Up
ඊයේ අපි අගුණකොළපැලස්සේ ගියේ හදිසියේ !
උදේම කාර් එකේ නැගලා, තාරුක එක්ක ගිහින් කොට්ටාවෙන් නතාලිව දා ගත්තා. කොක්මාදුවෙන් එළියට ඇවිත් නීතීඥ මනෝජාව එකතු කර ගත්තා.
මගදි පෙට්‍රල් ගහන්න ගිහින් වැලිපැන්නෙදි එලියට යන්නත් උනා. .පරක්කු උනාට අගුණකොළපැලස්ස ටවුමට යනකොට යන්තම් 11.30 යි. අපි නීතීඥ චිරන්තකට කතා කලා. උදේ උසාවියේ ඉඳලා චිරන්නතක හම්බන්තොට ඉඳලා එනකොට ටිකක් පරක්කු උනා. චිරන්තක එක්ක ආවේ තිස්සේ පෙරටුගාමී ක්‍රියාකාරී සරාසි. අපි ඔක්කොම අවසර අරගෙන අගුණකොළපැලස්සේ බන්ධනාගාරයට ඇතුල් උනා.
මේ බන්ධනාගාරේ අලුත්. 2016 හදලා තියෙන්නේ. වැලිකඩ වගේ පරණ එකක් නෙවෙයි. ඉඩකඩ ඇතුව පහසුකම් ඇතුව හදලා තියෙනවා. අපි ටිකක් ගේට්ටුව ළඟ ඉඳලා STF නිලධාරීන් ගේ සුපුරුදු පරීක්ෂාවට ලක්වුනා. ටික ටික ඒ යකඩ දොරවල් ගණනාවක් පහු කරලා ඇතුලට ගියා.
"අපි ආවේ අරගලයෙන් හිර වෙලා ඉන්න අය බලන්න." එක්කෙනෙක් නෙවෙයි මහ ගොඩක්. පුළුවන් තරම් පිරිසක් බලන්න. අපි නිලධාරීන්ට කිව්වා. නීතීඥයෝ දෙන්නත් පෙරටු කර ගෙන අපි ටික ටික හමුවීමේ කුටි වලට කිට්ටු කලා.
මිනිස්සු 35 දෙනෙක්, මාස 5ක් රිමාන්ඩ් කරලා.
චෝදනාව මොකක්ද ?
පොදු දේපළ පනත. ප්‍රාදේශීය සභාවේ වාහනයකට හානි කලා කියලා.
වීදුරු වලින් වැසුණු ජනේල කීපයකින් අපි කලින් හමු නොවුන මිනිස්සු විශාල ප්‍රමාණයක් බලාගෙන ඉන්නවා. එහා පැත්තේන් ටෙලිෆෝන් එකක් සහ මෙහා පැත්තෙන් ටෙලිෆෝන් එකක් හයිකරලා. ඒක හරහා කතා කරන්න පුළුවන්. කෙලින්ම කියන ඒවා ඇහෙන්නේ නෑ. මමත් ෆෝන් එකක් අරගෙන වීදුරුවෙන් ඒ ඇස් දිහා බලාගෙන කතාවට වැටුනා. මාස 5ක් තිස්සේ බන්ධනාගාරයේ ඉන්න නිසා ඔවුන් දන්නේ ටීවී එකේ යන ටික විතරයි. ඒ කියන්නේ ඇත්ත තත්ත්වය ගැන අවබෝධයක් නෑ. ටික වෙලාවක් අරගෙන අපි ඇත්ත තත්ත්වය පැහැදිලි කලා.
"අපි කිසිම පක්ෂයකට සම්බන්ධ නෑ. අපි නිකම් හිටපු මිනිස්සු. පාරේ කලබලයක් වුනා. ඒක බලන්න ගිය මිනිස්සු. නිකම් අල්ලගෙන දාගෙන ආවා. සමහරු ගුරුවරු. සමහරු කළමනාකාරවරු, ගෙවල් දොරවල් බලාගෙන හිටපු අපි සාමාන්‍ය මිනිස්සු. අපි අරගලයට සහභාගී වුනේ රට වෙනුවෙන්. අනාගතය වෙනුවෙන්. ඒත් අරගලයට අපිව මග ඇරිලා. මාස 5ක් අපි මේකේ හිර වෙලා. අපි ගැන බලන්න , කතා කරන්න කවුරුත් නෑ. මරන්න ඉන්න හරක් වගේ අපිව කොන් කරලා මේක ඇතුලේ දාලා"
" මේවා මේ තිස්සේ ඉන්න සමහර දේශපාලකයන්ගේ වුවමනාවට වෙන වැඩ, ඒ අය මැදිහත් වෙලා පොලිසිය ලව්වා කරවන වැඩ. අපි කිසිම දේපලක් හානි කලේ නෑ. නමුත් අධිකරණයට බොරු ගොතලා චෝදනා ගොනු කලා." තවත් මිනිසෙකු සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කලේ ය.
අරගලයේ ජයග්‍රහණය ගැන, සමාජයේ ඇති වෙලා තියෙන වෙනස් කම් ගැන, ඊළඟට මොකද වෙන්නේ කියන එක ගැන අපි ඔවුන් දැනුවත් කලා.
" අපිට සමාවෙන්න.
අපිට වගේම රටේ ඉන්න අනෙකුත් අරගල කරුවන් වෙනුවෙන් මම ඔබලාගෙන් සමාව ඉල්ලා සිටිනවා.
ඔබලාගේ මේ කැපකිරීම රට වෙනුවෙන් කරන කැපකිරීමක් කියලා හිතලා හිතට ධෛර්යය ගන්න.
අපි මිනිස්සුන්ට ඔබලාගේ කතාව කියන්නම්.
ජනතාවගේ මතය ඔබලා අග හිට ගනිවී. "
අපි ඔවුන්ට පොරොන්දු උනා.
අපි එළියට ආවේ කාන්තා සිර ගෙදර තාමත් මාස 5ක් ඉන්න එකම අරගලකාරියවත් හම්බෙලා. ඇය තනියෙන් මාස 5ක් හිරේ.
ඔව්, අපේ උදව් ඔවුන්ට අවශ්‍යයි.
රටේ එක් කොනක දේශපාලකයෝ එකතු වෙලා, දූෂිත ක්‍රමයක් තුල සහය අරගෙන , අරගල කලාට මිනිස්සු 35ක් මාස 5ක් තිස්සේ හිර කරලා.
ඊළඟ නඩු දිනය ඔක්තෝබර් 10, තිස්සමහාරාමයේ මහේස්ත්‍රාත් අධිකරණය.
ඔබේ හෘද සාක්ෂිය කෑ ගහනවා නම්, ඒ හඬ අවදි කරන්න.
මේ මිනිස්සුන්ට ඇප ලැබෙන්න ඕනේ.
උන්ගේ දරුවෝ තාත්තලා දකින්න ඕනේ.
උන්ගේ බිරින්දෑවරු හිර ගෙදර රස්තියාදු උනා ඇති.
මේ හිර කරපු මානව අයිතිවාසිකම් රැකෙන්න ඕනේ.
ඔව්, අපිට, ඔවුන්ට උදව් ඕනේ.
ඔබේ හඬ අපිට ඕනේ.
එන්න සාමූහිකව එකතු වෙලා මිනිසුන් 35 දෙනෙකුගේ නිදහස වෙනුවෙන් පෙනී ඉමු.
රටේම අරගල කරුවන්ට ඇප ලැබෙද්දී තිස්සේ විතරක් මාස 5ක් ගිහින් තාම ඇප තැන්තේ ඇයි?
අපිට පුළුවන්. ඔවුන් වෙනුවෙන් කතා කරමු.
පැතුම් කර්නර්
Peoples Revolution !
------
Post added on Oct 10, 2022 at 10:39 PM