කරුණාකරල මේකෙන් එතෙරවෙලා යන්න 🙏🍃🥀

corxv

Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    උබ මුලින් පලයන් අපි පස්සෙන් එන්නම්
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo


    ජැකා.., ඔබ කමටහනකි...

    ජැකා..ඔබ විශිෂ්ඨ රංග ධරයෙකි..
    නමුත් ඔබට මරණය නම් ජවනිකාව ඉක්මවීමට නොහැකි විය...

    ඔබ විවිධ විෂයන් පිලිබඳව දැනුමින් පිරිපුන් මිනිසෙකි..
    විටෙක විශ්ව කෝෂයකි..
    නමුත් ඔබට කර්ම විෂය ඉක්මවා ලිය නොහැකි විය...

    ඔබ ආකර්ෂණීය පෞරුෂයකි..
    ජනප්‍රිය චරිතයකි..
    එහෙත් ඒ කිසිවකින් ඔබේ මරණය වලකා ලිය නොහැකි විය...

    ඔබ කදිම දේශකයෙකි..
    වාදයේදී ඔබ බොහෝ චතුරය..
    එහෙත් ඔබ මාරයා හමුවේ පරාජය විය..

    ඔබට කදිම දරුවන් තිදෙනෙකු විය..
    සුන්දර බිරිඳත් විය...
    ඔබට ආදරය කරන්නෝ බොහෝ විය..
    ඒ කිසිවෙකුට ඔබව බේරා ගත නොහැකි විය..

    ඔබ සමඟ ජීවිතය බෙදාගත් අය ..
    ඔබේ සතුටට හේතු වූ අය සිටියද..
    ජැකා, ඔබ වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ අවිඥානිකව විඳි කිසිදු දෙයක් බෙදා ගැනීමට ඒ කිසිවෙකුට නොහැකි විය..

    ඔබ සම්මානනීය නළුවෙකි..ඔබ සතුවූ සම්මාන රැසකි..
    සම්මාන අතේ දරාගත් ජය ආනන්දනීය රාත්‍රී වල ඔබේ මුහුණෙහි වූ ප්‍රහර්ෂය මට දැනටත් සිහිපත් වේ..
    නමුත් ඒ සියලු සම්මාන අද ඇතත්..ඒවා දැරූ ඔබ නැත..
    අද ඔබේ මියගිය මුහුණේ ඒ කිසිදු සංඥාවක් නැත..
    සියල්ල අතැර ඔබ නික්ම ගොස් ඇත ..

    ජැකා අද උදෑසන පටන් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ජාලා වල ඔබේ සේයාරූ සංසරණය වේ..
    ඔබට කදිම පෙනුමක් තිබිණි..
    වෙස් ගැන්වීමෙන් ඔබ විවිධ චරිත ආරෝපණය කර ගත්තේය..
    ඒත් රෝහල් ඇඳක් මත වසරකට ආසන්න කාලයක් අවිඥානකව ගත කල ඔබේ පෙනුම අද හැඳිනිය නොහැකි තරම් වෙනස් වී ඇත්තේ
    අනිත්‍ය නම් වෙස් ගැන්වීමෙනි..

    ජැකා ..ගිනි අවි හා ගිනි කෙළි සිනමා පටයේ මෙන්ම තවත් බොහෝ සිනමා පට වල
    ඔබ ත්‍රාසජනක ජවනිකා වලට පණ දුන්නේය
    නමුත් ඔබ එදා මුහුණ දුන් මාරක භීතියෙන් පිරුණු සැබෑ අනතුර නම් කිසිවෙකු කිසිදා සිහිනයකින් වත් නොසිතන ආකාරයේ එකකි..
    මරණයට කොපමණ බිහිසුණු ක්‍රම තිබිය හැකිදැයි ඔබ මතක් කර දුන්නේය..

    ජැකා..ඔබේ අවසන් කටයුතු සිදුවන තුරු මිනිසුන් ඔබ ගැන කතා කරනු ඇත
    ඉන් ඉක්බිති කිහිප දිනෙකින් ඔබව ඔවුන්ගේ මතකයෙන් ගිලිහී යනු ඇත ..
    සියළු අගැයීම් සම්මාන ආදරය මෙන්ම ඔබේ පෞද්ගලික දේශපාලන මත නිසා ඔබ කෙරෙහි සමහරුන් තුල තිබූ වෛරයද අනිත්‍ය වී මැකී යනු ඇත ..
    ඔබත් මේ මිහිමත සිටි හුදු එක් මිනිසෙකු පමණක් වනු ඇත ..

    මම ඔබ තුලින් මගේ මරණය දකිමි..
    ඔබ විඳි මාරාන්තික වේදනා තුලින්..මරණ බිය
    මරණ වේදනාව පසක් කර ගන්නට වෑයක් කරමි..
    ඔබේ නික්ම යෑම තුලින් ජීවිතයේ ඇති අපිස් බව වටහා ගන්නට තැත් දරමි..
    ඇතිවීම ,පැවතීම ,නැතිවීම යන ලෝක ධර්මතාවය මිස අමුතුවෙන් යමක් ඔබට සිදු නොවූ බවද...මා ද එහි නිසැක ගොදුරක් බවම තේරුම් ගනිමි...

    ඔබ මෙන්ම මාද මේ රඟ මඩලට ආවේ කොහි සිටදැයි නොදනිමි..
    ඔබ සේම මෙයින් නික්මී යන්නේ කොයිබටදැයි නොදනිමි..
    මරණ මොහොත කොයි මොහොතේ කෙලෙස වේ දැයි නොදනිමි..
    එහෙත් යා යුතු බව දනිමි..
    එනිසාම ඒ සඳහා සුදානම් විය යුතු බව ඔබේ මරණයේ ස්භාවය මට කියා දෙයි..

    වටිනුයේ අතින් අල්ලාගෙන මගේ කරගත් දේ නොවන බව ඔබ කියා දෙයි....

    භෞතික දේ කොතරම් නොවටිනා දේ දැයි ඔබ කියා දෙයි...
    සියල්ල උපයාගෙන තිබියදීත් මිනිසුන් කෙතරම් අසරණ වේ දැයි ඔබ සිහිපත් කර දෙයි

    කීර්තිය ,ධනය මිනිසුන්ව කෙතරම් රවටන සුළුදැයි ඔබ කියා දෙයි...

    මරණය ළඟ විශිෂ්ඨයින් පවා කෙතරම් අසරණ දැයි ඔබ කියා දෙයි..

    ඉතින් ජැකා..ඔබ ,ඔබේ මරණය මට කදිම කමටහනකි..
    මට ඔබ අනිත්‍ය සංඥාවකි..
    මරණානුස්මෘතියකි...

    ඉතින් හුදෙක් නිවන් සුව ලැබේවායි නොකියමි..

    මට කමටහනක් වූ කුසලයම ඔබට ඔබේ ජැක්සන් ඇන්තනී සංඥා නාමයට පෙරලා අනුමෝදන් කරමි..
    ඔබේ භවගාමී ජීවිතය සුඛිත වනු පිණිස එය අනුමෝදන් වේවා..
    සසරින් මිදීමේ ප්‍රඥාව සහිත නිදුක් භවයකට ඔබේ සම්ප්‍රාප්තිය සිදු වේවා ..🙏🙏🙏

    ... සමන්තී දේශප්‍රිය ...
    09.10.2023
    ------ Post added on Oct 10, 2023 at 9:56 AM