සහල් අර්බුදය උග්‍ර වෙයි: සිල්ලර වෙළෙන්දන් සහල් විකිණීම නවත්වයි
By
Mawbima -
දෙසැම්බර් 9,
රට තුළ මේ වන විට උග්‍ර වී ඇති සහල් හිඟය සහ වැඩි මිලට සහල් අලෙවි කිරීම පාලනය කිරීමට ජනාධිපතිගේ මැදිහත්වීමෙන් සහල් සඳහා නව පාලන මිලක් නියම කළත් ඊයේ (දෙසැ. 8) රට පුරා උග්‍ර සහල් හිඟයක් පවතින බව “මව්බිම”ට වාර්තා විය.
සහල් තොග සහ සිල්ලර වෙළෙඳුන් බොහෝමයක් තාවකාලිකව වෙළෙඳාමෙන් ඉවත්ව සිටි බව කරන ලද විමසුම්වලදී හෙළි විය.
සහල් සඳහා රජයේ නව පාලන මිල සහ සහල් හිඟය සම්බන්ධයෙන් “මව්බිම” මරදගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතාගෙන් කරන ලද විමසීමකදී ඒ මහතා කියා සිටියේ මරදගහමුල ඇතුළු රටේ කුඩා මෝල් හිමියන් සතුව මේ වන විට කෙටීමට වී තොග නොමැති බව ත් වී තිබෙන්නේ මහ පරිමාණ මෝල් හිමියන් සතුව බව ත් ය.
ඒ අනුව, තම මෝල් වසා දමා ඇති බව ත් කී ඒ මහතා පාලන මිලට විකිණීමට සහල් නොමැති බව ත් කීය.
රජයේ එම තීරණය අනුව සහල් විකිණීමට නම් වී කිලෝවක් රුපියල් 125ත් 130ත් අතර මිලකට කුඩා මෝල් හිමියන්ට වී තොග ලැබිය යුතු බව ත් එහෙත් මේ වන විට වී මිල කිලෝවක් රුපියල් 155 දක්වා ඉහළ ගොස් ඇති බව ත් හෙතෙම කීවේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් සඳහා පනවා ඇති නව පාලන මිල හා හාල් මෝල්වල නිෂ්පාදන අධීක්ෂණ කටයුතු සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ මැදිහත්වීම කෙසේදැයි විමසූ විට එහි ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු පැවැසුවේ, ජනපති නියෝගයට අනුව ක්‍රියා කිරීමට ඊයේ සිට ම කටයුතු ආරම්භ කළ බව ය.
ඊයේ දවස පුරා ම පොළොන්නරුව හා හම්බන්තොට පිහිටි මහ පරිමාණ සහල් මෝල්වල නිෂ්පාදිත සහල් තොග පිළිබඳව අධීක්‍ෂණය කළ බව ත් එම සහල් තොග යන්නේ කුමන වෙළෙඳපොළටදැයි බලන අතර නිෂ්පාදිත සහල්වලින් සියයට 25ක් සතොස ආයතනයට ලබා දිය යුතු බව ත් එම නිලධාරියා කීය.
ජනාධිපතිතුමා නියම කළ නව පාලන මිලට අනුව සහල් තොග මිල හා සිල්ලර මිල සඳහන් නව ගැසට් නිවේදනය හැකි ඉක්මණින් නිකුත් කරන බව ත් කී එම නිලධාරියා ඉන් අනතුරුව පාලන මිල උල්ලංඝණය කරන වෙළෙඳුන් වැටලීම් සිදුකරන බව ත් කීය.
රට පුරා සහල් හිඟ ඇති වීමට හේතු වූ කරුණු අතර තම අධිකාරිය රට පුරා පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන වෙළෙඳසල් වැටලීම් කළ නිසා බොහෝ වෙළෙඳුන් පාලන මිලට විකිණීමට නොහැකි නිසා හාල් තොග නොගත් බව ත් වැටලීම් අඩු කළ විට නැවත වෙළෙඳපොළට සහල් තොග පැමිණි බව ත් කීය.
කෙසේ වෙතත්, ලබන සතියේදී ඉන්දියාවෙන් ආනයනික සහල් තොග පැමිණීමත් සමග ම සහල් හිඟය තුරන් වී සහල් මිල ගණන් ද අඩු වනු ඇතැයි බලාපොරොත්තු වන බව ය.
සතොස ආයතනය මගින් සහල් කිලෝ පහ බැගින් පාරිභෝගිකයන්ට ලබා දෙන බව ප්‍රකාශ කළත් ඊයේ වන විට බොහෝ සතොස වෙළෙඳසල්වල සහල් නොතිබූ බව පාරිභෝගිකයෝ කියති.
සුපිරි වෙළෙඳසල්වල ද සහල් වෙළෙඳාම ඉතාමත් සීමා සහිතව සිදු කෙරුණු අතර එක් පාරිභෝගිකයෙකුට සහල් කිලෝ දෙක බැගින් ලබා දීම සිදු කෙරිණි.
බොහෝ සිල්ලර වෙළෙඳසල්වල ඊයේ විකිණීමට සහල් නොමැති බව අප කළ විමසීමකදී අනාවරණය විය.
මේ අතර, රජය සහල්වලට නැවත පාලන මිලක් නියම කිරීමෙන් එම මිලට වෙළෙඳපොළේ සහල් අලෙවි කළ නොහැකි බව පවසමින් බළන්ගොඩ ප්‍රදේශයේ සිල්ලර වෙළෙන්‍දෝ රැසක් ම ඊයේ සිට සහල් අලෙවියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
නාඩු සහල් කිලෝවක් රුපියල් 230ත්, සුදු කැකුළු කිලෝවක් රුපියල් 220ත්, සම්බා කිලෝවක් රුපියල් 240ටත් අලෙවි කළ යුතු බවට රජය මගින් ප්‍රකාශ කළ ද එම සහල් වෙළෙඳසල්වලට රුපියල් 240 -245 ක් අතර මිලකට තොග වෙළෙන්දන් බෙදාහරින බවට සිල්ලර වෙළෙඳසල් හිමියෝ පවසති.
එවැනි මිලකට වෙළෙඳසලට සහල් ලබාගෙන ඊට අඩු මුදලකට සිල්ලර මිලට විකිණීමට නොහැකි බව ත් වැටලීම් නිලධාරීන් පැමිණි විට වැඩි මිලට සහල් විකුණූ බවට තමන් වරදකරුවන් වෙන බව ත් ඔවුහු පෙන්වා දෙති.
එම නිසා තමන් සහල් වෙළෙඳාමෙන් ඉවත් වූ බව සිල්ලර වෙළෙන්දෝ විශාල පිරිසක් පැවැසූහ.
මේ අතර, ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙන්දෝ සහල් වෙළෙඳාමෙන් ඉවත් වීමත් සමඟ ජනතාවට දැඩි අසීරුතාවලට මුහුණු දීමට සිදුවී ඇත.