ඩේවිඩ් බෙකම්

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    සුපිරි පාපන්දු වීරයන් කොපමණ හිටියත් '90 දශකයේ ළමා කාලය ගතකරපු මගේ පාපන්දු වීරයා තමයි ඩේවිඩ් බෙකම්. අද ඔහු ගත කරන ජීවිතය තමයි මේ.

    ඔහු බංකොලොත් වෙලාද? අපොයි නෑ! 49 හැවිරිදි බෙකම් "ඇත්තටම" ජීවිතයේ සතුට විඳිනවා. ගොවිපලක්, මුළුතැන්ගෙයක් සහ ගෙමිදුලේ කුඩා පාපන්දු පිටියක්, බයිසිකලයක් එක්ක ඔහු ජීවිතයේ විශ්‍රාමික විවේකය ඉහළින් විඳින ආකාරය තමයි මේ. බොරුවක් නෙමෙයි. මාළිගා හිමිකරුවෙකු වුනත්, ඔහු සතුට විඳින්න හොයාගන්නේ හරිම පොඩි දේවල්.

    පිළිවෙල සහ වත්කම් පරිහරණය අතින් ලෝකයේ ඕනෑම කෙනෙකුට ආදර්ශයක් කරගන්න පුළුවන් කෙනෙක් තමයි ඩේවිඩ් බෙකම් කියන්නේ. ඔහු එංගලන්තය වෙනුවෙන් අවසන් වරට ක්‍රීඩා කළේ 2009දී. පැරිස් සේන්ට් ජර්මේන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඔහු අවසන් වරට ක්‍රීඩා කළේ 2013දී. අදට දශකයකුත් ගෙවිලා. ඒත් අද වෙනකොටත් ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩකයන් අතර සිව්වැනි තැන ඉන්නේ, විශ්‍රාමික ඩේවිඩ් බෙකම්. 2024දීත් ඔහුගේ දළ වටිනාකම ඇ.ඩො. මිලියන 450කට වැඩියි. කොහොමද එහෙම වෙන්නේ?

    විශ්‍රාමික කිව්වට ඔහු විශ්‍රාම ගත්තේ ක්‍රීඩාවෙන් විතරයි. MLS නැත්නම් ඇ.එ.ජ. මේජර් සොකර් ලීගයේ ඉන්ටර් මයාමි පාපන්දු කණ්ඩායමේ සම-හිමිකරුවෙක් තමයි බෙකම්. මේ වෙනකොට ලියොනල් මෙසී ක්‍රීඩා කරන්නේත් ඔහුට අයත් ක්‍රීඩා සමාජයේ තමයි. ඒ හැරුණුකොට මේ වෙනකොටත් සන්නාම කිහිපයක්ම ඔහු එක්ක ඉන්නවා. ඔහුගෙන් තල්ලුවක් ලබනවා.

    මෙච්චර ධනවතෙකු වෙලත් ඔහු ඔහුගේ ජීවිතය අමතක කරලා නෑ. ඔහු කෑම හදන්නට, බයිසිකල් පදින්නට, ගොවිපල බලාගන්නට කාලය වෙන්කරන්නේ විනෝදාංශ ජීවිතය කරගෙන. බේකර් කෙනෙකු හැටියට ඔහු සැබෑ දක්ෂයෙකු බව කියවෙනවා. ඔහුගේ අල්මාරිය අස් කරන්නේ පවා ඔහු. බෙකම් කියන්නේ හරිම නීට් මනුස්සයෙක් වීම වෙලාවකට විහිළුවක් වගෙත් පේනවා කියලා කියන්නේ ඔහුගේ බිරිඳ වික්ටෝරියා බෙකම්.

    මට වෙලාවකට හිතෙනවා කුමාර් සංගක්කාරත් අනුගමනය කරගෙන යන්නේ බෙකම්ගේ වැඩපිළිවෙළමද කියලා. ලෝකය ඉස්සරහ මොන අභියෝගය ආවත් කලබල නොවී, තමන්ගේ ප්‍රතිරූපයට හානි නොකරගෙන ඒ අභියෝග පහුකරන්න බෙකම්ට තියෙන්නේ පුදුම හැකියාවක්.

    කුලී නිවසක ඉඳලා පාපන්දු ක්‍රීඩා කරන්න පටන් අරගෙන මේ වෙනකොට ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩකයන් අතර දශක තුනකටත් වඩා රැඳිලා ඉන්න නම් කෙනෙක් විශේෂ කෙනෙක් වෙන්නම ඕන. ඒ විශේෂත්වය හැමදාම බෙකම් තුළ තිබුනා. ඒකයි මම ඔහුට කැමති.

    ජීවිතය ඉගෙනගන්නවානම් ඉගෙනගන්න ඕන මේ වගේ ක්ලැසික් මිනිස්සුන්ගෙන් මිස, ධනයත් එක්ක පැටලිලා ජීවිතය කබල්ගාන මිනිස්සුන්ගෙන් නොවන බව ඩේවිඩ් බෙකම් ඉතා මැනවින් පැහැදිලි කරනවා.

    1000006443.jpg

    1000006442.jpg