උසස්ම දෙය වන්නේ සීලයද නැතිනම් උගත්කමදැයි

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    උසස්ම දෙය වන්නේ සීලයද නැතිනම් උගත්කමදැයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ එක බමුණෙකුට ගැටලුවක් ඇතිවිය. ඔහු එය විසඳාගෙන අවසානයේ දී රහතන් වහන්සේ නමක් විය. මේ එම කතා පුවතයි.
    එක්තරා කාලයක අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කළ සේක. මේ කාලයෙහි රජතුමා එක් බමුණෙක්ව සිල්වතෙක් ලෙස හඳුනාගෙන බොහෝම ගරු සත්කාර කරමින් කටයුතු කරන්නට විය.
    දවසක් මේ බමුණා "ඇත්තටම රජතුමා මට මේ තරම් ගරු කරන්නේ මම සිල්වතෙක් ලෙස සලකා ද? එහෙම නැත්නම් මම උගතෙක් ලෙස කල්පනා කරල ද? මුලින්ම මට සීලය අධිකද? නැතිනම් උගත්කම අධිකද? කියලා දැනගන්නට ඕන." ලෙස තමන් ගැන කල්පනා කළේය.
    ඉන් පසුව මේ බමුණා එක් දවසක් කහවණු හා රංමසු විකුණන වෙළෙන්දෙකුගේ වෙළඳසැලකට ගොඩවිය. වෙළෙන්දාට පෙනෙන්නට ඔහු කහවණු වක් අතට ගෙන වචනයක්වත් නොකියා එතනින් ඉක්මනට ඉක්මනට යන්නට විය. මේ බමුණාට තිබෙන ගෞරවය නිසා වෙළෙඳා කිසිවක් කීවේ නැත.
    දෙවෙනි දවසේ ද බමුණා මේ වෙළඳසැලට ගොඩ විය. ඔහු එවරද කහවණුවක් අතට ගෙන පසුපස බලන්නේවත් නැතුව ඉක්මණට ඉක්මණට යන්නට විය. බමුණාට ඇති ගෞරවය නිසා වෙළෙන්දා එදිනද කිසිවක් කීවේ නැත.
    තුන්වෙනැනි දින ද බමුණා එම වෙළඳසැලට ගොඩ විය. වෙළෙන්දා ඔහු දෙස අවධානයෙන් බලා සිටියේ ය. එදිනද කහවණුව අතට ගන්නවාත් සමගම වෙළෙන්දා "මෙන්න හොරෙක්. මෙන්න හොරෙක්." කියා කෑ ගසමින් ඔහුව අල්ලාගෙන, රාජපුරුෂයන්ට දැනුම් දී, රජතුමා වෙත ඉදිරිපත් කර, එක පැත්තක සිටියේය.
    රජතුමා විනිශ්චය අසුනේ සිට "මේ බමුණා අල්ලාගෙන, මේ විදිහට ඉදිරිපත් කරන්නට හේතුව කුමක්දැයි ඇසීය. වෙළෙන්දා "මොහු මගේ කහවනු සොරකම් කළා" යැයි පිළිතුරු දුන්නේය.
    රජතුමා බමුණා දෙස හැරී "බමුණ මේ කතාව සත්‍යයක් ද?" යැයි ඇසී ය. බමුණා මෙසේ කීවේ ය.
    "මහරජතුමනි, මම මොහු සතු වස්තුව පැහැර ගත්තේ නැහැ. මට මා තුළ සීලය අධික ද? නැතිනම් දැනුම් අධිකද? යැයි සැකයක් ඇතිවිය. ඒ නිසා මම ඒ ගැන විමසමින් තුන් වරක් ඔහුගෙන් කහවණුව බැගින් ගත්තෙමි. තුන්වැනි වර මොහු මාව අල්වාගෙන ඔබතුමාට දැක්වීය. දැන් මා විසින් උගත්කකමට වඩා සීලය මහත් බව තේරුම් ගත්තෙමි." යැයි කීය. ඉන්පසුව බමුණා නැවතත් රජතුමා දෙස හැරී මෙසේ කීය.
