ගෝඨාභය කිරඹකන්ද ඝාතන නඩුව

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගෝඨාභය කිරඹකන්ද ඝාතන නඩුව

    1966 පෙබරවාරි මස 8 වන දින ගල්කිස්ස රත්මලාන ශාන්ත රීටා පාරේ, ශාන්ත රීටා දේවස්ථානයේ ළිඳ වටා ගම්වාසීන් එක්රැස් වන්නේ වේදනාවෙන් සහ බියෙන් කම්පනය වූ මුහුණිවලින් යුක්තව යි. ඔවුන් ළිඳ තුළ තිබෙන කුඩා නිසල දේහය දෙස එබි එබී බලන්නේ එකී අපරාධය සිදුකරන ලද පාපතරයා කවුරුන්දැ යි විවිධ අන්දමින් සැක පහළ කරමින්. ඒ වන විටත් සිය අවසාන සුසුම් පොද සමග පොරබදා හෙම්බත්ව සිටි වයස අවුරුදු 11ක් වූ රාම්දාස් ගෝඨාභය කිරඹකන්ද කුඩා පිරිමි දරුවා සදහටම නිහඬ වී සිටියා. කොළඹ අධිකරණ වෛද්‍යවරයා පවසන්නේ මොට ආයුධයක් වැනි දෙයකින් දරුවාගේ හිසට හානි වී තිබෙන බව යි. මෙකී ඝාතනය සම්බන්ධව විමර්ශන කටයුතු පවත්වමින් තොරතුරු දඩයමෙහි යෙදුණු රහස් පොලීසියේ උකුසු ඇස එක්වරම යොමු වන්නේ වයස අවුරුදු 22ක තරුණියක් වෙත යි. පෝලින් ද ක්‍රෑස් නමැති ඇය මෙම දරුවාගේ පියාගේ අනියම් පෙම්වතිය ද වනවා. පොලීසියේ අවධානය ඇය‍ වෙත යොමු වීමට ප්‍රධානතම හේතුව වූයේ දරුවාව අවසාන වතාවට දුටු අය දරුවාව දැක තිබුණේ මෙකී තරුණිය සමග වීම හේතුවෙනුයි.
    MaVymfk6WOr5obRK_1-%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%AF%20%E0%B6%9A%E0%B7%B2%E0%B7%83%E0%B7%8A%20%28Lifie.LK%29.jpg

    පෝලින් ද කෲස් (Lifie.LK)දරුවාගේ පියා වූයේ රාජ්‍ය ආයතනවලට මෙන්ම විශාල පෞද්ගලික ආයතනවලට ද මාළු සැපයූ නුගේගොඩ පොහොසත් මුදලාලි කෙනෙකු වූ එලියස් අප්පුහාමිගේ බාල පුතා වූ දොන් බෝධිපාල කිරඹකන්ද නම් පුද්ගලයා යි. පාසල් ගමන අතරමග නවතා පියාගේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට ඉදිරිපත් වූ බෝධිපාල ඒ අවධියෙහි පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ගේ නිවාසය වූ ‘ශ‍්‍රාවස්තියේ’ හෙවත් වර්තමානයේ දී කෞතුකාගාරය අසල පිහිටි බස්නාහිර පළාත් සභාව පිහිටි ගොඩනැගිල්ලෙහි භෝජනාගාරය භාරව කටයුතු කළ නන්දසිරි සමග මිතුරු වෙනවා. ඉන්පසුව ඔහු නන්දසිරිගේ අනියම් බිරිඳ වශයෙන් සිටි ජෙසී ප‍්‍රනාන්දුගේ ඇසුරට වැටෙන අතර ඔහු නිසාවෙන් ඇයව ගර්භණීභාවයට පත්වීමත් සමග ඇයව විවාහ කරගැනීම සිදු කරනවා. දියණියත් බිරිඳත් සමග වාසය කරන බෝධිපාල ඉතා සංවිධානාත්මකව ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම ආරම්භ කරන අතර එය ලංකාවේ ප්‍රධාන පෙළෙහි බලධරයන් ගැවසෙන තිප්පොළක් බවට පත්වෙනවා. විශේෂත්වය වන්නේ ජෙසී ද එහි ගණිකාවක් ලෙස කටයුතු කිරීම යි.
