තෙල් වර්ජනයෙන් අඩපණ වූ රාජ්‍ය බලය ඩැහැගැ&#3499

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    තෙල් වර්ජනයෙන් අඩපණ වූ රාජ්‍ය බලය ඩැහැගැ&#3499

    තෙල් වර්ජනයෙන් අඩපණ වූ රාජ්‍ය බලය ඩැහැගැණීමේ මෙහෙයුම

    ගුවන් තොටුපොලට ඉන්ධන රැගෙන පිටත්වූ දුම් රිය මහජන අත්පොල්සන් මැදින් පිටත් වන ඡායාරූපයක්


    දොස්තරවරු, වරාය සේවකයන්, තෙල් සේවකයින්, තැපැල් සේවකයින්, විදුලි සේවකයින් යොදාගෙන මහජන ජීවිතය අපහසුවට පත්කරන වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කරමින් රජය අපහසුවට පත්කර බලය ඩැහැගැනීමට සමහරුන් ගෙනගිය වැඩ පිළිවෙලේ ප්‍රධානතම පියවරක් අද අසාර්ථක විය. මෙම වැඩ පිළිවෙලේ ප්‍රධානම අංගයක් වූයේ තෙල් වැඩ වර්ජනයයි. තෙල් බෙදා හැරීම අඩපණ වීමෙන් විදුලිය නිපදවීම, බස් සහ දුම්රිය ධාවනය, ගුවන් යානා වලට ඉන්ධන සැපයීම ආදී ක්ශෙත්‍ර කිහිපයකටම බලපෑම් ඇතිකිරීමට මෙම පිරිස බලාපොරොත්තු වූහ. දොස්තර වර්ජනයේදී ඔවුන්ගේ සටන් කඩාකප්පල් කිරීමට ආණ්ඩුව ඉදිරිපත් නොවීම නිසා ඉතිරි වර්ජන වලටත් එය එසේම වෙනු ඇතැයි මොවුන් සිතූහ. ඔවුන්ගේ ඒ සැලැස්ම බල රහිත කරවමින් ඉන්ධන අංශය අත්‍යාවශ්‍ය සේවයක් කිරීමටත් ත්‍රිවිධ හමුදා ලවා තෙල් බෙදා හැරීමේ මර්මස්ථාන වල පාලනය කඩාකප්පල් කරුවන්ගෙන් බේරාගැනීමටත් ක්‍රියාත්මක වූ මෙහෙයුමෙන් කුමන්ත්‍රණ කරුවන් අනාථ විය.

    රෝගීන් වෙනුවෙන් වර්ජනය කිරීම වැනිම සටන් පාඨ යොදා ගැනීම මේ බොලඳ ප්‍රයත්නයේ ඇතුලත සැලැස්ම විය. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි, හම්බන්තොට තෙල් ගබඩා, ආදිය 'පෞද්ගලීකරණයෙන්' බේරා ගැනීමට ඉදිරිපත් වන දේශප්‍රේමීන් ගේ භූමිකාවක් තෙල් වර්ජනයට නිර්මාණය වුණේ එලෙසය. බැඳුම්කර ගණුදෙනුවේ රුපියල් මෙන් නොව රටට හිඟ ඩොලර් වලින් වන්දි ගෙවීමට සිදුවූ හෙජින් ගණුදෙනුව, බාල තෙල් ගෙන්වා මහ මඟ වාහන නැවතුන සිදුවීම් ආදියෙහිදී තෙල් සංස්ථාව හෝ මහජනයා වෙනුවෙන් ඉදිරිපත් නොවූ වුන් 'රට' සහ 'දේශප්‍රේමය' වෙනුවෙන් අති සංවේදී කථා පවත්වමින් වර්ජන මෙහෙයවන ආකාරය හාස්‍යජනකය.

    ආසන්න වශයෙන් බිලියන 190 යටකරමින් චීනයෙන් අධික පොලියට ගත් සුළු කාලීන ණයක් මත රජ පවුල විසින් ගොඩනඟන ලද නැව් නැති වරාය අද වෙනතෙන් තව බිලියන 47 ක අලාභයක් ලභා තිබීම සහ එමඟින් රටේ ගෙවුම් සඳහා ඇතිවී ඇති පීඩනය ගැන ඔවුන්ට කිසිම තැකීමක් නැත. එම පීඩනය තරමක් හෝ අඩු කිරීමට වරාය චීන සමාගමකට බදු දීමට රජය කරන උත්සාහය කඩාකප්පල් කිරීම සහ එම ක්‍රියාවලිය තවත් අයුරකින් යොදාගනිමින් වරාය සහ තෙල් සේවකයින් වර්ජනය කරවීමෙන් රට අඩපණ කිරීමට ඔවුන් උත්සාහ කලේ කාගේ වුවමනාවකටද යන්න ඉතා පැහැදිලිය. ලෝකයේ විශාල නැව් ප්‍රමාණයක් හිමි සහ විශාලතම වෙලඳ රටක් වන චීනයට එම වරායට නැව් විශාල සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට හැකිවීම නිසා ද රටට මුල්‍ය බරක් වෙමින් අපතේ යන වරාය එම තත්ත්වයෙන් මුදවා ගැනීමට උත්සාහ කිරීම ඔවුන්ට වහ කදුරු වන්නේ ඔවුන්ගේ බලය ඩැහැගැනීමේ අවශ්‍යතාවය මත පමණක්මය යන්න රහසක් නොවේ.

