කෙතෙකින් සම්මාදිට්ඨි ඇත්තේ වේ ද? | කච්චානගොත්ත සූත්‍රය

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,621
    2,065
    113


    ඉක්බිති ආයුෂ්මත් කච්චානගොත්ත ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය.
    එකත්පසෙක හුන් ආයුෂ්මත් කච්චානගොත්ත ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.

    වහන්ස, සම්මාදිට්ඨි සම්මාදිට්ඨි ය යි කියනු ලැබේ.
    වහන්ස, කෙතෙකින් සම්මාදිට්ඨි ඇත්තේ වේ ද?

    කච්චාන, මේ ලෝකයා අස්තිත්වය (ශාශ්වතය) ද නාස්තිත්වය (උච්ඡෙදය) ද යන දෙ කොටස බෙහෙවින් ඇසුරු කෙළේ වේ.
    කච්චාන, ලෝකසමුදයය තත් වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාහට, ලෝකයෙහි යම් නාස්තිත්වයෙක් ඇද් ද, එය නො වේ.
    කච්චාන, ලෝකනිරොධය තත් වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාහට, ලෝකයෙහි යම් අස්තිත්වයෙක් ඇද් ද, එය නො වේ.
    කච්චාන, මේ ලෝකයා තෘෂ්ණාදාෂ්ටිසඞ්ඛ්‍යාත උපාය උපාදාන අභිනිවෙසයන්ගෙන් බැඳුනේ සිත පිහිටන තැන වූ ඒ උපාය උපාදාන සඞ්ඛ්‍යාත තෘෂ්ණා දෘෂ්ටි අභිනිවෙශානුශයයට බෙහෙවින් නො පැමිණේ.
    ‘මාගේ ආත්මය’යි නො ගණී. නො ඉටයි.
    ‘උපදින්නේ දුක ම උපදියි. නිරුද්ධ වන්නේ දුක ම නිරුද්ධ වේ ය’යි සලකයි.
    (අන්‍ය වූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් ඇතැයි) සැක නො කෙරේ.
    විචිකිච්ජා නූපදවයි.
    මෙහි ලා ඔහුට පරප්‍රත්‍යයරහිතභාවයෙන් ආත්මප්‍රත්‍යක්ෂඥානයම වේ.
    කච්චාන, මෙතෙකින් ම සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වෙයි.

    කච්චාන, සියල්ල ඇතැයි යන මෙය එක් අන්තයෙකි.
    සියල්ල නැතැ යි යන මෙය දෙවෙනි අන්තය යි.
    කච්චාන, ඒ මේ අන්ත දෙකට නො පැමිණ මැදුම්පිළිවෙතින් තථාගත තෙමේ දහම් දෙසයි.

    “අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වෙයි...
    මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වෙයි.
    අවිද්‍යාවගේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ.
    සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වේ...
    මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ ය.” කියා යි.

    ☸ මූලාශ්‍රය : කච්චානගොත්ත සූත්‍රය : https://tipitaka.lk/sn-2-1-2-5/sinh

    සියලු සත්ත්වයෝ නිවනින් ම නිවෙත්වා !!!
     
    Last edited:
    • Like
    Reactions: Yeezus