[[[ ඒ කාලේ මෙහෙමලු බන් ]]]

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    [[[ ඒ කාලේ මෙහෙමලු බන් ]]]

    අට මාසෙන් තුනටිය කකියච්චී - නව මාසෙන් දරුවා බිහි වෙච්චී


    දරුවෝ! දෙවියෝ මිනිසාට ලබා දුන් වටිනාම තෑග්ගය. සැප සම්පත්, යාන වාහන කුමක් ලැබුණ ද දරුවන් නැති දෙන්නා දෙමහල්ලෝ ඒ ගැන බොහෝ සිත් වේදනා විඳිති. එබැවිනි දරුවකු ලැබෙන්නට යන ආරංචිය පවා ඉහේ මල් ගොන්නක්ම පිපුණාක් බඳු වන්නේ. එවැනි සතුටක් දෙන්නා දෙමහල්ලන්ට මෙන්ම දන්නා කියන හැම සිත්වලම ඇතිකරන, දරුවා පිළිගන්නට වෙන ලකලැහැස්තිය ද එසේ මෙසේ නොවන්නේය. එකල අපේ ගැමියන් මේ දරු උපතට වූ සූදානම කෙබඳු ද? අද නොමැකෙන පියසටහන් තීරය වෙන්වන්නේ ඒ ගැන සොයා බැලීමටය.

    තරුණ දූපුතුන් සිටින එකල ගැමියෝ මහා බරක් හිස තබා ගත්තෝ බඳු වූහ. ඒ ඔවුන්ගෙන් නිදහස් වීමේ බරය. තරුණ දූ පුතුන් එක් වහලක් යටට පත්කිරීම ඔවුන්ගෙ සුවිසල් බලාපොරොත්තුවක් ඉටු කිරීමක් වැන්න. ඊළඟට ඔවුන් බලා සිටින්නේ තවත් සුබ ආරංචියක් ලැබෙන තෙක්ය. ඒ දරු මුණුපුරෙක් ලැබෙන ආරංචිය ය.

    ඒ ආරංචිය ඔවුන්ට මෙන්ම දෙන්නා දෙමහල්ලන්ට ද ඇති කරන්නේ නොනිමි සතුටකි. ඒ බව කියාපාන අපූරු ජනකවියකි මේ.

    පණට පණ ලෙස දෙන්නා එක්වී
    වසන සඳ සැප විඳිමිනා
    කුසට ඇයගේ දරු ගැබක්
    පිළිසිඳුණි පෙර කළ පිනෙනිනා
    හිමිට ඒ බව දැන්නු වේලෙහි
    තුටුව අපමණ ඒ ගැනා
    හොඳට ගැබ් පෙරහර ද කරලා
    ඇයව රැක්කයි පණ මෙනා
    (සිංහල ජන සම්මත කාව්‍ය)

    දරුවකු පිළිසිඳ ගත් සිය බිරිඳ ගැන සැමියකුගේ සිතෙහි ඇතිවන හැඟීම ද, ක්‍රියාකලාපය ද එබඳු ය. එකල ගැමියෝ දරුවකු පිළිසිඳ ගත් සිය බිරිඳට ගැබ් පෙළහැර පෑහ.

    දරු ගැබට ගැබ් පෙළහැර පෑම අත්‍යවශ්‍ය කරුණක් ලෙස ගැමියෝ හිස් මුදුනින් පිළිගත් බව ආචාර්ය දයා අමරසේකරයන් සිය ජන කවිය සහ ගැමි සමාජය නැමැති කෘතියේ සඳහන් කර ඇත.

    ගැබ් පෙළහැර යනු ශාන්තිකර්ම රාශියකි. මේ ශාන්තිකර්ම දරු ගැබේ ආරක්ෂාව වෙනුවෙනි.


    ශාන්තිකර්ම

    ශාන්තිකර්ම මෙන්ම බාරහාර ද අනිවාර්ය අංගයකි. එකල මෙන්ම මෙකල ද උගත් සමාජය ඇසුරෙහි ද මේ බාරහාරවීම සුලබ දෙයකි. එය බොහෝ විට ඇතැම් ප්‍රදේශවල නම් සම්ප්‍රදායක් මෙන් කෙරුණකි. ඒ බව පියසේන කහඳගමගේ ‘මා දුටු බින්තැන්න’ නම් කෘතියේ සඳහන් වන්නේ මෙලෙසය.