    ප‍්‍රදේශවාසීන්ගේ විරෝධය මේ කෙරෙහි එල්ල වූවත්, බෝධිපාල සිය දුරාචාරයන් නැවැත්වීමට කිසිසේත්ම සූදානමක් පෙන්වන්නේ නැහැ. මේ අතර ජෙසීට තවත් දියණියක් හා ඝාතනයට ලක් වූ පුතු ද උපත ලබනවා. මොවුන්ගේ කතාන්දරයට පෝලින් එකතු වන්නේත් මේ අවධියේ දී. කතෝලික භක්තික බර්ගර් පවුලක් වූ ඩි කෲස් පවුලේ දෙවැනි දරුවා වූ පෝලින් කන්‍යාරාමයන්හි අධ්‍යාපනය ලැබූවත් ඇගේ පවුල් පසුබිම සතුටුදායක වූවක් වන්නේ නැහැ. ඇගේ පවුල තුළ මත්පැන් හා අඩදබරවලට ඉතා විශේෂ තැනක් හිමිවුණා. එහි ප්‍රතිඵලය වූයේ ඔවුන්ගේ දියණිය පාලනයෙන් තොර චරිතයක් බවට පත්වීම යි. ගණිකාවක ලෙස ජීවත්වීම ආරම්භ කළ ඇය පසුව නුවර ප‍්‍රදේශයේ හැරී ස්පෙල්ඩ්න්ඩ් නමැත්තෙකු සමග ස්ථීර ආදර සම්බන්ධයක් ඇති කරගත්තත් 1964 අවසාන භාගයේ දී තිදරු පියෙකු වූ බෝධිපාල කිරඹකන්ද හමුවීමත් සමගම ඔහුගෙන් දුරස් වෙනවා. මේ අතරතුර ඇය පියෙකු නොමැති දරුවෙකු වදන අතර, එකී දරුවාව මොරටුව කන්‍යාරාමයකට භාර දෙන ලද බවට ද වාර්තා වනවා. මේ අතරතුර බෝධිපාල හා ඇය අතර පවත්නා ආදර සබඳතාව මුහුකුරා යෑමත් සමගම ඇය බෝධිපාල හා විවාහ වීමට උත්සාහ ගන්නවා. බෝධිපාල හා ජෙසීගේ පවුල් සංස්ථාව පෝලින් හේතුවෙන් දෙදරා යෑමත් සමගම 1965 නොවැම්බර් මාසයේ දී ජෙසී විසින් බෝධිපාලට එරෙහිව දික්කසාද නඩුවක් ගොනු කිරීමත් සිදුවෙනවා.
    මේ අතර පෝලින්ගේ පියා ද සිය දියණියව විවාහ කරගන්නා ලෙස බෝධිපාලට බලපෑම් එල්ල කරනවා. එතරම් හැඩරුව ඇති කෙනෙකු නොවූවත් පිරිමින් වසඟ කරගැනීමේ හැකියාවෙන් යුක්ත වූ සරාගී පෝලින් හා තම සැමියා අතර සිදුවන දෑ දැනගැනීමට ඔත්තුකරුවෙකු වශයෙන් පෝලින්ගේ දෙමාපියන් කුලියට ගෙන පදිංචිව සිටි දෙහිවල සත්වෝද්‍යානය පිටුපස ගල්වල පාරේ නිවසට බෝධිපාල සමග නිතර රාම්දාස් ගෝඨාභය යැවීමට ජෙසී උත්සාහ කළා. පියා සමග කීපවතාවක් පෝලින්ගේ ගෙදර ගොස් ඇති බෝධිපාලගේ කුඩා පුතු ඒ වනවිටත් පෝලින් සමග මිත්‍රව සිටියා. ගල්කිස්ස හේන පාර විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ උගනිමින් සිටි රාම්දාස් ගෝඨාභය සුපුරුදු පරිදි 1965 පෙබරවාරි 07 දිනත් පාසලට නික්ම යනවා. කෙසේ නමුත් ඔහු යළිත් පෙරළා නිවසට පැමිණෙන්නේ නැහැ.
