කට්ටඩියා හා විද්‍යාඥයා එකකු බවට පත්වීම

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කට්ටඩියා හා විද්‍යාඥයා එකකු බවට පත්වීම

    කට්ටඩියා හා විද්‍යාඥයා එකකු බවට පත්වීම

    වික්ටර් අයිවන් [Sunday, September 15, 2013]

    මාගේ ජීවිත කාලය තුළ මේ රටේ මේ කාලයේ තරම් ප‍්‍රාථමික මිථ්‍යා විශ්වාසයන්ට ජනමාධ්‍ය මගින් අනුබල දුන් වෙනත් කාලයක් නැති තරම්ය. මිථ්‍යා විශ්වාසයන් හා බැඳුණු ජනතාවක් හැමදාමත් මේ රටේ සිටියේය. ඔවුන්ගේ මිථ්‍යා අවශ්‍යතා කිසියම් ප‍්‍රමාණයකට ජනමාධ්‍ය මගින් සපුරාදෙන ක‍්‍රමයක් ද ක‍්‍රියාත්මක විය. දවසේ පලාපලවලට පුංචි ඉඩක් හැම පුවත්පතක්ම පාහේ ලබාදෙන ලදි. ජ්‍යොතිෂ්‍යය සඳහා පළකෙරෙන වෙනම පුවත්පත් තිබුණු අතර සමහරවිට ඒ ගැන ලියැවුණු ලිපියක් ඉරිදා පුවත්පත්වලද පළවිය.

    දැනුම් සමාජය හා මිථ්‍යාව

    එහෙත් දැන් ඇතිවී තිබෙන වෙනස අතිවිශාලය. සියලූ ජනමාධ්‍ය වැඩිම ඉඩක් වෙන්කර තිබෙන්නේ මිථ්‍යා විශ්වාසයන් අරභයා ලියන හෝ කියන කතාවලටය. සාස්තරකාරයන් පමණක් නොව භූතයන් හා පෙරේතයන් සමග ගනුදෙනු කරන කොඩිවිනකාරයන් දැන් ජනමාධ්‍යවල රසවත් මාතෘකාව බවට පත්ව තිබෙන්නේය. ඒ සඳහා ජනමාධ්‍ය අතර ලොකු තරගයක් තිබෙන බවද පෙනෙන්නට තිබේ. ජනමාධ්‍ය වැඩිම ඉඩක් වෙන්කර තිබෙන්නේද විද්‍යාව හා නවීන අදහස්වලට නොව යල්පැනගිය මිථ්‍යා විශ්වාසයන්ටය. මිථ්‍යා විශ්වාස විකුණන ව්‍යවසායකයන් හෝ ව්‍යවසායක ආයතන ජනමාධ්‍යවලට දැන්වීම් ආදායම් ලබාදෙන වැදගත්ම ප‍්‍රභවයක් බවට පත්වී තිබෙන බවද පෙනෙන්නට තිබේ.

    මීට වසර දෙක තුනකට පමණ ඉහතදී උදේ වැඩට යන්නට පෙර රූපවාහිනී නාලිකා මගින් විසුරුවා හරිමින් තිබුණු වැඩසටහන් උඩින් පල්ලෙන් බලමින් සිටින අවස්ථාවකදී ආණ්ඩුවේ රූපවාහිනී නාලිකාවක් මගින් විසුරුවා හරිමින් තිබුණු අපූරු වැඩසටහනක් දැකගැනීමේ අවස්ථාව ලැබුණි. එය අපොස උසස් පෙළ පන්ති සඳහා විභාග ආරම්භ කර තිබුණු දිනයක් විය. වැඩසටහන ඉලක්ක කොටගෙන තිබුණේද එම විභාගයට පෙනී සිටින සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන්ය. ඔවුන්ට මගපෙන්වීම් කරන දේශකයා අධ්‍යාපන මනෝවිද්‍යාඥයෙක් නොවීය. ඔහු රාජකීය ජ්‍යොතිෂ්‍යඥයෙක් විය. එය දීර්ඝ වැඩසටහනක් වූ අතර ඔහු උපදෙස් දුන්නේ අපල දෝෂ දුරුකර ගනිමින් විභාගය ජයගත යුතුව තිබෙන ආකාරය ගැනය. මට එම වැඩසටහන ගැන එක්තරා ප‍්‍රමාණයකට විස්මයද තවත් ප‍්‍රමාණයකට මහා කලකිරීමක්ද ඊටත් වැඩි ප‍්‍රමාණයකට පිළිකුලක්ද ඇතිවිය. නූතන සමාජය අර්ථකථනය කෙරෙමින් තිබෙනුයේ ‘දැනුම් සමාජයක්’ වශයෙනි. උසස් පෙළ විභාගය උසස් පෙළ අධ්‍යාපනය සඳහා තිබෙන ප‍්‍රධාන කඩඉම ලෙස සැලකිය හැකිය. අප දැනුම් සමාජයට එකතුවෙමින් සිටින තරුණ පරපුර පුහුණු කිරීම සඳහා පාවිච්චි කරමින් සිටින්නේ නූගත් සාත්තරකාරයන් හා කට්ටඞීන්ය.

