ඡන්දදායක ඔබගේ අවධානය පිණිසයි...!!!

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඡන්දදායක ඔබගේ අවධානය පිණිසයි...!!!

    ඡන්දදායක ඔබගේ අවධානය පිණිසයි

    1936 ජනවාරි 7 වනදා කුමාරතුංග මුනිදාසයන් විසින් ලක්‌මිණි පහනට ලියන ලද "මන්ත්‍රීවරණය" යන හිසින් පලවූ කතුවැකියක මෙසේ දැක්‌විණි.

    "නම් දෙන දිනය ඉතා ළඟයෑ. තෝරන දින ද දුරු නොවේ. එකකු ගැරහූ, එකකුගේ ගුණ වැනූ, එකකු නොකළ දෑ කියූ, එකකු කළ දෑ කියූ, එකකුට නොකළ හැකි දෑ දැක්‌වූ, එකකුට කළ හැකි දෑ දැක්‌වූ පත්‍රිකාද ඒ අත යෙයි. මේ අත යෙයි. ගෙදරටමැ එයි. මැතිකම් පතන්නෝද උදයමැ නැගී, මනා ලෙස සැරැසී, පළමු කොටැ කැටපතට සිනා සී ඉක්‌බිති සිනාව නළවමින්, වෙනදාට වඩා නැමෙමින්, වෙනදාට වඩා නවනමින්, වෙනදාට වඩා දොඩමින්, වෙනදාට වඩා සොයමින්, සියලු ගුණ වෙස්‌ ගත් ලෙසක්‌ දක්‌වමින් සැරි සරති. උන්ගේ නියුතුවෝද හොඳට සැරසී කාබී, ගත හැක්‌කක්‌ දැන් මැ ඇද ගත යුතුයෑ" යනු සියලු කල්හි සිහි කෙරෙමින්, හොඳම යානයෙන් ඒ මේ අත බමති."

    එදා ලක්‌මිණි පහන කතුවරයා දුටු මන්ත්‍රීධූරාපේක්‍ෂකයෝ හා මෙදා අප දකින මන්ත්‍රීධූරාපේක්‍ෂකයෝ කෙතරම් සමාන වූවෝදැයි විමසා බැලීම පාඨක ඔබටම බාර කරමු. මන්ත්‍රීධුරාපේක්‍ෂකයෝ එදාට වඩා සංවර්ධන වී සිටිත් නම් ඒ රැවටීම්, බොරු මැවීම්, බියවැද්දීම්, මුළාකිරීම් වැනි කරුණුවලින් පමණි. අද එදා නොමැති මනාප සටනකුත්, පෝස්‌ටර් සටනකුත් දැකගත හැකිය. එසේම එදා සිටි ගරු මන්ත්‍රී වෙනුවට අද දැකගත හැක්‌කේ විශ්‍රාම වැටුප් ඇතුළු දීමනා හා වරප්‍රසාද පොදියකට ද හිමිකම් කියන මැතිවරු හා ඇමැතිවරු නොවෙත්ද?

    අද මන්ත්‍රී යනු කිසියම් දේශපාලන පක්‍ෂයක, පක්‍ෂ එකතුවක සාමාජිකයෙකි. එදත් එය එසේම විය. එහෙත් එදා පක්‍ෂය හා පක්‍ෂ නායකයාගේ රූකඩ ලෙස ක්‍රියා කළ මන්ත්‍රීවරු හිඟ වූහ. මන්ත්‍රීකම ගරු සේවයක්‌ වූ අතර ජාතික මෙහෙවරක්‌ උදෙසා පෙනී සිටින්නෙක්‌ද විය. භාෂා ශාස්‌ත්‍ර පිළිබඳ දැනුමෙන්ද සමාජ සේවය සඳහා වූ කැපවීමෙන්ද යුතු ගරු මන්ත්‍රීවරයාගේ යුගය අද අවසන් වී යමින් තිබේ.

    දේශපාලනය යනු රට දැය වෙනුවෙන් කෙරෙන දෙයකට වඩා තමන්ගේ ප්‍රතිලාභ සඳහා කෙරෙන ගර්හිත දෙයක්‌ ලෙස පිරිහෙමින්ද තිබේ. අද මන්ත්‍රීධුරයක්‌ සඳහා විශාල ධනයක්‌ වැය කරනු පෙනේ. එනිසා එය ආයෝජන මාර්ගයකි. මොන ක්‍රමයකින් හෝ උපයා ගත් බොහෝ විට වැරදි, ලෙස හෙවත් "සම්මා වායාමයෙන්" තොරව ගොඩ ගසා ගත් සල්ලි යොදන්නේ දේශපාලනය සඳහාය.

