"මංගල සභාවෙන් අවසරයි.. හිතවත් බවක් පෙන්වන නෑදෑවරුනි, හිතවතුනි, මිත්‍රවරුනි, මවුවරුනි, පියවරුනි, සහෝදරියනි. මට පෙන්න බැරි දෙයක් තමා මගුල් ගෙදරකට ආවම කතාවක් කරන්න කියලා මට කරදර කරන එක.කොහොම වුනත් කතාවක් කරන්න ලැබීම ගැන මම සන්තෝස වෙනවා කියලා කියන්නම්.(හිත යටින් 'නොදකින් මෙහෙම කරුමයක්' කියලා මටම කියාගන්න ගමන්).."
"මේ විවාහය කියන දෙය ජිවිතයේ බොහොම භයානක අනතුරක් කියලා කියන්න පුළුවන්. හරියට හයිවේ එකේ වෙන ඇක්සිඩන්ට් එකක් වගේ. එක අතකින් බලපුවාම ඇක්සිඩන්ට් එකකින් වෙන තුවාල හොද කරගන්න පුළුවන්. ඒත් මං අවධාරනයෙන් කියන්න කැමතියි මේ විවාහයෙන් ඇතිවෙන තුවාලයනම් කිසිදාක හොද වෙන්නේ නෑ. විවාහය කියන එක මහා වාතයක්!! හොදට කල්පනා කරලා බලන්න. තනියෙන් ජීවත් වෙන්න තියෙනවනම් කොච්චර ජොලිද.? ආශාව තියෙනකම් එකට ඉන්නවා. එපා කියලා හිතුනාම දාලා ගිහින් වෙන ගෑණියෙක් එක්ක ඉන්නවා. ආන්න එහෙම තමන්ට කැමති පරිදි ඉන්න තියෙන නිදහස මේ විවාහය කියන කෙහෙල්මල් බැදීම නිසා අපිට නැති වෙනවා. ගෑනි හොද වුනත්, නරක වුනත් අපිට බැදගත්ත බෙරේ ගහන්න වෙනවා.."
"ඇත්තම කියන්න, පිරිමින් වශයෙන් අපි කොහෙත්ම කැමැත්තක් නෑ විවාහයෙන් හිර වෙලා අපේ නිදහස නැති කරගන්න.නමුත් මේ බලවත් උදවිය තමා කොහොමහරි අපිව පටලවාගෙන අපිව සදාකාලිකව සින්න කරගන්න පොතේ කුරුටු ගාන්න දගලන්නේ. ඉති අපි උන්ට කන්න අරන් දෙන්න ඕනේ, බොන්න දෙන්න ඕනේ, අරක අරන් දෙන්න කිව්වම ඒක අරන් දෙන්න ඕනේ.. ඕවා ඉතින් කියලා වැඩක් නෑ. අපිට වෙන ගෑනියක් දිහා බලන්නවත් දෙන්නේ නෑ.. ඔන්න ඕකයි අපිට මේ කෙහෙල්මල් විවාහයෙන් ලැබෙන කජ්ජ.."
"කොහොම වුනත් මේ විවාහ මංගල්‍යය උත්සවය ඉතාමත් සාර්ථක එකක් කියලා කියන්න පුළුවන්. මනාල මහත්තයත් එක්ක එන අතර මගදී කාර් එකේ ටයර් එකක් ගියා. තවත් තැනකදී පැට්‍රොල් හිර වුනා. ලගටම එනකොට එන්ජිම නැවතුනා.අපි ඔක්කොම බැහැලා දැම්මා නේද තල්ලුවක්.මනාල මහත්තයා තල්ලුව දානකොට ගමේ කොල්ලෝ කුරුට්ටෝ ටික දැම්මා නේද මාර හූවක්.. දත් කුට්ටම ටිකක් බුරුල් හින්දා මිසක් අපේ මනාල මහත්තයා හොදවායින් දෙකක් නොකියා ඉන්නේ නෑ.."
"අපි මෙහෙට සම්ප්‍රාප්ත වෙන කොට පත්තු කරපු රතිඤ්ඤා වලින් හුගක් වලින් ආවේ පුස් හඬක්. රබාන පැලුණු හඬ අපිට කාර් එක ඇතුලෙදීම ඇහුනා.ජයමංගල ගාථා කියපු ගෑණු ළමයින්ගෙන් කොනේම හිටිය ගෑණු ළමයනම් හැඩයි.අනිත් අයනම් හරිම ගොරක තමා. ගාථා කිව්වෙත් වරද්ද වරද්දා.."
"අපිට වාඩිවෙන්න දුන්නු පුටු වල.. මගේ අම්මේ එහෙම මකුණෝ ගොඩක්!! මං වාඩි වෙච්ච පුටුව කැඩිලා.මගේ පස්ස පැත්ත තවම රිදෙනවා පුටුව කඩාගෙන බිම වැටුණු පාර. වෙඩින් කේක් වල තිබුනේ මුද්දරස්පලම් නෙවෙයි. රට ඉදි! කිරිබත් පිළුණු වෙලා හොදටම.මං හිතන්නේ මංගල්ලේ ජයට ගන්න කලින් ඉදන්ම සූදානම් වෙලා හිටිය හින්දා වෙන්න ඇති. කැවුම් හදලා තිබුනේ සීනි දාලා. මෙහෙට කොහෙන්ද කිතුල් හකුරු..!!"