    මරණ පරීක්ෂණයේ දී හෙළි වන්නේ මෙකී මරණය දියේ ගිලීමෙන් වූ මරණයක් බව යි. නමුත් ඔහුව ඝාතනය කරනවා හෝ යමෙකු විසින් ළිඳට දමනවා හෝ කිසිවෙකුත් දකින්නේ නැහැ. එකතු කර ගත් පරිවේශනීය සාක්ෂ්‍ය මඟින් ගොනු කළ කරුණු මත පෝලින් ඩි කෲස් සහ බෝධිපාල කිරඹකන්දට එරෙහිව මිනීමැරීමට කුමන්ත‍්‍රණය කිරීම සහ මිනීමැරීමේ චෝදනා මත නඩු පැවරීම සිදු කරනවා. මෙකී නඩුවේ දී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂ්‍ය දීමට 59 දෙනෙකු නම් කොට තිබුණු අතර ඉන් 40 දෙනෙකුගේ සාක්ෂ්‍ය විභාග කරමින් දීර්ඝ නඩු විභාගයක් පවත්වනවා. එම සාක්ෂ්‍යකරුවන්ගේ සාක්ෂ්‍ය ද පෝලින්ගේ දිනපොතේ සටහන් ද වෙනත් සාක්ෂ්‍ය ද අධිකරණයේ දී සලකා බැලෙනවා.
    1966.12.07 වන දින උදෑසන පෝලින් ඩි කෲස් බෝතලයක් වැනි දෙයක් අඩංගු පාර්සලයක් අතැතිව ඇයගේ නිවසේ සිට ගල්වල පාර දිගේ ගමන් කිරීමත්, රොහාන් වික‍්‍රමසිංහ නමැති මිත‍්‍රයා සමග ගෝඨාභය දරුවා දෙහිවල කවුඩාන බස් නැවතුමේ සිට ගල්කිස්ස හේන පාර පාසලට බස් රියකින් ගමන් කර තිබීමත්, උදෑසන පෝලින් දරුවාගේ පාසල අසලට පැමිණ චිත‍්‍රපටයක් බැලීමටයැ යි කියා පාසලට යා නොදී ඔහුව ගාලූ පාර දෙසට කැඳවා ගෙන යාමත්. උදෑසන 8.00ට පමණ පෝලින් සහ කුඩා දරුවා ශාන්ත රීටා පල්ලිය භූමියේ සැරිසරනු එහි සේවකයෙකු වූ ඇල්බට් පෙරේරා නමැත්තා දැක තිබීමත්, ඉන් සුළු මොහොතකට පසු දිනපතා පල්ලියට එන බැතිමතෙකු වන රෝලන්ඩ් නමැත්තා පෝලින් පල්ලිය ඇතුළේ බංකුවක වාඩි වී සිටිනු දැකීමත්, ළමයෙකු අසනීපයෙන් පසු වන්නාක් මෙන් ඇයගේ සිරුරට හිස ගසාගෙන හේත්තු වී සිටින බව දැකීමත්, දිවා විවේක කාලය තුළ දී ගෝඨාභය සහ පෝලින් පාසල් ඉඩමට නැවත පැමිණ තිබීමත්, දවල් නැවතත් දෙදෙනාම පල්ලිය ඇතුළේ සිටිනු දැක ඔවුන්ට පිටව යන ලෙස ඇල්බට් පෙරේරා නමැති පල්ලියේ සේවකයා පැවසීමත්, එහි දී තමා පැමිණ සිටින්නේ ස්වාමි හමු වී උප්පැන්න සහතිකයේ පිටපතක් ලබා ගැනීමට බව පැවසීමත්, පල්ලියේ ළිඳ ළඟ පෝලින් සහ ගෝඨාභය සිටිනු දෙදෙනෙකුම දැක තිබීමත්, සවස දෙහිවල පින්වත්ත පන්සල අසල දී පෝලින් පාසල් බෑගයක් රැගෙන යනවා දෙදෙනෙකු විසින්ම දැක තිබීමත්, පාසල් බෑගය නොමැතිව සවස පෝලින් ඇයගේ නිවස දෙසට යනු අසල්වැසියෙකු විසින් දැක තිබීමත්, ගල්වල පාරේ වෙසෙන හෙලන් අල්විස් නමැත්තිය තම වත්තෙහි වැට අද්දර වීසි කර තිබුණු ළමයාගේ පොත් බෑගය අහුලාගෙන භාර දීමත්, ඒ තුළ ළමයාගේ සෙරෙප්පු දෙක ද තිබීමත්, පසුදින උදයේ රාම්දාස්ගේ සිරුර එකී ළිඳෙහි තිබී හමුවීමත්, ඊට සති කීපයකට පෙර කළුබෝවිල රෝහලට ගිය පෝලින් තමාට නින්ද නොයෑමේ ආබාධයක් ඇති බව පවසා නිදි පෙති ලබාගෙන තිබීමත්, යන කරුණු සලකා බලමින් මෙකී ඝාතනය සම්බන්ධව පෝලින් කෙරෙහි ඇඟිල්ල දිගු වීම සිදුවෙනවා.