    ”කාන්තාවක් ගැබ්ගත් වග දැනගත් විට දෙවියන්ට බාරහාර වීම බින්තැන්නේ සම්ප්‍රදායක් විය. දරුවා උපන් පසු පළමුව විහාරයට ගෙන ගොස් බුදුන් අබියස හා දෙවියන් අබියස ආශිර්වාද ලබාගන්නා බවට බාරයක් වීම බොහෝ දෙනා පිළිපදින ලද සිරිතකි.”

    මේ බාරහාර ගැන කියවෙන තැනක් ‘අඹුදරුවෝ’ කෘතියෙහි එයි. බබුන් විළිරුදාවෙන් සිටින විට ඇගේ මව බබුන්ගේ සැමියාට පවසන්නේ එවැන්නක් ගැනය.

    ”බය වෙන්න කාරණාවක් නෑ. අපි බලමු. වෙන්න තියෙන බාර හාර ඔක්කොම වුණා. ඔහොම තමයි කුලුඳුලේ ළමයා ලැබෙන්න අමාරුයි...”

    ගැහැනියක ගැබිනියක වූ පසු ඇය බලා කියා ගැනීමට ගමක සිටි ප්‍රධාන චරිත තුනකි. වෙද මහත්මයා, වින්නඹුව හා යකැදුරා ඒ තිදෙනාය.

    ගැබිනියගේ ආරක්ෂාව පතා තෙල් මැතිරීම යකැදුරාගේ කාර්යය විය. එකල ගැමියෝ එය අනිවාර්යය අංගයක් කොට සැලකූ බව ‘මා දුටු බින්තැන්න’ නම් කෘතියේ සඳහන් වේ. යක්ෂ, භූත දෝෂ ඉවත් කරලීම මේ තෙල් මැතිරීමේ අදහස විය.


    තෙල් මැතිරීම

    ගැබිනියන්ට ආරූඪ වෙන යකුන් කිහිප දෙනකු සිටින බව ද ගැමියන්ගේ් විශ්වාසය විය. රීරි යකා හා යක්ෂණී, සන්නි යකා, තුන්පාලි යක්කු යනාදී වශයෙන් ගැමියන් යකුන් වර්ගීකරණයක් කර තිබුණේ ‘මහියංගන ජනශ්‍රැති’ නැමැති කෘතියේය. එම කෘතියට මේ තොරතුරු ලබා දී තිබුණේ බින්තැන්න වෙල්ලස්සේ දෙහිගම ගමේ විසූ වයි.බී.සුදුමැණිකා නැමැති වින්නඹු කාන්තාවකි. යකැදුරන් තෙල් මතුරන්නේ මේ යකුන්ගේ දෝෂවලින් ගැබිනියන් ආරක්ෂා කිරීමටය.

    බඩතෙල් මැතිරීම ද තවත් සිරිතකි. දරු ප්‍රසූතියට පෙර කෙරෙන මේ කාර්යයෙන් බලාපොරොත්තු වන්නේ් දරු ප්‍රසූතිය පහසු කිරීමය. කුලුඳුල් දරු උපතක් නම් මේ තෙල් මැතිරීම බින්තැන්නේ ජනතාව අනිවාර්යයෙන් ඉටු කළ සිරිතකි.

    ගැබිනියක වූ පසු ඇය සිය මව ළඟට යෑම එකල මෙන්ම මෙකල ද බොහෝ විට සිදු වෙන්නකි. විශේෂයෙන් කුලුඳුල් දරුවා ලැබීමට ගැබිනිය සිය මව වෙත යෑම සිදුවිය. ඒ කටයුතු තමා අතින්ම කිරීම එම මව ද සිය වගකීම කොට ගත්තාය. ‘අඹුදරුවෝ’ නවකථාවේ බබුන් ද සිය කුලුඳුල් දරුවා ලැබීමට මව වෙත ගියාය.

    ගැබිනියගේ සැමියා හැරුණු විට ගැබිනිය පණ මෙන් රකිනු ලබන්නේ ඇගේ අම්මා විසිනි. පෝෂණ ගුණයෙන් අනූන කෑම වට්ටෝරු සිය දියණියට ලබාදීමට මවක් නොගන්නා වෙහෙසක් නැත. ඒ ගැන වෙහෙස වන්නී ඇය පමණක්ම නොවේ. ගමේ හිතැති සියල්ලෝ ද බත් පතකින් නැත්නම් එළවුළු පලතුරකින් හෝ ඇගේ කුසහොත් දරුවා පෝෂණය කරන්නට වෙහෙසෙති. පන්සලේ හිමිනමකට දෙන දානයට නොදෙවැනි දානයක් ගැමියෝ දෙන්නේ ගැබිණි මවකටය. මෙකල වුවද ගමක එය එසේමය.

    පෝෂණ ගුණයෙන් අනූන මෙන්ම ගැබිනියකට නොදෙන සැර කෑම වර්ග ගැන ද එකල ගැමියෝ ප්‍රවේශම් වූහ.

    ”පළමු මාසයේ සිටම අන්නාසි, ඌරුමස් කෑම නුසුදුසුයි. ගැබට මාස පහක් සම්පූර්ණ වූ පසු මුදවාපු කිරි, වැල, කිරි අල, මීපැණි ආදිය අගුණයි. උණුසුම් ආහාර ගැනීමෙන් ද සවස් වරුවේ නෑමෙන් ද ගැබිනිය වළකින්න ඕනෑ. ඇඟ සිසිල් කරන ආහාර ගැනීම සුදුසුයි.”

    මේ මීට වසර සියයකට පමණ පෙර ගැබිනියකගේ ආහාර ගැන ගැමියන් තුළ තිබූ ආකල්පයන්ය. මේ බව ‘මහියංගණ ජනශ්‍රැති’ කෘතියට ප්‍රකාශ කර තිබුණේ දෙහිගම සුදුමැණිකා වින්නඹුවය.

    කෙසේ වුවද ගැබිනියකගේ දොළදුක සංසිඳවීම ඇය අවට සිටි සියලු දෙනා අතින් සිදුවූයේ ඉතා කැමැත්තෙනි. “මොනවද කන්න ආසා?” ගැබිනියක් දකින බොහෝ දෙනකු මේ ප්‍රශ්නය අදටත් නඟන්නේ මහත් ළෙන්ගතුකමකිනි.

    ඒ හැරුණු විට පළමු මස සිටම නව මාසය වන තෙක්ම ගැබිනියට කසාය නියම කරන්නේ ගමේ වෙද මහතා බව ද සුදු මැණිකා පවසා තිබිණි. මාසෙන් මාසෙට මේ කසාය වෙනස් වෙන අතර අසනීප තත්ත්වයකදී ගැබට හානි නොවන කසාය ද දුන් බව ඇය පවසා තිබිණි.

    ඉපදෙන දරුවා වෙනුවෙන් රෙදි පිළි සූදානම ද කෙරුණේ ඇතැම් සිරිතකට අනුවය. ගැබට මාස පහ පිරෙන තුරු රෙදි පිළි සූදානම් නොවීය. දරුවා වෙනුවෙන් සැකසුණ කුඩා කොට්ටවල කට මැසීම මාස හත පහුවෙන තෙක් සිදු නොවිණි.

    මෙකල නැපි වෙනුවට එකල භාවිතා වූයේ හාන් රෙදිය. බොහෝ විට පාවිච්චි කරනු ලැබීම නිසාම සිනිඳු වූ පරණ රෙදි කැබලි කර ඒවා හාන් රෙදි ලෙස භාවිතා විය. සැබැවින්ම දරුවාගේ හාන් රෙදි වූයේ හොඳින් සෝදා වියලා ගත් දරුවාගේම පියාගේ සරමක් හෝ මවගේ චීත්තයකි. සරම හෝ චීත්තය කැබලි කර නැපි නොහොත් හාන් රෙදි කැබැලි දරුවා වෙනුවෙන් සූදානම් විය.

    සමසක් ගිය කල සුදු මැලි වෙච්චී
    සත්මස ගිය කල බඩ බර වෙච්චී
    අටමාසෙන් තුනටිය කකියච්චී
    නව මාසෙන් දරුවා බිහි වෙච්චී

    ගැබිනිය සිය දරුවා කුසේ හොවා සිටින විට ඇය විදහා පෑ ශරීර ලක්ෂණ එකල ජන කවියා දුටුවේ එලෙසය. දරුවකු බිහිකිරීම වෙනුවෙන් එකල මවුවරු නිවෙසින් පිට නොගියහ. නිවෙසේම වටකරනු ලැබූ කොටසක් හෝ කාමරයක් වැදුම් ගේ හෙවත් තිඹිරි ගෙය විය. දරුවා බිහිවෙන අවස්ථාවේදී එහි බර වඩාත් කරට ගත්තේ ගමේ වින්නඹුවය. කෙසේ වුවද රොබට් නොක්ස් මේ වින්නඹුව ගැන තබා ඇති සටහන මෙබඳුය.

    ”දරු ප්‍රසූතියේ දී සිංහල ස්ත්‍රීන් හට නියම වින්නඹු කාන්තාවක් නැත්තේය. ගම්වැසි අසල්වැසි වැඩිහිටි ස්ත්‍රියක් අතින් වින්නඹු මවකගේ යුතුකම් කොටස ඉටුවන්නේය.”

    ගමක වින්නඹුවක වූයේ නොක්ස් පවසන මෙවැන්නියකි. ඒ නිසාම ඇතැම් අවස්ථාවක ඇය අතින් වන වැරැද්ද නැවත සකසා ගත නොහැකි විය. මාර්ටින් වික්‍රමසිංහ ගේ ‘ගම්පෙරළිය’ නවකථාවේ නන්දාට සිය දරුවා අහිමි වන්නේ මේ කියන්නා වූ වින්නඹුවගේ වැරැද්දෙනි.

    ”....වෙදා පැමිණීමට පෙර නුදුරින් වෙසෙන වින්නඹුව කැඳවනු ලැබුවාය. අනතුරුව පැමිණි වීරසිරි වෙද මහත්තයා නන්දාගේ අත අල්ලා බලා “දැන්ම කලබල වෙන්න එපා” යැයි මාතර හාමිනේට කීය....” (ගම්පෙරළිය)

    දරු ප්‍රසූතියකදී වෙද මහත්මයාගේ මැදිහත්වීම එබඳු විය.

    ”තුන් දවසක් ඉකුත් වූ තැන බිළිඳාගේ මුහුණෙහි නරක ලකුණු දක්නා ලදින් ගාල්ලෙන් දොස්තරෙක් කැඳවනු ලැබීය. ඔහු මහ ගෙදරට පැමිණියේ බිළිඳා මැරී පැයක් පමණ ගෙවුණු පසුය....

    ”ළමයාගේ පෙකනිය කැපුවේ මේ කතුරෙන් වෙන්න ඇති”යි දොස්තර ගුණවර්ධන කීය.

    ”ළමයා මැරෙන්න ඇත්තෙ වින්නඹුවගේ වැරැද්ද නිසා” දොස්තර කීය.

    ”හං කතුරෙන් පෙකනිය කපන්න වෑයම් කරද්දි පෙකනිය ඇදිලා තියෙනවා. .... ඒ කතුර හොඳටම හං වෙලා. මැරිච්ච මිනිසුන්ගෙ නහය කපන්න හොඳ කතුරක්....”

    (ගම්පෙරළිය)

    දොස්තරවරයා මේ පහදා දෙන්නේ නන්දාගේ් දරුවා මියයෑමට වින්නඹුව අතින් වූ වැරැද්ද ගැනය. නවකතාවට අනුව හොඳ කතුරක් ද මේසය උඩ තිබුණ බව පවසන්නී මාතර හාමිනේය. එහෙත් හදිසියට වින්නඹුවගේ අතට අසුවුණේ පරණ කතුරය. ඒ නොසැලකිල්ලෙන් දරුවාගේ ජීවිතය අහිමි විය.

    ජයසේන ජයකොඩි ගේ අඹුදරුවෝ නවකථාවෙහිදී වින්නඹුවගේ කාර්යය ගැන කියවෙන මෙබඳු තැනක් වේ.

    ”...ඕ වේදනාවෙන් මොර දෙයි. දෝසි නෝනාගේ සිහියත් විකල් වෙන්න එයි. මේ බරපතළ කටයුත්තේ සම්පූර්ණ වගකීම ඇය පිටය. සේදිරිස් කැඳවාගෙන ආ කට්ටඩියා දෙහි කපා සාන්ති කළ නමුත් වැඩක් වූයේ නැත.”

    දරු ප්‍රසූතියේ දී වින්නඹුවගේ පමණක් නොව කට්ටඩින්ගේ සහාය ද ලබා ගන්නා අයුරු ද කෙම් ක්‍රමවල සහය ලබා ගන්නා අයුරු ද එම කතාවේම විග්‍රහ වන්නේ මෙලෙසය. ”මහල්ලා කරත්තයෙන් බැස්සේ ගොබලු තැඹිලි ගෙඩියක් මතුරමිනි....

    ...මහල්ලා තිඹිරි ගෙයි උළුවස්ස අතින් පහරා ඒ අතින්ම දොර ඇරගෙන තැඹිලිය මතුරමින් කාමරයට ඇතුළු විය. ඔහු ගෙට ගොඩ වූයේ ප්‍රධාන උළුවස්ස මේ ආකාරයට අතින් පහරමිනි.....

    ...ඔහු අල්ලට තැඹිලි වතුර මිටක් හලා ගත්තේය. ගර්භනියගේ මුහුණටත් ඇඟටත් මතුරමින් ඉස්සේය. අනතුරුව ළඟ හුන් දෝසි නෝනා අතට තැඹිලිය දුන්නේය. “පොවාපන් ඔක්කොම වතුර ටික පොවාපන්”....

    (අඹුදරුවෝ)

    මෙලෙස බිහිවෙන දරුවා හා මව වෙනුවෙන් ඊළඟට ද ඇත්තේ චාරිත්‍ර වාරිත්‍ර රැසකි. ඉපදෙන දරුවා ගැහැනු ළමයකු ද පිරිමි ළමයකු ද යන්න දැන ගැනීමට එකල වෛද්‍ය පහසුකම් නොතිබුණේය.

    මෙලෙස බිහිවන දරුවා වෙනුවෙන් ඊළඟට ඇත්තේ ද චාරිත්‍ර රැසකි. ඉපදෙන දරුවා ගැහැනු ළමයකු ද පිරිමි ළමයකු ද යන්න දැනගැනීමට එකල වෛද්‍ය පහසුකම් නොතිබුණි. එබැවින් දරුවා බිහිවූ පසු තිඹිරි ගෙන් පිටත, සිටියෝ ඒ බව දැන ගැනීමට කුතුහලයෙන් බලා සිටියහ. එහෙත් එය නොවේ සෘජුවම කියැවුණේ. එක්කෝ ඊට සංකේත භාවිත විණි. එසේත් නැතිනම් වෙනත් වදනකින් ඒ බව ප්‍රකාශ විණි.


    සරමක් ද! කම්බායක් ද!

    ඇතැම් ප්‍රදේශයක එය කියැවුණේ සරමක් , කම්බායක් යනුවෙනි. සරමක් නම් පුතෙකි. කම්බායක් නම් දුවකි. ඇතැම් ප්‍රදේශයක මෙය හඟවන්නේ වෙනත් පදවලිනි.

    ඇතැමෙක් තොපට හෝ අපට යනුවෙන් ද තවත් අයෙක් එළියට හෝ ඇතුළට යනුවෙන් ද පවසයි.

    තොපට හෝ එළියට යනුවෙන් වින්නඹුව පැවසුවහොත් ඒ උපත ලබා ඇත්තේ දුවකි. අපට හෝ ඇතුළට යනුවෙන් වින්නඹුව පැවසුවහොත් ඒ පුතෙකි.

    මේ බව ප්‍රකාශ කරන සංකේත ක්‍රමයක් ද තිබේ. එය ‘මා දුටු බින්තැන්න’ කෘතියේ සඳහන් වන්නේ මෙලෙසය.


    මෝල්ගහ වීසිකිරීම

    ”ගැහැනු දරු උපතක් සිදුවිණි නම් ගැහැනියක් වංගෙඩිය හා මෝල් ගහ ගෙන කොටන්නට පටන් ගනියි. පිරිමි දරු උපතක් සිදුවිණි නම් මෝල්ගහ වහළෙන් එහා පැත්තට වීසි කරයි.”

    උඩරට ප්‍රදේශයේ ද මේ සිරිත සිදු වූ බව කියැවෙන්නේ සිංහල සිරිත් සංග්‍රහයේ ය. ඊට අනුව මෝල්ගහ වීසි කිරීමෙන් අදහස් කරන්නේ පිරිමි දරුවා වීර්යවන්තයෙකු වන බව හැඟවීමටය. වංගෙඩියට මෝල් ගහෙන් කෙටීමෙන් හඟවන්නේ ගැහැනු දරුවා ස්ත්‍රීන්ට අයිති වැඩපළේ දක්ෂවීමය.

    රන්කිරි කට ගෑම ද අලුත උපන් දරුවකු වෙනුවෙන් කෙරෙන ප්‍රධාන චාරිත්‍රයකි. බොහෝ විට කිරිමවකගෙන් ලබා ගන්නා කිරට රත්තරන් ගලගා බැලතණ යුෂ ද එකතු කර රත්තරන් හෝ රිදී මුද්දකින් දරුවාගේ මුවෙහි තැබීම රන් කිරි කටගෑමයි. ඇතැමෙකු මීට පොල්කිරි, බත්, හකුරු යනාදියෙන් යමක් ද එකතු කර ගනී. රන් කිරි කට ගෑමේදී දරුවාට දෙන උපදෙස් කීපයක් ද ඇත. කේලාම් කියන්න එපා, හොරකම් කරන්න එපා, පස් පවු, දස අකුසල් කරන්න එපා යැයි ද කීම තවත් පෙදෙසක සිරිතකි.

    එමෙන්ම රන්කිරි කටගාන අතරේ දරුවාට දීර්ඝායු පැතීම ද තවත් පෙදෙසක කෙරෙන සිරිතකි.

    ”කළු කපුටා සුදු වන තුරු
    ඇසළ කණුව ලියලන තුරු
    ඉදිබුවාට ලොම් එනතුරු
    ආයුබෝවන්න ළදරු”

    අලුත උපන් දරුවා සුවඳ දියෙන් නාවා අනතුරුව කරන ප්‍රථම චාරිත්‍රය ද රන්කිරි කට ගෑමය. ඇතැමෙක් ඒ සමඟම දරුවා ගේ හිසකෙස් රොදක් කපා හරිති.

    එහෙත් නැකතක් අනුව පසුව හිසකේ කපන අය ද වෙත්. කතෝලිකයන් නම් සිඟිත්තාගේ කෙස් රොදක් කපන්නේ දේවස්ථානයකය. දරුවන්ගේ උපත ගැන බාරහාර වන්නේ ද හිසකේ කැපීමට ද යනාදී වූ දරුවකුගේ උපත සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වූ දේවස්ථාන කතෝලිකයන්ට තිබේ. ගර්භාෂ පල්ලිය යනුවෙන් ඔවුන් හඳුන්වන්නේ එම දේවස්ථානයයි.

    කෙසේ වුවද කතෝලිකයන් දරුවන් වෙනුවෙන් කරන මුල්ම චාරිත්‍රය නම් ක්‍රිස්තියානි කිරීමය.

    එනම් සංකේතාත්මක ලෙස දරුවා ආගමට ඇතුළු කරගැනීමය. එහිදී ඔහු වෙනුවෙන් මවගේ හා පියාගේ වගකීම් බාරගන්නා දෙදෙනකු ද දරුවා වෙනුවෙන් පෙනී සිටී.

    මව්පියන් හදිසි වියෝවකට පත් වුවහොත් එතැන් සිට ඔවුන් දෙපළ දරුවාගේ ඕනෑ එපාකම් සොයා බැලීම පිණිස පෙනී හිඳිනා දෙවන මව හා පියාය. දරුවා ඔවුන් ට අමතන්නේ මඤ්ඤා හා පඤ්ඤා යනුවෙනි.

    සතියක් හෝ සති දෙක තුනක් ඇතුළත මේ ක්‍රිස්තියානිය සිදුවේ. එතෙක් දරුවා හදිසි අසනීපයකදී දොස්තරවරයකු හෝ රෝහලක් වෙත මිස කොතැනකට හෝ ගෙන යන්නේ නැත. අලුත උපදින දරුවා බාලගිරි දෝෂයෙන් මුදාගැනීමට යම් යම් දේ කිරීම බෞද්ධ මෙන්ම කතෝලික ජනයාගේ ද සිරිතකි. එකල උඩරට ගැමියා අමනුෂ්‍ය දෝෂයන්ගෙන් පැමිණෙන බය නැති කරගන්නා ආකාරය සිංහල සිරිත් සංග්‍රහයේ දක්වා ඇත්තේ මෙලෙසය.

    ඉලපත බිම ගැසීම

    ”රන්කිරි කට ගා ගත් ළදරුවා පත්තු කරන ලද පහන් තිර දෙකකුත් සමඟ වැදූගේ දොර ළඟට ගෙන ගොස්, තොපට ද අපටදැයි තුන් වරක් කියා තුන් වරක් ඉදිරියට හා තමා දෙසටත් පද්දවනු ලැබේ. එවිට ළඟ සිටි ස්ත්‍රීහු අපට අපට යැයි කියති. එවිට ගෙනා පහන් වැටි දෙකම නිවා දමා පිදුරුවලින් හෝ ඉපනැලියෙන් සාදාගත් ඉලපත් අත්තක් දොරකඩ දී බිම ගසා “මෙතනින් මෙහාට එකෙක් ආවොත් මේ අත්තෙන් එලවනවා” යයි කියා දරුවා ගෙට ගෙන ගොස් සතප්පවා ගනිති. ඉලපතින් ගැසීමට ක්‍රියාකරන්නේ අමනුෂ්‍යයන් ගෙන් පැමිණෙන බිය නැති කර ගැනීමට යැයි කියති.”

    ”බාලගිරි දෝෂය අද නොවේ හෙට” යනුවෙන් ලියූ කොල කැබැල්ලක් නිවසේ සෑම උළුවහුවකම උඩ ලීයේ ඇලවීම මෙකල ද ඇතැම් නිවෙසක සිදුවන චාරිත්‍රයකි.

    මේ ආදී වූ චාරිත්‍රවලින් අමනුස්ස දෝෂ පහව ගියේ එකල මෙන්ම මෙකල ද ඇතැම්හු සිතති.

    පේවස් වීමද ඇතැම් ප්‍රදේශවල තිබූ සිරිතකි. ඒ බව සිංහල සිරිත් සංග්‍රහයේ එන සටහන මෙබඳුය.

    ”වැදූ නව දවසට සඳුදා, බදාදා, සෙනසුරාදා දවසකින් දවසක් අසුව (පිරුවට හතක් ඇන්දායින් පසුව) ඇඹුල් ගා නාවා පිළී අරවති..... ඉන්පසු තුන් දවසක් පත්තිනි අම්මා නමට වැදූ ගෙයි දොර මඳක් වසා වෙන කිසිවෙකුට ඇතුළු නොවෙන අන්දමට, කතා නොකර වැදූ අයත්, දරුවාත්, උපකාර කිරි මවත් පමණක් ගෙයි සිටිති. ඊට පේවස් වීම යැයි කියති.”

    දරු උපත සම්බන්ධයෙන් හද සසල කරන අතිශයින් ශෝකජනක පුවතක් සනිටුහන් කරන්නේ් රොබට් නොක්ස්ය. නොක්ස්ට අනුව මේ කියන්නට යන ඛේදනීය ඉරණමට දරුවා ගොදුරු වන්නේ නැකැත්කරුවා දරුවා සම්බන්ධයෙන් හෙළිකරන අයහපත් ග්‍රහ බල අනුවය.

    නැකැත්කරුට අනුව දරුවා අයහපත් ග්‍රහඵල ඇතිව ඉපිද ඇතිනම් ඒ දරුවා ගොදුරුවන ඉරණම මෙහි ලියන්නට හෝ සිත් නොදෙන්නකි. එනම් මව්පියන් ඇතුළු පවුලට දරුවාගෙන් අයහපත් බලපෑමක් ඇතිවන්නේ නම් ඔවුන් දරුවා හාමත් කර හෝ මැරෙන්නට හරින බව නොක්ස් පවසයි. (එදා හෙළ දිව)

    එහෙත් මවුපියන්ට මිස සෙස්සන්ට දරුවාගෙන් අයහපතක් නොවේ නම් දරුවන් නැති අයකුට දරුකමට හදා ගැනීමට දෙන බවද නොක්ස් පවසයි.

    මේ අවාසනාවන්ත ඉරණමට පවුලක කුළුඳුල් දරුවා ගොදුරු වන්නේ කලාතුරකින් බව පවසන නොක්ස් කියා සිටින්නේ වැඩිමහල් දරුවාට මවුපියන් ස්වභාවයෙන්ම ආදරය කිරීම ඊට හේතුව බවය. එහෙත් දරුවන් කීපදෙනකු සිටින පවුලක මෙවැනි අයහපත් ග්‍රහබල සහිත දරුවකු උපත ලැබුවහොත් ඔහු අනිවාර්යයෙන්ම ඉහත ඉරණමට ගොදුරු වෙනු වැළැක්විය නොහැක.

    මේ සම්බන්ධයෙන් ඇතමෙකු ඉතා කනගාටු වුවද තවත් අයකු නොක්ස්ට පවසා ඇත්තේ “මා මගේ ගෙට යකෙකු ගෙන එන්නේ මොකටද” යනුවෙනි.

    කෙසේ වුවද දරුවා සම්බන්ධයෙන් මෙන්ම මව සම්බන්ධයෙන් ද තවත් සිරිත් විරිත් කීපයකි.

    එකල වැදූ මවකට දෙනු ලබන අහර ගැන වඩාත් සැලකිලිමත් විය. ඇතැම් පෙදෙසක දින හතක් පමණ යනතෙක් මවට ලැබුණේ තැම්බූ හාලේ බත්, සිදිලුණු හා ගම්මිරිස් පමණි. තවත් අයකුට දින කීපයක් තැම්බුම් හොද්ද පමණය. ඒ හැරුණු විට විවිධ කසාය, බෙහෙත් වර්ග ද දරුවා ප්‍රසූත කළ කාන්තාව වෙනුවෙන් සැකසේ.

    මේ ආදී වශයෙන් කී නොකී බොහෝ සිරිත් විරිත් දරු උපතකදී ක්‍රියාවට නැඟෙන්නේය. එකල අනුගමනය කළ බොහෝ සිරිත් විරිත් මෙකල ක්‍රියාවට නොනැඟෙන බව සැබෑවකි. උදාහරණයක් ලෙස හං කතුරෙන් හෝ කුරක්කන් කපන පිහියෙන් හෝ මෙකල දරුවාගේ පෙකණිවැල කපන්නේ නැත.

    පාරේ සිටින සිඟන්නිය ද දරු ප්‍රසූතියට රෝහල් ගත වෙන්නීය. එනමුදු තවමත් අතිමහත් දුෂ්කර ගම්මාන මෙරට තිබේ. එබැවින් මේ කියන්නා වූ එකල සිරිත් විරිත් සීයට සීයක්ම අප රටෙන් මැකී ගොස් ඇතැයි යන්න කිව නොහැකිය.

    සුමේධා නවරත්න

    Source : Silumina 2011/03/13
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020456.gif