කොමාවක් නොතබමි.... මම තිතක් තබමි....

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    කොමාවක් නොතබමි.... මම තිතක් තබමි....

    කොමාවක් නොතබමි.... මම තිතක් තබමි....

    හැමදාමත් වගේ ඔහු ලඟ සැනසීම දැනේ. ආදරය දනවන්නේ ලෝකයෙන් ම ආදරේ කරන්නේ අපි පමණැයි කියාය. මට වඩා ඔහු එක්ක ඉන්නා නිසා ඒ අතේ එල්ලෙන ඔරලෝසුවටත් ඉරිසියා කරන අනුපමේය බොළදකම් පිරි ආදරයක් තුලදී, එකම දේ දහස් වර සිදු වෙන ලොවක නූතන මානවයාගේ ඇරඹුමේ පටන් අපවන් පේ‍්‍රමවන්තයෝ තවත් නැතැයි සිතෙනා එක සැලකිය යුතු තරම් බොළදකමක් නොවේ.

    පන්ති යනවා කියා ආදරේ නාමයෙන් ගෙදරින් එන එක තුන්වෙනි ලෝක යුද්ධයට සමානය. මග හැර යන පන්තිය ලඟදී අහක බලාගත්තෙමි. පන්ති කාඞ් එකේ ඔච්චම් කිරීම නවතින පාටක් නැත. යන්තමට හෝ දැක පුරුදු නූල් පොටකටත් හුස්ම හිර කර දමන්නට හැකියාවක් ඇත.

    ඒත් දැන් ඉතින් ඕවා මොකටද? ලොව සුන්දර ම තැන ඔහුගේ උරහිස ලඟය. දුප්පත් පේ‍්‍රමවන්තයන් උන අපිට යන්නට කාර් තියා මෝටර් සයිකලයක්වත් නැත. හොරැුහින් බලාසිටීම් හෝ අතින් අල්ලාගත් ඇසිල්ලක, මධුසමයක් බසයේ අසුනක දුටු කලක මෙන් නොබලන උන් ඇත්නම් දුප්පත්කමෙත් මහා නරකක් නැති තරම්ය.

    පාක් එකට ඔහු ටිකට් ගනිද්දී මම මගේ අයිඩෙන්ටිය දික් කලෙමි. ඒක ඕනෑ ගැහැණු ළමයාට විතරය.

    ‘‘මේක මෙයාගෙම ද දන්නෑ”

    ‘‘පන්ති යනවා කියල ඔය දැන් හැදෙන උන් එන ගමන්නෙ”

    මං එක තත්පරයකින් මිනීමරුවෙක් වී ඇත. අයිඩෙන්ටිය නැවත දිගු වෙන්නේ ඇති පදම් සැකයත් තව මොනවදෝත් පිරුණු ඇස් එක්කය. කොල්ලන්ට නං නාගත්තම හරිය. ගෑනු අපිට එහෙම බැරි නිසායැයි කියා උද්‍යාන දොරටුව ලඟම කැඩුනු හිතට පැලැස්තරයක් දැම්මෙමි.

    මේ පොළොව තනියම ඉරට පෙම් බදින කාලයය. ඉර ලඟින් ඉඳන් කොතරම් රිද්දුවත් ගණනකට නොගෙන ඉරේ පාටින්ම මල් වරයි. එකාතකට පොළොවටත් පිස්සුය. ඉතින් රිද්දන උන්ටම හිත බැඳෙන එකද පේ‍්‍රමය. මල් නොපාගා ඇවිදින එකම කොතරම් අසීරුද. වේලී වැටුනු කොලයක් මෙන් නොව මල් කියන්නේ වෙනම ම කතාවකි.

    කොයිතරම් කීවත් බංකුවක් උඩ ඉඳගෙන ඉන්නට මට පුලූවන්කමක් නැත. ඇවිදින පාරේම කොනක ඉදගෙන තනියම කියවීමක අවසානයේ,

    ‘‘වතුර ටිකක් දෙනවද”

    එය නොරිස්සුම මුසු උන කටහඩකි. බෑගය ඇද වතුර එක ගත්තෙමි. අම්මා පාන්දර පිරවූ වතුර එකය. ක්ෂුද්‍ර ජීවියෙක් හෝ කරදරයක් කරයි කියා තාත්තා පෙරා උණුකල වතුරය. ඔහු වතුර බොද්දී මට ආවේ ගෙදර සුවඳය.

