කිම්බේ රතු තොල් නීතිය.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    17-65_cleanup.png


    තමන් හිතන හිතන ආකාරයට රටේ ජනතාවට නීති පමුණුවමින්, ලෝකයටම පුවත් මවන උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් මෙවර හැරී ඇත්තේ ගැහැනුන්ගේ තොල් ආලේපන දෙසටය. කිම් උතුරු කොරියානු ගැහැනුන්ට සිය තොල් රතු කිරීම තහනම් කර තිබේ. ඒ පසුගිය සතියේ සිටය. ඔහු මේ තහනම පනවා ඇත්තේ වෙනත් කිසිදු හේතුවක් නිසා නොවේ. එය ධනවාදී රටවල මෝස්තරයක් යැයි කියමිනි. රතු පැහැය කොමියුනිස්ට් වාදයේ පැහැය ලෙස මුළු ලෝකයේ ම පිළිගැනුන ද කිම් කියන්නේ තොල් රතු කිරීම ධනේශ්වරවාදයේ සලකුණක් බවයි. එපමණක් නොව කැපී පෙනෙන ලෙස වේශ නිරූපණ (මේකප්) භාවිතය ද උතුරු කොරියාවේ මෙයට පෙර අවස්ථාවකදී තහනම් කෙරිණි. එයට හේතු වශයෙන් කිම් සඳහන් කළේ කැපී පෙනෙන වේශ නිරූපණය බටහිර බලපෑමේ සංකේතයක් බවයි. කිම්ගේ මෙම පැහැදිලි කිරීමට අනුව ගැහැනුන්ට වේශ නිරූපණය කිරීම සඳහා ඉඩ ඇත්තේ අවම මට්ටමෙනි.

    රතු පැහැ තොල් ආලේපන, වේශ නිරූපණයන් පමණක් නොව ඇතැම් ඇඳුම් වර්ග ඇඳීම ද උතුරු කොරියා බලධාරීන් තහනම් කර තිබේ. ඇඟට හිර වන සේ අඳින බ්ලවුස්, නිල් පැහැති ඩෙනිම් කලිසම් ඒ අතර ඇත. ශරීරයේ තැනින් තැන සිදුරු කර කරාබු පැලඳීම ද එහි තහනම් ය. පිරිමින්ට මෙන්ම ගැහැනුන්ට ද තමන්ට රිසි කොණ්ඩා මෝස්තරයක් අනුව කොණ්ඩය කපා ගැනීමට අවසරය එරටෙහි නැත. ගැහැනුන් සහ පිරිමින් තම කොණ්ඩා සැකසුම සිදු කළ යුත්තේ රජය අනුමත කර ඇති කොණ්ඩා මෝස්‌තර කිහිපයෙන් එකකට අනුගත වෙමින් පමණි. මෙයට අමතරව කිම් ජොන්ග් උන් භාවිත කරන ඇතැම් මෝස්‌තර සහ විලාසිතා සාමාන්‍ය ජනයාට තහනම්ය. කිම් උන් අඳින කළු පැහැ කබාය මෝස්තරයට සමාන මෝස්තරයේ කළු පැහැ කබායන් ඇඳීමට සාමාන්‍ය ජනයාට ඉඩක් නැත. එසේ ම ඔහුගේ කොණ්ඩා මෝස්තරය ද එරට සෙසු කිසිවකුට ද තහනම්ය.


    එම කොපි කිරීම් කිම් තහනම් කර තිබෙන්නේ තමන් උත්තරීතර නායකයා ය යන ගෞරවය රැක ගැනීම සඳහා බව බොහෝ විචාරකයෝ පෙන්වා දෙති.

    කිම් උන් පනවන මෙවැනි නීති කඩ කිරීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි. පනවනු ලබන එකී නීති කඩ කරන්නේදැයි නිරීක්ෂණය කිරීම සඳහා එරට පොලිසියේ විශේෂ ඒකකයක නිලධාරීහු සේවයේ යොදවා සිටිති. එම පොලිස් ඒකකය එරට බසින් හැඳින්වෙන්නේ “Gyuchaldae” යනුවෙනි. එහි අරුත "විලාසිතා පොලිසිය" යන්නයි. එහි නිලධාරීන් සහ නිලධාරිනියන් සාමාන්‍ය ජනයා අඳින පලඳින ආකාරය පිළිබඳව නිතර ම සෙවිල්ලෙන් පසුවෙති. අනුමත නීතින්ගෙන් බැහැරව කිසිවකු අඳින්නේ නම් හෝ පලඳින්නේ නම් හෝ ඒ සඳහා ලබාදෙන දඬුවම් ද නියම කර ඇත.