    අද දේශපාලනයට කළ පුරුද්ද හෝ පලපුරුද්ද පමණක්‌ නොව කිසිම උගත්කමක්‌ද වුවමනා නැත. සමාජ ආර්ථික තතු පිළිබඳව නොදත් ළිං මැඩියන් වැනි අය දේශපාලනයට සීඝ්‍රයෙන් ඇදෙති. කුමක්‌ සඳහාද? බලය සඳහාය. බලය යනු අද ඉතා විස්‌මිත දෙයකි. දේශපාලන බලය තවම අවනත වන්නේ අධිකරණයට පමණි. එහෙත් නීතිය පවා අතට ගෙන ක්‍රියා කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව වුවද අධිකරණයට යන අය ඉතා විරලය.

    මැතිවරණයකදී සිදුවන නීති විරෝධී ක්‍රියාකාරකම් මේ වන විට වාර්තාගත ලෙස ඉහළ ගොස්‌ තිබේ. මැතිවරු කැමැති යමක්‌ වේද එයම කරති. එයින් අන් අයට බාධා වුවද ඔව්හු ඒ ගැන තැකීමක්‌ නොකරති. මන්ත්‍රීධුරයක්‌ සඳහා වැය කරන ධනස්‌කන්ධයට සරිලන ප්‍රතිලාභ ලබා ගැනීමේ විවිධ මං හා ක්‍රමවේද විනා ජනතාවට හෝ රටට වැඩ කිරීමට බොහෝ මැතිවරු උනන්දු නොවෙති. මැතිකම ඇමැතිකම යනු ජනතා සිතුම් පැතුම් තබා උන්ගේ සුළඟවත් නොවැදිය යුතු මහා උස්‌කමක්‌ සේ තකන අයද වෙති.

    එකල නම් මැතියන්ට තිබුණේ කාර් පමණි. අද කාර් සමග බාර්ද තිබෙන අයත් සිටිති. කාර් බාර් යනු දේශපාලනයේදී උපයා ගත හැකි ප්‍රතිලාභ දෙකකි. අද මන්ත්‍රීවරයකුට ලැබෙන තීරුබදු රහිත වාහන එකකට වැඩිය. ඒවාත් සාමාන්‍ය ඒවා නොව අධි සුඛෝපභෝගී ඒවාය. ඒ වාහන සමග ආරක්‍ෂකයන් ද පිරිවරා ගත් ඇමතිවරුන් මහමගට බට කල්හි දැක ගත හැකි සුලබ දසුන් අපට හුරුය. දහවලට වුවද ඇස්‌ ගිනි කන වැටෙන පරිදි දල්වා ගත් නවීන වාහන වල එලිවලින් මගියන් නිලංකාර කරවමින් ඔව්හු පියාඹා යති. අවිගත් ආරක්‍ෂකයෝ ඇතැම් විටෙක නොසරුප් වදන් උසුරුවමින් බැණ වදිති.

    එදාට වඩා අද ආරක්‍ෂා ගැටලු තිබෙන බව ඇත්තය. එහෙත් මේ බොහෝ දෙනෙක්‌ සහපිරිවරින් මංමාවත්වල ඉගිළ යැම මහත් දස්‌කමක්‌ සේ සලකති. මේ වර්ගයේ ගමන් බිමන් තිබුණත් උන් බොහෝ දෙනෙකු රටට කරන මෙහෙවර කුමක්‌ද? කෙනෙක්‌ පවුල් පිටින් රට සවාරිවලය. ජනතා නියෝජිතයකුට වුවද ජනතා මුදල් වැය කළ හැකි සීමා තිබේ. එහෙත් අද ඒ ඒ ඇමැතිවරුන් මැතිවරුන් විසින් කාබාසීනියා කරන ලද ජාතික ධනය කොපමණ විය හැකිද?