    මා කිසියම් සඳුදා දිනක ගාල්ලේ සිට මහරගම බලා එමින් සිටියදී පුද්ගලික නාලිකාවක් මගින් විකාශය කරමින් තිබූ වැඩසටහනකට ඇහුම්කන්දීමේ අවස්ථාව ලැබුණි. වැඩසටහන වෙන්කර තිබුණේ භූතයන් හා පෙරේතයන් පිළිබඳ අත්දැකීම්වලටය. වැඩසටහන මෙහෙයවන්නා ඉතා ගම්භිර ස්වරයකින් අසන්නන්ගෙන් ඉල්ලා සිටියේ භූතයන් හා පෙරේතයන් පිළිබඳ අත්දැකීම් ඇති අය එම අත්දැකීම් විස්තර කරන ලෙසය. ජනමාධ්‍ය ආයතන දේශපාලනඥයන්ගේද සහාය ඇතිව රට දක්කමින් තිබෙන දිසාව ඉන් තේරුම් ගත හැකිය.

    ඉංග‍්‍රීසි දැන්වීම් පළකරන සාත්තරකාරයා

    මීට වසර කිහිපයකට ඉහතදී වෙනත් සාත්තරකාරයන්ට වෙනස්ව සම්පූර්ණ පිටුවක ප‍්‍රමාණයේ දැන්වීමක් සිංහල පුවත්පත්වල පමණක් නොව ඉංග‍්‍රීසි පුවත්පත්වලද පළකළ සාත්තරකාරයකු මාගේ උනන්දුවට හේතුවිය. එම විශාල දැන්වීමට ඇතුළත් කරුණු අනුව ඔහුට ලැබී තිබෙන්නේයැ’යි කියන විශේෂ වරමක් හේතු කොටගෙන සාත්තර කියන්නට පමණක් නොව ලෙඩ දුක් පමණක් නොව ජීවිතයේ ඕනෑම ගැටලූවක් විසඳා දෙන්නටද ඔහුට පුළුවන. ඔහු හමුවීම සඳහා දිනයක් හා වෙලාවක් ලබාගැන්මට නම් ඔහුගේ ගාස්තුව වශයෙන් රුපියල් 3000ක මිලක් එම දැන්වීමේ සඳහන් බැංකු ගිණුමට බැර කළ යුතුය.

    මෙම අපූරු සාත්තරකාරයා පිළිබඳව වටින් ගොඩින් කරන ලද සාමාන්‍ය කරුණු විමසීමකදී ඔහු දකුණු පළාතේ ප‍්‍රාදේශීය සභාවක ප‍්‍රාදේශීය සභිකයකු බවත් කලක් ආණ්ඩු පක්ෂයේ ප‍්‍රාදේශීය සභිකයකුව සිට පසුව විරුද්ධ පක්ෂයට එකතු වී සිටින අයකු බවත් දැනගත හැකිවිය. මෙම විශාල දැන්වීම පළකර තිබුණේ 2010 ජනාධිපතිවරණයෙන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණ කාලයේදීය. මෙම සාත්තරකාරයා එජාපයෙන් මාතර දිස්ත‍්‍රික්කයට තරග කරන බවද දැනගන්නට ලැබුණි.

    මා කර්තෘ මණ්ඩලයේ වැඩ කරන තරුණ කාන්තාවකට කතා කොට මෙම සාත්තරකාරයාට දුරකතනයෙන් කතා කොට තමන් මැතිවරණයට තරග කරන අපේක්ෂිකාවක බවට ප‍්‍රකාශ කොට තමාට ස්ථිර ජයග‍්‍රහණයක් ලබාදීමේ හැකියාව ඔහුට තිබේදැ’යි අසන ලෙස ඉල්ලා සිටියෙමි. ඇය ඔහුට දුරකතනයෙන් කතා කොට ඔහු ඊට දුන් පිළිතුර මට කීවාය. ඔහු ඊට දී තිබෙන පිළිතුර වී ඇත්තේ තමාට එසේ කළ හැකි බව හා ඒ සඳහා තමන් හමුවන ලෙසය. ඉන්පසු මා ඇය අමතා නැවත වරක් ඔහුට කතා කොට තවත් ප‍්‍රශ්න දෙකක් ඔහුගෙන් අසන ලෙස උපදෙස් දුන්නෙමි. සිංහල භාෂාවෙන් පමණක් නොව ඉංග‍්‍රීසි භාෂාවෙන්ද මුළු පිටුවක් පුරා දැන්වීම් පළකරන මෙම අපූරු සාත්තරකාරයාද එම පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයකු බැවින් ඔහුට තිබෙන බලයෙන් එම තරගය ජයගත හැකිද යන්න පළමු ප‍්‍රශ්නය විය. දෙවැනි ප‍්‍රශ්නය වූයේ ඔහුට එවැනි විශේෂ බලයක් තිබේ නම් ඔහුගේ පක්ෂය එම පාර්ලිමේන්තු මැතිවරණයෙන් දිනවීමේ හැකියාවද ඔහුට තිබිය යුතු බව හා ඔහු එසේ නොකරන්නේ මන්ද කියාය. ඇය එම ප‍්‍රශ්න දෙකද ඔහු වෙත දුරකතනයෙන් ඉදිරිපත් කළ අතර ප‍්‍රශ්න දෙකට දී තිබුණු පිළිතුරු මෙසේය. තමා එම මැතිවරණයෙන් මාතර දිස්ත‍්‍රික්කයෙන් පළමුවෙනියා වන බවත්, තමා එක්සත් ජාතික පක්ෂයද ජයග‍්‍රහණය කරවන බවත් ඒ නිසා ස්ථිර වශයෙන්ම රනිල් වික‍්‍රමසිංහ අගමැති වන බවත් ඔහු ප‍්‍රකාශ කර තිබුණි. එහෙත් ඒ මැතිවරණයෙන් ඔහු ජය ලැබුවේ නැත. ලැබී තිබුණේ අන්ත පරාජයකි. එක්සත් ජාතික පක්ෂයද එම මැතිවරණයෙන් ජයගත්තේ නැත.

    ජනමාධ්‍ය හා මිථ්‍යා විශ්වාස

    මෙම සාත්තරකාරයන්ට හා අණවිනකාරයන්ට තිබෙන හැකියාව විස්මයජනකය. අනාගතයේ විය හැකි දේවල් කල්තියා කිව හැකිය. රටට සිදුවිය හැකි අන්තරාවන්ද කල්තියා කිව හැකිය. පුද්ගලයකුගේ හඳහන බලා ඔහුගේ හෝ ඇගේ අනාගත ජීවිතය ගැන කිව හැකිය. ඕනෑම සතුරකු දින කිහිපයක් තුළ මෙල්ල කිරීමේ බලයද ඔවුන් සතුය. හැරගිය පෙම්වතා හෝ පෙම්වතිය දින කිහිපයක් තුළ දෙපා ළඟට ගෙන්වා දිය හැකිය. ඕනෑම පිරිමියකු හෝ ගැහැනියක වශී කරවාදීමේ හැකියාවද ඔවුන් සතුය. ලෙඩ දුක් සුවකර දීමේ බලයද ඔවුන් සතුය. රක්ෂාවක් නැති කෙනකුට හොඳ රක්ෂාවක් ලබාදීමේ හැකියාවද ඔවුන් සතුය.

