ඔබත් "කොරෝනා" රෝගය වැලඳී ගෙන එනවා වැනි බිය

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    ඔබත් "කොරෝනා" රෝගය වැලඳී ගෙන එනවා වැනි බිය

    උදාර දේවමුණි විසිනි.

    මේ දිනවල ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වන වසංගත රෝගී තත්වයක් වන කොරෝනා හෙවත් කෝබිඩ්-19 අප කාගේත් දින චර්‍යාවේ ප්‍රධාන මාතෘකාවක් වී ඇති බව නොරහසක්. රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත් මෙන්ම සමාජ මාධ්‍ය ජාලා වලද ප්‍රධාන මාතෘකාව වී ඇති මෙම වසංගත තත්වය පිලිබඳව නිතර දෙවේලේ දැනුවත් කිරීම්ද සිදු කරනු ලබයි. ඒ අතරම එහි රෝග ලක්‍ෂණ මෙන්ම එයින් වැලකිය යුතු ආකාරය පිලිබඳව දැනුවත් වීම අතිශය කාලෝචිත මෙන්ම වැදගත් කටයුත්තකි. ඒ හැරුනු කොට ලොව පුරා එම රෝගයෙන් මිය ගිය මෙන්ම අසාධ්‍ය වූ රෝගීන් පිලිබඳව සංඛ්‍යාත්මක යාවත් කාලීන කිරීම දිනපතා හෝ දිනකට කිහිපවරක් සිදුකරන අතර සමහර අවස්ථා වලදී අසාධ්‍ය රෝගීන් තම ජීවිතයේ අවසන් පැය කිහිපය වේදනාත්මකව ගත කරන ආකාරය වීඩියෝ ක්ලිප්ස් ආකාරයෙන්ද සංසරණය වෙයි. මෙම රෝගය වැලඳෙන බහුතරයක් රෝගීන් සම්පූර්ණ සුවය ලැබුවද තවම කිසිදු සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නොමැති මෙම රෝගී තත්වය පිලිබඳව කන වැකෙන සෑම මොහොතකම අපට​ ජීවිතයේ අවිනිශ්චිත බව පිලිබඳව යම් හැඟීමක් මෙන්ම, මට හෝ මාගේ පවුලේ කෙනෙකුට හෝ දන්නා හඳුනන කෙනෙකුට මෙය වැලඳුනොත් කුමක් වේවිද යන්න පිලිබඳව යම් තිගැස්මක් ඇති වීමද මේ දිනවල අප කවුරුත් අත් විඳින සංසිද්ධියකි. විශේෂයෙන්ම මෙම දිනවල​ හදිසියේ යෙදුනු පොලිස් ඇඳිරි නීති තත්වය නිසා නිශ්විත දින චර්‍යාවකින් තොරව සහ ආරක්‍ෂිත ක්‍රම වේදයක් ලෙස​ යම් සමාජ දුරස්ථ භාවයකින් යුතුවද කල් ගත කරන බැවින් පෙර කී සංසිද්ධිය පිලිබඳව පමණට වඩා සිත යොමු කිරීමද සිදු වේ.
    විශේෂයෙන් අප සමාජයේ තවත් පිරිසකට මේ අතරතුරදී පැහැදිලි හේතුවක් නොමැතිව​ තමන්ට කොරෝනා රෝගය​ හැදීගෙන එන්නා සේ බියක් දැනෙන්නටද ඉඩ තිබේ. එනම් උෂ්ණත්ව මානයෙන් වෙනසක් නොපෙනුනද නිතරම උණ ගැනීමට එනවා මෙන් දැනීම (මේ අය නිතරම තම​ නලලට අත තබා උණ ගැනී ඇත්දැයි පරීක්‍ෂා කරන අතර එය තහවුරු කර ගැනීම පිණිස නිවසේ සිටින අන් අය ලවාද තමාගේ උණ තත්වය පරීක්‍ෂා කර ගනී)​, සාමාන්‍ය සුළු කැස්සක් වුවද කොරෝනා ලෙස දැනීම​, සැබෑ රෝග ලක්‍ෂණයක් නොමැතිව හුස්ම ගන්න අපහසු යැයි දැනීම සහ සැබෑ රෝග ලක්‍ෂණයක් නොමැතිව නිතරම උගුර රිදීමක් ඇති වී නැති වී යාමයි​. මෙහි ප්‍රධානව හඳුනාගත හැකි වර්ග දෙකක් සිටින අතර පලවෙනි වර්ගය තමාගේ මෙම රෝග ලක්‍ෂණ පිලිබඳව හමුවන බොහෝදෙනාට පවසන අතර දෙවන වර්ගය තනිවම දිගින් දිගට සිත සිතා දුක් විඳී. මින් කුමන වර්ගයේ වුවද පුවත්පතක හෝ වෙනත් කුමන මාධ්‍යයක කොරෝනා රෝග ලක්‍ෂණ පිලිබඳව ලිපියක් පලවුවද, වැඩසටහනක් විකාශය වුවද මොවූහු දැඩි අවධානයක් යොමු කරයි. මින් බොහෝ දෙනා කොරෝනා රෝග ලක්‍ෂණ පිලිබඳව නිතර දෙවේලේ අන්තර් ජාලයෙන් සොයා බලයි.
    මෙම මානසික තත්වය අසනීප කාංසාව හෝ අසනීප කාංසාවේ ලක්‍ෂණ ලෙස හැඳින්විය හැක​. එනම් ඉංග්‍රීසි භාෂාවෙන් Illness Anxiety Disorder හෝ Health Anxiety ලෙස​ හඳුන්වයි. කලකට පෙර මෙම තත්වය Hypochondriasis ලෙසද හැඳින්වීය​. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක්, ගනන් නොගත යුතු තත්වයක් හෝ හාස්‍යජනක තත්වයක් ලෙස පිටතින් බලන්නෙකුට පෙනුනද මෙය සැබෑවටම අත් විඳින්නා දැඩි මානසික​ පීඩාවකින් කාලය ගත කරයි. බොහෝ විට මේ නිසා ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ අනෙක් කටයුතු මග හැරී යාමට වුවද ඉඩ තිබේ.
    මෙහි ප්‍රධාන රෝග ලක්‍ෂණ​
    1. තමාට​ බරපතල රෝග තත්වයක් ඇති වේයැයි බියෙන් ඒ පිලිබඳව දැඩි අවධානයක් යොමු කිරීම.
    2. තමාට බරපතල රෝගයක් වැලඳී ඇති බව සිතා සුළු රෝග ලක්‍ෂණ හෝ ශරීර සංවේදනයන් ගැන දැඩිව​ කනස්සලු වීම​.
    3. තමාගේ සෞඛ්‍ය තත්වය පිලිබඳව නිතරම බියෙන් පසුවීම​.
    4. තමාට වෛද්‍යවරුන් විසින් පවසන ලද හෝ වෛද්‍ය පරීක්‍ෂණ වලින් පැවසෙන සුලු හෝ ඍණාත්මක කරුනක් සොයා ඒ කෙරෙහි පමණක් දැඩි අවධානයක් යොමු කිරීම​.
    5. තමාගේ පවුලේ කෙනෙකුට හෝ දන්නා හඳුනන කෙනෙකුට යම් රෝගී තත්වයක් වැලඳී තිබුනද එය තමාටද වැලඳේ යැයි බියෙන් පසු වීම​.
    6. තමාට ඇතිවිය හැකි රෝගාබාධ පිළිබඳව පමණක් සිතීම නිසා ජීවිතයේ අනෙක් වැදගත් අවස්ථා මග හැරීම. (අධ්‍යාපනය​, රැකියාව සහ පවුලේ වගකීම් වැනි).
    7. තමාගේ අසනීප හෝ රෝග ලක්‍ෂණ පිළිබඳව නැවත නැවත පරීක්‍ෂා කිරීම​.
    8. තමාට රෝගී තත්වයක් නොමැති යැයි තහවුරු කර ගැනීම සඳහා විවිධ වෛද්‍යවරුන් මාරු කරමින් නිතර නිතර සොයා යාම හෝ තමාගේ බරපතළ රෝගී තත්වය වෛද්‍යවරුන් හඳුනාගනී යැයි බියෙන් වෛද්‍ය පරීක්‍ෂණ හෝ වෛද්‍යවරුන් හමු වීම මග හැරීම​.
