කුමන_භාර්යාවක්_ද?

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    කුමන_භාර්යාවක්_ද?

    බුදු දහමට අනුව ඔබ කුමන භාර්යාවක් ද?


    184590_817955171667055_368959369014610501_n.jpg

    ඔබද ස්වාමියෙකු යටතේ සිටින දයාබර බිරිඳක් වූවානම් පැවැත්ම සාර්ථක කර ගැනීමට යහගුණෙන් හා පිවිතුරු බවෙන් යුතු සාර්ථක විවාහ දිවියකට මග පාදාගනුවස් පහත බිරින්දෑවරු පිළිබඳ සිතන්න. ඔබේ අඩු ලුහුඬුවක් වේ නම් හෝ වූ නම් සකසා ගන්න.
    ඔබ මෙලොව උපත ලද්දේ ස්ත්‍රීත්වයේ වන්නට පුළුවන. එහි සුන්දරත්වය හෝ අමිහිරි (අසුන්දරබව) මේ වන විට ඔබ විසින්ම බොහෝ සේ අත් දකින්නට ඇතැයි හඟිමි. ලෝකයේ නොදුටු දෙයක් නොවිරූ අසමසම ශාන්ති නායකයාණෝ ඔබ පිළිබඳවද ආත්මීය වශයෙන් පවා සොයා බැලූහ.
    එසේ සසර පිළිබඳ සොයද්දී ඉදිරියත්, පිටුපසත්, ළඟත් (තුන්කලම) සොයා බැලූ මහෝත්තමයාණන් වහන්සේ මෙලොව අනන්ත අප්‍රමාණ වූ කාන්තාවන් පිළිබඳ වූ සත්‍යම විජයග්‍රහණයේ ප්‍රතිඵල අනුව, වෙන් වශයෙන් කොටස් හතකට බෙදා වෙන්කර එකී ආකාර හතකින් සමන්විත ස්ත්‍රීහු කුමන අන්දමේ, ස්ත්‍රීහු දැයි යනුවෙන් පෙන්වා දුන්හ. ඔවුන් නම් වධක, චෝර, ස්වාමි, මාතු, භගිනි, සඛී, දාසි යැයි උතුමන් වහන්සේම නම් කරන ලදී. ඉතාමත් පිළිවෙළින් හා කෙටියෙන් මේ ස්ත්‍රීන් හත්දෙනා පිළිබඳ පිළිවෙළින් සොයා බලමු.
    1. වධක භාරියා (වධකාවියක් වැනි බිරිඳ)
    තම ස්වාමියාට දුෂ්ට වන්නේද, නිත්‍යානුකම්පිත නොවී පහත් අන්දමින් කටයුතු කරන්නේද, ඔහු පහත් කොට අන්‍ය පුරුෂයන් කරා එළඹෙන්නේද, පුරුෂයා හම්බකරන ධනය නොමනා අයුරු විනාශකරන්නේද, එවන් වූ බිරිඳ වධක භාරියා නමින් වන්නේය. (වධක භාර්යාව නම් වේ).
    2. චෝර භාරියා (සෙරක් වැනි බිරිඳ)
    යම් බිරිඳක් තම ස්වාමියා සී සෑම්, වෙළෙඳාම් හා තමන්ගේ ශිල්පීය ක්‍රම මඟින් කර්මාන්ත ආදියෙන් උත්සාහවන්තව සොයන ධනය අයුතු ලෙස අසාධාරණ ඉතා පහත් අන්දමින් සොරකම් කොට (ඇතැම් විට අන්පුරුෂයන් පවා එම ධනයෙන් පෝෂණය කොට) තමන් සිත් පරිදි වියදම් කරන්නේ ද එසේ දිවිගෙවන්නී චෝර භාරියා නම් වේ. (සෙරක් වැනි වූ බිරිඳ).
    3. ස්වාමි භාරියා
    යම් බිරිඳක් බොහෝ සේ කම්මැලිවන්නේද, ගෘහයේ නැදිමයිලන්ගේ කටයුතු නුරුස්සන්නේ ද, (එම කටයුතු පැහැර හරිමින්) බොහෝ කෑදර ලෙස ආහාර ගන්නේද, (කෑමෙන් ඇතිවීමක් නොවන්නේද) නැදිමලයින්ට ස්වාමියාට දැසි දසුන් ආදින්ට චණ්ඩ පරුෂ නොමනා වචනයෙන් කථා කරන්නේ ද, ස්වාමියා ඇතුළු සැමට අදිපතිනියෙකු ලෙස කටයුතු කරයිද, (එකී පවුලේ සැමට අධිපති වී ස්වාමියෙකු ලෙස කටයුතු කරයිද) ඇය ස්වාමිභාරි නම් වේ. (සියල්ලට අධිපති බිරිඳ වේ).
