සිනහවක් ( 😊 ) දක්වන ඉමෝජිය වැඩි වශයෙන් භාවිතා වෙනවා. මෙමඟින් සතුට හෝ ධනාත්මක බව නිරූපණය වෙනවා. ඇතැම් අවස්ථාවල දී අඩුපාඩුවක් පෙන්වාදීමෙන්, විචාරය කිරීමෙන් පසුව ද එහි ඇති රෞද්‍ර බව අඩු කරන්නට ද මෙය යොදා ගැනෙනවා.

    කට ඇරුණු සිනහව පෙන්වන ඉමෝජි ලෙස සාමාන්‍ය ඇස් ( 😀 ), දැල්වුණු ඇස් ( 😃 ) සහිත ඒවා සතුට මුසුවුණු පුදුමය දැක්වීමට පාවිච්චි වෙනවා. විරිත්තන ලද ඇස් මඟින් උපහාසයට සිනාසීමත්, තදකර වසාගත් ඇස් සමග කට ඇර හිනාවන ඉමෝජියෙන් අධික සතුට/සිනහවත් නිරූපනය වෙනවා. අලුතින් එකතු වුණු, දෑසෙහි තරු දෙකක් ඇති කට ඇරගත් සිනහව ( 🤩 ) මඟින් පුදුමය, විස්මයට පත් වීම, බලාපොරොත්තු සහගතබව දක්වනවා.

    දහඩිය/කඳුළු බිංදු සහිත සිනාමුසු ඉමෝජි අතරින් විරිත්තූ ඇස් සහිත ඉමෝජිය මත දහදිය බිඳුවක් දැක්වීමෙන් ( 😅 ) කරදරයකින් නිදහස් වීමක්, සහනය ලැබීමක් දක්වනවා. උදාහරණයක් ලෙස අමාරු ලෙස සිතා සිටි විභාගයකින් සමත් වීමක් ගැන කියද්දී, ණයක් ගෙවා අවසන් කිරීමෙන් පසුව ඒ ගැන ප්‍රකාශ කරද්දී මෙය යොදාගත හැකියි. ඇස් හොඳින්ම පියවී කඳුළු බිඳු දෙකක් දෑස්වල තිබෙන සිනා මුහුණත් ( 😂 ), එයම මඳක් ඇලවූ ආකාරයේ ඉමෝජියත් ( 🤣 ) යොදාගන්නේ පිළිවෙලින්; හඬනගා සිනාසීමට (LOL) සහ බිම පෙරළෙමින් (ROFL) සිනාසීමටයි. ලොව වැඩිපුරම භාවිතා වූ ඉමෝජිය “ 😂 ” බව වාර්තාවන් පෙන්වා දෙනවා.

    අව් කණ්ණාඩි දැමූ මුහුණෙන් ( 😎 ) නිශ්චල බව, දැඩි බව හෝ ජයග්‍රාහී ලීලාවක් නිරූපණය වෙනවා. ඇස් යන්තම් හැකිලුණු සහ හිස මත රැස් වළල්ලක් ඇති ඉමෝජිය ( 😇 ) අහිංසක බව, වැරදි යමක් කළ හෝ කී නමුත් ඒ තමන්ට එසේ කරන්නට සිදුවූ නිසා බව හඟවන්නට මෙය යොදා ගන්නවා.

    Nerd face හෙවත් කිසියම් විෂයක් පිළිබඳව පරතෙරට දත් බව පෙන්වන මුහුණ ( 🤓 ) බුද්ධිමත් බවටත් වඩා “සියල්ල දත්” බවට ඇනුම්පදයක් ලෙසින් යොදා ගැනෙනවා.