    xAbxd4cZaBtxFiaT_2-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7%20%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%20%E0%B7%80%E0%B7%96%20%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B6%B9%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%20%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%20%28The%20Island%29.jpg

    ඝාතනයට ලක් වූ කිරඹකන්ද පුතු (The Island)ජූරි සභාවක් ඉදිරියේ විභාග වූ මෙම නඩුවේ දී වරදකරු වන පෝලින්ට මරණ දඬුවම නියම වෙනවා. සම අපරාධකරුවා ලෙස නම් කෙරුණු දෙවැනි විත්තිකරු වූ බෝධිපාල කිරඹකන්දව නඩුව අතරමඟ දී නිදහස් කෙරෙන්නේ ඔහුට විරුද්ධව සාක්ෂ්‍ය හිඟවීම හේතුවෙන්. අපරාධ අභියචනාධිකරණයේ දී පෝලින්ට සහනයක් සේ නඩුව නැවත විභාග කිරීමට තීන්දු කෙරුණත්, අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ඇය වැරදිකරු කරන ලද තීන්දුවම අනුමත කිරීම සිදුවෙනවා. අවසානයේ දී එම නඩු තීන්දුවට එරෙහිව බි‍්‍රතාන්‍යයේ ප‍්‍රිවි කවුන්සලයට අභියාචනයක් කෙරෙනවා. නඩුව සම්බන්ධව පවතින්නේ පරිවේශනීය සාක්ෂ්‍ය පමණක් වුවත් ඒවායෙහි ප‍්‍රබලත්වය හුවා දක්වමින් ප‍්‍රිවි කවුන්සල විසින් ද ඇයගේ අභියාචනය නිෂ්ප‍්‍රභ කරනවා. කෙසේ නමුත් එවකට සිටි අග‍්‍රාණ්ඩුකාරවරයාගේ තීරණයෙන් 1969 දී ඇයගේ මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට පරිවර්තනය වෙනවා.
    මෙකී නඩු තීරණය නීති විශාරදයන් අතර ආන්දෝලනයට ලක්වීම සිදුවන්නේ අපරාධ නඩුවක් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු විය යුතු බැවින්. එනම් අදාළ අපරාධය අදාළ තැනැත්තා විසින්ම කළ බවට සියයට සියයක් ඔප්පු විය යුතු වීම යි. කිසිදු සැකයක් නොතිබිය යුතු වීම යි. මෙවන් අපරාධයක් තරුණියකට තනිවම සිදු කළ හැකි ද යන තර්කයත්, ඇසින් දුටු සාක්ෂ්‍ය කිසිවක්ම නොමැතිව අසා සොයා දැනගන්නා ලද සාක්ෂ්‍යවලින් මරණ දඬුවම දීමට තරම් නිගමනයකට එළඹීම පිළිබඳවත් අදටත් මෙම නඩු තීරණය විවාදාත්මක ය.


    Roar
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    පෝලින් ඩි කෲස් නිදහස ලබා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ආ බවක් සඳහන් වෙනවා.
    60 දශකය අග භාගයේ ලංකාවෙ ඉතා ප්‍රසිද්ධවූ මිනිමැරුම නඩු විභාග තුනක් තිබුනා.
    1. ගෝඨාභය කිරඹකන්ද ඝාතනය
    2. පද්මිනී කුලරතන ඝාතනය
    3. කැළැත්තෑවේ මිනීමැරුම