    9. සෞඛ්‍ය අවදානම් වලට බියෙන් මිනිසුන්, ස්ථාන හෝ ක්‍රියාකාරකම් වලින් වැළකී සිටීම
    10. තමාගේ සෞඛ්‍යය හා රෝගාබාධ ප්‍රධාන මාතෘකාව කොට ගෙන තමාට හමුවන දන්නා හඳුනන​ අය සමග නිරන්තරයෙන් කථා කිරීම
    11. තමාගේ රෝග ලක්‍ෂණ හෝ විය හැකි රෝගාබාධ සඳහා නිතරම අන්තර්ජාලය තුළ හෝ පුවත්පත් වලින් සෙවීම
    ඔබගේ මෙම අසනීප කාංසා තත්වය ඔබට පාලනය කර ගත නොහැකි අයුරින් පවතී නම් ඔබ අනිවාර්‍යයෙන්ම මනෝ වෛද්‍යවරයෙකු, මනෝ චිකිත්සක වරයෙකු හෝ මනෝ උපදේශක වරයෙකු හමුවීම ඉතා වැදගත්‍ ය​. මේ සඳහා සාර්ථක මනෝ වෛද්‍ය ප්‍රතිකාර සහ මනෝ චිකිත්සක ප්‍රතිකාර තිබේ.
    ඒ හැරුනුකොට මෙම තත්වය පාලනය කර ගැනීම සඳහා ඔබ විසින්ම කර ගත හැකි යම් ක්‍රියාකාරකම්ද (Coping Skills) පවතී.
    1. සතිමත් බව (Mindfullness) පුරුදු කරන්න​ - සරලව සතිමත් බව යනු මේ මොහොත ගැන ප්‍රකෘති සිහියෙන් සිටීමට මනස පුරුදු කිරීමයි. එනම් පෙර මොහොතේ සිදු වූ දෑ පිළිබඳව හෝ ඊලඟ මොහොතේ සිදු විය හැකි දෑ පිළිබඳව නොසිතා මේ මොහොත විනිශ්චය විරහිතව ගත කිරීමයි.
    2. ඔබගේ සිතේ පැන නගින ඍණාත්මක සිතුවිලිවලට අහියෝග කරන්න​ - එනම් සිතට දැනෙන මෙම ඍණාත්මක පීඩාකාරී සිතිවිලි ඇතිවන්නේ අසනීප කාංසාව නිසා මිස ශාරීරික රෝගාබාධයක් නිසා නොවන බව අවබෝධ කර ගන්න​.
    3. මෙම මානසික පීඩාකාරී (Stressful) කාලය තුලදී ඔබ සතුටු වන ක්‍රියකාරකම් වල ඵලදායී ලෙස​ යෙදෙමින් කාර්‍ය බහුල වන්න​.
    4. ඔබගේ සිතට දැනෙන බියජනක හෝ මානසික පීඩාකාරී සිතිවිලි පිලිබඳව පැහැදිලිව සහ දීර්ඝව පොතක හෝ කොලයක ලියන්න​.
    5. ශාරීරික ව්‍යායාම වල දිනපතා යෙදෙන්න - මේ සඳහා Releasing Exercises වඩා ගැලපේ. YouTube ඔස්සේ ඔබට මෙම ව්‍යායාම පිලිබඳව දැනුවත් විය හැකිය.​
    6. මෙම දිනවල ඔබට කිරීමට නිශ්චිත කාර්‍යයක් නොමැති වුවද විවිධ වැඩ නිර්මාණය කරගනිමින් කාල සටහනකට අනුව දිනය සැලසුම් කරන්න​. පසුදින කලයුතු කාර්‍යයන් පෙරදින රාත්‍රියේ සැලසුම් කල හැකිනම් වඩාත් සාර්ථක වේ.
    7. ඔබගේ ජංගම දුරකථනයට Anxiety Apps ඩවුන්ලෝඩ් කර ඒවායේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න / ඒවාට සවන් දෙන්න​.
    8. මත්පැන්, දුම්වැටි, අනෙක් මත්ද්‍රව්‍ය සහ කෝපි, ශක්තිජනක පාන වැනි කෘතිම උත්තේජක භාවිතය අවම කරන්න​.
    9. ඔබට ඇතිවිය හැකි රෝග පිළිබඳව අන්තර්ජාලයෙන් සෙවීමෙන් වළකින්න. යම් සැකයක් ඇත්නම් ඒ පිලිබඳ සුදුසුකම් ඇති අයෙකුගෙන් විමසා සැක හැර ගන්න​. නමුත් නැවත නැවතත් ඒ ගැන සෙවීම අත් හරින්න​.
    10. ඔබව සමච්චලයට ලක් කල හැකියැයි සැකයක් හෝ ඇති පවුලේ සමාජිකයෙකුට වුවද ඔබගේ අපහසුතාව නොපවසා, ඔබව තේරුම් ගත හැකි යැයි විශ්වාස කල හැකි අයෙකු හා පමණක් මේ පිලිබඳව සාකච්ඡා කරන්න​.


    ගත්තේ fb එකෙන්