කොණ්ඩඤ්ඤ ස්වාමීන්වහන්සේ

hpalpola

Well-known member
  • කොණ්ඩඤ්ඤ ස්වාමීන්වහන්සේ.

    බෞද්ධ දේශනාව තුළ නිවන් මාර්ගයේ ගමන් කිරීම සඳහා සහායක් සලසන අංගයක් ලෙසින් ශ්‍රද්ධාව විස්තර කෙරේ. ශ්‍රද්ධාව ඇති කර ගැනීමට නොයෙකුත් ක්‍රම ඇති අතර ඒ අතර බුදුරජාණන්වහන්සේගේ චරිතය හා ශ්‍රාවකයන් වහන්සේලා චරිතය පිළිබඳව දැන කියා ගැනීමත් ක්‍රමයකි. පාඨක ඔබගේ ශ්‍රද්ධාව වැඩීම පිණිස පහත ලියමන ප්‍රයෝජනවත් වේ යැයි සිතමි.

    සිදුහත් කුමරා, ශුද්ධෝදන සහ මහා මායා යුවළට දාව උපත ලබන්නේ ඔවුන්ගේ විවාහයෙන් අවුරුදු 20 කට පමණ පසුව බව කියයි. කුමරා උපන් පසුව රජතුමා නිමිති කියන්නන් 8 දෙනකු මාළිගයට කැඳවනු ලැබූවේ කුමරාගේ අනාගතය ගැන අදහසක් ලබා ගැනීමට ය. වර්තමානයේ ද පියකු කරන්නේ මේ කාර්යයම බව ඔබ දන්නවා ඇත. ඒ අයවලුන් වූයේ රාම, ධජ, ලක්ඛණ, මන්ති, භෝජ, සුයාම, සුදත්ත හා කොණ්ඩඤ්ඤයි (මිළින්ද ප්‍රශ්නයේ දී කොණ්ඩඤ්ඤ හැඳින්වෙන්නේ යඤ්ඤ ලෙසිනි.). මින් 7 දෙනකු සිදුහත් කුමරු ගිහි ගෙයි සිටියහොත් සක්විති රජු වන බවත් අභිනිෂ්ක්‍රමණය කළහොත් බුදු වන බවත් කියන ලදි. කොණ්ඩඤ්ඤ නියතයෙන්ම කියා සිටියේ කුමරු, බුදු වන බවයි.

    එදා මෙසේ කියනා විට කොණ්ඩඤ්ඤ එහි සිටි තරුණම තැනැත්තා විය. ක්‍රි.පූ. 6 වන සියවසේ වත්මන් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ කපිලවස්තුවට ආසන්න දෝනවස්තුවේ සිටි ධනවත් කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයාගේ පුත්‍රයාට ද පරම්පරාවේ නම වන ‘කොණ්ඩඤ්ඤ‘ නම ම ලැබිණි. ඔහු වේදය පමණක් නොව දේහ ලක්ෂණ විද්‍යාවද හොඳින් හැදෑරූවෙක් විය. එනිසාම එදා ශුද්ධෝදන රජුගේ ආරාධනයෙන් සිදුහත් කුමරු වෙනුවෙන් නිමිති කීමට මාළිගයට පැමිණ සිටින ලදි.

    මේ ආකාරයට මතු බුදු වන කුමරා හඳුනා ගන්නා කොණ්ඩඤ්ඤ ඔහු සමඟ එකතු වීමේ බලාපොරොත්තුවෙන් ජීවත් වෙයි. ඒ අතරේ දී අවුරුදු 29 ක් ගත වුන තැන දැන ගැනීමට ලැබෙන්නේ සිදුහත් කුමරු බුදුබව පතා අභිනිෂ්ක්‍රමණය කළ බවයි. ශුද්ධෝදන රජුගේ උපකාර සහිතව කොණ්ඩඤ්ඤ තවත් සිව් දෙනකුගෙන් යුතු පිරිසක් ද එකතු කර ගෙන සිදුහත් තාපසයාට එකතු වෙයි (https://en.wikipedia.org/wiki/Kaundinya). ඒ සිදුහත් තාපසයාගේ ආරක්ෂාවටත් ඔහු බුදු වීමෙන් පසුව තමුන්ට ද සහනයක් ලබා ගැනීමටත් ය. මේ පිරිස බෞද්ධ සාහිත්‍යයේ දී හඳුන්වන්නේ ‘පස්වග මහණුන්‘ ලෙසිනි.

