


හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිරගත කර සිටින බවට දැන් කිඹුල් කඳුළු හලන අය එදා ඊළාම් යුද්ධය කරගෙන ගිය කාල සීමාවේ ඔහුට පක්‍ෂව වචනයක්‌වත් කතා කළේ නැතැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.
හිටපු හමුදාපතිවරයා වසර 40 ක් කළ සේවයෙන් ඉවත්වී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග ජනාධිපති තරගයට ඉදිරිපත් වන තුරු ඔහු එදා යුද්ධය කළ ආකාරය ඒ කිසිවෙක් අගය කළේ හෝ පැසසුවේ නැති බවත් ආරක්‍ෂක ලේකම්වරයා කියයි.
සරත් ෆොන්සේකා දේශපාලනයට අවතීර්ණ වූ හැටි ඔහුගේ අලුත් මිතුරන් හට අමතක වෙලා. සිරගත කිරීම ගැන දැන් විවිධ කතා කියන්නේ ඊළාම් යුද්ධය අවසන් වුණාට පසුව දේශපාලන වශයෙන් රටේ ඇතිවී තිබෙන දේශපාලන ස්‌ථාවරභාවය, යහපත් තත්ත්වය යටපත් කරන්නයි. විපක්‍ෂය ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේ රටට ඉතාමත් හානිදායක අන්දමටය වන්නි නැගෙනහිර ප්‍රදේශයේදී යටත්වීමට පැමිණි කොටි සාමාජිකයන්ට වෙඩි තැබීමට මා නියෝග කළැයි ප්‍රසිද්ධියේ කීම මොනතරම් හානිදායක ප්‍රකාශයක්‌ද. ඔහු කළ ඒ අසත්‍ය ප්‍රකාශය ගැන එක්‌සත් ජාතික පක්‍ෂය හා ජනතා විමුක්‌ති පෙරමුණ කියන්නේ මොනවාද. ඒ ප්‍රකාශය පදනම් කරගෙන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පරීක්‍ෂණයකුත් ආරම්භ කළා. දේශපාලන වශයෙන් තැනක් නැතිව බංකොලොත් තත්ත්වයට පත්ව සිටින දේශපාලනඥයන් යළි නැගී සිටීමට කරන කතා ගැන ජනතාව ප්‍රවේශම් විය යුතුය. දැන් සරත් ෆොන්සේකාට සමීප වී සිටින පුද්ගලයන් එදා යුද්ධය කළ අවධියේ එනම් 2007-2008 අය-වැය පරාජය කිරීමට සෑම උත්සාහයක්‌ම ගත්තා. එදා අය-වැය පරාජය වුණා නම් රට අරාජික වෙනවා. යුද්ධයත් පරදිනවා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් යුදමය වශයෙන් පරාජය කිරීමට දායක වූ, සැලසුම් නිර්මාණය කළ පුද්ගලයෙක් රටේ දේශපාලන බලය කෙසේ හෝ අල්ලා ගැනීමට උත්සාහ කරන දේශපාලනඥයන්ට උදව් කිරීම කනගාටුදායකයි. සරත් ෆොන්සේකා හමුදාපතිව සිටි අවධියේ මේජර් ජනරාල් පරාක්‍රම හමුදා අධිකරණයක් හමුවට පමුණුවා දඬුවම් කළා. සුළු වැරදි කළ හමුදා නිලධාරීන් විශාල පිරිසක් සරත් ෆොන්සේකා හිතූ මනාපෙට ගෙදර යෑව්වා. දඬුවම් කළා.
ඊළාම් යුද්ධය ජයග්‍රහණය කළේ හමුදාවල සංඛ්‍යාව දෙගුණ කිරීමට ජනාධිපති රාජපක්‍ෂ මහතා අනුමැතිය දුන් නිසායි. යුද හමුදාව මෙහෙය වූ සරත් ෆොන්සේකාත් යුද ජයග්‍රහණයේ කොටස්‌කරුවෙක්.
මාණ්‌ඩලික ආරක්‍ෂක ප්‍රධානී තනතුර අලුතින් ඇති කර සරත් ෆොන්සේකාට එම තනතුර දෙනවාට ජනතා විමුක්‌ති පෙරමුණ එදා විරුද්ධ වුණා. ඒක මහා මෝඩ වැඩක්. රටේ මිලිටරි ආඥදායකත්වයක් ඇතිවීමට ඉන් මඟ පෑදෙනවා යෑයි ජ.වි.පෙ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. නමුත් අද ජ.වි.පෙ. කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්.