    ඔවුන් කියන දේවල ඇත්තක් ඇතිනම් ප‍්‍රභාකරන් පරාජය කළ යුතුව තිබුණේ යුද්ධයකින් නොව අණවිනවලිනි. එසේ කළේ නම් සිදුවූ ජීවිත විනාශය වළකා ගතහැකි වන්නට ඉඩ තිබුණි. විරුද්ධ පක්ෂයේ සිටින රනිල් වික‍්‍රමසිංහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කළ යුතුව තිබෙන්නේද ආණ්ඩුවට එරෙහිව මහජනයා බලමුළු ගැන්වීමෙන් නොව ආණ්ඩුවට එරෙහිව අණවින කිරීමෙනි. ඇමති මර්වින් සිල්වා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියට ප‍්‍රසිද්ධ විවාහ යෝජනාවක් ඉදිරිපත් කරනවා වෙනුවට කළ යුතුව තිබුණේ වශී ගුරුකමක් කරගැනීමය. එසේ වී නම් ඇය ජිනීවා නොගොස් ලංකාවේම නතර වන්නට ඉඩ තිබුණි.

    මේ සාත්තරකාරයන් හා අණවිනකාරයන් කරන්නේ කිසියම් හේතුවක් නිසා විපතට හෝ දුකට පත්ව සිටීම නිසා සාමාන්‍ය බුද්ධිය මුළුමනින් හෝ කිසියම් ප‍්‍රමාණයකට අහිමි කරගත් අය රැුවටීමය. එවැනි අයගේ ඉන ඉහ අතගා ගැනීමය. ඒ බව ජනමාධ්‍ය නොදන්නවා විය නොහැකිය. ජනමාධ්‍ය, සක්විති තක්කඩියකු බව දැන දැනම ඔහුගේ වෙළෙඳ දැන්වීම් පළකිරීම මගින් කරන ලද්දේද ඒ සමාන ක‍්‍රියාවකි. ඒ මගින් සිදුවූයේ සක්විති මහජනයා රවටා ඔවුන් ගසාකෑමෙන් උපයා ගත් ධනයෙන් කිිසියම් පංගුවක් ජනමාධ්‍ය විසින් ලබාගැනීමය. දැන් සිදුවන දේ ඊටත් වඩා භයානකය. ජනමාධ්‍ය මේ රැුවටිලිකාරයන් සඳහා දැන්වීම් පළකර දෙනවාට අතිරේකව ඔවුන් ගැන පළකරන විශේෂාංග මගින් මෙම රැුවටිලිකාරයන්ට හා ඔවුන්ගේ රැුවටිලිකාර ක‍්‍රියාවන්ට පිළිගැනීමක් ලබාදීම මගින් ඔවුන්ට මහජනයා වඩා විශාල ප‍්‍රමාණයකින් රවටන්නට ශක්තිමත් වටාපිටාවක් ඇති කර දෙමින් තිබෙන්නේයැ’යි කිව හැකිය.

    මෙවැනි ක‍්‍රියා පිළිගත් ජනමාධ්‍ය ආචාර ධර්මවලට මුළුමනින් පටහැනිය. එහෙත් ඒවා පුවත්පත් පැමිණිලි කොමිසමට, පාරිභෝගික ආරක්ෂක අධිකාරියට හෝ ජනමාධ්‍ය සංවිධානවලට පෙනෙන්නේ නැත. දැන් විද්‍යුත් මාධ්‍ය ජනතාවට රාහු කාලය පමණක් නොව මරු සිටින දිසාවද කියාදෙයි. ජනමාධ්‍ය විසින් පවත්වාගෙන යන මෙම ක‍්‍රියාකලාපය සමාජය කෙරෙහි ඇති කරමින් තිබෙන ප‍්‍රතිවිපාක ඉතාමත් විනාශකාරීය. ඒ නිසා ඇතිවෙමින් තිබෙන්නේ මිථ්‍යා විශ්වාසයන්ගෙන් වැඩි වැඩියෙන් ඈත්වෙමින් තර්කානුකූලව සිතන මතන බුද්ධිමත් සමාජයක් නොව මිථ්‍යා විශ්වාසයන්ගෙන් ඇස් අන්ධ කරගත් මුග්ධ සමාජයකි. එය සිදුවෙමින් පවතින සමාජ පාදඩකරණ ක‍්‍රියාවලියේ අලූත් දිගුවක් ලෙසද සැලකිය හැකිය.