"මේ සාර්ථක විවාහ මංගල්ල්‍ය උත්සවේ ගැන මං වැඩි වෙලා කතාකරන්න කැමති නෑ. මොකද මට පේනවා මනමාල මහත්මිය කොච්චරවත් බිත්ති ඔරලෝසුව දිහා බලනවා. ඒක හිතලද යන්න හදිසිද කියලා දෙයියෝ තමා දන්නේ. කොහොම උනත් සාමාන්‍ය සිරිත අනුව මනමාල මහත්මයා ගැන සදහන් කරන එක මගේ යුතු කමක්. මනමාල මහත්මිය ගැන යමක් කීමට මා දන්නේ නෑ.මං හිතනවා ඒක මගේ වාසනාවක් මෙන්ම අප කාගේත් වාසනාවක් කියලා! කොහොම උනත් සදහන් නොකරම බැරි දෙයක් තමා.. 'සමාවෙන්න., මනමාල මහත්මිය මගේ කකුල කෙනිත්තුවා.-ඌයී!! රිදෙනවා!!' කමක් නෑ. එයා අකමැති හින්දා මං එයා ගැන මොනවත් කියන්නේ නෑ.."
"අපේ මනමාල මහත්මයා ගැන යමක් සදහන් කරනවානම්.., මං කියන්න කැමතියි, අද මේ අවස්ථාවේ විතරක් නෙවෙයි, එයාගේ මනමාලකම් හැමදාමත් එක වගේ තමා.. මං පුංචි කාලයේ ඉදන්ම මේ මනමාල මහත්තයාව ලගින්ම ආශ්‍රය කරා. මොකද එයාගේ ගේ තියන්නේ අපේ ගේ කිට්ටුවම. අපේ තාත්තා මනමාල මහත්මයා ඉපදෙන්නත් ඉස්සර ඉදන්ම එයාගේ මව සමග කිට්ටු ආශ්‍රයක් තිබුනා.අපේ අම්මා කොච්චර ගෝරි දැම්මත් තාත්තා නෙවෙයි ඒ සම්බන්ධෙ අතහැරියේ.අපේ පවුල් දෙක අන්නෝන්‍ය වශයෙන් එහෙම කිට්ටුවෙන් සම්බන්ධ වෙලා තිබුණු හින්දා මට බය නැතුව මනමාල මහත්මයා ගැන කතා කරන්න පුළුවන්.."
"සමහර ගුරුවරු මෙයාට කොච්චර කැමතිද කියනවනම් එකම පන්තියේ අවුරුදු හතර පහ තියාගත්තා.ඉස්කෝලෙන් අස්වෙලා රස්සාවක් හම්බවෙනකම් මෙයා නිකම් හිටියේ නෑ.මෙයාගේ තාත්තාට ජේ.පී. පට්ටම ලැබුනායින් පස්සේ හරක් හොරකම නතර කරලා පියාගේ රාජකාරිය බාර ගෙන ඊටත් හොදින් සේවය ඉටු කරා.."
"මේ මනමාල මහත්තයා දක්ෂතාවයන් කිහිපයක් තියෙන පුද්ගලයෙක්. ' ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත' කියන අලගියවන්න මුකවෙටි කවියාගේ කියමන මෙයා හින්දා බොරු වෙනවා. එකකට එකක් වෙනස් රස්සාවල් සිය ගණනක් මෙයා කරලා තියෙනවා.එක රස්සාවක් මාසෙකට වඩා මෙයා කරේ නෑ.රස්සාවල් දුන්නු අය බංකොලොත් වුනා මිසක් මෙයා නෙවෙයි බංකොලොත් වුනේ.."
"මෙයාට පොලිසිය ගෙදර වගේ. උසාවිය සෙල්ලම් පිට්ටනිය වගේ.හිරගෙදර ක්ලබ් එක වගේ.ඉස්පිරිතාලය රෙස්ට් හවුස් එක වගේ.මෙයාට කොතනත් එකයි.කොතනත් ජනප්‍රියයි.."
"මෙයාගේ අත් අකුරු ලස්සනයි කියලා මගේ කනටම ඇහිලා තියෙනවා ගෑණු ළමයි සියගණනක් කියනවා.නමුත් එකම ගෑණු ළමයෙකුටවත් මාසෙකට,දෙකකට වඩා අහුවෙන්නේ නැතිව බේරිලා සිංහල සංස්කෘතිය අනුව මේ විවාහයට කැමති වීමට තරම් මෙයා කීකරු හැදිච්ච කමක් තියෙන කෙනෙක් වීම ගැන මනමාල මහත්මියගේ පැත්තේ අය සන්තෝස වෙන්න ඕනේ.."