ග්‍රීස් යකා සහ සමූහ මායා රෝගය (Mass hysteria)

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    ග්‍රීස් යකා සහ සමූහ මායා රෝගය (Mass hysteria)

    සති දෙකක කාලයක් තිස්සේ හංවැල්ල වල්පිට ප්‍රදේශයේ සැරි සැරූ ‘ග්‍රීස් ‍යකෙකු’ අල්ලා ගැනීමේ මෙහෙයුමකට සම්බන්ධ වී සිටි 24 හැවිරිදි තරුණයෙකු කොන්ක්‍රීට් වලින් වසා ඇති ප්‍රජා ළිඳකට‍ වැටී මිය යාමේ ශෝචනීය සිද්ධියක් පසුගිය දිනයක වාර්තා විය.

    මේ සිද්ධියට අමතරව මෙසේ සමාජයේ සැරිසරන ‘ග්‍රීස් යකුන්’ පිළිබඳ පුවත් කිහිපයක් ද දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබේ. පසුගිය මැයි 17 වෙනිදා බත්තරමුල්ලේ දී අලුයම් යාමයේ නිරුවතින් ගමන් ගත් මෙවන් ‘ග්‍රීස් යකෙකු’ සීසීටීවී දර්ශන මගින් පොලිස් අත්අඩංගුවට පත් වුණු අතර ඔහු තලවතුගොඩ හෝටලයක කෝකියෙකු වශයෙන් සේවය කරන මැදිරිගිරිය ප්‍රදේශයේ තරුණයෙකු බව පසුව අනාවරණය විය. මීට සති කිහිපයකට පෙර වැල්ලවාය තානායම අසලදීද මෙවැනි ‘ග්‍රීස් යකෙකු’ අල්ලා ප්‍රදේශ වාසීන් විසින් ගස් බැඳ තිබූ අතර ඔහු බලපිටිය ප්‍රදේශයේ 38 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා විය. තවද හොරණ, ‍තලගල, මොරගහහේන ප්‍රදේශයේ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන්ගේ දරුණු පහරකෑමකට ලක් වූ අතර එය ප්‍රදේශවාසීන් තුළ පැවති ‘ග්‍රීස් යකා’ භීතිකාවක් මුල්කොට නිදොස් පුද්ගලයෙකුට සිදු කළ පහරදීමක් බව පසුව අනාවරණය විය.

    මෙම සිද්ධීන්ට අමතරව මෙසේ සමාජයේ සැරිසරන ‘ග්‍රීස් යකුන්ට’ බියවීමෙන් මානසික කම්පනයට පත් තරුණියන් කීපදෙනෙකු ද පසුගිය කාලයේ මනෝ වෛද්‍ය සායන වෙත යොමු වූ බවට වාර්තා තිබේ.
    මෙම ග්‍රීස් යකා පිළිබඳ භීතිකාව මීට පෙර අවස්ථා ගණනාවකම රට පුරා පැතිරගොස් තිබූ අතර අවසන් වරට මෙම භීතිකාව ආන්දෝලනාත්මක ජාතික මාතෘකාවක් බවට පත් වූයේ 2011 වසරේ දී ය.
    ඒ කෙසේ හෝ ග්‍රීස් යකා මුල්කොට ‘සමූහ මායා රෝගී (Mass hysteria)' තත්ත්වයක් යළි ඇති වීමට පෙර මෙම ‘ග්‍රීස් යකාගේ’ අනන්‍යතාව හඳුනාගැනීම අතිශය වැදගත්ය.

    grees.jpg

    මෙහිදී මෙම ග්‍රීස් යකාගේ භූමිකාව නිරූපනය කෙරෙනුයේ මානසික අර්බුද සහ මානසික රෝග වලින් පෙළෙන පුද්ගලයන් බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා අවධාරණය කරයි.
    ඔහු පවසන අන්දමට මෙහිදී ඔවුන් අපේක්ෂා කරනුයේ බොහෝ විට ‘කාන්තාවන් බිය වැද්දීම’ය. ඔවුන් ලිංගික ආශ්වාදයක් ලබනුයේ එමඟිනි. ඒ සම්බන්ධ මානසික රෝග තුනක් විශේෂඥ මනෝවෛද්‍යවරයා මෙසේ විස්තර කරයි.

    ඉන් ප්‍රධානතම රෝගය වනුයේ,

    ♦. ප්‍රදර්ශන කාමුකත්වය (Exhibitionism)යි’ මෙහිදී ඔවුන් බොහෝ විට සිදු කරනුයේ කාන්තාවන් හමුවේ තමන්ගේ ලිංගේන්ද්‍රිය ප්‍රදර්ශනය කිරීමය. ඉන් ඔවුන් බලාපොරොත්තු වන්නේ කාන්තාවන් සමඟ ලිංගික සබඳතා ගොඩ නගාගැම නොවේ; ඉන් කාන්තාවන් තැති ගන්නා අයුරු දැකීමෙන් මානසික සතුටක්, ලිංගික ආශ්වාදයක් ලැබීමය.

