කිරිබත්ගොඩ ඥානානන්දගේ වැදි බණ

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කිරිබත්ගොඩ ඥානානන්දගේ වැදි බණ

    කිරිබත්ගොඩ ඥානානන්දගේ ‘වැදි බණ‘ -ථෙරවාදයද? චෝරවාදයද? -අංක 33

    Therawada--Chorawada-33_zpswsqin5pu.jpg


    (ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.03, ප.ව‍‍‍‍.11.30) “එක්තරා වස් කාලයක දී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය “වේරඤ්ජාව“ කියන ගමේ වස් සමාදන් වුණා. ඒ “වේරඤජ” නම් බ්‍රාහ්මණයාගේ ආරාධනාවෙන්. නමුත් වස් කාලය පුරාවට සිවුපිසයෙන් උපස්ථාන කිරීම ඔහුට අමතක වුණා. ඒ නිසා ස්වාමීන් වහන්සේලාට පිණ්ඩපාතයේ වැඩීමට සිදුවුණා. නමුත් ඒ කාලය පුරාවට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානය පිණිස ලැබුණේ අශ්වයන්ගේ ආහාර පිණිස යොදා ගන්නා යවහාල් පමණයි. නමුත් ලද පිණ්ඩපාතයෙන් සතුටුවන උන්වහන්සේලා යවහාල් කොටා සාදාගත් ගුලි අනුභව කරමිනුයි ඒ කාලය ගත කළේ. මේ සිද්ධිය දුටු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ලද දෙයින් සතුටුවීමේ ගුණයට සාධුකාර පැවැත්වූවා. “පින්වත් මහණෙනි මේ විදිහට රහතන් වහන්සේලා යවහාල් පමණක් වළඳා සතුටින් වාසය කළ බව අනාගතයේ මිනිසුන් දැන ගත්තොත් ඔවුන් රසමසවුළු පිරි සූප වෑඤ්ජනයන්ට ඔච්චම් කරාවියි” වදාළා.“

    ඉහතින් දැක්වෙන්නේ කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් විසින් සිය බුදුසරණ අන්තර්ජාල කලාපයෙහි පළකර තිබූ ධර්මානුශාසනාවක කොටසකි. එහි මෙසේද දැක්වේ.
    “බුදුරජාණන් වහන්සේ නිතර නිතර ස්වාමීන් වහන්සේලාට අවවාද කළේ ලැබුණු සිවුරකින්, ලද පිණ්ඩපාතයකින්, ලද කුටියකින්, ලද ගිලන් පසකින්, ලද බෙහෙතකින් සතුටු වෙමින් හංසයන් මෙන් නිදහස් ජීවිතයක් ඇතිකර ගන්නා ලෙස යි“ ඥාණානන්ද හිමියන් මෙසේ ලියා වදාරන්නේ බණ පොත්වල ඇති කරුණු කාරණාය. එහි වරදක් නැත. ඉතා යහපත්ය.