    නීති කඩ කරන පිරිස් එරට දේශසීමාවන් වෙත රැගෙන ගොස් දමන බව සඳහන් වේ. එහිදී ඔවුන්ට බොහෝ දුක් කරදරවලට මුහුණ පාන්නට සිදු වේ. ඒ, ඔවුන් සිදු කළ වරදට දඬුවම් වශයෙනි. ඇතැම්විට ඔවුන් දඩ ගෙවීමක් ද සිදු කළයුතු ය. වරදකරුවන් වන අයවළුන් සමාජයේ පෙනී සිටීම ද වළකනු ලැබේ. අණ නොතකා ඇඳුම් ඇඳ තිබුණහොත් ඔවුන්ගේ ඇඳුම් තවදුරටත් ඇඳීමට නොහැකි වන ලෙස, එවෙලෙහිම කපා දමන බව ද සඳහන් වේ. මෝස්‌තර නීති නොසලකා අඳින පලඳින කෙනකු ඇතැම් විට ජීවිතාන්තය තෙක් පැනවෙන සිර දඬුවමකට වුව ලක් විය හැකි ය. ඒ හැරුණුවිට වධ දීම්, සේවයෙන් පහකර කම්කරු සේවයේ යෙදවීම වැනි දඬුවම්වලට පවා වරදකරුවන්ට යටත් වන්නට සිදු වේ.

    කිම් ජොන්ග් උන් සිය රටේ භාවිතය තහනම් ලක් කළ ද රතු තොල් ආලේපන ගැල්වීම වසර දහස් ගණනක් පැරණි කලාවකි. ඒ සම්බන්ධ ඉතිහාසය අඩු තරමින් වසර පන්දහසකට වඩා පැරණි බව කීමට සාක්ෂි හමු වී ඇත. ක්‍රි.පූ. 3500දී පමණ පුරාණ මෙසපොතේමියාවේ විසූ පුවාබි (Puabi ) නොහොත් ෂුබාද් (Shubad) නම් රැජින රතු තොල් ආලේපනයන් සිදු කළ බවට සාක්ෂි ලැබී ඇතැයි පුරා විද්‍යාඥයෝ පවසති. සුදු ඊයම් සහ තළා දමන ලද රතු පාෂාණ මිශ්‍රණයක් ඈ භාවිතයට ගෙන තිබේ. ඈ එවැනි තොල් ආලේපනයක් සිදු කර තිබෙන්නේ ඇගේ බලය සහ තත්ත්වය සංකේතවත් කිරීමට බව කියැ වේ.

    බොහෝ ධනවත් සුමේරියන්වරුන් කුකුළු කටුවල ගබඩා කර තබා ගෙන තිබුණු තොල් වර්ණක භාවිතයට ගෙන ඇතැයි කැණීම්වලින් අනාවරණය වී තිබේ. පුරාණ ඊජිප්තුවේ වාසය කළ වංශාධිපතීහු තොල් මත තද රතු පැහැයෙන් මෝස්‌තර කිරීමට කැමැත්තක් දැක්වූ හ. ඒ සඳහා ඔවුන් භාවිතයට ගෙන තිබෙන්නේ දුම්මල සමග මිශ්‍ර කළ රතු හිරියල් මිශ්‍රණයක් බව පුරා විද්‍යාඥයෝ පෙන්වා දෙති. ක්ලියෝපැට්රා රැජින ද ඉතා තද රතු පැහැයෙන් තොල් වර්ණවත් කරන්නට කැමැත්තක් දැක්වූ බව මේ වනවිට කර ඇති පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.

    රතු තොල් ආලේපන මගින් අතීතයේදී විවිධ කාර්යයන් සංකේතවත් කෙරුණු බව ද විද්‍යාඥයෝ පවසති. පුරාණ ග්‍රීසියේ ලිංගික ශ්‍රමික කාර්යයෙහි නිරත කාන්තාවන් රතු තොල් සහිතව සැරසී සිටි බව හෙළි වී ඇත. ඔවුන් භාවිත කළ රතු තොල් ආලේපනය සකසාගෙන තිබෙන්නේ මල්බෙරි, මුහුදු පැළෑටි, බැටළු දහදිය සහ කිඹුල් අසූචි වැනි දේ ඒකරාශී කරගෙන ය. එවැනි තොල් ආලේපනයන් සිදු කර නොගෙන ලිංගික ශ්‍රමික කාර්යයෙහි යෙදෙන කාන්තාවන් ප්‍රසිද්ධියේ පෙනී සිටියහොත් එය අයුතු ලෙස කාන්තාවන් පෙනී සිටීම ලෙස සලකා දඬුවම් ලබා දී ඇති බව පර්යේෂිකා සාරා ඊ. ශාෆර් අධ්‍යයනයකින් අනතරුව තහවුරු කර තිබේ. මධ්‍යතන යුගයේදී බටහිර යුරෝපා ජාතික ක්‍රිස්තියානි කාන්තාවන් රතු පැහැ තොල් ආලේපන සලකා තිබෙන්නේ දෙවියන් වහන්සේ අවධාරණය කරන නිහතමානී බව සහ ස්වභාවික සුන්දරත්වයට පටහැනි දෙයක් වශයෙනි.