    වැඩිහිටි කන්දේ ළමා අපයෝජනය

    මේ ගැන වන මාගේ ඊළඟ නිරීක්ෂණයට යන්නට පෙර මාගේ වෘත්තීය ජීවිතයේදී මේ විෂය ගැනම මා ලැබූ විශේෂ අත්දැකීමක් කීමට කැමැත්තෙමි. කිසියම් දිනක මාගේ කාර්යාලයට ඈත දකුණින් පැමිණි පියකු ඔහුගේ පුංචි දූවරුන් දෙදෙනාට සිදුවී තිබෙන විපතක් ගැන මට කීවේය. ඔහු සංචාරක වෙළෙඳාමක නිරත පුද්ගලයෙක් විය. ඔහුගේ බිරිඳ ඔහු අත්හැරයෑම නිසා ඔහුගේ 11 හැවිරිදි හා 13 හැවිරිදි දූවරුන් දෙදෙනා බලාගැනීමේ ප‍්‍රශ්නයකට මුහුණ දෙන්නට ඔහුට සිදුවී තිබුණි. එවකට කතරගම වැඩිහිටි කන්දේ අධිපති හිමි නම ඔහුට හිතවත් කෙනකු වීම නිසා ඔහු තමාගේ දුක ඒ හිමිනමට කීවේය. ළමුන් දෙදෙනා තමන් භාරයට ගෙන ඔවුන් බලාගැනීමේ වගකීම ඒ හිමිනම භාරගත්තේය. එහෙත් එයින් ඔහුට සිදුවූයේ යහපතක් නොව මහා විපත්තියකි.

    ඔහුගේ පුංචි දරුවන් දෙදෙනා බලාගැනීමට භාරගත් මහලූ චීවරධාරියා අතින් එම ළදැරියන් දෙදෙනාම දූෂණය වී තිබුණි. ඒ බව හෙළිදරව්වීමෙන් පසු ළමුන් දෙදෙනා ආපසු භාරදෙන ලෙස පියා ඉල්ලා ඇතත්, ඔවුන් ආපසු භාරදීමට චීවරධාරියා එකඟ වී නැත. එම තාත්තාට අවශ්‍ය වී තිබුණේ ළමුන් දෙදෙනා ඔහුගෙන් ඉවත් කොට ඔහු සිදුකර තිබුණු අපරාධයට ඔහුට නීතිය මගින් දඬුවම් කරන්නටය.

    මම එම පියාගේද එකඟත්වය ඇතිව සිද්ධිය පිළිබඳව ලියන ලද වාර්තාවක් පුවත්පතේ පළ කළෙමි. ඒ වාර්තාව පළවීමෙන් පසු පොලිසිය ළමුන් දෙදෙනා සිය භාරයට ගෙන වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මහාචාර්ය නිරිඇල්ල වෙත ඉදිරිපත් කළේය. මහාචාර්යවරයාගේ නිගමනය වී තිබුණේ එම පුංචි දැරියන් දෙදෙනාම දූෂණයට ලක්වී තිබෙන බවය. මෙම චීවරධාරියා රටේ නාමධාරී අණවිනකාරයෙකි. රටේ රාජ්‍ය නායකයන් පවා අණවින කටයුතු සඳහා ඔහුගේ සහාය ලබාගැනීම නිසා ඔහු ඉතා බලවත් පුද්ගලයකු වූවා සේ ම අණවින කටයුතු සඳහා ලංකාවේ සිටින දක්ෂම කෙනකු ලෙස ප‍්‍රසිද්ධියක්ද හිමි කරගෙන සිටියේය. පොලිසිය වැඩිහිටි කන්දේ විහාරය වටලා ළමුන් දෙදෙනා පොලිස් භාරයට ගැනීමෙන් පසු මෙම චීවරධාරියා රාවයේ කාර්ය මණ්ඩලයේ වැඩ කළ තමා දන්නා කෙනකුට දුරකතනයෙන් කතා කොට කර්තෘට ජීවත්වන්නට පුළුවන්කම ලැබෙනු ඇත්තේ තවත් දින 14ක් පමණක් බව කර්තෘට කියන ලෙස දැනුම් දී තිබේ. දුරකතන ඇමතුම ලබාගත් පුද්ගලයා මට ඒ බව කී විට මට ඇතිවූයේ බියක් නොව හාස්‍යයකි. මෙම පුංචි දරු දෙදෙනාට අදාළ නඩුව විභාග වී අවසන්වන්නට පෙර මහලූ චීවරධාරියා මියගියමුත් මම තාමත් ජීවතුන් අතර සිටිමි. ඔහුගේ අණවිනවලින් මට සිදුවූ විශේෂ විපතක් නැත.