    අප දන්නා පරිදි උන්වහන්සේ ලංකාව ඇතුළු රටවල් කීපයකම පවත්වාගෙන යන “අසපු“ නමින් හැඳින්වෙන අතිශය සුඛෝපබෝගී භික්ෂුවාස හැට හතරක ආධිපත්‍යය දරණ හිමි නමකි. මෙයින් බොහෝමයකටම මා ගොස් ඇත. ඒ සියල්ලක්ම එකකට එකක් නොදෙවෙනි තරමට මනරම්ය. ස්වාමීන් වහන්සේලා වැඩවාසය කරන කුටි ධර්මශාලා, දානශාලා, බුදු මැඳුරු, චෛත්‍යය, පියගැට පන්ති, රන් වැට සහිත බෝධි බැමි, සුදු වැලි අතුල සළපතල මළු, වලාකුළු බැමි ඇතුළු මෙකී නොකී සියල්ලක්ම අත්‍යාලංකාර ලෙස නිමවා තිබේ. අසපුවකට පිවිසෙන ඔනෑම අයෙකුගේ සිතෙහි හටගන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණික භාවයන් නොව නිත්‍ය, සුඛ, ආත්ම, යන සුභවාදී හින්දු සංකල්පයන්ය. මටද සිතුනේ සසරින් එතර වීමට නොව සසරෙහි නතරවීමට ය. එතරම්ම මේ ‘අසපු‘ පසිඳුරන් වශී කරන සුළුය. බුදු මැඳුරෙහි මලසුනත් හාත්පසත් නුවරඑළියෙන් ගෙන්වන ලද ඉතා වටිනා විසිතුරු මල් මෝස්තර වලින් අලංකාර කර තිබුනි. මෙම මල් රටපුරා ඇති අසපුවලට සැපයෙන්නේ නුවරඑළියේ ඇති තවත් අසපුවකින් බව එක් උපාසක මහතෙකු මට පැවසුවේ මහත් ශ්‍රද්ධාවෙන්ය. ඒ සඳහා වැයවෙන බරපැන අසපු දායකයන් විසින් ඉතා කැමත්තෙන්ම භාරගන්නා බවද ඔහු කීය. අසපුවකට දන් වේලක් දීමට දිනයක් වෙන්කරවා ගැනීමද ඉතා අසීරුය. සිද්ධාර්ථ පූජා, මහාමායා පූජා, වැනි අළුත් අළුත් පූජා හඳුන්වාදීම ද ‘අසපු‘ දායකයන්ගේ ප්‍රසාදයට හේතුවී තිබේ. ‘අසපු‘ තුලින් ඇසෙන්නේ ද ප්‍රේතයන් සහ දෙවියන් ගැන කියවෙන බණ කථාය. නොදෙන්නෝ මරණින් මතු ප්‍රේතයන් වීද දෙන්නෝ දෙවියන් වීද ඉපිද විඳින දුක සැප ගැන ඒ ධර්ම දෙශණා තුලින් ඉතා සංවේදීව විග්‍රහ කෙරේ. එබැවින් කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් සහ උන්වහන්සේගේ ශාසනයෙහි පැවිදිව සිටින ස්වාමීන් වහන්සේලා පමණටත් වඩා ලද දෙයින් සතුටුව මහණදම් පුරති. එහෙත් ඥාණානන්ද හිමියන්ගේ අන්තර්ජාල වැදෑරීමහි ඇති පහත දැක්වෙන සඳහන නම් තරමක් අපහැදිලි ය. එය මෙසේය.
    “තමන් නො ලද අන් අය භුක්ති විඳින කාමයන් කෙරෙහි ලොබ බැඳගත් කළ බොහෝ දෙනා කටයුතු කරන්නේ යහපත, අයහපත පිළිබඳව වගක් නො මැතිව ය. නොමඟට හෙළන යම්තාක් අකටයුතුකම් පවතීද ඒ සෑම දෙයකට ම මුල තමා ලද දේ පිළිබඳව සතුටට පත්වීමට නො හැකියාව හා ඒ දේවල් අනුන් ලබා ගැනීම දරා ගැනීමට නො හැකිවීම යි“.

    උන්වහන්සේ මේ පවසන්නේ වෙනත් විහාරස්ථානවල වැඩවාසය කරන භික්ෂූන්වහන්සේලා අසපුවාසි ස්වාමීන්වහන්සේලාගේ සුඛවිහරණ මෝක්ෂ්‍ය ප්‍රීතිපදාවට ඊර්ෂියා කරන බවද? සමහර විට එය එසේ විය හැකිය. මහායාන සහ හින්දු පූජා සම්ප්‍රදායන් මත ක්‍රියාත්මකවන ‘අසපු ව්‍යාපාරය‘ ථේරවාදී බදු දහම විනාශ කරනවා යැයි රටේ දැන උගත් යතිවරයණන් වහන්සේලා චෝදනා කරන්නේ, ලද දෙයින් සතුටුව ඔබ වහන්සේ භුක්තිවිඳින කාමයන් කෙරෙහි ඇති කරගත් ‘ද්වේෂය‘ නිසාද විය හැකිය.


