ග්‍රීස් යකා බේරාගත් හැටි.

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    මේක ටිකක් දිග කතාවක්, හැබැයි කලබල වෙලා පොඩි දෙයක් ලොකු කරගෙන ජාතිවාදී ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නැතිව , පරිනත විදිහට විසගත්ත විදිහ ගැන පාඩමක් ගන්න පුලවන්

    2011අවුරුද්ද වෙනකොට මා අම්පාර දිස්ත්‍රික්කය භාර දිසාපති .මේ කාලෙට සම්බන්ධ සිද්දියක් හදිස්සියෙ මතක් වුනා.ඔය කාලෙදි තමයි රත්න පුරේ කහවත්තෙ කොටකෙතන ගම ආශ්‍රිතව කාන්තාවන් ඝාතනය වෙන සිද්ධි වාර්තා වෙන්න පටන් ගත්තෙ.කාන්තාවන් කිපදෙනෙක්ම අභිරහස් විදියට ඝාතනය වීමත් මේගැන කිසිම හෝඩුවාවක්වත් හෙලිදරව් කරගන්න බැරිවීමත් එක්ක විවිධ කට කතා රටපුරා පැතිරෙන්න පටන් ගත්තා.මේ විදියට පටන් ගත්තු කට කතාවක් තමයි.ග්‍රීස්‍ යකා පිලිබඳ කතාන්දරය.මේ ග්‍රීස් යකා කියන්නෙ කාන්හාවන් තනියම ඉන්න තැන්වලට එනකෙනෙක්.බොහෝවෙලාවට රාත්‍රිකාලෙ ගෙවල්වල පිලිකනුවල රැඳිල ගෙයින් තනියම එලියට බහින කාන්තාවන් අල්ලා ගන්න ලිස්සන සුලු ශරීරයක් සහිත මිනිහෙකු ගැන තමයි මේ කතාව පැතිරුනේ.කට කතාවට අනුව කහවත්තෙ කොටකෙතන කාන්තාවන් ඝාතනය වෙන්නෙ මේ ග්‍රීස් යකා අතිනුයි.ඉතින් මේ ග්‍රීස්‍ යකා කතාව රත්නපුරෙ විතරක් නෙවෙයි රටේ බොහෝ ප්‍රදෙශ වලින් වාර්තා වෙන්න පටන් ගත්තෙ අඳුරේ සැඟවී සිට තමන්ව අල්ලා ගන්න හදල කෑගහනකොට පලායන මිනිහෙක්ව දැක්කා කියපු විවිධ කාන්තාවන් නිසයි.මේ වගේ සිද්දි රටපුරා තැන් තැන් වලින් වාර්තා වීමත් අවේලාවේ පාරවල් වල ඉඳපු නාඳුනන මිනිස්සුන්ට ග්‍රීස් යකාය කියල හිතල කරපු කරදරගැනත් පුවත්පත් වාර්තා පලවෙන්න පටන් ගත්තා.

    නැගෙනහිර පලාතෙ අම්පාර දිස්ත්‍රික්කෙ මුස්ලිම් හා දෙමල ජනතාව ජීවත්වන ප්‍රදේශ වලිනුත් මේ ග්‍රීස්‍ යකා දුටු බවට හා පලා ගියබවට දැකපු කාන්තාවො ගැන වාර්තා වෙන්නත් පටන් ගත්තා.මේවාගේ සිද්දීන් කීපයක්ම වුනහම මහජනතාවගෙ නොසන්සුන්තා ඇතිවෙන එක සිදුවෙනවා.දැන් මුලු දිස්ත්‍රික්කෙ පුරාම මේග්‍රීස් යකා පිලිබඳ සැකය පැතිරෙන්න පටන් ගත්තා.ග්‍රීස් යකාගැන සැකය දරුණුවටම පැතිරුනේ මුස්ලිම් ජනතාව පදිංචි ප්‍රදේශ වලයි. සාමාන්‍යයෙන් මුස්ලිම් සහෝදර ජනතාව ජීවත්වෙන්නෙ එකලඟින් ගෙවල් තිබෙන ගම්මානවලයි මේනිසා කිසියම් ආරංචියක් පැතිරෙන්නත් විශාල සෙනගක් ඒකරාශි වෙන්නත් එච්චර වෙලාවක් යන්නෙ නෑ.මේග්‍රීස් යකා පිලිබඳ සැකය මුස්ලිම් ජනතාව හා දෙමල ජනතාව ජීවත්වෙන ප්‍රදේශවල පැතිරුනේ රජය විසින් ඔත්තු බැලීමේ අරමුන ඇතිව යොදවපු කන්ඩායමක් ග්‍රීස් යකාගෙ වෙස් අරගෙන ගෙවල් වලට රිංගන බවටයි.මේ වාගේ වාතාවරනයක් පවතිද්දි සිවිල් පරිපාලනය කරන ප්‍රධාන නිලධාරියා හැටියට ඉතා ඉක්මනින් තොරතුරු බ්ම් මට්ටමේ සිට ලබා ගන්න එක වැදගත් කියන අදහසේ මම හිටියා.ඒනිසා දිස්ත්‍රික්කෙ පුරාම ග්‍රාමීය මට්ටමේ මා පෞද්ගලිකව දන්න හිතවත් අයට මම දැනුම්දීල තිබුනෙ යම් කලබලකාරී සිදුවීමක් ප්‍රදේශයේ වෙනවනම් වහාම මාව දැනුවත් කරන්න කියලයි.මේදැනුවත් කිරීම නිසා බොහෝ බිම්මට්ටමේ තොරතුරු මට කඩිනමින් ලැබෙන්න පටන් ගත්තා.එක් අවස්තාවක මට දෙහිඅත්තකන්ඩියෙන් ගම්වැසියෙකුගෙන් ලැබුනු තොරතුරක සඳහන් වුනේ ඒ අවස්තාවේ දරුනු සුලඟක් හමමින් නිවාසවල වහලවල්වලට හානිවෙන බවත් ගස්කොලං කඩා වැටී මාර්ගද අවහිරවෙමින් ඇති බවත් ය.මම වහාම දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය ලේකම්වරයාට දුරකතනයෙන් කතාකර සුලඟ පිලිබඳ ප්‍රවුර්තිය පවසනවිට ඔහුවත් ඒ ගැන දැනගෙන සිටියෙ නෑ.වහාම සහන කන්ඩායම් ප්‍රදේශයටයොමුකර සහන සේවා සංවිධානය කෙරුනේ මේ කඩිනම් තොරතුරු ලැබීම නිසයි.දිවා රාත්‍රි දෙකේම දුරකතනයෙන් ඕනෑම තොරතුරක් සංනිවේදනය කරගත හැකි තොරතුරු ජාලයක් මාසතුවීම පරිපාලනය කාර්‍යක්ෂම කිරීමට හේතුවුනා.



    මේ අතරම ලංකාවේ වන අලින් පිලිබඳව සංගණනයක් පැවැත්වීමට වනජීවි සංවර්ධන දෙපාර්‍ර්හමෙන්තුව කටයුතු කලා. වන අලින් පිලිබඳව වූ ස්වේච්චා සංවිධාන රාශියක සහය ඇතිව සංවිධනය කල මේ සඳහා දිස්ත්‍රික් පාලනයේ ග්‍රාම නිලධාරීන්ගේ සහය අපේක්ෂා කලා.ඒ සදහා ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කරමින් ක්‍රියාකලා.අම්පාරේ ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ රැස්වීමේදී අලි සංගණනය සඳහා අවශ්‍ය උපකාර කරන ලෙස දැනුවත් කෙරුනා.අලි සංගනනය සඳහා යොදා ගැනුනෙ පසලොස්වක පොහොය දිනයක්.වැව්,වලට රාත්‍රි කාලයේ ජලය පානයට එන වන අලින් සමීපව නිරීක්ෂණය කරමින් ගණනය කිරීම අලි සංගනනයේ නියුතු ස්වේච්චා නිලධාරීන්ට පැවරී තිබුනා.අම්පාරේ වනජීවි සහකාර අධ්‍යක්ෂ රූපසිංහ මහතා මේ අලි සංගණනය භාරව කටයුතු කලා. හිටි අඩියේ දිනක හවසක එරගම ප්‍රදේශයේ ගෙදරක නාදුනන මිනිසෙක් ඇතුලුවනු දුටු බවට ආරංචියක් පැතුරුනා.අවට ගෙවල් වල අය කලබල වීමත් සමග යම්පුද්ගලයෙකු පොලිස් මුරපල දෙසට පලායනු දැක්කේය යනුවෙන් ආරංචියක් පැතිරුනා .මේ නිසා කලබලවූ මහ ජනතාව පොලිස් මුරපල වට කර ඊට ගල්මුල් ප්‍රාහාර දියත් කරා.පොලිස් නිලධාරීන්ටත් තුවාල සිදුවී අම්පාරෙන් පැමිනි සහායක පොලිස් කන්ඩායම් සමග පොලිස් මුර පොල ඉවත් කිරීමටත් සිදුවුනා.මේ විදියට ප්‍රදේශෙම උනුසුම්වී ඇති තත්වයක්‍ යටතේ ගම්වල විවිධ අවශ්‍යතාවලට ඇවිදින නාඳුනන අයව ප්‍රශ්න කිරීමත් සමහර අවස්‍තා වලදි ඔහුන්ට පහර දීමත් සිදුවුනා.

    මේ තත්වය ඇතිවූනේ අලි සංගණනය පවත්වන්න නියමිත පොහොය දිනට දින කීපයකට පෙරයි. නියම්ත පසලොස්වක පොහොය දිනය උදාවුණා. ‍රජයේ නිවාඩු දිනයක් වුනත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනයේ න්න නිලධාරීන්ට ඔය නිවාඩු භුක්ති විඳින්න ලැබෙන්නෙ නෑ.ඒවිවිධ මහජන කටයුතුවලට සම්බන්ධවීමට සිදුවන නිසයි.මමත් එදා උදේවරුව උහන ප්‍රදේශයේ විහාරස්තාන දෙක තුනකට ගොස් ස්වාමින් වහන්සේලා සමග පවතින ගැටලු ගැන සාකච්චාකර හවස නිල නිවසේ විවේකයෙන් සිටියා හවස හතට පමන මගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආවේ වරිපතන්චේන පදිංචිකරුවෙකු වන අඩ්ඩාලචේන ප්‍රාදේශීය ලේකම් නියාස් මහතාගෙන්.ඉතා කලබලෙන් මා ඇමතූ ඔහු කියා සිටියේ එරගම වැව් ඉස්මත්තේ සිටි කලුඇදුම් ඇඳගත් පුද්ගලයෙකු අල්ලාගත් වරිපතන්චේන මිනිසුන් ඔහුට පහරදෙම්න් පල්ලියට ගෙන ආ බවයි.අදාල පුද්ගලයාට දැඩිසේ පහර දුන් ම්න්සුන් ඒ ග්‍රීස් යකා බවට විශ්වාස කරන බව පැවසුවා.මම ගත් කටටම කියා සිටියේ ඔහු හොරෙක් විය හැකි බවයි.එවිට නියාස් මට කිව්වේ ඇතැම් විට අලි සංගණනයට යෙදවූ කෙනෙක් වන්නට ඉඩ ඇතිබවයි. මේ කතාවත් එක්ක මගේ හිසට ගිණි ඇවිලුනා වගේ දැනුනා.අලි සංගනනය රජය මගින් කරණ වැඩ සටහනක්.ඊට සම්බන්ධවුනු කෙනෙකුට අනතුරක් වුනොත් රජය වගකීම ගතයුතුයි.දැන් මේ කෙනා සිංහල කෙනෙක් වෙලා මුස්ලිම් පල්ල්‍ය තුලදී පහරදී මියගියොත්‍ රටට යන්නේ මුස්ලිම් අය සිංහලයින්ව මරා දැමීමක් ලෙසයි.එහෙම වුනොත් දරුණු ජාතිවාදී කෝලාහලයක් රටේ ඇරඹෙනවා.මේ සේරම දැනෙන්න ගියේ තප්පර ගානයි.මම වහාම වනජීවී සහකාර අධ්‍යක්ෂ වරයට කතාකරා.

    “රූපසිංහ මම ජී ඒ.ඔයාගෙ අලි සංගණනෙට ගියා අයගෙ ටෙලිපෝන් අංක අරගෙන ඇතිනෙ.”

    “ඔව් සර් තියෙනවා.”

    “වහාම එරගම වැව ලඟ ඒ වැඩේට දාල ඉන්න අයට කතා කරල බලන්න මොකුත් ප්‍රශ්නයක්ද ක්‍යල.බලල මට දැන්ම කතා කරන්න.”

    ඊලඟට මම ටෙලිපෝන් කරේ අම්පාර පොලිස් අදිකාරි රණගලට.

    “රණගල වරිපතන්චේන පල්ලියට මනුස්සයෙක්ව දාගෙන ගහනව කියල ආරංචියි.ග්‍රීස්‍ යකා කියල අල්ල ගත්ත ක්‍යලයි මට ආරංචි.මට සැකයි අලි සංගණනෙට ගිය කොල්ලෙක්ද කියල .මොකක් හරි කරල ඒ කොල්ලව බේරාගන්න ඕන”

    “ඔව් සර් මම ඉන්නෙ එරගමට යන ගමන් අපේ කට්ටිය කියන්නෙ මිනිස්සු දාහකට වැඩිය වටවෙලා ඉන්නෙ .ඒහිංද මොකක් හරි ෂේප් එකක් දාගෙන මිසක් අල්ල ගත්තු එකාව ගන්නව තියා හිතන්නවත් බෑ ක්‍යලයි”.

    “හරි මොනව හරි කරපං නැතිනම් ඔය කොල්ලට මොනවහරි වුනොත් හෙට රටම ගිනිගන්නවා ජාතිවාදෙන්.ඒක වුනොත් මගෙ දිසාපතිකමෙත් උඹේ එස්පී කමෙත් රෙදි ඇඳගෙන නම් ඉන්න අයිතියක් අපිට නැතිවෙනවා.තවපොඩ්ඩෙන්මමත් ඔය පැත්තට එනවා.”

    කියල ටෙලිපෝනෙක තිබ්බා.

    ඒත් එක්කම මටකතා කල රූපසිංහ කිව්වෙ අලි සංගනණෙට එරගම වැවට ගිය අයගෙ ටෙලිපෝන් වැඩ කරන්නෙ නෑ කියලයි.

    “රූපසිංහ මේ අලි සංගනනෙට ගිය අයව ග්‍රීස්‍ යකා කියල අල්ලගෙන වරිපතන්චේන මිනිස්සු ගහල ගහල පල්ලියට දාගෙනලු දැන් දාස් ගානක් සෙනග පල්ලිය වටේට ඉන්නවලු.පොලිසියටත් මොකුත් කරන්න බැරුව ඉන්නෙ.මම දැන් ගිහින් මොනව හරි කරන්න බලන්නම්.”

    අනේ සර් මමත් එන්නම් අපේ කොල්ලන්ටමොනව වෙලාද දන්නෙනෑ.උන්ට මොනව හරි වුනොත් මම ඉඳල ඕනෙ නෑ.”

    “හරි එහෙනම් රූපසිංහ මෙහාට එන්න මමතෙක්කම ගියහැකි.”

    මම වහාම ගමන සංවිධානය කලා මගේ විශ්වාසදායි රියදුරු ජයසේනට කිව්වා වහාම මගේ නිල වාහනේ නැතුව ඩබල් කැබ් එකක් ලෑස්ති කරන්න.ගමනට කියල.ආරක්ෂක නිලධාරි පොලිස් කොස්තාපල් කුමාරත් සරතුත්ත් සිවිල් ඇඳගෙන සූදානම් වුනා.මම ඔහුන්ට උපදෙස් දුන්නේමොනම තත්වයකදිවත් ඔහුන් සතු පිස්තෝල භාවිතා නොකලයුතුයි.කියලයි.විනාඩි පහක් ඇතුලත රූපසිංහ ඩබල් කැබ් එකක ආවා. ඒ වාහනේට පස්සෙන් එන්න උපදෙස්දී මගේ ඉස්සරහට දාගෙන වහාම වරිපතන්චේනට යන්න උපදෙස් දුන්නා විනාඩිපහක් ඇතුලත වාහනේ වරිපතන්චේනට කිට්ටුකලා වාහන දෙකම වරිපතන්චේන පල්ලියට මිටර් පනහක් මෙහා එක් ගල් ඔයේ පාලම මත නතර කර රියදුරන් දෙදෙනාට ආපසු හරවාගෙන ගමනට සූදානම්ව වාහනයේම රැඳීසිටින ලෙස තරයේ උපදෙස්දී මමත් රූපසිංහත් ආරක්ශක නිලධාරි දෙදෙනත් පාගමනින් පල්ලිය දෙසට ගියා.පල්ලිය වටා එකම හිස්ගොඩක් ලෙස මිනිසුන් වටවී සිටියා.පල්ලියේ ප්‍රධාන දොරටුව දෙසින් මිනිස් වලල්ලට සමීපවූ මම ඒ මිනිස් වලලේ පිටතම සිටි තරමක වැඩිඝිටි වයසේ මින්සකුගේ පිටට තට්ටු කරා.ආපසු හැරී බැලූ ඔහු මාව හඳුනා ගත්තා.
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    ඔහු පසෙකට වී “ෂර් මෙතන ලොකු කලබල තමා මොනව හරි කරන්න වෙයි” කියා කීවා.මාඔහුට පිලිතුරු දුන්නේ මොනව කරන්නත් පල්ලිය ඇතුලට යන්න ඕනනෙ.කියායි.ඒ සැනෙන් ඔහු ලඟ සිටි අයට මගේ පැමිනීම දැනුම්දුන්නා.හත් අට දෙනෙක් මට කතාකර ම්නිස් පොදිය මැදින් පල්ලියේ දොර ලඟට මා සහ කන්ඩායම රැගෙනගියා.එක් අයෙක් පල්ලියේ ගේට්ටුවට ගසා “අරසාංග අදිපර් වන්ද ඉරිකා” යැයි මහ හඩින් කෑගසා ගේට්ටුව අරිනලෙස දැන්නුවා.ඇතුලත සිටි අය දෙදෙනෙක් පැමින මාව හදුනාගත් බව පෙන්නමින් ගේට්ටුව ඇරියා.මමත් අපේ රූපසිංහ ආරක්ෂක නිලධාරි දෙදෙනාත් ඇතුලුවූ විගස යලි ගේට්ටුව වසා අගුලු දැම්මා.පල්ලිය ඇතුලේදහය පහලොවක පිරිසක් රැඳීසිටියා.ඒඅය මාවටා රැස්වුනා.මම ඔහුන්ට කීවේ රජය විසින් ක්‍රොයාත්මක කරන වන අලි සංගණනය සඳහා යෙදවූ පුද්ගලයින් අල්ලාගෙන ඔහුන්ට හිරිහැර කරන බව අරංචිවී පැමිනි බවයි.ඒ නිලධාරීන් රාජ කාරියක යෙදවූ නිලධාරීන් නිසා ඔහුන්ට හිරිහැර කිරීමෙන් වැලකී වහාම ඔහුන්ව අපට භාරදෙනලෙස පවසා පල්ලිය තුල මේඅන්දමින් පුද්ගලයින්ට හිරිහැර කිරීම වැරදි බවත් පැවසුවා.

    එවිට පල්ලිය තුල සිටි එහි පාලක සභාවේ සභාපතිවරයා පැවසුවේ පල්ලිය තුලදී කිසිවෙකුට හිරිහැර නොකල බවත් වැව අසල සිටි කලු ඇඳගත් පුද්ගලයෙකු මිනිසුන් විසින් අල්ලාගෙන පහර දෙමින් ගෙන ආ පසු ඔහුව පල්ලියට ඇතුලු කර දොරවල් වසාගෙන ආරක්ෂා කරමින් සිටින බවත් ඔහු ග්‍රීස්‍ යකා බව කියමින් වටවී සිටින පිරිස ඔහුව එලියට දෙන ලෙසට ඉල්ලා කලබල කරම්න් සිටින බවත්‍ ය.තමන් ඇතුලුපල්ලි පාලක සභාවේ කීප දෙනා අදාල පුද්ගලයාව පල්ලිය තුලට නොගත්තේනම් මේ වනවිට ඔහුගේ කෑලිවත් ඉතුරු නොවීමට ඉඩ තිබුනු බවත් ඔහු පැවසුවා. එවිට මට පැහැදිලිවුනේ පල්ලියතුල සිටින පිරිස එලියේ වටවී ඇති පිරිසමෙන් ප්‍රචන්ඩ කාරීනොව ඔහුන් සාමකාමී හා බුද්ධිමත්ව ක්‍රියා කරන පිරිසක් බවයි.මම වහාම අදාල පුද්ගලයාව බැලීමට අවශ්‍ය බව කිව්වා.පල්ලියතුල කාමරයක සිටි ඔහුව මා හමුවුනා.අප සිතූලෙසම ඔහු අලි සංගනනයට පත්කල අයෙක්.දැඩිසේ පහරකා අඩපණව සිටි ඔහුට බිය නොවී ධෛර්‍යමත්ව ඉන්නා ලෙසත් කෙසේහෝ මේ ස්තානයෙන් ඔහුව මුදා ගන්නා බවත් පවසා යලිත් පල්ලිය තුල කන්ඩායම සමග සාකච්චාව පටන් ගත්තා.පල්ලිය තුල සිටින අය මේ පුද්ගලයාව මට භාරදීමට එකඟ වුනත් ඔහුන් අනතුරු ඇඟෙව්වේ එලියේ ඉන්නා පිරිස හරහා ඔහුව එලියට ගැනීම අපසියලු දෙනාගේම ජීවිත වලට තර්ජනයක් බවයි.එලියේ වටවී සිටින පිරිසගේ කෑගැසීම් වලින් ග්‍රීස්‍ යකා ඔහුන්ට ඕනෑබවත් කියමින් සිටියා. මේතත්වය තුල යම් ආකාරයක එකඟතාවක් ප්‍රචන්ඩ පිරිස සමග ඇතිකර නොගෙන මේපුද්ගලයා රෝහල් ගත ක්‍රීම කල නොහැකිබව තේරුනා

    එලියේ කෑගසන පිරිස සමග මට කතාකිරීමටත් ඔහුන්ට පනිවුඩයක් දීමටත් මට අවශ්‍යබව මා කීවා පල්ලියේ සභාපතිවරයා මෙගාපෝනයකින් කතාකර අම්පාර දිසාපතිවරයා පැමින සිටින බවත් ඔහුට මේ ජනතාවට කතාකිරීමට අවද්‍යබවත් පවසා මාඅතට මෙගාපෝනය දුන්නා. පල්ලියේ අප සිටි කොටස හා මහජනයා රැඳී සිටින කොටස වෙන්වුනේ කොටුදැල් රාමුවලින්.ඒනිසා මිනිසුන්ට මාව පේනවා මම මෙගාපෝනයෙන් කතාකර ග්‍රීස් යකා ප්‍රශ්නය නිසා ජනතාව අවධියෙන් සිටීම හොඳබව පවසා අපි විසින් වන අලි සංගණනයට එවූ තරුණ යෙක් ග්‍රීස්‍ යකා යැයි වරදවා වටහා ගෙන පහරදී ම නිසා අසාධ්‍ය තත්වයෙන් මේ ගොඩනැගිල්ලේ සිටින බව ත් ඔහුව රෝහල් ගත කිරීමට මාවෙත බාරදෙන ලෙසත් ඉල්ලා සිටියා.එලියේ සිටි මහ පිරිස මගේ කතාව අසාසිට අදාල පුද්ගලයාව නිදහස් කිරීම ඉඩ නොදෙන බවත් පසුගිය දිනවල ගෙවල් වලට පැන්නේ මොහු බවත් මොහුට අදයන්න දුන්නොත් ග්‍රීස්‍ යකා පිලිබඳ රහස දැන ගත නොහැකිබව ආදිය පවසමින් මගේ ඉල්ලීමටවිරෝධය පලකරා.කම්බිදැල අසලට විරෝධයේ නායකයින්සේ පෙනුනු පිරිසක් ඇවිත් මා සමග මේ අදහස් හුවමාරුව කලා.මම කිව්වේ මේ පුද්ගලයාව රෝහල් ගත නොකලොත් ඔහු මිය යන නිසා ඔබලා කියන රහසක් ඇත්නම් දැන ගන්න බැරිවෙනවා. ඒ නිසා ම්නිහව රෝහලට යවමු කියන එකයි.මිනිහව ගෙනිච්චම අපිට ආයිවගකියන්න කෙනෙක් නෑ.ම්න්හව ර්‍රෝහලට යවයි. ඊට පස්සෙ ම්න්හ අතුරුදහන්වෙයි ඉතින් අපිට කරන්න දෙයක් නැතිවෙයි.ඒ අවස්තාවේදි මම හරි මෙයා වෙනුවට ඇපේට කෙනෙක් අරගෙනමෙයාව රෝහලට යවන්න කැමතිද ?ක්‍යා කෙල්න්ම විමසිවා.කාවද සර් අපිට ඇපේට දෙන්නෙ. මේ නායකයො ඇහුවා.වෙන කවිරුවත්ව නෙවෙයි මම ඇපේට එනවා.මෙයාව අපහු සනීපවෙලා මෙතනටම එවන කම් මම මෙතන ඉන්නවා දැන්වත් ඉඩ දෙන්න කලබල නොකර කියල මම ඉල්ලුවා.මගේ ඒ කතාව නිසා යම් දෙගිඩියාවක් කන්ඩායම තුල මතු වෙනු පෙනුනා. මේවන විට ප්‍රකෝපවූ මිනිස්සුත් එක්ක පැය භාගයක් පමන සාකච්චාව කෙරීඅවසන්.සැණකින් සයිරන් නලා ශබ්දයක් සමග වෙඩි වැලක හඬ ඇසෙන්න වුනා.ඒශබ්දයට මිනිස් වලල්ල කැලඹෙනු පෙනුනා දෙමලෙන් සුට්ට්ටාන් සුට්ටාන් ආමී සුට්ටාන් කියා කවුදෝ කෑ ගැසීමක් සමග මුලු මිනිස් වලල්ලම හිස් හැරුනු හැරුනු අතට දිව ගියා..ඒත් සමගම යුධහමුදා ඩිපෙන්ඩර් රත කීපයක් අහසට වෙඩිතබමින් පැමින පල්ලියේ දොරකොඩ නතර කෙරුනා.ඒසැනෙන් කො මනුස්සයා ඉක්මනට දෙන්න අපිට කියායුධහමුදා නිලධාරියෙක් කැගැසුවා. සැනෙන් වත්තම් කරගෙන පැමිනි අලිසංගණන තරුණයාව හමුදා රතයට නැංවුවා රතපෙල නික්මුනේ දැවැන්ත වෙඩිමුරයක් අහසට මුදාහරිමිනුයි. ඒසැනෙන් මම රූපසිංහ සරත්,කුමාර අපිත් පිටවෙමු කියා පල්ලියෙන් පිටවී පාලම මතටදිවැවිත් වාහනවලට පැනගත්තා ජයසේන විදුලි වේගයෙන් පිටත්වී විනාඩිතුනක් තුල අම්පාර නගරයේ මගේ නිල නිවසට ආවා.රූපසිංහ මගෙන් ඇසුවේ අපේ කොල්ලව ගෙනිච්චෙ කොහේටද සර්කියායි. කොහේවුනත් හමුදාවයි ගෙනිච්චෙ හෙට උදේ අම්පාර රෝහලේ බලන්න කිව්වා.මේමුලු කාලය තුලම පොලිස් අධිකාරි රණගලව දැක්කේ නැටි නිසා ඔහුටකතා කලා ඔහු කිවේ ඔහුතවම එරගමපල්ලිය ළඟ සිටින බවයිවරිපතන්චේන පල්ලියේ අපි මැදිහත්වූසිද්දියමෙන්ම ඊට ආසන්න එරගම පල්ලියේ අනි අලි සංගණන කරුව කොටුකරගෙන සිටිබවත් රණගල මැදිහත් වුනේ ඒසිද්ධියට බවත්තේරුම්ගියේ එවිටයි.වරිපතන්චේන පල්ල්‍යේ තරුණයා මුදාගත්පසු එරගම පල්ලියේ තරුණයාව තම භාරයට ගැනීමට පොලිසිය සමත්වුනා.පසුදා උදයේ මටකතාකල රුඉපසිංහ මහතා කීවේ අරතරුණයා දමන රෝහලටභාරදීතිබුනු බවයි.

    මේසිද්ධියනිමවීමත් සමග අපරාධ්ස් පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණයක් ආරම්භ කර .මේ සිද්ධියටමුල්වූ සංවිධානාත්මක පිරිස ගැන සෙව්වා එම න්ලධාරීන්ට මම ප්‍රකාශයකුත් දුන්නා ග්‍රීස්‍ යකා සිද්ධියේදී අලිසංගණනයේයෙදීසිටි තරුණයින්ව ඝාතණයවීම වැලකුනේ වරිපතන්චේන හාඑරගම මුස්ලිම්පල්ලිදෙකේ නායකයින් ගේබුද්ධිමත් මැදිහත්වීම නිසා බව මා ඒප්‍රකාශයේ සඳහන්කරා.අදාල තරුණයින්ව පල්ල්‍ය තුලට දමා දොරවල් වසාගෙන ආරක්ෂා නොකරා නම් ඔහුන් මියයනතුරු අමානුෂික පහරදීමකට ලක්වෙන බව පැහැදිලියි.යුධ හමුදා කන්ඩායම මේස්තානයට කඩා වැදුනේ ජනයාගේ ආවේගකාරී හැසිරීම මගේ මැදිහත්වීම නිසා පාලනය වෙමින්තිබුනු පසුබිමේදියි.මගේ මැදිහත්වීම හා පවතිනතත්වය පිලිබඳව යුධහමුදස් බුද්ධි තොරතුරු සපයන්නෙකු විසින් පල්ලිය අසල සිට ලබාදුන්තොරතුරු මත හදිසි කඩා වැදිම තීරණය කල බව දැනගන්නත් ලැබුනේ පසුවයි.රටේ බොහෝ පලාත්වල ග්‍රීස්‍ යකා අරබයා ඇතිවුනු කලබල විසදීමට රාජ්‍ය නිලධාරියෙකුගේ මැදිහත්වීමක් සිදු වුනු එකම අවස්තාව මේසිද්ධිය බව විමර්ශණ නිලධාරීන්මාසමග පැවසුවා.


    https://sunilkannangara.wordpress.c...Yy9U-wVT1ldA9bL9a9FZHn1dPTcJ_4vYpxut4eVJxbeIQ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    පොලිස් අදිකාරි රණගල මහින්දගේ ගූ කාපු එකෙක්. මේ එහෙමම එකෙක් තමයි District Governor