    15 වන සියවස හෝ ඒ සියවස අවසානය දක්වාම වාගේ විද්‍යාව තිබුණේ මිථ්‍යා විශ්වාසයන් සමග මිශ‍්‍රවූ තත්ත්වයකය. තාරකා ශාස්ත‍්‍රය ජ්‍යොතිෂ්‍යය සමග මිශ‍්‍රවී තිබුණි. රසායන විද්‍යාව රස ශාස්ත‍්‍රය සමග මිශ‍්‍රවී තිබුණි. ගණිතය පවා ධ්‍යාන යෝගය සමග මිශ‍්‍රවී තිබුණි. එකල කට්ටඩියා සහ විද්‍යාඥයාද වෙන් කොට හඳුනාගත නොහැකි තරමට මිශ‍්‍රවී සිටියේය.

    විද්‍යාවේ කාර්යභාරය

    විද්‍යාව හා මිථ්‍යාව අතර පැහැදිලි බෙදීමක් ඇතිවන්නේ පුනරුද යුගයේදී විද්‍යාවේ ඇතිවන මහා ප‍්‍රගමනයේදීය. කට්ටඩියා හා විද්‍යාඥයාද එකම පුද්ගලයකු නොව එකිනෙකට වෙනස් පුද්ගලයන් දෙදෙනකු බව පැහැදිලිව හඳුනා ගතහැකි තත්ත්වයක් ඇතිවන්නේ එහිදීය. එතැන් සිට විද්‍යාඥයන් විසින් මනුෂ්‍ය ජීවිත සුවපහසු කිරීම සඳහා කර තිබෙන කාර්යභාරය අසමසමවේයැ’යි කිව හැකිය. මිනිස් වර්ගයා කැලෑ ජීවිතය අතහැර වඩා ශීලාචාර තත්ත්වයකට පැමිණීමෙන් පසු අද දක්වා ගෙවී ගොස් ඇති කාලය වසර 50,000ක් ලෙස සලකතොත් අපේ ජීවිත සුවපහසු කිරීමට හේතුවී තිබෙන දේවලින් සියයට අනූපහක් තරම් දේවල් සොයාගෙන ඇත්තේ පසුගිය වසර දෙසීයක් තරම් කෙටි කාලය තුළදීය. මීට අවුරුදු තුන්සීයකට පෙර ජීවත් වූ මිනිසකු හා වර්තමාන මිනිසා අතර තිබෙන පරතරය හිතාගන්නට බැරිතරම් විශාලය. එදා මිනිසුන්ට විදුලිය නොතිබුණි. දුරකතන නොතිබුණි. මෝටර් රථ නොතිබුණි. වේගවත්ම වාහනය අශ්ව කරත්තය විය. වේගය පැයට සැතපුම් 12ක් විය. ජීවිතයට අවශ්‍ය දේවලින් වැඩි කොටසක් තමන් විසින්ම නිපදවා ගතයුතු විය. පොත්පත් ලෙස සැලකිය හැකි දෙයකට තිබුණේ පුස්කොළ පොත් පමණය. මිනිසකුගේ පරමායුෂ අවුරුදු 50කට වැඩි නොවීය. වර්තමාන මිනිසා ලබා තිබෙන දියුණුව අතිවිශාල වන අතර ඒ දියුණුව ඔවුන්ට ලැබී තිබෙන්නේ විද්‍යාවේ බලමහිමයෙනි. එහෙත් ඒ සියලූ දේවල් අපට ලබාදී තිබෙන විද්‍යාඥයාට තිබෙන මහජන පිළිගැනීම අල්පය.