    එංගලන්තයේ පළමු වැනි ජේම්ස් රජු (1603 -1625) සමයේදී රූපලාවාණ්‍ය ක්‍රම කෙරෙහි මායා කර්ම සෙවණැල්ලක් ඇතැයි සලකා කටයුතු කර තිබේ. රූපලාවාණ්‍ය භාවිතයට ගෙන අලංකාර ලෙස ඇඳ පැලඳ කාන්තාවන් පිරිමින් රවටා විවාහ කර ගැනීම් 1770 පමණ වනවිට බටහිර සමාජයේ දැකිය හැකි වී යැයි සඳහන් වේ. එවැනි කාන්තාවන් මායාකාරියන් ලෙස හඳුන්වා දෙන්නට ද එම සමාජයේ සාමාජිකයන් පසුබට නොවී ඇත. ස්ත්‍රීන්ට ඡන්ද බලය දිනා ගැනීම සඳහා එක්දහස් නවසිය විසි ගණන්වලදී ගෙන ගිය කාන්තා අයිතීන් පිළිබඳ සටන්වලදී රතු පැහැති තොල් ආලේපන වෙසෙසින් භාවිතයට ගෙන ඇත. එනිසා රතු පැහැයෙන් තොල් ආලේපන කිරීම එකල හැඳින්වී තිබෙන්නේ විප්ලවීය වේශ නිරූපණයක් වශයෙනි. එළිසබෙත් කැඩී ස්ටැන්ටොන්, චාර්ලට් පාර්කින්ස් ගිල්මන් සහ එමලීන් පැනක්හර්ස්ට් වැනි විප්ලවවාදිනියන් රතු පැහැ තොල් ආලේපන ද එකතු කරගෙන සිය විප්ලවය ඒ අන්දමට ගෙන ගිය බව ඉතිහාසයේ සඳහන් වේ. රතු පැහැ තොල් ආලේපන විප්ලවීය කටයුතුවලදී භාවිත කිරීම දෙවන ලෝක යුද සමය දක්වා ම පැවැතියේ ය. දෙවන ලෝක සංග්‍රාමයේදී දේශප්‍රේමී ස්ත්‍රීත්වය සමග රතු පැහැ තොල් ආලේපන භාවිතයට පැමිණියේ "රතු සමග සටන් කිරීම", "ජයග්‍රාහී රතු" වැනි සටන් පාඨ ද මුල් කරගෙන ය. එවන් දීර්ඝ ඉතිහාසයක් ඇති රතු පැහැ තොල් ආලේපනවලට උතුරු කොරියාවේ කිම් උන් මේ සිදු කරන්නේ කුමක්දැයි නොවිමසා බැරි ය.


    (මංජුලා විජයරත්න)
     
    • Like
    Reactions: AnuradhaRa

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    අපේ රටටත් මේ වගේ ආදර්ශවත් නායකයකුගේ අවශ්‍යතාවය දැඩි ලෙස දැනී ඇති. එයට සුදුසුම විකල්පය ලෙස මා මේ මොහොතේ දකින්නේ මාලිමාවය. මාලිම නායක අනුර කුමාර දිසානායක සහෝදරයාද කිම් ට සමාන නායකත්වයක් දැරිය හැකි නායකයෙකි.
     
    • Haha
    Reactions: Shamal3001

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,469
    113
    අපේ රටටත් මේ වගේ ආදර්ශවත් නායකයකුගේ අවශ්‍යතාවය දැඩි ලෙස දැනී ඇති. එයට සුදුසුම විකල්පය ලෙස මා මේ මොහොතේ දකින්නේ මාලිමාවය. මාලිම නායක අනුර කුමාර දිසානායක සහෝදරයාද කිම් ට සමාන නායකත්වයක් දැරිය හැකි නායකයෙකි.

    Gotabaya-Rajapaksa.jpg
     

    Similar threads