කාර් ගැන කතා
දර්ශන අලුතින් මෝටර් රථයක් මිලදී ගැනීමට සිතුවේ ළඟ ළඟ එන තම විවාහයේ අවශ්‍යතා නිසා මෙන් ම තම සිහිනයක් සැබෑ කර ගැනීමේ අටියෙනි. ඔහු අලුත් මෝටර් රථයෙන් ගොස් තම අනාගත බිරියගේ නිවෙස ඉදිරිපිට එය නවත්වා බිමට බටුයේ සිනාවක් මුවඟට නංවා ගනිමිනි.
තම අනාගත බෑණාගේ අලුත් ම මෝටර් රථය දැකීමෙන් උදම් වූ මාමණ්ඩි මෙසේ ඇසී ය.
“ගැලුමට කීයක් වැඩ කරනවද පුතා?”
“අල්ලපු ගෙදර එකට වඩා අලුත් නේද?” එය ආශාවෙන් අතගා බැලූ නැන්දම්මා ඇසුවා ය.
“කොච්චර හයියෙන් යන්ඩ පුළුවන්ද? ඉදිරිපස අසුනේ වාඩි වී සුක්කානම කරකවා බැලූ බාල මස්සිනා ඇසීය.
“මුන්ට මේ හදිස්සියෙ කාර් එකක් ගන්ඩ සල්ලි හම්බවුණේ කොහෙන්ද අනේ! අල්ලපු ගෙදර බිරිය වහා දුවවිත් ඉදිරිපස දොර මඳක් විවර කර බලා ඉරිසියාවෙන් කට ඇද කර තම සැමියාගෙන් ඇසුවා ය.