    4. මාතු භරියා (මවක් වැනි වූ බිරිඳ)
    තම ස්වාමියා කෙරෙහි මුළු දිවියපුරාවට හිතානුකම්පීව, සෙනෙහසින් යුතු මවක් තමන්ගේ පුතු සෑම අයුරකින් ආරක්‍ෂා කරන්නේ යම්සේද එසේ ස්වාමියාට ළැදිව ඔහු සතු සියලු ධනය ආදිය රැකගනිමින්, අරපිරිමැස්මෙන් හා සකසුරුවමින් (ලෝභයෙන් නොවේ) පමණ දැන සුදුසු දේට පමණක් වියදම් කර, දියයුතුª තැනට දීමෙන් තම ස්වාමියාට මවක් සේ කටයුතු කරයි නම් ඇය මාතු භරියා නම් වේ. (ස්වාමියාට මවක් සේ වූ බිරිඳ).
    5. භගිනි භාරියා (සහෝදරියක් වැනි වූ බිරිඳ)
    තම වැඩිමහල් සහෝදරයාට නැඟණියක් පවතින්නේ යම් සේද (හිරිඔතප්) මනාවූ සංවරයෙන් යුතුව, ලැජ්ජා භය ඇතිව ඉතා කීකරුව ස්වාමියාට, නැදිමයිලන්ට යටහත් පැවතුමෙන් යුතුව, මුළු දිවිය පුරා ස්වාමියාගේ ආරක්‍ෂාව සලසා සංසුන්ව දිවිගෙවන්නේද, පි‍්‍රය මනාප ද, ගුණගරුක ද, චාම් වූ නිහතමානී දිවියක් ගෙවන්නේ ද ඇය ගෞරවනීය ලෙස දිවි ගෙවන බිරිඳකි. සහෝදරියක් වැනි වූ බිරිඳක් නිසා භගිනි භරියා නම් වේ. (සහෝදරියකට සමාන වූ බිරිඳයි),
    6. සඛී භාරියා (යහළුවෙක් සමාන බිරිඳ)
    ස්වාමියා හා තමාගේත් පෙළපත (පරපුර) සෑම මොහොතකම උසස් කොට සලකන්නේද, පරපුරෙහි ගෞරවය රකින්නේ ද, බොහෝ වියෝගයෙන් විපතට පත් යහළුවෙකුට සෙසු යහළුවා පිහිට වන්නේ යම් සේද උපකාර කිරීම් පිළිගැනීම් ආදිය පවත්වා සිත සතුටුකරන්නේ යම්ද, (එම දර්ශනය එලෙසින්ම තමාගේ සිතින් ස්වාමියාට ඇති කරන) ප්‍රමෝදය (පිබිදුන) ගති ගුණ ඇත්තෝ ද පතිවෘත්තාවයෙන් සුශීල වන්නේද, ඇය සඛී (යහළුවෙක් සේ) ස්වාමියා රැකගන්නා බිරිඳයි. මිතුරියක වැනි බිරිඳ සඛී භාර්යාවයි.
    7. දාසි භාරියා (දාසියක් සමානවූ බිරිඳ)
    ගෘහ දිවියේ ඇතැම් ස්වාමිහුගේ වධ හිරිහැර ඇත. මේ සියල්ල ද, පවුලේ සියලු දුක්කම්කටොලු නොසැලී ඉවසන්නේද, පරපුරට ගරු සරු සහිතව යටහත්ව පැවතුම් ඇත්තේද, වධ දණ්ඩන වලදි (පවුලේ ආරවුල් ඇතිවිට) තැතිගන්නා සුළු වූද, ස්වාමියාගේ සැරපරුෂභාවය පිළිබඳ අවබෝධයෙන් ඊට අනුව කටයුතු කරන්නේ ද, කුමන ප්‍රශ්න තිබුණත් සියල්ල ඉවසා ස්වාමියාට ඇති සෙනෙහස සදාකල් රැකගනිමින් පවුලේ දියුණුව අගය කරන, ඉවසන බිරිඳක් වේද ඇය දාසි භරියා නම් වේ. (දාසියක් වැනිවූ ධරන්දෑය) දාසියක් මෙන් ස්වාමිත්වය රකින බිරිඳයි.
    ************************
    ඉහත කරුණු පිළිබඳව සිතා බලමු. ඔබ ඉහත සඳහන් වූ කුමන හෝ බිරිඳක් වේද එදා කාන්තා ලෝකයට (කාන්තාවට) සමාජයේ තිබූ සියලු බාධක හා කම්කටොලු බුදුරජාණන් වහන්සේ බිඳහැර, සුණුවිසුණුකර, සැනසීමේ රුවන් දොරටුව විවර කළ සේක. එදා බිම්බිසාර මහ රජුගේ පෙරෙව් බමුණාගේ දියණිය වූ සෝමා මෙහෙණියක් බවට පත්වී ස්වෝත්සාහයෙන්ම මාර්ගපල ලබාගැනීමට උත්කුසක වනු දුටු මාරයා
    “යං තං ඉසිහි පත්තබ්බං
    ඨානං දුරභිසම් භවං
    න තං ද්වංගුලි පඤ්ඤය
    සක්කෝ පප්පෝතු මිත්ථියා”
    යැයි උසුළු විසුළු කළා. මේ උපහාසාත්මක විහිළුව කුමක්දැයි සොයා බලමු. මෙහි අදහස (බුද්ධාදි මහෝත්තමයන් විසින් මේ ලෝකයේ ලැබීමට ඉතාම අසීරු වූ ඉතාම දුෂ්කර වූ, අරහත් නම් වූ ඒ ශ්‍රේෂ්ඨ පදවිය ඔය දෑඟිලි නුවණක්කාර ගැහැනුන්ට කිසිසේත්ම ලැබීමට නොහැකිය යන්නයි). සෝමා තෙරණිය පසුබට නොවීය. දිරිමත් විය, සැලුණේ නැත. වහා මාරයාට මෙසේ... ඉත්ථි භාවෝ නො කිං කයිරා චිතතම්හි සුසාමාහිතේ ඥාණමිහි වත්තමානම්හී සම්මාධම්මං විපස්සතෝ... යැයි පිළිවදන් දුන්නීය.
    (මෙහි අදහස) සිත රහත් මග සමවතින් සමාහිත වූ කල්හි, රහත් මඟ නුවණද ඇති කල්හි, චතුරාර්ය සත්‍ය ධර්මයන්හි තතු දන්නා වූ අපට ස්ත්‍රීභාවය ලොවතුරා සුවය ලැබීමට බාධාවක් නොවේ, යන්නයි. එසේ මාරයාට මරු පහරක් ගැසූ සෝමාවෝ නැවතත් වහ වහා වීර්යය වඩා නිසි මගපල ලැබීය.
    ද්වංගුලි පඤ්ඤා – (ඇඟිලි දෙකේ නුවණැත්තියෝ යැයි මාරයා කීවේ) ස්ත්‍රීහු ජීවිතයේ බොහෝ දුරට බත් උයති, බතට වතුර ඇතිද, මදිද, බත ඉදිලාදැයි දැනගැනීමට හැඳිකූරෙන් බත්හැලියට ඇන බත්තුළු ස්වල්පයක් (ඇටයක් දෙකක්) ඇඟිලි දෙක මගින් පොඩි කරති (දෑඟිල්ලෙන් දැන ගන්නා නිසා) “ ද්වංගුලි පඤ්ඤා” දෑඟිලි නුවණැත්තියෝ යන අදහස විය.
    වත්මනෙහි ගැහැනියගේ මොළේ “හැඳිමිටේ දිගට” යනුවෙන් වෙනස් වූයේ ද මෙම මාරයාගේ කථාව පෙරළුණ කථාවක්ම යැයි සිතිය හැක. මක්නිසාදයත් හැඳිමිට (කූර) සබැඳි නිසාය.
    කෙසේ හෝ ඔබද ස්වාමියෙකු යටතේ සිටින දයාබර බිරිඳක් වූවානම් පැවැත්ම සාර්ථක කර ගැනීමට, යහගුණෙන් හා පිවිතුරු බවෙන් යුතු සාරණිය සාර්ථක විවාහ දිවියකට මග පාදාගනුවස් ඉහත බිරින්ඳෑවරු පිළිබඳ සිතන්න. ඔබේ අඩු ලුහුඬුවක් වේ නම් හෝ වූ නම් සකසා ගන්න. සෝමා භික්‍ෂුණිය ඔබට දුන් උපදේශය කදිමයි. අපූරුයි, විශිෂ්ටයි! දිවිය සාර්ථක කරගන්න දිරිමත්වන්න, සිතන්න, ඔබට සැනසීමේ රුවන් දොරටුව විවර වේවා!

    Source :
    DhammaDana
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where