චක්ඛුපාල භික්ෂුව සහ නොදැන කල දේට පසුතැවීම

hpalpola

Well-known member
  • ධම්මපදයේ මුල් ගාථා දෙක අපි හැමෝම වගේ අහලා තියෙනවා. ඒ ගාථා දෙකට හේතු වෙන්නේ මට්ටකුණ්ඩලී කතාවයි චක්ඛුපාල භික්ෂුව ගැන කතාවයි. මේ කෙටි ලිපියෙදි මන් කතා කරන්න හිතුවෙ චක්ඛුපාල භික්ෂුව ගැන කතාව ගැන.

    චක්ඛුපාල භික්ෂුවගේ ඇස් පෙනීම නැති වෙනවා. හැබැයි අර්හත් භාවයටත් පත් වෙනවා. මේ ගැන භික්ෂූන්වහන්සේලා බුදුරජාණන්වහන්සේගෙන් විමසු⁣වාම තමයි පෙර ජාතියක චක්ඛුපාල භික්ෂුව කරපු අකුසලය ගැන කතාව දේශනා කරන්නෙ. ඒ කතාවත් එක්ක තමයි ගාථාව දේශනා කරන්නෙ. ඔය කතාව අහන්න භික්ෂූන්වහන්සේලා බුදුරජාණන්වහන්සේ ලඟට යන්න වෙන හේතුව තමයි මේ ලිපියෙ කතාව.

    දවසක් චක්ඛුපාල භික්ෂුව වැඩ වාසය කරන ආරාමයට යන අනෙක් භික්ෂූන්වහන්සේලා දකිනවා බිම පණුවො මැරිලා ඉන්නවා. ඒ අය දැන ගන්නවා මේ පණුවො මැරිලා තියෙන්නේ චක්ඛුපාල භික්ෂුවගේ පයට පෑගිලා කියලා. උන්වහන්සේ සක්මන් භාවනාව කරද්දි තමයි ඒ සත්තු පෑගිලා මැරෙන්නෙ. මේ නිසා චක්ඛුපාල භික්ෂුව සත්තු මැරුවා කියලා අනෙක් භික්ෂූන්වහන්සේලා බුදුරජාණන්වහන්සේට පැමිණිලි කරනවා. ඒ වෙලාවෙ බුදුරජාණන්වහන්සේ සහ ඒ භික්ෂූන්වහන්සේලා අතර සංවාදයක් වෙනවා.

    තමුන් වහන්සේලා දැක්ක ද චක්ඛුපාල භික්ෂුව සතුන් මරනවා?

    නැහැ ස්වාමිනී.

    මහණෙනි, තමුන් වහන්සේලා එය නොදැක්කා වගේ තමයි චක්ඛුපාල භික්ෂුවත් සතුන් මැරෙනවා දැක්කෙ නැහැ. රහතුන්ට මරණ චේතනා නැත.

    ඒ වෙලාවේ තමයි අර භික්ෂූන්වහන්සේලා චක්ඛුපාල භික්ෂුව ගැන අතීත කතාව බුදුරජාණන්වහන්සේගෙන් අසා දැන ගන්නෙ වගේම අපි අද ධම්මපදයේ මුල් ගාථාව පුරුදු කරන්නෙත්.

    හුඟක් වෙලාවට මිනිස්සුන්ට තියෙන පසුතැවීමක් තමයි නොකළ වැරදි ඒ කියන්නෙ තමුන් කලාද නැද්ද කියලාවත් නොදන්න වැරදිවලට පසුතැවෙන එක. නිදසුනකට බලන්න මෙහෙම. වොෂ්රූම් එකට යනවා නාන්න. ටිකක් වතුර ඇඟට වැටෙද්දි දකිනවා ගලාගෙන යන වතුරට කූඹි අහුවෙලා ගහගෙන යනවා. නැත්නම් කූඹි මැරෙනවා. මේක දැක්කම සමහරුන්ට පුළුවන් නොදැක්ක වගේ ඉතිරි ටිකත් නාලා ඒ වැඩේ ඉවර කරන්න. හැබැයි සමහරුන්ට බැහැ. ඒ අයට හිතට වද දෙන්න පටන් ගන්නවා "අනේ මන් නාන්න ගිහින් මගේ අතින් කූඹි මැරුනා නේ ද?" කියන ප්‍රශ්නය. ඔය ප්‍රශ්නය එක දවසක් දෙකක් නෙමෙයි ඊට පස්සෙ ජීවත් වෙනකන් ම හිතට වද දෙනවා. තව නිදසුනක් ගත්තොත් පාරේ ඇවිදන් යද්දි දන්නෙම නැතුව සතෙක් පෑගිලා මැරෙනවා. කවුරුහරි කියනවා "අන්න ඔයාට පෑගිලා අරක මලා" කියලා. දැන් තමයි දැනගන්නෙ සතෙක් මැරුනා කියලා. ඒක දැන ගත්ත වෙලාවෙ ඉඳන් ඉතින් පසුතැවෙන්න ගන්නවා. මන් මේ සටහන් කලේ නිදසුන් දෙකක් විතරයි. හිතලා බලන්න ඔයාලගේ ජීවිතේ එහෙම අවස්ථා නැද්ද කියලා.

    කලින් කිව්ව චක්ඛුපාල භික්ෂුවට පණුවො පෑගුණ කතාව මතක් කර ගන්න. ⁣බුද්ධ දේශනාව අනුව ගත්තම චේතනාව මුල් වෙලා කරන ක්‍රියාව තමයි පසු පස්සෙ ඇවිල්ලා පඩිසන් දෙන්නෙ. ඒක හොඳ චේතනාවකින් කලා නම් හොඳ ප්‍රතිඵලයක්, නරක චේතනාවකින් කරන ක්‍රියාවක් නම් නරක ප්‍රතිඵලයක් විදියට. ධම්මපදයේ මුල් ගාථා දෙකෙන් කියන්නෙ ඒක.

    ඒක එහෙම වෙද්දි සමහරු තමුන් කලාද නැද්ද කියලවත් දන්නෙ නැති දේවලට ජීවිතේ පුරා පසුතැවෙනවා. සමහරු නොකරපු වැරදි වලට නොසෑහෙන්න පසු තැවෙනවා අනුන් කියන දේවල් අහලා. ලස්සන ජීවිතේට ඒ වගේ පසුතැවීමක් එකතු කර ගන්න එපා. වැඩක් නෑ නේ. මේ තරම් වටින ධර්මයක් තමුන්ගෙ ඇඟිලි තුඩ ලඟ තියාගෙන නොකරපු වරදකට, නැත්නම් කරන්න හිතපු වත් නැති දෙයකින් ලැබෙන ප්‍රතිඵලය නරක දෙයක් වුනාම පසුතැවෙන්න තියා ගන්න එපා. බුදු දහම තියෙන්නෙ මිනිස්සුන්ට පසුතැවෙන්න උගන්වන්න නෙමෙයි, සතුටින් ජීවත් වෙන හැටි උගන්වන්න.