    මෙම ‘ග්‍රීස් යකාගේ’ භූමිකාවට පිවිසෙන දෙවන පිරිස වනුයේ
    ♦. දර්ශාස්වාදයෙන් (Voyeurism) පෙළෙන්නවුන්ය. මොවුන් කොටස් 3 කට බෙදා දැක්විය හැක.

    ඉන්පළමු කොටස වනුයේ ස්ත්‍රී පුරුෂ ලිංගික සබඳතා නැරඹීමෙන් සතුටු වන පිරිසය. සෙසු පිරිස වනුයේ කාන්තාවන්ගේ නිරුවත නැරඹීමෙන් සතුටුවන පිරිසය. තෙවෙනි පිරිස මේ දෙයාකාරයේම දර්ශන දැකීමෙන් සතුටුවන්නෝ වෙති. මොවුහු 'Peeping tom' යන උපහාසාත්මක නමින්ද හැදින්වෙති.

    grisb.jpg

    ♦. අර්චන කාමය (Fetishism) මෙම ‘ග්‍රීස් යකාගේ’ භූමිකාවට එක්වන තෙවන පිරිස වනුයේ කාන්තා ඇඳුම් සොරකම් කරන්නවුන්ය. ‍මොවුන්ගෙන් බොහෝ දෙනෙකු කාන්තා යට ඇඳුම් සොරකම් කිරීමට වැඩි ඇල්මක් දක්වන බව පෙනේ. මෙම මානසික‍ රෝගය හැඳින්වෙනුයේ ‘අර්චන කාමය (Fetishism)’ යනුවෙනි. මේ සඳහා ද ඔවුහු රාත්‍රී කාලයන්හිදී මිනිස් ජනාවාස ඇසුරේ සැරිසරති.

    මෙහිදී මෙම රෝග ලක්ෂණ යම් යම් පුද්ගලයන් තුළ යම් යම් ප්‍රමාණයන් ගෙන් පැවතිය හැක. එහෙත්යම් පුද්ගලයකු මෙසේ ග්‍රීස් යකෙකුගේ මට්ටමට පත්වනුයේ එම රෝග ලක්ෂණ වඩාත් උත්සන්න වීමෙන් පසුවය.

    දැනට ලොව පුරා සමාජ මනෝ විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කොට ඇති අන්දමට යම් සමාජයක සමාජ ආර්ථික සංස්කෘතික බිඳ වැටීම් සිදුවන කාලයන් තුළ මෙම මානසික රෝගවල සමාජ නිරූපනයන්ද වැඩිපුර දැක ගැනීමට පුළුවන. ඒ අනුව පසුගිය කාලයේ සමාජයේ මතු වූ ග්‍රීස් යකාගේ භූමිකාව පශ්චාත් යුද සමයේ හටගත් යුද මානසිකත්වය මත පදනම් වූ කිසියම් සමාජ මානසික නිරූපණයක් දැයි වෙනම සොයා බැලිය යුතුය.

    grisc.jpg

    මෙහිදී මෙවන් පුද්ගලයන් ‘ග්‍රීස් යකුන්’ වශයෙන් සඳහන් වනුයේ ඔවුන් මෙවන් කටයුතු වලට සම්බන්ධ වීමේ දී තමන්ගේ ශරීරය පුරා ග්‍රීස් නම් වූ ලිහිසි ද්‍රව්‍යය තවරාගෙන පැමිණෙන බැවිනි. ඒ තමන් සිදුකරන සමාජ විරෝධී ක්‍රියාව මත කිසිවෙකුගේ ග්‍රහණයට හසුවුවහොත් ඉන් ලිස්සා පැන යාමට ඇති හැකියාව සලකා ගනිමිනි.

    පොදුවේ ‘ග්‍රීස් යකුන්’ ලෙස සැලකුණද කළු ඇඳුම් ඇදගත්, අඩනිරුවතින් හෝ පූර්ණ නිරුවතින් සමාජය හමුවට එන පුද්ගලයෝ ද ඔවුන් අතර වෙති. කෙසේ හෝ මෙවන් ග්‍රීස් යකුන් අමනුෂ්‍යයන් ලෙස හෝ අපරාධ කරුවන් ලෙස හඳුනාගැනීමට වඩා මොවුන් සමාජයේ පොදු අනුකම්පාවට ලක් විය යුතු මානසික රෝගීන් ලෙස හඳුනාගැනීම අතිශය වැදගත් යැයි විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා අවධාරණය කරයි.


    දමයන්ති ගමගේ විසින් ලක්බිම පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරින් සකස් කරගන්නාලදි. මෙය කාලීනව වැදගත් ලිපියක් නිසා මිතුරන් අතර දැණුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙහි පලකරනලද අතර කිසිදු වානිජ පරමාර්ථයක් නොමැතිබවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවිය යුතු බවත් ස්තුති පූර්වකව සඳහන් කරමි.