    ඔරලෝසුව ඇත්තටම දුවන්නේ මෙහෙම වෙලාවල විතරය. ‘‘පන්තිය ඇරෙනව කියපු වෙලාවට ගෙදර යන්න ඕන. මාව ගෙදරින් හොයනවා” ඒ වචන පිට උනු පසු ඔහුට තවත් මාව රඳවාගන්න නොහැකිය. සී ටී බී බසයේ යකඩ රත්වීමටත් වඩා බස් කවුළුවෙන් එන ඞීසල් දුම් ගඳ පිරි වියලි හුළඟ ඉවසන්න බැරිය. කොහෙද අහන්නට අම්මා ගත් ඇමතුම් තරමට මේ වෙලාවේ දකින්නට අමාරු කිසිම දෙයක් නැත. උදේ බැඳ දුන් බත් එක. කෙහෙල් කොලේ ඔතා දුන් මම කැමතිම කෑම. අහක බලාගෙන එය තියාගන්න දුන්නේ පාර අයිනේ කුණු බක්කියටය.

    ගෙවල් පාරෙන් බහිද්දී තාත්තා මග බලාගෙනය. ඒ ඇස්වල තියෙන්නේ මහන්සිය පිරුණු ආදරේ විතරය. තාත්තලාට දරුවන්ට ආදරේ කරලාම මහන්සිය. ඔලූව පුපුරන තරම් කැක්කුම ආවේ බත් මුල විසි කළ කුණු බක්කිය මට බනිනා බැනුම් ඇසුණ නිසාදැයි හරියට නොදැනම ගෙට ගියෙමි.

    ‘‘පන්තියෙ හිටියත් වැඩක් නෑ මේ පෑවිල්ලට. බලන්න කලූ වෙලා තියෙන තරං. ඔලූවෙ කැක්කුම නො හැදුනොත්නෙ පුදුමෙ.” ගෙදර ආ ගමන් බත් කවා ඔලූව අල්ලාගෙනම අම්මා කියවයි. දෙයියනේ මම කරාබු ගලවා දැම්මේ හොද වෙලාවටය. ලෝහයක් ගෑවී හෝ තිබුනා නං මං ඒ මහ පෑවිල්ලේම අකුණු ගසා මියැදෙනු ඇත.

    ‘‘අද බත් එක රසයිද පුතේ ? බඩගින්නේ ඉන්න එපා කියලා කොච්චර කියනවද මං”

    ඉතින් මම නිදි වගක් අගවමි. උරස් කුහරයේ වමට බරව හදවත තියෙනා තැනම රිදෙන පෑරෙන හිතත් තියෙනා වග ඔප්පු වෙන්නට හොදම මිනිත්තු එන්නේ එවන් වචන එක්කය.

    මැසේජ් එකකි. ආදරේ පිරී ඇතැයි සිතාගෙන බලමි.

    ‘‘අද නං වැඩක් නෑ. කිස් එකක්වත් දෙන්න හම්බ උනේ නෑනෙ පාක් එකේ සික්කෝ හන්දා. ඔයා ගෙදරද. මොකද කරන්නෙ?”

    ඉතින් කදුලූ ග‍්‍රන්ථිවලට තර්ජනය කර, ඇස් කෙවෙනිවලට බැන වැදී කොමාවක් හොයන්න මහන්සි නොවීම මම තිතක් තබමි
    .

    චරිතා බණ්ඩාර විසින් ලක්බිම පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරින් සකස් කරගන්නාලදි. මෙය වැදගත් ලිපියක් නිසා මිතුරන් අතර දැණුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙහි පලකරනලද අතර කිසිදු වානිජ පරමාර්ථයක් නොමැතිබවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවිය යුතු බවත් ස්තුති පූර්වකව සඳහන් කරමි.

    Q927mxP.png
     
    • Like
    Reactions: Lejayange