සක්දෙව් රජ

Botz

Well-known member
  • Jan 29, 2020
    315
    1
    259
    63
    34
    Ping....
    elakiri.com
    "සබ්බ දානං” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී සක්දෙව් රජ නිමිති කරගෙන දේශනා කළහ.

    එක් අවස්ථාවක තාවතිංස දෙව්ලොව දෙවියෝ රැස්වී ප්‍රශ්න හතරක් ඉපද වුහ. දානයන් අතර වඩා ශ්‍රේෂ්ඨ දානය කුමක්ද? රසයන් අතර කවර රසයක් ශ්‍රේෂ්ඨද, ඇලීම් අතර කවර ඇලීමක් උසස්ද තෘෂ්ණා ක්ෂය කිරිම කුමක් හෙයින් ශ්‍රේෂ්ඨ වන්නේද? මේ ප්‍රශ්නවලට එක දෙවියෙකුටද පිළිතුරු දීමට නොහැකි විය. එක දෙවියෙක් තවත් දෙවියෙකුගෙන් විමසා මේ ලෙසට එකිනෙකා විමසා දසදහසක් සක්වල දොළොස් වසරක් හැසිරුනහ. මෙතෙක් කලක් ප්‍රශ්නයන්ගේ අර්ථය නොදැන දසදහසක් සක්වල දෙවියෝ රැස්වී සතරමහ දෙව්රජවරුන් අසලට ගොස්, ඇයි දරුවනි මහාදේව සන්නිපාතයක් සිදුවූයේ විමසූවිට මේ ප්‍රශ්ණ හතර ඉදිරිපත් කළහ. එම ප්‍රශ්න මොනවද? දරුවනි විමසුහ. දානයන් අතර කවර දානයන් ශ්‍රේෂ්ඨවේද? රසයන් අතර කවර රසයක් ශ්‍රේෂ්ඨ වේද. ඇලීම් අතර කවර ඇලීමක් උසස්ද, තණ්හා ක්ෂය කිරීම කවරහෙයින් ශ්‍රේෂ්ඨ වේද? මේ ප්‍රශ්න විසඳාගැනීමට නොහැකිව පැමිණියෙමුයි කීහ. දරුවනි අපිද මෙම ප්‍රශ්නවල අර්ථ නොදනිමු. අපේ රජතුමා ජනයන් දහසක් සිතනන ලද අර්ථ සිතා ක්‍ෂණයකින් දැනගනී. ඔහු අපේ ප්‍රඥාවෙන්ද පිනෙන් ද විශිෂ්ටය. එන්න ඔහු සමීපයට යමු එම දේව සමූහයා ගෙන සක් දෙව් රජ වෙතට ගොස් ඔහු විසින් ද ඇයි දරුව මහත් දේව සන්නිපාතයක් කුමක් හෙයින් දැයි විමසුවේය. මෙම ප්‍රශ්න ඉදිරිපත් කළේය. දරුවෙනි. මෙම ප්‍රශ්නවලට අහේතුකව අර්ථ දැනගැනීමට නොහැකිය. මේවා බුද්ධ විෂයට හේතු වේ බුදුහු මේ අවස්ථාවේදී කොහේ වැඩ සිටිත්දැයි විමසා දෙව්රම බව දැන ගෙන එන්න උන්වහන්සේ වෙතට යන්නෙමුයි දේවගණයා සමග රාත්‍රි කාලයේ මුළු දෙව්රම බබුළුවා බුදුන්වෙත එළඹ වැඳ එකත් පසෙක සිට ඇයි මහරජ විශාල දේව පිරිසක් සමග පැමිණියේ යනුවෙන් ප්‍රශ්න කළහ. ස්වාමීනි මේ දේව සමුහය මේ ප්‍රශ්න ඇසුහ. මේවාට පිළිතුරු දෙන්න වෙනත් කෙනෙක් නැත. අපට මෙම ප්‍රශ්නවලට අර්ථ පවසනු මැනව. කී විට මහරජ හොඳයි මවිසින් පාරමිතා පුරා මහාපරිත්‍යාග කර තොප වැන්නන්ගේ සැකදුරලනු සඳහා ම සර්වඥතාඥාණය ලබන ලදිමි. ඔබ විසින් නගන ලද ප්‍රශ්නවලට "සියළු දාන අතරින් ධර්ම දානය ශ්‍රේෂ්ඨ වේ. සියළු රස අතර ධර්ම රසය ශ්‍රේෂ්ඨවේ. සියලුම ඇලීම් අතර ධර්ම රතිය වඩාත් ශ්‍රේෂ්ඨ වේ. තෘෂ්ණය කිරීම නම් රහත් බවට පැමිණෙන හෙයින් ශ්‍රේෂ්ඨයි පවසා මෙම ගාථාව දේශනා කළහ.