    ගැලීලියෝ, නිව්ටන්, අයින්ස්ටයින් වැන්නන් මහා සොයාගැනීම් කළ විද්‍යාවේ මහා පුරුෂයන් ලෙස සැලකිය හැකිය. ඒ සොයාගැනීම් මගින් මිනිසුන්ගේ ජීවිත සුවපහසු කිරීම සඳහා සිදුවී තිබෙන සේවය දැවැන්තය. බර්ට‍්‍රන්ඞ් රසල් පෙන්වා දෙන ආකාරයට ආගමික ශාස්තෘවරුන් පවා මනුෂ්‍ය වර්ගයාගේ මෙලොව ජීවිත සුවපහසු කිරීමට හේතුවන අලූත් සොයාගැනීම් කර නැත. උන්වහන්සේලා අපට පෙන්වා දී තිබෙන්නේ අපේ මතු ජීවිත සුවපත් කරගන්නා මාර්ගයි. ආගමික ශාස්තෘවරුන්ට දස ලක්ෂ ගණනින් අනුගාමිකයෝ සිටින්නෝය. එහෙත් ගැලීලියෝ, නිව්ටන් හෝ අයින්ස්ටයින් වෙනුවෙන් පෙනී සිටින අනුගාමිකයෝ නැත. ඔවුන්ගේ ඡුායාරූපයක් එල්ලා තිබෙන ගෙදරක් කලාතුරකින්වත් සොයාගත නොහැකිය.

    විද්‍යාවේ ආධිපත්‍යය පාලනයට අදාළ දෙයක් නොව බුද්ධියට අදාළ දෙයකි. විද්‍යාත්මක සත්‍යයක් ලෙස සැලකෙන දේවල් පිළිගැනීම ප‍්‍රතික්ෂේප කරනවුන් වෙත විද්‍යාව දඬුවම් පමුණුවන්නේ නැත. එය ඍජු ලෙස හෝ අනියම් ලෙස මහජනයා බියගන්වමින් විද්‍යාත්මක සත්‍යයක් පිළිගන්නා ලෙස මහජනයාට බලකරන්නේ නැත. විද්‍යාත්මක සත්‍යයන් සැලකෙන්නේද වෙනස් නොවන වෙනස් කළ නොහැකි සදාකාලික සත්‍යයන් ලෙස නොව වෙනස් විය හැකි තාවකාලික සත්‍යයන් ලෙසය.

    විද්‍යාඥයන් කට්ටඩියන් බවට පත්වීම

    ආගම් කෙරෙහි ඇති දැඩි බැඳීම් පිළිබඳව සැදැහැවතුන් තමන් අදහන ආගම කෙරෙහි ඇති කරගෙන තිබෙන බියද කිසියම් ප‍්‍රමාණයක බලපායි. ආගමේ එන ඉගැන්වීම්වලට පටහැනිව ක‍්‍රියා නොකළහොත් ඒ තත්ත්වය මෙලොව ජීවිතය කෙරෙහි සේ ම එලොව ජීවිතය කෙරෙහිද බලපානු ඇතැ’යි කියා ඔවුහු විශ්වාස කරති. සාත්තරකාරයන්ට හා කට්ටඩියන්ට අප බියවන්නේද අපේ ජීවිත කෙරෙහි හොඳට හෝ නරකට බලපෑමේ හැකියාවක් ඔවුන්ට ඇතැ’යි කියා අප විශ්වාස කරන නිසාය. එහෙත් විද්‍යාඥයන්ට එවැනි බලයක් නැති බව අප දන්නා නිසා අපි ඔවුන්ට බිය නොවෙමු. අප තුළ ඔවුන් කෙරෙහි ඇති කරගත් බියක් නැති නිසාම විද්‍යාඥයන්ට තිබෙන මහජන පිළිගැනීමද අල්පය.

    විද්‍යාවේ තිබෙන සැබෑ තත්ත්වය එය වුවද ශ‍්‍රී ලංකාවේ ඊට වෙනස් ආකාරයකට කරුණු සිදුවෙමින් තිබෙන ආකාරයක් දැකිය හැකිය. කට්ටඩින් මහජනයා බියගන්වන ආකාරයකට සමහර විද්‍යාඥයන්ද මහජනයා බියගන්වන ආකාරයක් දකින්නට තිබෙන්නේය. සමහර විද්‍යාඥයන් සිය විද්‍යාත්මක පරීක්ෂණ සඳහා මගපෙන්වන්නන් බවට පත්කරගෙන සිටින්නේ පේනකාරයන්ය. ඉවසීමෙන් කරුණු පරීක්ෂා කර බලා හොඳින් තහවුරුවීමෙන් පසු සිය නිරීක්ෂණ ප‍්‍රකාශ කරනවා වෙනුවට දේශපාලන සිතැඟියාවන්ට අනුව මහජනයා බියගන්වන ආකාරයේ ප‍්‍රකාශ නිකුත් කරන ආකාරයක්ද දැකිය හැකිය. පොහොර හා පළිබෝධනාශක ශ‍්‍රී ලංකාවේ පරිහරණය කරමින් තිබෙන්නේ නිසි අවබෝධයකින් තොරවය. ඒ තත්ත්වය පාලනය කරනවා වෙනුවට මහජනයා බියගන්වන ප‍්‍රතිපත්තියක් යහපත් වන්නේ නැත. රජරට වකුගඩු ප‍්‍රශ්නය සමහර විද්‍යාඥයන් විග‍්‍රහ කරමින් තිබෙන්නේද සිය දේශපාලන සිතැඟියාවන්ට ගැළපෙන ලෙස මහජනයා තුළ භීතියක් ඇති කෙරෙන ආකාරයටය. කිරිපිටි ප‍්‍රශ්නය විග‍්‍රහ කෙරෙමින් තිබෙන්නේද ඊට සමාන ආකාරයටය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හාල්වල ඇතැ’යි කියන ආසනික් ප‍්‍රශ්නය විග‍්‍රහ කරමින් තිබෙන ආකාරයද ඊට සමානය. මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ඇමරිකන් විරෝධී රාජ්‍ය නායකයන් විනාශ කිරීමට ඔවුන්ට පිළිකා රෝගය වැළඳවීමේ හැකියාව ගැන ඉරිදා පුවත්පතකට අපූරු ප‍්‍රකාශයක් කර තිබුණි. එම ප‍්‍රකාශය පුවත්පතේ පළකොට තිබුණේ මුල් පුවතක් ලෙසය. ඔහු පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු නොවූවත් එම ප‍්‍රකාශය පළකොට තිබුණේ කියවන්නා තුළ එවැනි හැඟීමක් ඇතිවන ආකාරයටය. එහි ඍජු ලෙස හා අනියම් ලෙස කියා තිබුණේ අපේ රටේ අධිරාජ්‍ය විරෝ්ධී නායකයන් ඇමරිකාවට හෝ බටහිර රටවලට යනවිට අතට අතදීම්වලදී හා සිප වැළඳ ගැනීම්වලදී සූක්ෂ්ම ලෙස පිළිකා රෝගය ශරීරගත කිරීමට තිබෙන හැකියාව සැලකිල්ලට ගත යුතුව තිබෙන වැදගත් සාධකයක් වන බවය. පිළිකා රෝගය සැලකියයුත්තේ බෝ නොවන රෝගයක් ලෙස වුවත් එය බෝ වන රෝගයක් ලෙස සමාජ ගතකිරීමට දරන සාහසික උත්සාහයක් ක‍්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබේ.

    මෙසේ අපේ රටේ සමහර විද්‍යාඥයන්ට කට්ටඩින්ට මෙන් මහජනයා බියගැන්වීමට අවශ්‍ය වී තිබෙන්නේ ඇයිද යන ප‍්‍රශ්නයට දියහැකි පිළිතුර කුමක්ද? මහජනයා බියගැන්වීම මගින් වීරයකු බවට පත්වීම වීරයන් වීමට සිහින දකින අයට ඒ තත්ත්වය දිනාගැනීමට විවිධ ක‍්‍රම අතර තිබෙන ඉතාමත් අශීලාචාර වුවද සරලම හා පහසුම ක‍්‍රමය ලෙස සැලකිය හැකිය. භීතිය ඇති කළ විට භීතියට පත්වන ජනයා භීතියට හේතුවන අනතුර ජයගැනීම සඳහා ගැළවුම්කාර වීරයකු සොයා යන තත්ත්වයකට පත්වේ. එකම පුද්ගලයා මෙහිදී භීතිය වගා කරන්නකු හා ඒ භීතියෙන් මහජනයා මුදාගන්නා වීරයකු ලෙස ක‍්‍රියා කරයි.
     
    Last edited: