ජීවිතය ජයගන්න සරල පහසු භාවනාවක්‌

DonnieBrasco

Member
May 7, 2012
480
135
0
Austria
ජීවිතය ජයගන්න සරල පහසු භාවනාවක්‌

බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා පෙළ 09

http://divaina.com/sunday/index.php/visheshanga2/1411-2017-12-15-06-26-15

නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ. සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස්‌ වශයෙන් පළවන බව සලකන්න.

මහ නා හිමියන් ඉන්දියාවේදී පුරුදු පුහුණු කළ භාවනා ක්‍රමය උන්වහන්සේ විසින්ම කෙටියෙන් පොතක සටහන් කර තිබිණි. සාකච්ඡා විමසීම අතරතුරදී මෙකී පොතේ පිටපතක්‌ මා වෙත බලංගොඩ දී ලබාදුන් අතර වැඩි දෙනෙකුට එය කියවීමට අවස්‌ථාව ලබාදීමට හැකි නම් මැනවයි උන්වහන්සේ පැවසූහ.

ඒ අනුව උන්වහන්සේගේ ඉල්ලීම ඉටුකරනු වස්‌ මේ සමඟ එකී භාවනා ක්‍රම සහ උන්වහන්සේගේ අත් අකුරින්ම ලියෑවූ සටහන ද පරිවර්ථනය කළ සියලු සටහන් දක්‌වා ඇත.

සිංහලයට පරිවර්තනය කළේ නන්දා අයිරාංගනී රත්නායක මහත්මිය විසින් බව සිහිපත් කරනු කැමැත්තෙමි.

නාහිමියන් සමඟ කරන ලද සාකච්ඡාවන්ට අතිරේකව අවශ්‍ය කරුණු උන්වහන්සේ විසින් ප්‍රකාශයට පත්කරන ලද ලිපි ලේඛන ආශ්‍රයට ගන්නා ලෙසට මට දෙන ලද වාචික අවසරය ද ගෞරව නමස්‌කාර පූර්වකව සිහිපත් කරමි.

භාවනා කිරීම

1. සුඛාසනයෙන් හෝ පද්මාසනයෙන් වාඩි වෙන්න.

ඔබත් බිත්තියත් අතර අඩියක්‌ පමණ පරතරයක්‌ තිබෙන පරිදි උතුරු දෙසට හැරී වාඩිවෙන්න. රුපියල් කාසියක ප්‍රමාණය ඇති කළු පැහැති තිතක්‌ (ලපයක්‌) සාදා එය ඔබේ ඇසට හරි කෙලින් සිටින ලෙස බිත්තියේ එල්ලන්න.

හරි කෙලින් වාඩිවී කළු ලපය දෙස වුවමනාවෙන් බලන්න. ඇස වෙහෙසවන පරිදි නොව සාමාන්‍යයෙන් බලන ලෙස ඇස පිය නොහෙළා බලන්න. කඳුළු ගැලුවොත් කඳුළු ඉවත් වන ලෙස ඇසිපිය හෙලා නැවත කළු ලපය දෙස බැලීම අරඹන්න. මේ ලෙස විනාඩි පහළොවක්‌ විස්‌සක්‌ අතර කාලයක්‌ දිනපතාම කරන්න.

විනාඩි පහළොවක්‌ විස්‌සක්‌ දක්‌වා වේලාවක්‌ කඳුළු නොසලා ඇසිපිය නොහෙලා එක දිගට බලා සිටිය හැකි වුවහොත් හෝ ඔබේ ඇස්‌ දෙක හා කළු ලපය අතර නොකැඩුනු ආලෝක ධාරාවක්‌ ඇති බව ඔබට පැහැදිළි වුවහොත් හෝ

කළු ලපය මත ඇති ආලෝකය නිසල වුවහොත් හෝ ඔබේ ව්‍යායාමය සම්පූර්ණ වී ඇති බව ඔබට පිළිගත හැකිය.

මූලික ව්‍යායාමය

මහපටඟිල්ලෙන් දකුණු නාස්‌පුඩුව වසන්න. වම් නාස්‌පුඩුවෙන් හුස්‌ම ගන්න. වාතය ඇතුළත නොරඳවා ගෙන එක්‌ වරම දකුණු නාස්‌ පුඩුවෙන් පිටකරන්න. නැවත වම් නාස්‌ පුඩුවෙන් හුස්‌ම ගෙන එය දකුණු නාස්‌පුඩුවෙන් පිට කරන්න. මේ ලෙස හත් වරක්‌ වම් නාස්‌ පුඩුවෙන් හුස්‌ම ගෙන ඇතුළත රඳා නොගෙන දකුණු නාස්‌ පුඩුවෙන් හුස්‌ම පිට කරන්න.

මෙය සෙමින් ක්‍රම ක්‍රමයෙන් කරන්න. ඉක්‌මණින් නොකරන්න. ඔබට හැකි පමණ මේ ව්‍යායාමය කරන්න. එහෙත් අපහසුතාවයෙන් නොකරන්න. ඔබට අපහසුතාවක්‌ නොදැනේනම් මේ ව්‍යායාමය 28 වතාවක්‌ දක්‌වා (ආශ්වාස 14, ප්‍රාශ්වාස 14) දක්‌වා වැඩි කර ගත හැකිය. මේ ව්‍යායාමය කරද්දී හුස්‌ම ඇතුළත රඳවා නොගත යුතුය. මේ ව්‍යායාමය අඩුම වශයෙන් දිනකට 3 හෝ 4 වතාවක්‌ ආහාර ගත් විගස හැර ඕනෑම වේලාවක කළ හැකිය. හත්තයෝග ප්‍රදීපිකාවේ මේ ව්‍යායාමය භාෂ්රික යයි නම් කර ඇත. මේ ව්‍යායාමය සතියක්‌ කරන්න.

2. දැන් ප්‍රාණයාමය ආරම්භ කරන්න.

ප්‍රාණයාමය කළ යුත්තේ අලුයම් වේලෙහි හා හිරු බැස යන සවස්‌ භාගයේදීය.

ව්‍යායාමය

මෙම ව්‍යායාමය කොටස්‌ තුනකින් සමන්විතය. හුස්‌ම ගැනීම, රඳවා ගැනීම හා හුස්‌ම හෙළීම යනුවෙනි. දකුණු නාස්‌ පුඩුව මහපටඟිල්ලෙන් වසා ගන්න. ඔබේ පෙනහලු වාතයෙන් පිරෙනතුරු වම් නාස්‌ පුඩුවෙන් ඉතා සෙමින් හුස්‌ම ඇතුළට ගන්න. මේ ලෙස තත්පර පහක්‌ හුස්‌ම ඇතුළට ගෙන ඉන්පසුව තත්පර දහයක්‌ හුස්‌ම ඇතුළත රඳවා ගන්න.

මෙසේ කිරීමෙන් තත්පර පහක්‌ ඇතුළත රඳවා ගැනීමත් තත්පර පහක්‌ පිටත හෙලීමත් සිදුවේ. මෙය ඔබේ ව්‍යායාමයේ පළමු අවධියයි. ඔබ ආශ්වාස කරන විටත් ප්‍රාශ්වාස කරන විටත් "ඕම්" ශබ්දය ඒ තුළින් නිපදවීම ගැන සිතමින් මෙය කරන්න. ඔබ තුළින් "ඕම්" ශබ්දය නිකුත් වේ යෑයි සොයා බැලීමට උත්සාහ කරන්න. ඔබේ සිත හැකිතාක්‌ දුරට එම ශබ්දය කෙරෙහිම රඳවා තබා ගැනීමට උත්සාහ කරන්න. තරමක පුහුණු වීමකින් පසුව ඔබට පළමු අවධිය සම්පූර්ණ කළ හැකිවේ. ඉන් පසුව දෙවැනි අවස්‌ථාවට යැමට උත්සාහ කරන්න.

3. දෙවන අවධිය

හුස්‌ම ගැනීම, රඳවා ගැනීම, හුස්‌ම හෙළීම සඳහා ගත කරන කාලය වැඩි කරන්න. හුස්‌ම ගැනීමට තත්පර හතේ සිට දහය දක්‌වා කාලයක්‌ ගත කරන්න. ඇතුළත රඳවා ගැනීමට තත්පර පහළොවක්‌ පමණ ද හුස්‌ම හෙළීමට තත්පර හතේ සිට දහය දක්‌වා කාලයක්‌ ද ගත කරන්න. කිසිම විටෙක ඉක්‌මන් නොවන්න. ක්‍රම ක්‍රමයෙන් කාලය වැඩි කරන්න. සතිs දෙකක පමණ කාලයකදී ඔබට මේ අවස්‌ථාවන් සම්පූර්ණ කර ගත හැකි වනු ඇත. "ඕම්" ශබ්දය කෙරෙහි සිත සමාධිගත කිරීම (රඳවා තබා ගැනීම) ප්‍රාණයාම ව්‍යායාම්වල සෑම අවධියකදීම අවශ්‍යය.

4. තෙවැනි අවධිය

ක්‍රමික පුහුණුවීම් මගින් අවශ්‍ය කාලය වැඩිකර ගැනීමේ යෙදෙන්න. ඔබට තත්පර දහයේ සිට තත්පර පහළොවක්‌ අතර කාලයක්‌ තුළ දී හුස්‌ම ගත හැකි නම් තත්පර පහළොවේ සිට විස්‌ස අතර කාලයක්‌ හුස්‌ම රඳවා ගත හැකි නම් ඔබ තෙවැනි අවධිය ද සම්පූර්ණ කළ බව සැලකිය හැකිය. දෙවැනි අවධිය සම්පූර්ණ කර සතියකින් හෝ බොහෝ විට සති දෙකක්‌ තුළදී ඔබට තෙවැනි අවධිය සම්පූර්ණ කළ හැකි වෙයි. මේ අවධියේ ඔබේ නහරවල යම් සෙලවීමක්‌ ඔබට දැනෙනු ඇත. එහෙත් නොනවත්වාම මේ ව්‍යායාමයේ යෙදෙන්න.

5. සිව්වන අවධිය

හුස්‌ම ගැනීමට, රඳවා ගැනීමට, හෙළීමට ගත කරන කාලය තවදුරටත් වැඩි කරන්න. හුස්‌ම ගැනීමට තත්පර තිහක කාලයක්‌ ද රඳවා ගැනීමට විනාඩි එකක (තත්පර හැටක) කාලයක්‌ ද හුස්‌ම හෙළීමට තත්පර තිහ දක්‌වා කාලයක්‌ ද ගත කරන්න. මෙවැනි ප්‍රාණයාමයක්‌ කිරීමට විනාඩි දෙකක පමණ කාලයක්‌ ගතවේ. ඔබට හුස්‌ම ගැනීමට තත්පර තිහකුත් රඳවා ගැනීමට විනාඩි එකකුත් හෙළීමට තත්පර තිහකුත් ගත කළ හැකි වූ විට ඔබ මේ අවධියත් සම්පූර්ණ කළ බව සැලකිය හැකිය.

ඔබ මේ සියලු අවධි ඔබේ ස්‌ථිර හා විධිමත් පුහුණුවීම් මගින් සම්පූර්ණ කළවිට ඔබට ඔබ තුළම පුදුම සහගත වෙනස්‌වීමක්‌ දක්‌නට ලැබෙනු ඇත. ඔබේ මුහුණ පැහැපත් වනු ඇත. ඔබේ චරිත ස්‌වභාවයේ ආකර්ෂණ ශක්‌තියක්‌ ඇතිවනු ඇත. ඔබේ කටහෙඩේ අනුන් වසඟ කර ගැනීමේ ශක්‌තියක්‌ ඇතිවනු ඇත.

ඔබේ දෙනෙතෙහි ආකර්ෂණ ශක්‌තියක්‌ දිස්‌වනු ඇත. මිනිසුන් ඔබ කෙරෙහි වසඟ වනු ඇත. දැන් ඔබට අන් අය මෝහනය කළ හැකි වනු ඇත. ලෙඩ රෝග සුව කිරීමේ කලාය (Art of healing) ඔබට කළ හැකි වනු ඇත.

මේ ව්‍යායාම් කරන අතරතුර ඔබේ ආහාර පුරුදු ගැන සැලකිලිමත් විය යුතුය. කිරි මෝරු (Butter - Milk) සහ පලතුරු වැඩි වශයෙන් ගත යුතුය. ගම්මිරිස්‌, තෙල් කෑම, මස්‌, ඇඹුල් වර්ගවලින් වැළකිය යුතුය. හැකිතාක්‌ දුරට බ්‍රහ්මචාරීව විසිය යුතුය.

උසස්‌ ව්‍යායාම

පළමු වන ව්‍යායාමය :-

ඔබේ මේසය ඉදිරිපිට පුටුවක වාඩිවන්න. ඔබ ඉදිරියෙන් කැඩපතක්‌ තබාගෙන ඔබේ ඇහිබැම දෙස බලා සිටින්න. ඇසිපිය නොහෙලා බලා සිටින්න. එහෙත් ඔබේ ඇස්‌ දෙස නොබලන්න. ඇසට කඳුළු එනවිට ඒවා ඉවත් වනසේ ඇසිපිය හෙලා නැවත බලා සිටින්න.

ඔබට ඇසිපිට නොහෙලා ඇහිබැම දෙස විනාඩි විස්‌සක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ බලා සිටිය හැකි නම් මේ ව්‍යායාමය සම්පූර්ණ කළ ලෙස සලකන්න.

ඔබ මීට පෙර කළ ව්‍යායාමය සම්පූර්ණ කර තිබේ නම් මේ ව්‍යායාමය සම්පූර්ණ කිරීමට ඔබට ගත වන්නේ ටික දිනකි. සඳ ඇති රැයක සඳ දෙස බලා සිටීමෙන් හෝ ඔබට මේ ව්‍යායාමය සම්පූර්ණ කළ හැකිය. මේ ව්‍යායාමය මගින් ඔබේ ඇස්‌ පෙනීම දියුණු වේ.

ඔබේ ඇස්‌වල ආකර්ෂණ ශක්‌තියක්‌ (අනුන් තමා වෙත ඇද ගැනීමේ ශක්‌තියක්‌) ඇති වේ.

දෙවැනි ව්‍යායාමය :-

ඔබ පුහුණු වන කාමරය තුළ සුපුරුදු ලෙස වාඩිවෙන්න. පපුව, පිට, බෙල්ල හොඳින් කෙලින් තබා ගන්න. දෙඇස්‌ වසා ගන්න. ඔබේ මනසේ ඇති සිතුවිලි සියල්ලම ඉවත් කරන්න.

ඔබේ මනස ඉදිරිපිට ඔබ වඩාත්ම ආදරය කරන තැනැත්තාගේ රූපය මවා ගන්න. මෙම රුව දෙස ගෞරව සහිතව අවධානය යොමුකර විනාඩි පහේ සිට පහළොව දක්‌වා ඒ දෙස බලා සිටිමින් මේ ව්‍යායාමය අරඹන්න.

මානසික රූපයක්‌ මවා ගන්න. එය පැහැදිළිව ස්‌ථිරව ඔබ මනස ඉදිරියේ තබා ගැනීමට උත්සාහ කරන්න. ඒ රූපය කෙරෙහි ඔබේ සිත අවධානයෙන් යොමු කරන්න. මුලදී එය පැහැදිළිව ස්‌ථිරව තබා ගැනීමට ඔබ අපොහොසත් වනු ඇත.

එහෙත් සිත අධෛර්යය කර නොගන්න. යමක්‌ නැවත නැවත කිරීමෙන් විශාල බලයක්‌ ඇති වේ. ඉක්‌මණින් හෝ කල්ගත වීමෙන් හෝ ඔබට මේ රූපය ඔබේ මනස ඉදිරියේ පැහැදිළිව ස්‌ථිරව තබා ගැනීමට ඔබ පොහොසත් වනු ඇත.

මෙම රූපය ඔබේ මනස ඉදිරියේ ඔබ පැහැදිළිව හා ස්‌ථිරව තබා ගත යුතුමය. මෙය විනාඩි විස්‌සක්‌ තිහක්‌ දක්‌වා අතර කාලයක්‌ ස්‌ථිරව පැහැදිළිව මනසේ රඳවා ගත හැකි නම් මේ ව්‍යායාමය ද සම්පූර්ණ කළ ලෙස සලකන්න.

තුන්වන ව්‍යායාමය :-

ඇස්‌ වසා ගන්න. ඔබේ අවධානය නාසයේ පහළ කෙළවරට යොමුකරන්න. මේ ලෙස ටික වේලාවක්‌ ඒ කෙරෙහි සිත එකඟ කර ගෙන සිටින්න. මෙසේ ටික දිනක්‌ ගතවන විට ඔබට නොයෙක්‌ සුවඳ දැනෙන බව හැඟී යනු ඇත. ඔබේ ආඝ්‍රාණ ශක්‌තිය බොහෝ දියුණු වනු ඇත.

ඒ නිසා අන් අයට නොදැනෙන නොයෙක්‌ සුවඳ ඔබට දැනෙනු ඇත.

මේ ලෙසම දිවේ මුල කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔබගේ රස දැනීමේ හැකියාව බොහෝ දියුණුවනු ඇත.

මේ හැකියාවන් දියුණු වන අතරම ඔබේ සිත ද එකඟව තබා ගැනීමට ඔබට හැකිවනු ඇත.

හතර වන ව්‍යායාමය :-

ඔබට පහසු ඉරියව්වකින් සිටින්න. සිතෙහි ඇති සියලුම සිතුවිලි ඉවත් කර ඇස්‌ වසා ගන්න. මනසින් "ඕම්" ශබ්දය අසන්න. එය කටින් නොකියා ඔබට ඒ වචනය ඇසෙන බව මෙනෙහි කරන්න. ඔබ හුස්‌ම ගන්නා විටත්, හුස්‌ම පිටකරන විටත් මේ වචනය ඔබට ඇසෙන බව මෙනෙහි කරන්න. ඔබට මනසින් ඇසෙන ඒ "ඕම්" හඬ කෙරෙහි ඔබේ අවධානය විනාඩි පහළොවක්‌ විස්‌සක්‌ දක්‌වා යොමු කරන්න. ඔබේ හදවතින් මේ "ඕම්" හඬ එන බව මෙනෙහි කරන්න.

ඔබ හුස්‌ම ගන්නා විටත්, පිට කරන විටත් මේ "ඕම්" හඬ දොaංකාර දෙන බව ඔබට හැඟී යනු ඇත. ඔබේ මුළු අවධානයම ඒ දොaංකාරය ඇසීම සඳහා යොමු කරන්න. ඔබ දැඩි ලෙස උත්සාහ කළොත් ඔබට මේ ව්‍යායාමය කරන අතරතුර "ඕම්" ශබ්දය හැර වෙන කිසිම දෙයක්‌ නොඇසෙන බව හැඟී යනු ඇත.

මේ ව්‍යායාමයේ ප්‍රතිඵලයක්‌ ලෙස ඔබ තුළ අමුතු සතුටක්‌ ඇති වන බව දැනෙනු ඇත. මේ ව්‍යායාමය නිසා ඔබේ සතුට ඔබ තුළ පැතිරී යනු ඇත. කටහඬ මිහිරිවනු ඇත. මීට පෙර නොතිබූ ලෙස කටහඬ ආකර්ෂණීය වනු ඇත.

පස්‌වන ව්‍යායාමය :-

ඔබ පුහුණු වන කාමරය තුළ වාඩි වන්න. ඔබේ සිතට කිසිම සිතිවිල්ලක්‌ පහළ වීමට ඉඩ නොදෙන්න. යම්කිසි සිතිවිල්ලක්‌ පහළ වූ වහාම එය පලවා හැරීමට උත්සාහ කරන්න. ඔබේ සිත හිස්‌ව තබා ගන්න.

ඔබට විනාඩි පහළොවක්‌ - විස්‌සක්‌ දක්‌වා කාලයක්‌ ඔබේ සිත හිස්‌ව තබා ගැනීමට හැකිවූ විට මේ ව්‍යායාමය සම්පූර්ණ කළා නම් වෙයි.

සාමය අත්පත් කර ගැනීමට ඉතාම සුදුසු ව්‍යායාමය මෙයයි.

හයවන ව්‍යායාමය :-

සුපුරුදු ලෙස වාඩිවන්න.

ඔබේ හදවත නොපිබිදුණු ඉතාම පැහැදිලි, දීප්තිමත් නීල වර්ණ ආලෝක ධාරා ඉන් පිටවන බව ඔබට දැනෙන්න හරින්න.

එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඔබ තුළ සතුටක්‌ ඇතිවන බව දැනෙන්න අරින්න.

ඔබ තුළ ඇතිවන සියලුම සිතුවිලි පලවා හැර ඒ කෙරෙහිම සිත සම්පූර්ණයෙන්ම එකඟ කර ගෙන විනාඩි පහළොවක්‌ - තිහක්‌ අතර කාලයක්‌ සිටිය හැකි නම් මේ ව්‍යායාමය සම්පූර්ණ කළ ලෙස සැලකිය හැකිය. ඔබේ හදවතින් පිටවන මේ දීප්තිමත් ආලෝකය කෙරෙහි ඔබේ මනස සම්පූර්ණයෙන්ම යොමු කළ විට බාහිර වශයෙන් ඔබ සිහි නැති තත්ත්වයකට පත්වනු ඇත.

ඔබේ ඇතුළත සම්පූර්ණයෙන්ම අවදිවනු ඇත. ඔබේ ශරීර අභ්‍යන්තර ක්‍රියාදාමය ඔබේ කැමැත්ත අනුව සිදුවනු ඇත. මේ ව්‍යායාමය සම්පූර්ණ කළවිට විස්‌තර කළ නොහැකි බලවත් සතුටක්‌ ඔබ තුළ ඇති වන බව ඔබට දැනෙනු ඇත.

නිරන්තරයෙන් මේ ව්‍යායාමයේ යෙදීමෙන් අතීතය, වර්තමානය, අනාගතය, දැනගත හැකි තත්ත්වයකට ඔබ පත්වනු ඇත.

උදැසන ඔබේ වැඩකටයුතුවලට නික්‌මීමට පෙර හෝ විවේකී අවස්‌ථාවල හෝ මෙම වාක්‍යයන් තෙවරක්‌ හෝ ඔබට හැකි වැඩි වාර ගණනක්‌ හෝ සිතින් කියවන්න. එසේ කිරීමෙන් ඔබට සතුටක්‌ මෙන්ම පහසුවක්‌ ද දැනෙනු ඇත.

යෝජනාවන්

1. මම සෑම විටම ක්‍රමානුකූලව වැඩ කරමි. කිසිම විටෙක කම්මැලිකම මා වෙත ඒමට ඉඩ නොදෙමි. මම සෑම විටම මගේ වැඩවල ස්‌වාමියා වෙමි.

2. යහපත් මෙන්ම අයහපත් වාතාවරණවලදී මම මා පාලනය කර ගනිමි.

3. මම කිසිම විටක මට අහිතකර වාතාවරණවලදී බිය නොවෙමි. ධෛර්යයෙන් හා සතුටින් ඒවාට මුහුණ දෙමි.

4. මම කිසිවිටෙක කලබල නොවෙමි. කෝපයට හෝ නොරිස්‌සීමට මා තුළ කිසිම ඉඩක්‌ නොදෙමි.

5. මම කිසිම විටෙක නොපැකිලෙමි. අවිනිශ්චිත නොවෙමි, මම කළ යුතු දේ ඉක්‌මණින්ම තීරණය කරමි. ඒ අනුව කටයුතු කරමි.

6. මම මගේ වැඩසටහන හෝ කිරීමට බලාපොරොත්තු වන දේ ඉතා දැඩි ලෙස (තදින්) ක්‍රියාවට නගමි.

7. මම මගේ කටයුතුවලදී සෑම විටම අනුන්ට සත්‍යවාදී වෙමි. අවංක වෙමි.

8. මම කිසිම විටෙක කිසිම කෙනෙකුට අකාරුණික නොවෙමි. මම සියලු දෙනාම නොපැකිලිව මුණ ගැසෙමි. ඔවුන්ට කාරුණික, ප්‍රිය, සුහද වචනයෙන් කතා කරමි.

9. මම මගේ එදිනෙදා ජීවිතයේදී මේ ප්‍රතිපත්ති පිළිපදිමි, මා මේ ප්‍රතිපත්තිවලින් වෙනස්‌ කිරීමට කිසිම බලවේගයකට නොහැකි වනු ඇත.

(ඉහත දැක්‌වෙන වාක්‍යයන් මුද්‍රණය කොට බෙදා හැරීමද කාර්යාලවල ප්‍රදර්ශනය කිරීමෙන්ද නිතර ඇස ගැටෙන තැන්වල ප්‍රදර්ශනය කිරීම ද මැනවි.)

බදුල්ලේ මෛත්‍රී රත්නායක
 
  • Like
Reactions: sidathsaumya