    වරායට විශාල වශයෙන් නෞකා ගෙන්වා ගැනීමට හැකියාව පවතින රටක සමාගමකට වරාය බදු දීමෙන් එම වරාය කාර්‍ය බහුල වරායක් වීමත් එවිට වරායට, නැවියන්ට, සේවකයින්ට ආහාර, ඉඳුම්හිටුම් සහ වෙනත් සේවා සැපයීමට හැකිවීම මඟින් විශාල රැකියා සහ ආර්ථික ප්‍රතිලාභ ඔවුන්ගේම ප්‍රදේශය වන හම්බන්තොටට ලැබීම ආර්ත්මාර්ථකාමයෙන් ඉව වහා ගිය ඔවුන් සතුටු වන කාරණයක් නොවීම ගැන පුදුමයක් නැත. වරායට සමගාමීව වෙලඳ කලාපයක්ද ඇතිකිරීමට ලෝකයේ වැඩිම නිශ්පාදන ප්‍රමාණයක් කරන රටට දීමෙන් ඇතිවන රැකියාවන් ප්‍රමාණය ගැන ඔවුන්ට සතුටු විය නොහැක. එම නිසා වරාය බදු දීම හෝ තෙල්ටැංකි ගැන කියමින් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බා ගැනීමට කරන ලද උත්සාහයක් වැලකී යාම ගැන ඔවුන්ට ඇති හිතේ අමාරුව තේරුම් ගත යුතුය.

    බලාපොරොත්තු නොවූ ලෙසින් තෙල් බෙදා හැරීම හමුදා අතට පත්කිරීමත් ඉන්ධන අංශය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස නම් කර වර්ජනය කරන්නන් රැකියාව හැරගිය වුන් ලෙස සලකන බවට නිවේදනය වීමත් සමඟම බළලා මල්ලෙන් එලියට පැන්නේය. මැදමූලනේ සිට ඇදෙන නූලට නටන ඒකාබද්ධ විපක්ෂයේ මීහරකුන්ට පාර්ලිමේන්තුව තුලදී කලබල ඇති කරන ලෙස නියෝග ලැබිණි. වර්ජන මැඩ පවත්වා මහජනයාට වන අපහසුව මඟහැරීමට රජය කොන්දක් නැතැයි කිවූ වුන්ම රජය හමුදාව යොදවා තෙල් බෙදා හැරීම පටන් ගන්නා විට කෝපයෙන් නලියන්නට වූහ.

    පාර්ලිමේන්තුව අත්හිටවීමට සිදුවූ පසු වහ වහා වැලිකඩ පොලිසියට ගොස් අත්අඩංගුවට පත් පිරිසට පොලිසිය පහර දුන්නා යයි කියවාගෙන වීඩියෝ ගත කර ඒවා මාධ්‍යට මුදා හරින්නට ඔවුන් උත්සුක වූහ. අද හවසම ප්‍රවෘත්ති සාකච්චා පවත්වා අහිංසක වර්ජකයන් අත්ඩංගුවට ගෙන පහර දී ඇතැයි ප්‍රකාශ කරනු ඇත. 'රටේ සම්පත් රැකගැනීම', 'වර්ජකයන් ආරක්ෂා කිරීම' වැනි පරාර්ථකාමී මාතෘකා යටතේ කොතරම් කෙබර ගෑවත් ඔවුන් මේ නටන්නේ රට පුරා වර්ජන රැල්ලක් ඇතිකර ආණ්ඩු බලය ඩැහැ ගැනීමේ 'මහා සැලැස්ම' කඩාකප්පල් වීමෙන් ඇතුවුණ කෝපය සහ අපේක්ෂා භංගත්වය නිසාම පමණක් බව 'බයි' මානසිකත්වයෙන් නොපෙලෙන සාමාන්‍ය මහජනයාට වැටහෙනු ඇත.

    මේ වර්ජන රැල්ල ක්‍රියාත්මක කරන්නේ කවුද ඒ සඳහා මුදල් වියදම් කරන්නේ කවුද සහ කුමක් සඳහාද යන්න තේරුම් ගැනීම වැදගත්ය. මහජන සේවා වල වැඩවර්ජන ඇතිකර බලය ඩැහැගැණීමේ කුමන්ත්‍රණය පරාජය කිරීමේ ක්‍රියාන්විතය රජය වෙනුවෙන් සැලසුම් කර මෙහෙයවන්නේ එල්ටීටීයී නම් වූ මෙවැනිම ත්‍රස්තවාදීන් කණ්ඩායමක් දන ගැස්වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් බව නුදුරු දිනයකදී අසන්නට ලැබුණොත් ඒ ගැන පුදුමයට පත් නොවන්න.


    මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.
    source http://lankanian.blogspot.com/2017/07/blog-post_26.html?m=1