    අඟර දඟර කිරීම්

    cVdoqDe.jpg

    වෙනත් රටවල් හා කතාබහේදී ප්‍රවේශමෙන් යොදාගත යුතු ඉමෝජියක් (health.com)

    ගණන් නොගන්නා බව පෙන්වීම සඳහා යොදාගන්නා අහක බලාගෙන කට ඇදකරගත් ඉමෝජිය ( 😏 ) බොරු සිනහව, ඇනුම් පද කීමට මෙන්ම වෙනත් රටවල ලිංගික ව්‍යංගාර්ථයන් සහිත මැසේජ් හැඟවීමට ද යොදාගන්නවා.

    තනි ඇසක් වසා මඳහස දක්වන ඉමෝජිය ( 😉 ) මඟින් කියන ලද දෙයක් බොරුවක් හෝ විහිළුවට කී බව ඉඟි කරලනවා. ඇස් දෙකම ඇරගෙන ( 😛 ) හෝ එක් ඇසක් ( 😜 ) හෝ ඇස් දෙකම ( 😝 ) වසා දිව ඇදීම මඟින් ලැජ්ජාව, ඇද කිරීම, විකාර කියවීම අරුත් ගන්වනවා.

    මෑතක දී එක්වුණු දෑස්වල කළු ඉංගිරියාව එහා මෙහා වුණු හා දිව ඇදගත් ඉමෝජිය (🤪 / වින්ඩෝස්වල දිව ඇද නැත) හෙවත් කෝළම් මුහුණ (Zany face) විරිත්තීම සඳහාත්, පිස්සු කියවීම නිරූපණය කිරීමටත් යොදා ගන්නවා. සිනා මුහුණ උඩු-යටිකුරු කළ ඉමෝජිය ( 🙃 ) හුරතල් වන බව හැඟවීමට, නොතේරෙන දෙයක් කියද්දී සහ බරපතළ නොවන දෙයක් ගැන කියද්දී යොදා ගැනෙනවා. සිනහව සමග පැත්තෙන් දිව ඇදගත් ඉමෝජිය ( 😋 ) ආහාරයක් රසබව හෝ බඩගිනි බව හැඟවීම සඳහා යොදා තිබුණ ද ඇතැමුන් 🙃 ඉමෝජියේ අර්ථයන් සඳහා එය ද ය‍ොදාගන්නවා.

    RJec4L4.jpg

    සහනකාරී ඉමෝජිය 😌 සත්‍ය ලොවට ගෙන ඒමක් (assorti-market.ru)

    බිමට අඩවන්වුණු ඇස් සමග මඳස්මිතයක් දක්වන ඉමෝජිය ( 😌 ) යොදා ඇත්තේ සහනය සැලසුණු බව දැක්වීමට නමුත්, ඇතැමුන් තමන් දුකින් නමුත් සතුටින් ඉන්නා බව පිටතට පෙන්වීමට, නොසලකා පැත්තකට වී සිටීම මෙන්ම අහිංසක බව පෙන්වීමට ද යොදා ගන්නවා.

    lJgLvnt.jpg

    නසරාණි ඉමෝජිය (abcotvs.com)

    අං සහිත දම් සිනා මුහුණ ( 😈 ) මූලික වශයෙන් නරක වැඩක් කොට ඒ ගැන උද්දාමයට පත්වීම, “හොඳ වැඩේ” ලෙස ඇනුම්පද ස්වරූපයෙන් කීම සඳහා යොදා ගන්නවා. ඇතැම් සේවාවන්හි (වින්ඩෝස්, LG) රතු පැහැයෙන් දක්වන නමුත් මුවෙහි සිනාව නිසා මේ තේරුම් මඟින්ම අරුත් ගැන්වෙනවා. මෙම ඉමෝජියම තරහින් සිටින ආකාරයේ ඉමෝජිය ( 👿 ) Imp හෙවත් කුඩා පිශාචයෙක් හෝ යක්ෂයෙක් දක්වමින් දැඩි තරහක් නිරූපණය කරනවා. නමුත් එය බොහෝ විට යොදා ගැනෙන්නේ මිතුරුකම මුසුවූ තරහක් හැඟවීමට යි.

    පුදුමය, ආයාචනාත්මක සහ තරහ දක්වන මුහුණු


    ඇස් සහ කට හකුළුවා ගැනීමෙන් ( 😖 ) රැවීම, අප්‍රසන්න බව දක්වන අතර යට අතට හැරුණු මුව සහ අහක බලාගත් ඇස් සහිත ඉමෝජිය ( 😒 ) අමනාප බව, සැක සහිත බව දක්වනවා. ඇසක තනි කණ්ණාඩියක් සහිත තරහ පෙනුමැති ඉමෝජිය( 🧐 ) ද සැක සහිත බව දක්වන අතර වින්ඩෝස්වල එහි හිනා මුහුණක් ඇති බැවින් කියූ දේට ප්‍රියතාවක් දක්වන්නාක් මෙන් දිස් වන නිසා පැටලිලි සහගතයි.


    අලුතින් එක්වුණු දෑස්වල කළු ඉංගිරියාව විශාල වුණු, කට යට අතට හැරුණු ඉමෝජිය ( 🥺 ) ආයාචනාත්මක බව හඟවනවා. එය බරපතළ අවස්ථාවන්හි දී යොදා ගැනීම ඉතාම අල්ප යි.

    දෑස් ඇරගෙන දත් විලිස්සාගත් ඉමෝජිය ( 😬 ) දුක් වන බව, දුෂ්කර හෝ නොරිස්සන අවස්ථාවක් හැඟවීමටත්, මුහුණේ නහය ආශ්‍රිත පෙදෙසින් දුම් පිටවීම ( 😤 ) “මම කිව්වාට ඇහුවෙ නෑනේ” වැනි තමාගේ ජයග්‍රාහී බව හැඳින්වීමටත් යොදා ගන්නවා. එහි තරහ ස්වභාවයක් නිසගයෙන් මුසුව තිබිය හැකියි.

    FxfSuws.jpg

    එකම නිෂ්පාදකයාගේ පවා වෙළුම් අතර පෙනුම වෙනස්වන ආකාරය (vox-cdn.com)
    ඇස් දල්වාගෙන කට ඇරගත් ඉමෝජි දෙක ( 😲 , 😦 ) කම්පනයට පත්වීමත්, හිස නිල් පැහැ ගැන්වුණු කට ඇරගත් ( 😨 ), දහදිය දැමූ ( 😰 ) සහ දෑත මුහුණට තබාගත් ( 😱 ) ඉමෝජිවලින් බියට පත්වීම විවිධ මට්ටම්වලින් දක්වනවා.

    ඇහි බැමි සහ මුව පහතට යොමුවුණු කහ ( 😠 ) සහ රතු ( 😡 ) පැහැ ඉමෝජි වලින් ඍජුවම තරහ ස්වරූපයක් දක්වන අතර අවස්ථානුකූලව එය මිත්‍රත්‍වය/ආදරය මුසු රඟදැක්වීමේ තරහ සඳහා විය හැකියි.

    ආදරය සහ උරුවම් බෑම

    RxgUBB8.jpg

    ත්‍රිමාණීකෘත සිප ගැනීමේ ඉමෝජියක් (cgtrader.com)

    සිප ගැනීම් දක්වන ඉ‍මෝජි කිහිපයක් ම තිබෙනවා. එක් ඇසක් වසා කට උල් කරගත් ඉමෝජිය ( 😘 ) ආදරණීය බව හඟවමින් සිපගැනීම නිරූපණය වීම සඳහා එක් කර, වසර ගණනාවක් භාවිතා වූවා. ඉන් අනතුරුව පැමිණි තවත් Emoji නිසා දැන් එහි අරුත වඩාත් ප්‍රේමයට වඩා මිත්‍රශීලී බවට පත්ව තිබෙනවා. වැරැද්දක් කර ඇති විට එය ගණන් නොගන්නා ලෙස කියන විටක දී මෙය භාවිතා විය හැකියි.

    එහි දෑස් ඇරගෙන දෙතොල සිප ගැනීමට මෙන් සැකසූ ඉමෝජිය ( 😗 ) මඟින් භය සහගතව සිපගැනීම (වරදක් කර ඇති විටක දී හෝ සිපගැනීමට අවශ්‍ය නමුත් අකමැති වනු ඇතැයි යන බිය) සඳහා භාවිතා වෙනවා. ඇස් පියාගෙන සිපගන්නා මුහුණටම තොප්පියක් සහ නලාවක් පිඹින ආකාරයේ ඉමෝජිය ( 🥳 ) උත්සව අවස්ථාවක්, ඉහළ සතුටක් හඟවනවා. මේ නිසාම දැන් අනෙක් විවිධ ඇස් මට්ටම් සමග හාට් එකක් නොමැතිව කට උල් කරගත් ඉ‍මෝජි ( 😙 😚 😗 ) මඟින් උරුවම් බෑම අදහස් වෙනවා.

    HkvY7LV.jpg

    වැළඳගැනීමේ ඉමෝජිය විවිධ නිෂ්පාදකයන් සකසා ඇති ආකාරය (twimg.com)

    දෑසෙහි හදවත් දෙකක් සහිත ඉමෝජිය ( 😍 ) මඟින් ආදරය, හිතේ ඇති කැමැත්ත, කළගුණ සහගත බව කෙනෙක් හෝ යමක් වෙත දක්වනවා. මුහුණ ඉදිරියේ දෑත තබාගත් ඉමෝජිය ( 🤗 ) ඇතැම්වායේ දෑස ඉදිරියට ඇති සේ තිබෙන අතර තවත් ඒවායේ අත්ල තමා වෙතට හරවාගෙන ඉන්නවා. කෙසේ නමුත් මින් අදහස් වන්නේ වැළඳ ගැනීමට ඇරයුම් කිරීම හෝ වැළඳගත් බව නිරූපණය යි.

    තනි අතකින් කට වසාගැනීම ( 🤭 ) යමක් කීවාට පසු නොකියා සිටියා නම් මැනවැ යි ඇතිවන ලැජ්ජා සහගත බව, දත් නොපෙන්වා සිනාසීම දක්වන නමුත් Apple දුරකතනවල මෙයට “අපොයි!” යන හැඟීම පෙන්වන මුහුණක් යොදා ඇති නිසා ඍණාත්මක අදහස් අරුත් ගැන්විය හැකි බැවින් කල්පනාවෙන් භාවිතා කළ යුතු වෙනවා.

    හිස්වුණු හෝ දුක් සහිත මුහුණු
    5swtrVB.jpg

    මේ ඉමෝජිය පසුපස හැඟීම් අරුත් රැසක් සැඟව තිබෙනවා (kinja-img.com)

    දෑස ඍජුව එක එල්ලේ බලාගෙන යාන්තම් සිනාවක් දැක්වීම ( 🙂 ) මඳ සිනහවක් ලෙස මෙන්ම කුරිරු සිනහවක් / සිතේ කෝපයක් ඇතිමුත් මුවින් සිනහව දැක්වීම / හිස් වුණු උපෙක්ෂාවෙන් යුත් මනසක් දැක්වීම වැනි දෑට ද යොදා ගැනෙනවා.

    ඇස් ඇරගෙන ( 😐 ) හෝ වසාගෙන ( 😑 ) කට ඍජු රේඛාවක්ව ඇති ඉමෝජිවලින් උදාසීන බව, මධ්‍යස්ථ බව සඳහා සකසා ඇති අතර එපාවූ ස්වභාවය මෙන්ම තරහ ගිය බව සඳහා ද ඇතැමුන් භාවිතා කරනවා. එහි දෑස් හැර, ඇහි බැමක් එසැවුණු ඉ‍මෝජිය ( 🤨 ) විරෝධය පළ කරන බව, දෙන ලද සමාවක් පිළි නොගැනීම දක්වනවා.

    මුඛය නොමැති මුහුණ ( 😶 ) මඟින් අදහස් වන්නේ පුදුමයට/දුකට පත් වීම නිසා කීමට යමක් නැති බව යි. දීනබව/ යටහත් පහත් බව සඳහා ද ඇතැමුන් යොදා ගන්නවා. නහය දික්වූ ‘පිනෝකියෝ’ ඉමෝජිය ( 🤥 ) දැනට නහයක් සහිත මුහුණක් ඇති එකම ඉමෝජිය වන අතර ඉන් අනෙක් පුද්ගලයා බොරු කියන බව තමාට වැටහෙන බව පෙන්වනවා.

    2PFlnMw.jpg

    වෙහෙසකර ඉමෝජිය විවිධ නිෂ්පාදකයන් සකසා ඇති ආකාරය (emojipedia.org)

    ඇස් සහ මුව යට අතට හැරුණු මුහුණු ( 😟 / 😞 ) ද මුල් කාලීනව තිබුණු ඇස් ඇරගෙන කට යටට හැරවුණු ඉමෝජිය ( 🙁 ) මෙන්ම දුක් සහගත බවට අමතරව පසුතැවීම, එපාවීම වැනි ඍණාත්මක හැඟීම් දක්වනවා. මෙහි ඇහි බැමි පහතට හැරුණු දහදිය බිඳුවක් ඇති ඉමෝජිය ( 😥 ) වෙහෙසකර බව, රිදවුමක්, බිය දක්වන අතර එහි කට මඳක් ඇරුණු, පැත්තට ඇදවුණු දහදිය බිඳුවක් සහිත ඉමෝජිය ( 😪 ) ලෙඩ වූ බවත් ඇතැම් අවස්ථාවලදී Z අකුරු සහිත මුහුණ ( 😴 ) මෙන්ම නිදිබර බව දක්වනවා.

    ඇහිබැමි ඉහළට යොමුවුණු කඳුළු බිංදුවක් ඇති මුහුණින් ( 😢 ) සුළු හැඬීමත්, ඇස් දෙකෙන් කඳුළු ගැලීමෙන් ( 😭 ) ශබ්ද නගා හැඬීමත් දක්වන නමුත් එය කිඹුල් කඳුළු හෙවත් ඇනුම්පද ස්වභාවයෙනුයි බොහෝ විට ප්‍රායෝගිකව යොදා ගැනෙන්නේ.

    DBeFqcY.jpg

    චිත්‍රාක්ෂර යළි ඉපදීම (pngfind.com)

    නිතර භාවිතා වන මුහුණු සහිත ඉමෝජිවල අරුත් මේ විදියට සංක්ෂිප්ත කළා. තවත් විවිධ තේමාවන් ඔස්සේ පැතිර ගිය ඉමෝජි විශාල ප්‍රමාණයක් තිබෙනවා සහ කලින් කලට එක් වෙනවා. මෙය ඊජිප්තු ශිෂ්ටාචාරයේ තිබුණු චිත්‍රාක්ෂරවලට යළිත් පණ පෙවීමක් නොවේ ද?​

    Source:https://roar.media/sinhala/tech/insights/face-emojis-explained/
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඉමෝජිවල අරුත්

    නිතර භාවිතා වන මුහුණු සහිත ඉමෝජිවල අරුත් මේ විදියට සංක්ෂිප්ත කළා. තවත් විවිධ තේමාවන් ඔස්සේ පැතිර ගිය ඉමෝජි විශාල ප්‍රමාණයක් තිබෙනවා සහ කලින් කලට එක් වෙනවා. මෙය ඊජිප්තු ශිෂ්ටාචාරයේ තිබුණු චිත්‍රාක්ෂරවලට යළිත් පණ පෙවීමක් නොවේ ද?​

    Source:https://roar.media/sinhala/tech/insights/face-emojis-explained/

    Patta.......

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: TMR72