එයාලට තිබුනට අපිට නෑනේ.

hpalpola

Well-known member
  • මිනිසුන් නම් විවිධාකාරය. මේ කථා කරන්නට හිතුවේ නිතරම මිනිසුන් කියන්නා වූ කථාවකි. ඒ කථාවට පදනම් වන්නේ තමුන්ට ඇති දේ අනුන්ගේ දේ සමග සසඳා බැලීමෙන් පසුව තමුන්ට අඩුපාඩු ඇති විට කියන්නා වූ කථාවකි. ‘අනේ එයාලට තියෙනවා, අපිට නැහැනෙ.‘ ඔබත් මේ කථාව අසා ඇතුවාට සැක නැත. මේ වචනවලින් ම නොවුනත් වෙනත් වචනවලින් හෝ මේ කථාව කියන්නා වූ අය සිටිති. මා මේ සටහන තැබීම සඳහා අංගුත්තර නිකායේ සුමනා සූත්‍රය සැලකිල්ලට ගනිමි.

    සුමනා සූත්‍රයේදී සුමනාවෝ බුදුරජාණන්වහන්සේගෙන් මෙවැනි ප්‍රශ්නයක් අසයි.

    “ස්වාමීනි, මේ ශාසනයෙහි සමාන ශ්‍රද්‍ධා ඇත්තා වූ, සමාන සිල් ඇත්තා වූ, සමාන ප්‍රඥා ඇත්තා වූ, දන් දෙන එකෙක, දන් නොදෙන එකෙකැයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහුය. ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තා වූ ස්වර්‍ග ලෝකයෙහි උපදින්නාහුය. ස්වාමීනි, දෙවිවූම ඔවුන්ගේ වෙසෙසක් වන්නේද, වෙන් කිරීමක් වන්නේද?”

    මෙය පැහැදිලි ය. මීට බුදුරජාණන්වහන්සේ දෙන පිළිතුරු වන්නේ මෙයයි.

    “සුමනාවෙනි, යම් මේ දන් දෙන්නෙක් වේද, හෙතෙම මේ නොදෙන්නහු දෙවිවූයේම දිව්‍ය වූ ආයුෂයෙන්ද, දිව්‍ය වූ ශරීර වර්‍ණයෙන්ද, දිව්‍ය වූ සැපයෙන්ද, දිව්‍ය වූ යශසින්ද, දිව්‍ය වූ අධිපති බැවින්ද, යන කරුණු පසින් මැඩ පවත්වයි. සුමනාවෙනි, යම් ඒ දන් දෙන්නෙක් වේද, මේ දන් නොදෙන්නහු දෙවි වූයේම මේ කරුණු පසින් මැඩ පවත්වයි.”

    මේ පිළිතුරු අනුව සුමනාවෝ බුදුරජාණන්වහන්සේගෙන් නැවත ප්‍රශ්නයක් අසයි. එය මෙසේ ය.

    “ස්වාමීනි, ඉදින් වනාහි ඔවුහු එයින් චුතවූවාහු, මේ ආත්ම භාවයට පැමිණෙත් නම් මනුෂ්‍යවූම ඔවුන්ගේ වෙසෙසක් වන්නේද, වෙන් කිරීමක් වන්නේද?”

    මීට බුදුරජාණන්වහන්සේ දෙන පිළිතුරු වන්නේ මෙයයි.

    “සුමනාවෙනි, යම් ඒ දන් දෙන්නෙක් වේද, හෙතෙම මේ දන් නොදෙන්නහු මනුෂ්‍ය වූයේම, මිනිසුන් අයත්වූ ආයුෂයෙන්ද, මානුෂක වූ ශරීර වර්‍ණයෙන්ද, මානුෂක වූ සැපයෙන්ද, මානුෂක වූ යසසින්ද, මානුෂක වූ අධිපති භාවයෙන්ද යන කරුණු පසින් මැඩ පවත්වයි. සුමනාවෙනි, යම් ඒ දන් දෙන්නෙක් වේද, හෙතෙම මේ දන් නොදෙන්නහු මනුෂ්‍ය වූයේම මේ කරුණු පසින් මැඩ පවත්වයි.”

    මෙයින් පසු සුමනාවෝ නැවතත් ප්‍රශ්නයක් අසයි. ඒ මෙසේ ය.

    “ස්වාමීනි, ඉදින් වනාහි ඒ ඔවුහු ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත් නම්, ස්වාමීනි, පැවිදිවූම ඔවුන්ගේ වෙසෙසක් වන්නේද, වෙන් කිරීමක් වන්නේද?”

    මීට බුදුරජාණන්වහන්සේ දෙන පිළිතුර මෙයයි.

    “සුමනාවෙනි, යම් ඒ දන් දෙන්නෙක් වේද, හෙතෙම මේ දන් නොදෙන්නහු පැවිදි වූයේම, යාඥා කරණ ලද්දේම, බොහෝ වූ සිවුරු පරිභෝග කරයි. යාඥා නොකරණ ලද්දේ, ස්වල්පයක් පරිභෝග කරයි. යාඥා කරණ ලද්දේම, බොහෝ වූ පිණ්ඩපාතය පරිභෝග කරයි. යාඥා නොකරණ ලද්දේ, ස්වල්පයක් පරිභෝග කරයි. යාඥා කරණ ලද්දේම, බොහෝ වූ සෙනසුන් පරිභෝග කරයි. යාඥා නොකරණ ලද්දේ, ස්වල්පයක් පරිභෝග කරයි. යාඥා කරණ ලද්දේම, බොහෝ වූ ගිලන්පස බෙහෙත් පිරිකර පරිභෝග කරයි. යාඥා නොකරණ ලද්දේ, ස්වල්පයක් පරිභෝග කරයි. යම් බ්‍රහ්මචාරීන් සමග වාසය කෙර්ද, ඔවුහු මොහුට මනාපවූම කාය කර්‍මයෙන්, බොහෝකොට මනාව හැසිරෙත්. අමනාපයෙන් මඳකොට හැසිරෙත්. මනාපවූම වාක් කර්‍මයෙන්, බොහෝකොට මනාව හැසිරෙත්. අමනාපයෙන් මඳකොට හැසිරෙත්. මනාපවූම මනෝ කර්‍මයෙන්, බොහෝකොට මනාව හැසිරෙත්. අමනාපයෙන් මඳකොට හැසිරෙත්. මනාපවූම පූජාව එළවත්. අමනාප වූ පූජාව මඳකොට එළවත් යන කරුණු පසින් මැඩ පවත්වයි. සුමනාවෙනි, යම් ඒ දන් දෙන්නෙක් වේද, හෙතෙම මේ දන් නොදෙන්නහු පැවිදි වූයේම මේ කරුණු පසින් මැඩ පවත්වයි.”

    දැන් සුමනාවෝ තවත් ප්‍රශ්නයක් අසයි.

    “ස්වාමීනි, ඉදින් වනාහි ඔහු දෙදෙන රහත් බවට පැමිණෙද්ද, ස්වාමීනි, රහත් බවට පැමිණියාවූම ඔවුන්ගේ වෙනසක් වන්නේද, වෙන් කිරීම වන්නේද?”

    ඊට බුදුරජාණන්වහන්සේ දෙන පිළිතුර මෙසේ ය.

    “සුමනාවෙනි, මෙහි වනාහි, මම මොවුන්ගේ කිසි වෙනස් කරුණක් නොකියමි. එනම් එකකුගේ විමුක්තිය සමග අනිකාගේ විමුක්තිය අරබයාය.”

    තවදුරටත් බුදුරජාණන්වහන්සේ මෙසේ ද දේශනා කරයි.

    “සුමනාවෙනි, මේ කාරණය මෙසේය, සුමනාවෙනි, මේ කාරණය මෙසේය, සුමනාවෙනි, දන් දෙන්ට සුදුසුමය. පින් කරන්ට සුදුසුමැයි. දෙවිවූවහුටද උපකාරයෝ පින්ය. මනුෂ්‍යවූවහුටද උපකාරයෝ පින්ය. පැවිදිවූවහුටද උපකාරයෝ පින්ය.”

    මේ සූත්‍රය කියවන විට පැහැදිලි වන කරුණ වන්නේ දන් පින් නොකරන්නෝ ලබන්නා වූ තත්ත්වය, දන් පින් කරන්නන් ලබන්නා වූ තත්ත්වයන්ට වඩා වෙනස් බවයි. කෙසේවෙතත් රහත්භාවයට පත්වීමෙන් පසුව ද මේ විපාක වෙනස දැක ගත හැකි වේ. නිදසුනකට ලෝසක රහතන්වහන්සේ රහත් වුවද කුස පිරෙන්නට කෑම ලැබුවේ නැත. සීවලී මහරහතන්වහන්සේ කුමන පෙදෙසක විසුවත් කෑම ලැබුවේ ය. ‘අනේ එයාට තියෙනවා අපිට නැහැනෙ‘ කියා කියද්දී මේ සූත්‍රයත් සිහි කර ගැනීම වැදගත් වේ.