    "මහරජතුමනි, මට දැන් ගිහිගෙයි වාසය කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා මම පැවිදි වෙනවා. ඔබතුමා මට ඒ සඳහා අනුමැතිය ලබා දෙන්න." යැයි පැවිදි වන්නට අවසර ඉල්ලී ය. රජතුමා ඒ සඳහා අවසර දුන්නේ ය.
    බමුණා විනිශ්චය ශාලාවෙන් එළියට පැමිණ, තමන්ගේ ගෙදර දෙස බලන්නේවත් නැතුව, භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි ජේතවනාරාමයට ගියේ ය. බුදුරජාණන් වහන්සේ අබියස පසඟ පිහිටුවා වැඳ, "ස්වාමිනී මාව පැවිදි කරන්න" යැයි ඉල්ලිය.
    භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට "මේ බමුණා පැවිදි උපසම්පදා කරන්න" යැයි නියම කළ සේක. මහා සංඝරත්නයෙන් පැවිදි උපසම්පදාව ලැබූ මේ නවක ස්වාමීන් වහන්සේ ටික දිනකිින්ම, විදර්ශනා වඩා පින්වන්ත රහතන් වහන්සේ නමක් විය.
    එක් දිනක් භික්ෂූන් වහන්සේලා දම්සභා මණ්ඩපයට රැස් වී මේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් වැඩ සිටියහ. ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කළ සේක. "වැඩම කරන්නට පෙර භික්ෂූන් වහන්සේලා විසින් කරමින් සිටිය කතාව කුමක්දැයි?" භාග්‍යවතුන් වහන්සේ විසින් විමසූ සේක. ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් මේ සිදුවීම ගැන භාග්‍යවතුන් වහන්සේට දැනුම් දුන්හ.
    "පින්වත් මහණෙනි, මේ භික්ෂුව පමණක් නොවේ, පෙර විසූ පඬිවරුනුත් සීලය ගැන හොඳින් විමසා බලා, දැනගෙන, පැවිදි වී තමාට යහපතක් ම සිදු කර ගත්තා" යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.
    ඒ මොහොතේ ඒ අතීත කථාව දේශනා කරන්නට එම් පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේට ආරාධනා කළ සේක. ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ දේශනා කළ සේක.
    අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කළහ. එකළ අප මහා බෝධිසත්වයන් වහන්සේ බමුණු කුලයක උප්පත්තිය ලැබීය. නිසි වයසට පත් වූ පසු ඔහු තක්ෂිලා නුවරට ගොස් එහිදී ඉගෙන ගත යුතු සියලුම සිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තේය. නැවත පෙරලා බරණැස් නුවරට පැමිණි ඔහු රජතුමා බැහැ දැක්කේය.
    රජතුමා ඔහු කෙරෙහි පැහැදී ඔහුට පුරෝහිත තනතුර දුන්නේය. මේ බමුණු තරුණයා නිරන්තරයෙන්ම පන්සිල් රැක්කේය. රජතුමා ද ඔහුගේ සිල්වත් කම නිසා වැඩිපුර ඔහුට සලකන්නටත්, ගෞරව කරන්නටත් විය. දවසක් මේ බමුණු තරුණයා "රජතුමා මගේ සිල්වත්කමටද සලකන්නේ? නැති නම් මගේ උගත්කමට ද සලකන්නේ?" යැයි කල්පනා කරන්නට විය. ඒ අනුව ඔහු එය පරික්ෂා කරන්නට ඉහත ජාතක කථාවේ ආකාරයටම කටයුතු කරන්නට විය.
    මේ තරුණ පුරෝහිත බමුණා වෙළඳසැලකින් තුන්වරක් කහවනු ගත්තේ ය. ඒ වෙළෙන්දා තුන් වැනි වර ඔහුව අල්වා රජුට ඉදිරිපත් කළේය. රජු විසින් නඩුව අසන විට, "තමන්ට රජතුමා සලකන්නේ, ගරු කරන්නේ සීලය නිසාද? උගත්කම නිසාද?" යැයි දැනගන්නට එය කළ බව දැනුම් දුන්හ. ඉන්පසුව රජතුමාගෙන් අවසර ගෙන හිමාලයට ගොස් තාපසයෙක් ලෙස පැවිදි වී පංචාභිඥා උපදවාගෙන ඉර්ධිමත් සෘෂිවරයෙක් විය. කර්මානුරූපව මියගිය පසුව බ්‍රහ්ම ලෝකයෙහි උප්පත්තිය ලැබී ය.
    භාග්‍යවතුන් වහන්සේ මේ අතීත කථාව ගෙණහැර දක්වා, "එදා සීලය විමසා බලා සෘෂි පැවිද්දෙන් පැවිදි වූයේ ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත්වූ මම වේ." යැයි වදාළ සේක.
    "සීලං සෙය්‍යො සුතං සෙය්‍යො - ඉති මෙ සංසයො අහූ
    සීලමෙව සුතා සෙය්‍යො - ඉති මෙ නත්‍ථි සංසයො."
    "සීලය ශ්‍රේෂ්ඨ වේ ද, ශ්‍රැතය ශ්‍රේෂ්ඨ වේ දැ? යි මට සැකයෙක් විය. ශ්‍රැතයට වඩා ශීලය ම ශ්‍රේෂ්ඨ වේ යන මෙහි දැන් සැකයෙක් මට නැත."
    "මොඝා ජාති ච වණ‍්ණො ච - සීලමෙව කිරුත‍්තමං
    සීලෙන අනුපෙතස‍්ස - සුතෙනත්‍ථො න විජ‍්ජති."
    "ක්‍ෂත්‍රියාදි ජාති ද ශරීර වර්‍ණ ද තුච්ඡ යැ. සීලය ම උතුම් වේ. සීලයෙන් යුක්ත නො වූවහුගේ ශ්‍රැතයෙන් ප්‍රයෝජනයෙක් නැත."
    "ඛත‍්තියො ච අධම‍්මට‍්ඨො - වෙස‍්සො චාධම‍්මනිස‍්සිතො
    තෙ පරිච‍්චජ‍්ජජුභො ලොකෙ - උපපජ‍්ජන‍්ති දුග‍්ගතිං."
    "අධර්‍මයෙහි පිහිටි ක්‍ෂත්‍රියයා ද අධර්‍මය ඇසුරු කළ වෛශ්‍යයා ද යන දෙදෙන දෙව්මිනිස් දෙලොව හැර දුගතියෙහි උපදිති."
    "ඛත‍්තියා බ්‍රාහ‍්මණා වෙස‍්සා - සුද‍්දා චණ‍්ඩාලපුක‍්කුසා,
    ඉධ ධම‍්මං චරිත්‍වාන - භවන‍්ති තිදිවෙ සමා."
    "ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර, චණ්ඩාල, බබුරුය යන කුලයන්හි උපන්නේ මෙලොව පින්කම් කොට දෙව්ලොව දී සම වෙති."
    "න දො සංපරායාය - න ජාති නොපි බන්‍ධවා,
    සකඤ‍්ච සීලං සංසුද‍්ධං - සම‍්පරායසුඛාවහන‍්ති."
    "වේදයෝ ද ජාතිය ද නෑයෝ ද පරලොව සුව පිණිස නො වෙත්. තමාගේ පිරිසුදු සීලය මෙලොව පරලොව සුව පිණිස වේ."
    තෙරුවන් සරණයි.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    දැන් ඕකෙන් කොහොමද බන් දැනගන්නේ රජතුමා ඌට සලකන්නේ මොකක් නිසාද කියලා ?
    ඌ අහුවුනා ගමන් ඒක දැනගන්නවා වෙනුවට "මම මේක තමයි කරන්න ගියේ කියලා බේරෙන එක නේ කරන්නේ. ".

    ඔය වගේම කතාවක් ලගදිත් උනා.. කහවනු වෙනුවට phone එකක් හොරකම් කරල තිබ්බේ එතැනදී. පස්සේ ඔය විදියටම "මම හොරකම් කරේනෑ ...
    සීලය උසස් බව දැන් තේරෙනව" කියලා මහන උනා.. :rofl: