පවතින දැඩි වියලි කාලගුණය හා ගොවිතැන් මෙන්ම කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් කිලනොච්චියේ කිරි ගවයින්ට අවශ්‍ය තණකොළ නොමැතිවීම හේතුවෙන් කිරි නිශ්පාදනය දැඩි ලෙසින් අඩු වී ඇතැයි කිලනොච්චියේ කිරි ගොවීන් පවසා සිටිති.
කිරි ගවයින්ට තණකොළ ආහාරයට ගැනීම සඳහා රාජ්‍ය හෝ පෞද්ගලික අංශයන්හි මැදිහත්වීමෙන් ස්ථානයක් වෙන් කර දෙන මෙන් ඉල්ලා කිලිනොච්චියේ කිරි ගොවීන් රැසක් විරෝධතාවයක්ද සංවිධානය කොට තිබුණි.
කිලිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේ ජීවත්වන කිරි ගොවීන් රැසක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර ඔවුන්ගේ කිරි ගවයින්ද අසල පිහිටි කුඹුරු යායකට රැගෙනවිත් මෙම විරෝධතාවය සිදුකරනු ලැබීය.
විරෝධතාවයේ නිරත වූ කිරි ගොවීන් වැඩිදුරටත් පවසා සිටියේ,
සෑම වසරකම ප්‍රදේශයේ කුඹුරු ගොවිතැන් සිදුකිරීම, ගෙවතු වගාව, හේන් වගාවන් ආදිය සිදු වීම හේතුවෙන් සිය කිරි ගවයින්ට තණකොළ ආහාරයට ලබාදීමට භූමියක් නොමැතිව දැඩි පීඩාවන්ට පත්වන බවටත් කිරි ගවයින් ගාල් කොට තැබීමෙන් කිරි නිශ්පාදනය 50% කින් අඩුවන බැවින් ගවයින්ට නිදහස් භූමියක තණකොළ කෑමට අවශ්‍ය වුවද සිය ගෙවතුවලින් එපිටට ගවයින් රැගෙන යාමට අවස්ථාවක් නොමැත්තේ වගාවන් පැවතීම හා එම වගාවන්ට ගවයින් හානි සිදුකල විට විශාල වන්දියක් ගෙවීමට සිදුවන නිසාවෙනි.
එමෙන්ම මේ දිනවල පවතින අධික පෑවිල්ල හේතුවෙන් සිය ගෙවතුවල පිහිටි තණ භූමියද සම්පූරණයෙන්ම විනාශ වී ගොස් ඇති හෙයින් ගවයින්ට තණකොළ ආහාරයට ගැනීමට නොහැකි වීමෙන් සිය කිරි නිශ්පාදනයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බැවින් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුකරන ලෙසටද කිලිනොච්චියේ කිරි ගොවීහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.
(ලංකාදීප)