    ධර්ම දානය සියලු මහදන් පරදවා ජයගනු ලබයි

    සියලු රසයට වඩා වැඩියෙන් දහම් රසයම සිත පිනයි

    නො ඇලෙමින් කිසිතැනෙක දහමෙහි ඇලීමම නිති හිතකරයි

    නැසු ආසා රහත් තෙර නම සියලු දුක් පරදා දින යි.

    එහි සබ්බදානං ධම්ම දානන්ති - ඉදින් සක්වල ගැබ බඹලොව දක්වා නිතර වැඩ සිටින බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට කෙසෙල් දළු සමාන සිවුරු දෙන්නේද එම සමාගමයේ දී සතර පද ගාථාවකින් කරන ලද අනුශාසනයම ශ්‍රේෂ්ඨ වේ. එම දානය එම ගාථාවේ දහසයෙන් කොටසක් හෝ නොවටී. මෙලෙස ධර්ම දේශනයම වචනයෙන්ද ඇසීමෙන්ද මහත් වේ. යම් පුද්ගලයෙක් බොහෝ අයට ඒ ධර්ම ශ්‍රවණය කරන ලද්දේ නම් එහිම අනුසස් මහත්ය. මෙබඳු පිරිසකට ප්‍රණීත පිණ්ඩපාත පාත්‍රයේ පුරවා දෙන ලද දානයට වඩා ගිතෙල් පාත්‍රය පුරවා දෙන ලද දානයටද වඩා මහාවිහාරය වැනි මහවෙහෙරවල් ලෝහ මහා ප්‍රාසාද වැනි ප්‍රාසාද සියදහස් ගණනක් කරවා දුන්නේද අනේපිඬු සිටුවරයා ආදීන් විසින් විහාර වෙනුවෙන් කළ පරිත්‍යාගවලට ද වඩා පිරිසයෙන් සතර පද ගාථාවකින් කරන ලද අනුශාසනය වශයෙන් කරන ලද ධර්ම දානයම අගනේය. ශ්‍රේෂ්ඨ වන්නේය. කුමක් නිසාද එබඳු පිං කරන්නේ මෙබඳු ධර්ම දේශනා ඇසීම නිසාය. නො අසා එසේ නොකරති. ඉදින් මේ සත්ත්වයෝ ධර්මය නොඅසන්නේ නම් සැන්දක් පමණ බත් හෝ එපමණ කැඳවත් දන් නො දෙති. මේ කරුණ නිසා සියළු දානවලට වඩා ධර්මදානයම ශ්‍රේෂ්ඨ වේ. බුද්ධ - පච්චෙක බුද්ධවරයන් තබා මුළු කල්පයකට වසින වැසි බිඳු ගණන් කිරීමට සමත් ප්‍රඥාවෙන් යුත් සාරිපුත්ත මහතෙරුන් ආදීන් ද තම ධර්මතාව නිසා සෝවාන් ආදී ඵලයන් අවබෝධ කර ගැනීමට නොහැකිවුහ. අස්සජි ආදී තෙරවරුන් දේශනා කරන ලද ධර්මය අසාම සෝවාන් ආදී ඵලයන්ට පත්වුහ. මෙසේ අස්සජි තෙරුන් වැන්නෝ ද, බණ අසාම සෝවාන් වූහ. ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රාවක පාරමී ඤාණයම සාක්ෂත් කරන්නාහ. මේ කරුණින් ද මහරජ සියලු දානයන්ට වඩා ධර්ම දානයම ශ්‍රේෂ්ඨ වන්නේය. සබ්බං රසං ධම්ම රසො ජිනාති සියළු ස්ඛන්ධ රස ආදී රසයන් අතුරෙන් උසස් ලෙස දෙවියන් ගේ සුධාභෝජන රසය ද සසර වෘතයට වැටී දුක් අනුභාවයටම හේතු වේ. යම් බදු වූ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම සංඛ්‍යාත නවලොකොත්තර ධර්ම රසයම සියළු රසයන්ට වඩා ශ්‍රේෂ්ඨය. යන්න එයින් කියවේ.

    යම් පුත්‍ර රතිය. ධීතු රතිය, ධාන්‍ය රතිය, ස්ත්‍රී රතිය. ධන රතිය. නැටුම් ගැයුම්, වාදන ආදී අනේක රති තිබේ. මේ සියලු රතී සංසාර වට්ටයේ වැටී දුක් ඇති කිරීමට හේතුවේ. යම් කෙනෙක් ධර්මය අසයි නම් හෝ කියයි නම් හෝ කියවයි නම් ඇතුළත ඇතිවන ප්‍රීතිය උදග්ගභාවය ඇති කරයි. කඳුළු ඇති වේ. ලොමු ඩැහැ ගැනීම කෙරෙයි. සංසාර වට්ටය අවසන් කර අර්හත්වයට පත්කරවයි. එනිසා ධර්ම රතිය ශ්‍රේෂ්ඨ වේ. සබ්බං රතිං ධම්ම රති ජිනාති යනුවෙන් කීහ. තෘෂ්ණාව නැති කිරීම වනාහී. තෘෂ්ණාව නැති කිරීමෙන් උපදින්නා වූ අර්හත් බව සියලු සංසාර වෘත්ත දුඃඛයන් මැඩ පවත්වන බැවින් සියල්ලටම ශ්‍රේෂ්ඨ වේ "තණ්හක්ඛයො සබ්බ දුක්ඛං ජිනාති” යන්න එහෙයින් කියන ලදී. මෙසේ ශාස්තෲන් වහන්සේ මෙම ගාථාවේ අර්ථය පැහැදිලි කරනවිට අසුහාර දාහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය සිදුවිය. සක් දෙවිඳු ද ධර්මය අසා බුදුන් වැඳ මෙලෙස පැවසුවේය. ස්වාමීනි මෙතරම් උතුම් ධර්ම දානයෙන් අපට ප්‍රාප්තිය නො දෙත්ද? ඉන්පසු භික්ෂු සංඝයාට කථා කොට ප්‍රාප්තිය දෙනු මැනව. බුදුහු ඔහුගේ වචනය අසා භික්ෂු සංඝයා රැස් කරවා මහණෙනි අද පටන් මහා ධර්මයකින් හෝ ප්‍රකෘති ධර්ම ශ්‍රවණයක් හෝ උපනිශ්‍රිත කථාවක් හෝ යටත් පිරිසයෙන් අනුමෝදනයක් හෝ කියා සියලු සත්ත්වයන්ට පින් අනුමෝදන් කරන්නැයි වදාළහ.

    මතු සම්බන්ධයි!

    පාළි ධම්මපදට්ඨකථාවේ සිංහල අනුවාදය ඇසුරෙන්, Path to Nirvana කළ්‍යාණ මිත්‍රයන් විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

    තෙරුවන් සරණයි!