    එහෙත් “මේ අනුව ලද දෙයින් සතුටට පත්වීමට නොහැකි බව තුලින් සමාජයට සිදුකර ඇත්තේ සුළුපටු විනාශයක් නො වේ“යැයි සඳහන් කරමින් ඥාණාන්නද හිමියන් සිය අන්තර්ජාල ලිඛිත දේශනාවට අවසන් නිගමනයක් ලබා දීමෙන් ඉතා පැහැදිලිවම කියන්නේ ‘උන්වහන්සේට ලැබුන දෙයකින් සතුටු වෙයල්ලා‘ යැයි කියන්නේ ගිහියන් වන අපට බවය. අනේ හාමුදුරුවනේ..! ලද දෙයින් සතුටුවිය යුත්තේ අනුන්ගෙන් පිණට යැපෙන්නන් මිස සිය ආර්ථික ගැටළු තමන් විසින් ලිහා ගතයුතු ගිහියන් නොවන බව කණගාටුවෙන් වුවද මතක් කරමු.


    චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිවු පසයෙන් ගිහියන්ට තම දරුපවුල් නඩත්තු කළ නොහැකිය. ඇඳුම් ආහාරපාන නිවාස බෙහෙත්හේත් වශයෙන් ගත්කළ මේවා ද භික්ෂුවගේ සිවුපසයට නාමික වශයෙන් සමානය. නමුත් ස්වභාවය සහ ප්‍රමාණය වෙනස්ය. මීට අමතරව පවුලක වුවමණා එපාකම් සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාම් අනෙකුත් වගකීම් යුතුකම් ආදිය වෙනුවෙන් ගිහියන්ට දැනට ලැබෙන ප්‍රමාණය තව හතර පස් ගුණයකින් වැඩි වුවත් මඳිය. දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටීමට ඔවුන්ට බැරිය. ඔවුන් විසින්ම සියල්ල උපයා සපයා ගතයුතුය. අපේ රටේ සාමාන්‍ය ජනතාව යම් පමණකින් හෝ සිය අයිතිවාසිකම් දිනාගෙන ඇත්තේ ලද දෙයින් සතුටුවීම නිසා නොව ලද දෙයින් සතුටුවිය නොහැකි නිසාය.
    “සත්තා දාලිද්දං වේපුල්ලන් ගතේ අදත්තාදානං වේපුල්ලන් අගමාසි. අදත්තාදානං වේපුල්ලං ගතේ සත්තං වේපුල්ලං අගමාසි. සත්තං වේපුල්ලං තේ පානාතිපාතා වේපුල්ලං අගමාසි“ යනාදී වශයෙන් මහා චක්ඛවත්ති සිහනාද සූත්‍රයෙන් පැහැදිලි කරන්නේද ගිහියන්ට සතුටු වීමට තරම් දෙයක් නොලැබෙන කල රටකට අත්වෙන ඉරණමයි. “වැසියාගේ දිලිඳු බව වැඩි වූ කල සොරකම වැඩි වෙයි. සොරකම වැඩි වූ කල ආයුධ පරිහරණය වැඩිවෙයි. ආයුධ පරිහරණය වැඩි වූ කල මිණීමැරුම් වැඩිවෙයි.“ යනුවෙන් එයින් කියැවේ. බුදු රදුන් මේ ඇත්ත දුටුවේ අදින් වසර දෙදහස් හයසියයකට පමණ පෙරය.
    වේරඤ්ජාවේ වස් විසු කල යවහාල් ගුලි වැළඳීමට සිදුවූ කථාව ද “පුබ්බ කම්ම පිලෝතික අපදානයෙහි“ සඳහන් වන්නේ මෙසේය.