    දේශපාලනඥයා යනු රටට අවශ්‍යය. ඔහු නඩත්තු කිරීමටද ජනතාවට අයිති වූවකි. එහෙත් අද සිදුව ඇත්තේ ඔහුත් ඔහුගේ බඩත් මුල් තන්හි ලා සලකන දේශපාලනයක්‌ තහවුරු වී තිබීමයි. තමන්ට අයත් විෂය ක්‍ෂෙත්‍රය පිළිබඳ අවබෝධයක්‌, වැටහීමක්‌ වුවද ඇත්තේ කී දෙනාටද? ඇමැතිවරයා යනු අමාත්‍යාංශයේ විෂය පිළිබඳ විශේෂඥයකු විය යුතුම නැත. මේ සඳහා ප්‍රාමාණික සිවිල් නිලධාරීහු සිටිති. එහෙත් ඇමැතිවරයකු සිය විෂය පථය ගැන දැනුවත් විය යුතුය. හැදැරීමක්‌ කළ යුතුය. ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රීඩා ශූරයකු විය යුතු නැත. එහෙත් ඔහුට වැඩ පිළිවෙළක්‌, ඉදිරි දැක්‌මක්‌ තිබිය යුතුය.

    අද මේ රටේ ඇමැතිවරු සියයකට අධිකව සිටියත් බොහෝ ක්‍ෂෙත්‍රයන්හි ඇත්තේ අර්බුද හා ගැටලු පමණි. ඇමැතිවරුන් නඩත්තු කිරීම විනා ජනතාව වෙනුවෙන් සේවා සැපයීම ඉතා අඩු වී තිබේ. මේ තත්ත්වය මේ රජයේ මෙන්ම කලින් කල රට පාලනය කළ හැම යුගයකම පොදු සත්‍යය වී තිබේ. මේ ජරපත් දේශපාලන සංස්‌කෘතිය විසින් රටට කරන ලද විනාශය මෙපමණ යෑයි කිව නොහැක.

    කෙසේ හෝ මේ වරද නිවැරදි කර රටට දැයට සේවයක්‌ කළ හැකි මගක්‌ සොයා ගැනීම ඡන්දදායක අපගේ වගකීම වී තිබේ. දේශපාලන පක්‍ෂවල අභිමතය පරාජය කළ හැක්‌කේද අපටමය. අප ඒ සඳහා එළඹ සිටි සිහියෙන් ක්‍රියා කළ යුතුය. පක්‍ෂය කුමක්‌ වුවත් එයින් ඉදිරිපත් වන අය පිළිබඳ නිසි ඇගයීමක්‌ නිවැරදි තක්‌සේරුවක්‌ කිරීමේ වගකීම අප සතුය. ඡන්ද පෝස්‌ටරයේ කෘතීම සිනහවට හෝ ඔබ අතට ලැබෙන වර්ණනාත්මක ලියෑවිල්ලට හෝ ඔබ මුළා විය යුතු නැත. එසේම ඔහු හෝ ඇය මේ සමාජය තුළ ගෞරවාන්විත චරිතයක්‌ද? තමන්ට පැවරෙන ජාතික වගකීමක්‌ ඉටු කිරීමට තරම් සමත්කමක්‌ ඔවුන්ට තිබේද? යනාදිය ඔබ විමසා බැලිය යුතුය.

    ඡන්දය නමැති හැන්ද ඔබ අතට ලැබී තිබෙන එකම අවස්‌ථාව මහ මැතිවරණයයි. ඔබ අතින් සිදුවන්නේ වරදක්‌ නම් ඒ ජාතික වරදට ඔබද දායක වන්නේය. ඔබ අතින් සිදුවන්නේ යහපතක්‌ නම් ඒ යහපත් සමාජය සංවර්ධනයේ ඔබද දායකයෙකි. ඔබ ඔබටම පහනක්‌ වන්නේ ඔබගේ නිවැරදි දැක්‌ම හෙවත් සම්මා දිට්‌ඨිය නිසාය. ඔබ තෝරා එවන ඔබේ නියෝජිතයා දෙස ඔබටම බලා සැනසිය හැකි වන්නේ ඔහු ඔබගේ පැතුම් ඉටු කරන ඔබ වෙනුවෙන් හඬ නඟන අයෙක්‌ වුවහොත් පමණි. එවැනි අය සිටින මැති සබයක්‌ යනු එදා ලිච්ඡවීන් සිටි රජ සබය වනු නිසැකය. ප්‍රඥාවන්තයන් සිංහාසනා රූඪ කළ මැනවි යන සුභාෂිතය ඔබට ආදර්ශ වේවා!


    ජී. එස්‌.


    උපුට ගැනීම - දිවයින.
     
    Last edited: