කෙනෙකු තුළ නුවණ වැඩෙන්නේ තමන්වත් නොදැනමයි.ධර්මය පුරුදු කිරීමේ වාසිය ඒකයි.අදට වුණත් ටික ටික නමුත් භාවනාවක් පුරුදු කළොත් කලක් යනකොට ඒ නිසා ඇතිවෙන යහපත තේරුම් ගන්න පුළුවන්.දැන් ඔබ කියවන්නේ එබඳු කථාවක්.
ඒ කාලෙ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ අලව් නුවර අග්ගලාව නම් චෛත්‍ය ස්ථානයේ.දිනක් අලව් නුවර මිනිසුන් භාග්‍යවතුන් වහන්සේ එහි වැඩම කළ වේලෙහි දානයක් පූජා කළා.
එදා උන්වහන්සේ භුක්තානුමෝදනා බණ හැටියට වදාළේ මරණානුස්සතිය වැඩීම ගැනයි.උන්වහන්සේ මෙහෙම වදාළා.
"ගෘහපතිවරුනි, මේ අයුරින් මරණය ගැන සිහි කරන්න.මාගේ ජීවිතය අස්ථිර දෙයකි.එහෙත් මරණය ස්ථිර දෙයකි.අනිවාර්යයෙන්ම මම මරණයට යටත් විය යුතු වෙමි.මාගේ ජීවිතය මරණයෙන් අවසන් වේ.ජීවිතය අනියතයි.මරණය නියතයි.
ගෘහපතිවරුනි, මරණසතිය වැඩිය යුත්තේ ඔය විදිහටයි.ගෘහපතිවරුනි, මරණය ගැන සිහි නොකළ උදවිය ඉන්නවා.ඔවුන් මරණයට මුහුණ දෙන්නේ භයානක විෂඝෝර සර්පයෙකු දැකපු කෙනෙක් වගෙයි.ඔහුට දඬු මුගුරක් නෑ.ඔහු භීතියට පත්වෙනවා.බිරාන්ත වෙනවා.කෑ ගහනවා.ඒ විදිහටමයි මරණසතිය නොවැඩූ කෙනා මරණය ඉදිරියේ හැසිරෙන්නේ.
නමුත් හොඳට මරණසතිය වැඩුවොත් ඈතදීම භයානක සර්පයාව දණ්ඩෙන් රැගෙන ඈතට විසි කරනවා වගේ මරණය අභියස කිසි බියක් තැති ගැනීමක් නැතිව මුහුණ දෙනවා.ඒ නිසා මරණසතිය වැඩිය යුතුයි."
භාග්‍යවතුන් වහන්සේ ඒදාළ මේ උතුම් අනුශාසනයට හැමෝම ආදරයෙන් සවන් දුන්නා.නමුත් බණ අහලා ඔවුන් සාමාන්‍ය විදියට වැඩකටයුතුවල යෙදුණා.භාග්‍යවතුන් වහන්සේත් පිළිවෙලින් චාරිකාවේ වඩින්න පිටත් වුණා.
එදා දහසය හැවිරිදි පේසකාර දියණියක් ඒ බණ අහන්න ඇවිත් හිටියා.ඇය රෙදි වියන පවුලක සිටිය තරුණ දුවක්.ඈ මෙහෙම හිතුවා.
'ඇත්තෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ වචනය නම් හරිම අසිරිමත්.එහෙමනම් මරණසතිය වැඩීම මාත් කරන්න ඕන.'
ඉතින් එහෙම හිතලා එම යොවුන් දියණිය දිනපතා නොකඩවාම මරණය මෙනෙහි කළා.දිවා රාත්‍රී මෙනෙහි කළා.ඈ තුන් අවුරුද්දක් තිස්සේ මරණසතිය වඩනවා.
දිනක් භාග්‍යවතුන් වහන්සේ හිමිදිරි උදෑසන ලෝකය දෙස බැලුවා.මේ තරුණ දියණිය මරණසතිය වැඩීම නිසා ප්‍රඥාව දියුණු වී ඇති බව පෙණුනා.ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ යළිත් චාරිකාව පිණිස සංඝයා පිරිවරා වඩිද්දී අලව් නුවර අග්ගලාව චෛත්‍ය ස්ථානයටත් වැඩියා.බුදුරජණන් වහන්සේගේ වැඩමවීම අසා වඩාත්ම සතුටු වුණේ අර දියණියයි.ඇයත් බණ අහන්න යන්න හරිම ආසාවෙන් ඉන්නේ.එතකොට පියා මෙහෙම කිව්වා.
"දුවේ...වෙන කෙනෙකුගේ සළුවක් වියන්න පටන් අරගෙනයි තියෙන්නේ.තව වියතක් පමණ ඉතිරි වෙලත් තියෙනවා.අද කොහොමහරි ඉවර කරන්න ඕන.ඉක්මනින්ම ගිහින් නූල් ටික ඔතාගෙන එන්න."
එතකොට ඈ කල්පනා කළා.'අනේ....මං බණ අහන්න යන්න ආසාවෙන් හිටියේ.එහෙත් පියාණන් මට නූල් ඔතන්න කියනවා.මං දැන් මොකද කරන්නේ? කමක් නෑ දැන් නූල් ඔතනවා.පස්සෙ බණ අහන්න යනවා' කියලා ඈ නූල් ඔතන්න පටන් ගත්තා.
එදා භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අවසානයේ අනුමෝදනා බණ දේශනා කරන්න සූදානම් වුණා.උන්වහන්සේ වැඩම කළේ අර දියණිය වෙනුවෙන්මයි.නමුත් ඈ තාම බණ අහන්ට ඇවිත් නෑ.
පේසකාර දියණියත් ඉක්මනින්ම නූල් ඔතා එන ගමන් ධර්ම දේශනාව අසනු කැමැත්තෙන් කෙළවරේ වාඩි වුණා.බුදුරජාණන් වහන්සේ ඈ දෙස හොඳින් බැලුවා.එතකොට ඈ නූල් පන්දුව ඇති පැස පසෙකින් තැබුවා.භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා.මෙතෙක් වෙලා නිහඬව වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ ඇය අමතා වදාළා.
"කුමාරිකාවෙනි, කොහෙ ඉඳලද එන්නේ?"
"ස්වාමීනි, මං ඒ ගැන දන්නේ නෑ."
"කොහේද යන්නෙ?"
"ස්වාමීනි, ඒ ගැනත් මං දන්නේ නෑ."
"දන්නෙම නැද්ද?"
"ස්වාමීනි, දන්නවා."
"දන්නවා නේද?"
"ස්වාමීනි, දන්නේ නෑ."
භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රශ්න හතර ඇසූ විට ඇය පිළිතුරු දුන්න ආකාරයට මහජනයා කිපුණා.
"හප්පේ...! මේං බලාපල්ලකෝ වැඩක්.මේ පේසකාර කෙල්ල සම්මා සම්බුදුරජුන් සමග හිතූ හිතූ අයුරින් කතාබස් කොරන හැටි...කොහෙ ඉඳන්ද ආවේ කියලා අසද්දී පේසකාර ගෙදර ඉඳලා ආව බව කියන්නට එපැයැ.කොහෙද යන්නේ කියලා අසද්දී පේසකාර ශාලාවට යනබව කියන්නට එපායැ.මොනවද මේකි දොඩන්නේ...?"
"පින්වත්නි, කලබල වෙන්න එපා.ඇය මගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ අවබෝධයෙන්මයි.දැන් අපි ඒ ගැන ඇගෙන් අහමු.
කුමාරිකාවෙනි, කොහෙ ඉඳලද ආවෙ කියලා ඇසූ විට දන්නේ නැහැ කිව්වේ ඇයි?"
"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මං පේසකාර නිවසින් පැමිණි වග නුඹවහන්සේ දන්නා සේක.නුඹවහන්සේ ඇසුවේ කොයි ලෝකෙන් චුත වෙලා ඇවිදින් මේ මනුස්ස ලෝකයේ උපන්නාද කියලයි.ඒ ගැන නොදන්න නිසයි දන්නේ නෑ කිව්වේ."
"සාදු! සාදු! කුමාරිකාවෙනි, මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අයුරු හරි අගෙයි.එතකොට කොහෙද යන්නේ කියා ඇසූ විට දන්නේ නැහැ කිව්වේ ඇයි?"
"ස්වාමීනි, මං මේ නූල් අරගෙන පේසකාර ශාලාවට යන බව භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක.මෙයින් චුත වෙලා ආයෙ උපදින්නේ කොහෙද කියලයි ඇහුවේ.ඒ ගැන මං දන්නේ නැති නිසයි දන්නේ නෑ කිව්වේ."
ඒ වතාවෙත් භාග්‍යවතුන් වහන්සේ සාදුකාර දුන්නා.
"එහෙමනම් කුමාරිකාවෙනි, දන්නේ නැද්ද කියලා ඇහුවාම දන්නවා කියලා කිව්වේ ඇයි?"
"ස්වාමීනි, මැරෙන්ට සිදුවෙන බව දන්නේ නැද්ද කියලයි මගෙන් ඇහුවේ.මං මරණසතිය වඩමින් ඉන්නේ.ඒකාන්තයෙන්ම මරණයට පත්වෙන බව දන්නවා ස්වාමීනි.ඒ නිසයි මං දන්නවා කිව්වේ."
තුන්වෙනි වතාවෙත් භාග්‍යවතුන් වහන්සේ සාදුකාර දුන්නා.
"එතකොට කුමාරිකාවෙනි, දන්නවා නේද කියලා ඇහුවාම දන්නේ නෑ කිව්වේ ඇයි?"
"ස්වාමීනි, මං මැරෙන බව දන්නවා.නමුත් රාත්රියකද, දවාලකද, පාන්දරකද මං මැරෙන්නේ කියලා දන්නේ නෑ.ඒ නිසයි ස්වාමීනි, මං දන්නේ නෑ කිව්වේ."
සිව්වෙනි වතාවෙත් භාග්‍යවතුන් වහන්සේ සාදුකාර දුන්නා.
"ගෘහපතිවරුනි, දැන් බලන්න මං ඇසූ ප්‍රශ්නයට ඈ ඉතාම අගේට පිළිතුරු දුන්නා.මේ කිසිවක් නොදැන ඔබ කළේ නිකං කෑ කොස්සං ගැසූ එක විතරයි.බොහෝ දෙනාට ප්‍රඥා ඇස නෑ.අන්ධකාරයේ ඉන්නේ.යමෙකුට ප්‍රඥා ඇස තියෙනවාද, ඒ අයට තමයි සත්‍ය පෙනෙන්නේ."
මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ ඉතා මිහිරි සරින් මෙම ගාථාව වදාළා.
අන්ධභූතෝ අයං ලෝකෝ - තනුකෙත්ථ විපස්සති
සකුන්තෝ ජාලමුත්තෝ'ව - අප්පෝ සග්ගාය ගච්ඡති
මේ ලෝකයේ බොහෝ දෙන
නුවණැසින් තොර අන්ධයන් සේ
සැබෑ තතු නොදැනයි වසන්නේ
දැලෙන් ගැලවී ඉගිලිලා යන
කුරුල්ලන් සේ ටිකදෙනයි
මෙයින් මතු සුගතියට යන්නේ
ඒ දේශනාව අවසානයේ අර දියණිය සෝවාන් ඵලයට පත් වුණා.ඇය ඉතාම සතුටට පත් වුණා.හනික නූල් රැගෙන පියා ළඟට ගියා.ඇගේ පියාට නූල් කටින යන්ත්‍රය ළඟ වාඩි වී සිටියදීම නින්ද ගිහින් තිබුණේ.ඇයත් ඒ ගැන නොසිතා නූල් පන්දුව ළං කළා.එතකොට නූල් පන්දුවේ කෙළවර ඈට ඇනුනා.ඈ කෑ ගසමින් වැටුණා.කලබලෙන් අවදි වූ පියා කලින් ගත්තු විදිහටම නූල් පන්දුව ඇද්දා.ලීයේ කෙළවර ගිහින් ඇගේ පපුවේ වැදුණා.ඇය එතනම මිය ගියා.තුසිත දෙව්ලොව උපන්නා.