    “පෙර අත් බවක අප බුදුරජාණන් වහන්සේ හීන බුද්ධි ඇතිව ඉපිද ඵුස්ස බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මධුර වූ සුවදැල් බත් අනුභව කරනු දැක කිපී “බොල මුඩු මහණ යවහාල් කාපියව්.. යවහාල් කාපියව්..“ (අරේ මුණ්ඩ සමණො යවං ඛාදථ මා සාලිභෝජනං භුඤ්ජථාති අක්කෝසි) යනුවෙන් දොස් නැගීය. එහි විපාක වශයෙන් බුදුරජාණන් වහන්සේට වේරඤ්ජාවෙහි වස් විසූ තුන් මාසයේ යවහාල් අනුභව කරන්නට සිදුවිය.“


    කිරිබත්ගොඩ ඥාණානන්ද වහන්සේගේ සඳහනට අනුව බුදුහිමියන්ට පමණක් නොව පන්සියයක් මහ සංඝරත්නයද තුන්මාසයක් යවහාල්ගුලි වැළඳූහ. එසේනම් උන්වහන්සේලාට සිදුව ඇත්තේ අනුන්ගේ පාපකර්මයකට නිකරුනේ කරගැසීමටය. කර්මය පිළිබඳව කියවෙන බුද්ධ දේශණාවන්ට අනුව එවැන්නක් සිදුවිය හැකිද? තමන් කරන කුසලා කුසල කර්මවල විපාක වෙනත් අයත් විඳිය යුතු බව මෙයින් අදහස් නොවන්නේ ද? ඥානානන්ද වහන්සේ මෙන්ම අප ද ලියා දන්වන්නේ බණ පොත්වල ඇති කරුණු කාරණා මිස හිතළු නොවන බව සැළකුවමනාය.

    ගරු ඥාණානන්ද හිමියනි..! සේරුවිල සරණකිත්ති නාහිමියන්ගේ අපවත් වීමෙන් පසුව එම ඓතිහාසික සිද්ධස්ථානය වෙනත් පාර්ශවයකට අත්පත් කරදීමටත්, ඊට යාබදව ඇති විල්ගම් විහාරය සහ අවට ඉඩම් සන්තක කර ගැනීමටත් ඔබවහන්සේ ගැසූ දහම්ගැට ගැන එම ප්‍රදේශයේ බෞද්ධයන් කියන කථා කණවැකෙද්දී ‘ලද දෙයින්‘ ලබන සතුටු වීමේ ඔබ සතු ගුණය කෙබන්දක්දැයි අපටද සිතාගත හැකිය එබැවින් අපට හැඟීයන්නේ බුදුන් වහන්සේ විසින් පැවිද්දන් උදෙසා දේශණා කළ බණ ඔබලා වැනි පැවිද්දන් විසින් ගිහියන්ට දේශණා කිරීමේදී ඇතිවෙන නොගැලපිල්ල නිසා ඒ බණ නිකම්ම වැදි බණ බවට පත්වෙන වගයි. සාර්ථක විවාහ ජීවිතයක් ගතකරන ආකාරය සහ ගිහියා විසින් විඳිය යුතු සැප සම්පත් පිළිබඳව බුදු දහමේ ඉතා මැනවින් පැහැදිලිකර ඇත. එස් තිබිය දී නොගැලපෙන ‘වැදි බණ‘ දෙසා බා ගිහියන්ගේ ඉණ ඉහ අතගාගෙන කෑමේ චෝරවාදී න්‍යාය අපි දැඩිව පිළිකුල් කරමු.
    ආර්.ජී. ධර්මදාස විසිනි

    [email protected]
    පෙර ලිපි එකතුව පහත දිගුවෙන් කියැවිය හැකිය
    http://www.lankaenews.com/category/38

















     
    • Like
    Reactions: s.a.s