    කෙසේවෙතත් දුෂ්කර ක්‍රියා කිරීම අත්හැරීමෙන් පසුව ඔවුන් සිදුහත් තවුසාව අත්හැර දමයි. ඔවුන්ගේ අත්හැර යාම පසෙකලන සිදුහත් තවුසා, අර්හත් සම්බුද්ධත්වයට පත්ව ප්‍රථමයෙන්ම තමුන්ගේ ධර්මය ඇසීමට තරම් බුද්ධිය ඇත්තෝ කව්දැයි සොයා බලති. උන්වහන්සේට ඉගැන් වූ ආලාර කාලාම, උද්දකරාම පුත්ත දෙදෙනාම ඒ වන විට මියගොස් සිටි නිසා ඉන්පසු තමුන්ගේ ධර්මය ඇසීම සඳහා සුදුසු පුද්ගලයන් ලෙසින් බුදුරජාණන්වහන්සේ දකින්නේ මේ පස්වග මහණුන්ව ය. ඒ වන විට බරණැස ඉසිපතනාරාමයේ සිටි පස්වග මහණුන් වෙත වැඩම කරන බුදුරජාණන්වහන්සේ ඔවුන්ට ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරයි. මේ දේශනාව අවසානයේ දී කොණ්ඩඤ්ඤ තවුසා සහ අටළොස් දහසක් බ්‍රහ්මයින් සෝවාන් තත්ත්වයට පත් වේ. ගෞතම බුද්ධ ශාසනයේ දී මිනිසුන් අතරින් ප්‍රමයෙන් ම සෝවන් ඵලය ලබා ගත් ඒ ශ්‍රේෂ්ඨයා බුදුරජාණන්වහන්සේගේ ඇගයුමට ලක්වන්නේ ‘අඤ්ඤාසි වත බෝ කොණ්ඩඤ්ඤ‘ ලෙසින් දෙවරක් ප්‍රකාශ වීමෙනි. එබැවින් මේ කොණ්ඩඤ්ඤ ස්වාමීන්වහන්සේ ‘අඤ්ඤා කොණ්ඩඤ්ඤ‘ ලෙසින් ද හැඳින් වේ.

    කෙසේවෙතත් බුරුම සාහිත්‍යයේ දී එය අඤ්ඤති කියා දැක් වේ. ථෙරගාථා වලදී දැක්වෙන්නේ අඤ්ඤා ලෙසිනි. රයිස් ඩේවිස් මහත්මිය කියන්නේ අඤ්ඤා යනු පුද්ගලිකව ඔහුව හැඳින්වෙන නම විය හැකි බවයි.

    මුල් ධර්ම දේශනය සිදු කිරීමෙන් පසුව පස්වන දින දී බුදුරජාණන්වහන්සේ දේශනා කළ අනාථලක්ඛණ සූත්‍රය ඇසීමෙන් පසුව කොණ්ඩඤ්ඤ තවුසා අර්හත් ඵලයට පත් විය. ඔහු පැවිද්ද ඉල්ලා සිටින ලදි. බුදුරජාණන්වහන්සේ ‘මෙහි එව මහණ‘ කියා ඇමතීමෙන් පැවිද්ද ලබා දෙන ලදි. මේ අනුව කොණ්ඩඤ්ඤ ස්වාමීන්වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රථම භික්ෂුව බවට පත් වේ.

    පසුකල ජේතවනාරාමයේ දී බුදුරජාණන්වහන්සේ විසින් කොණ්ඩඤ්ඤ ස්වාමීන්වහන්සේ ප්‍රථමයෙන් ම ධර්මය අවබෝධ කරවුන් අතර අග්‍රස්ථානයේ පිහිටවූ සේක. මේ සඳහා පදුමුත්තර බුදුරජාණන්වහන්සේගේ කාලයේ දී කරනු ලැබූ ප්‍රාර්ථනාවක් හේතු ව තිබිණි.

    මෙසේ කල්ගත වෙද්දී පස්වග මහණුන්ගෙන් කෙනෙකු වූ අස්සජි ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීමෙන් සැරියුත් මුගලන් දෙපල ගෞතම බුද්ධ ශාසනයට එක් විය. ඔවුන්ට අග්‍රශ්‍රාවක තනතුරු ලබා දෙද්දී භික්ෂු ගණයා අතර කොණ්ඩඤ්ඤ භික්ෂුවට ඒ තනතුරු නොදීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතු විනි. එහි ප්‍රතිඵලය ලෙසින් කොණ්ඩඤ්ඤ ස්වාමීන්වහන්සේ බුදුරජාණන්වහන්සේගේ අවසරය ද සහිතව ඡද්දන්ත වනයේ මන්දාකිණී වැව් බැම්ම වෙතට වැඩම කරන ලදි.

    මේ අතරේ දී දෝනවත්තුවට වැඩම කළ කොණ්ඩඤ්ඤ ස්වාමීන්වහන්සේ තමුන්ගේ සොයුරිය වූ මන්තානි බැමිණියගේ පුතා වූ පුණ්ණට බුද්ධ ශාසනයේ පැවිදි වීමට අවවාද කරනු ලැබූවේ බුදුරජාණන්වහන්සේ සමීපයේ ම සිටීමට අවස්ථාව ලැබෙන නිසාවෙනි. පසුකලෙක මේ පුණ්ණ තෙරණුවේ මන්තානිපුත්ත පුණ්ණ ලෙසින් හැඳින්විය. මෙයත් කොණ්ඩඤ්ඤ ස්වාමීන්වහන්සේ බුදුරජාණන්වහන්සේගෙන් ඈත් වීමට හේතුවක් වූ බව කියයි.

    ඡද්දන්ත වනයේ, කොණ්ඩඤ්ඤ ස්වාමීන්වහන්සේ අවුරුදු 12 ක් වාසය කළ බව කියැවේ. මේ කාලය තුළදී උන්වහන්සේගේ ඕනෑ එපා කම් බලා, උවටැන් කිරීම ඡද්දන්ත වනයේ වුන් ඇත් රංචුවක් විසින් සිදු කළ බව කියයි.

    තමුන්වහන්සේගේ පිරිනිවීමේ කාලය එළඹුන පසුව බුදුරජාණන්වහන්සේ බැහැ දැකීමට වැඩම කළ බව කොණ්ඩඤ්ඤ සූත්‍රයේ සඳහන් වේ. වැඩිදුරටත් එහිදී මෙසේ සඳහන් ය.

    එකල්හි ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ බොහෝ කලෙකින් ම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේගේ පා මුවෙන් සිඹිත්. අතින් ද පිරිමදිත්. “භාග්‍යවතුන් වහන්ස, මම කොණ්ඩඤ්ඤ යෙමි. සුගතයන් වහන්ස, මම කොණ්ඩඤ්ඤයෙමි”යි නම ද අස්වත්.

    බුදුරජාණන්වහන්සේගෙන් ඊට අවසරය ලබා ගන්නා කොණ්ඩඤ්ඤ ස්වාමීන්වහන්සේ ආපසු වඩින්නේ ඡද්දන්ත වනයටම ය. එහිදී පිරිනිවන් පාන කොණ්ඩඤ්ඤ ස්වාමීන්වහන්සේගේ සෑය ඇතුන් විසින් සඳුන් දර සෑයකින් කරවන ලද බව කියයි. සාහිත්‍යයේදී මේ සෑය සකස් කිරීම සඳහා ශක්‍ර දෙවියන්ගේ මෙහෙයවීමෙන් විශ්වකර්ම දෙවියන්ගේ දායකත්වය ද ලද බව දැක් වේ.

    ආදාහන කටයුත්ත සඳහා අනුරුද්ධ ස්වාමීන්වහන්සේ ඇතුළු 500 ස්වාමීන්වහන්සේලා සහභාගී වී තිබේ. ආදාහනයෙන් ඉතුරු වූ ධාතූන්වහන්සේලා අනුරුද්ධ ස්වාමීන්වහන්සේ විසින් බුදුරජාණන්වහන්සේට ලබා දුන් පසුව බුදුරජාණන්වහන්සේගේ ම මෙහෙයවීමෙන් වේළුවනාරාමයේ බිමෙන් මතු වූ රිදී චෛත්‍යයක තැන්පත් කළ බව සඳහන් වේ. බුද්ධඝෝෂ හිමි සටහන් කර ඇති ආකාරයට උන්වහන්සේගේ කාලයේ දී ත් මේ චෛත්‍යය තිබී ඇත.