තොරතුරු දැනගැනීමේ පනතට පෞද්ගලික ආයතනත් යටත් - අභියාචනාධිකරණය 🧑‍⚖️ (හිරුට නඩු)

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113



    "හිරු සියල්ලට ඉහළින් නොවෙයි නීතියට යටින්"
    අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්!

    මේ රටේ එක් මවකට තම ආදරණීය පුත්‍රයාගේ පෞද්ගලිකත්වය සහ ගරුත්වය ආරක්ෂා කර දීම පිණිස 'සියල්ලට ඉහළින් සිටින' හිරු මාධ්‍ය ජාලය (Asia Broadcasting Corporation (PVT) Limited) සමග අහිංසක සටනක නිරත වීමට සිදුව තිබිණි. මේ අහිංසක සටන ඇරඹුණේ ඉහත කී මවගේ පුතු සම්බන්ධයෙන් 2023 අගෝස්තු 23 වැනි දින තම රූපවාහිනී නාලිකාවේ 'රාත්‍රී 6:55 සහ රාත්‍රී 10:00' පුවත් විකාශයන් තුළින් හිරු මාධ්‍ය ජාලය සාවද්‍ය පුවතක් විකාශය කිරීමත් සමගිනි. "අලවතුගොඩ ඝාතන අභිරහස හෙළිවේ-සැමියා රිමාන්ඩ්" යන මැයෙන් වාර්තා කර තිබූ එම පුවතින් අදාළ මවගේ පුත්‍රයා මනුෂ්‍ය ඝාතනයකට අදාළව පාපොච්චාරණයක් කළ බවට සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කර තිබිණි. එම පුවත අසත්‍ය බවත් තම පුත්‍රයා එවැනි පාපොච්චාරණයක් සිදු කොට නොමැති බවත් පවසමින් එය නිවැරදි කරන ලෙස එම මව කළ ඉල්ලීම 'හිරු නාලිකාව' දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.

    'තොරතුරු සැඟවීම'

    අනතුරුව ඉහත කී මව 2023 සැප්තැම්බර් 19 වැනි දින 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ හිරු මාධ්‍ය ජාලයෙන් මේ සාවද්‍ය පුවතට පදනම් වූ තොරතුරු ඉල්ලා සිටියාය. ඇය ඉල්ලා සිටි ප්‍රධාන කරුණු වූයේ, 'අදාළ පුවත විකාශය කිරීමට පෙර එය තහවුරු කරගත්තේ කෙසේද? එම පුවත විකාශය වූ අවස්ථාවේ වගකීම දැරූ ප්‍රවෘත්ති සංස්කාරකවරයා සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා කවුද?' යන ඒවාය. හිරු මාධ්‍ය ජාලය එම තොරතුරු ලබා දීම ද ප්‍රතික්ෂේප කළේය. ඉහත සාවද්‍ය පුවත නිවැරදි නොකිරීම, තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම තුළ මැනැවින් පැහැදිලි වූයේ මාධ්‍ය ආයතනයක් හෙවත් පොදු අධිකාරියක් විසින් සාවද්‍ය තොරතුරු පතුරවන විට ඉන් බැටකන සාමාන්‍ය පුරවැසියාට තනිවම සටන් කිරීමට කිසිසේත්ම නොහැකි බවය.

    'සියල්ලට ඉහළින්' කටයුතු කිරීම

    ඊළඟ පියවර ලෙස මේ මව 'ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව(Right to Information Commission of Sri Lanka) වෙත අභියාචනයක් ඉදිරිපත් කළාය. කොමිෂන් සභාව නියෝග කළේ 'හිරු මාධ්‍ය ජාලය පොදු අධිකාරියක් බැවින් එම තොරතුරු ලබා දිය යුතුය' යන්නය. එම තීන්දුව පිළිනොගත් 'හිරු මාධ්‍ය ජාලය' අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේ එම නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලමිනි.

    "අපි පෞද්ගලික සමාගමක්"

    හිරු මාධ්‍ය ජාලය (Asia Broadcasting Corporation) වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥවරුන් තර්ක කළේ තම සේවාදායක ආයතනය පෞද්ගලික පුද්ගලයන් විසින් පාලනය කරන, ලාභය අරමුණු කරගත් සමාගමක් මිස රජයේ ආයතනයක් නොවන බවට ය. රජයේ බලපත්‍රයක් තිබූ පමණින් පෞද්ගලික ව්‍යාපාරයක්
    'පොදු අධිකාරියක්' කළ නොහැකි බවටත් එසේ වුවහොත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සිට පෞද්ගලික වෛද්‍ය සායන දක්වා සියල්ලටම 'තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත' බලපාන බවටත් ඔවුහු තර්ක කළහ.

    අභියාචනාධිකරණයේ අර්ථකථන

    'කෙසේ වෙතත් අභියාචනාධිකරණය තොරතුරු දැනගැනීමේ පනතේ 43 වන වගන්තිය ඉතා පැහැදිලිව අර්ථකථනය කළේය. ඒ අර්ථකථනය අනුව, රජයෙන් හෝ රජයේ ආයතනයකින් ලබාගත් බලපත්‍රයක්, ගිවිසුමක් හෝ හවුල්කාරීත්වයක් යටතේ "පොදු සේවාවක් (Public Service)" හෝ "නෛතික කාර්යයක්(Statutory Function)" ඉටු කරන ඕනෑම පෞද්ගලික ආයතනයක් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට යටත් වන "පොදු අධිකාරියක්" වේ. හිරු නාලිකාව ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ බලපත්‍ර යටතේ බැවින් ඔවුන් ඉටු කරන්නේ "පොදු මාධ්‍ය සේවාවක්" බවට ද අභියාචනාධිකරණය තීන්දු කළේය.

    'ගුවන් තරංග මහජන දේපළකි'

    ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්වාදර්ශ උපුටා දක්වමින් මෙහිදී අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා පෙන්වා දී ඇත්තේ ගුවන් තරංග (Airwaves) යනු රජය සතු හෝ පෞද්ගලික හිමිකරුවන්ට අයිති දෙයක් නොව, මහජනතාවට අයිති සීමිත ස්වාභාවික සම්පතක් බවය; එසේම රජය ක්‍රියා කරන්නේ එම සම්පතේ හිමිකරු ලෙස නොව, එහි "භාරකරු (Trustee)" ලෙස පමණක් බවය. එම නිසා ගුවන් තරංග භාවිතා කරන ඕනෑම මාධ්‍ය ආයතනයක් මහජන යහපත උදෙසා කටයුතු කිරීමට බැඳී සිටින අතර එය හුදෙක් ලාභය උදෙසාම පමණක් භාවිතා කළ නොහැකි බව ද මෙම තීන්දුවෙන් අවධාරණය කරයි.

    'භාරකාර සබඳතා කතාව' බොරුවක්

    හිරු මාධ්‍ය ජාලය තවත් තර්කයක් ඉදිරිපත් කරමින් පැවසුවේ ප්‍රවෘත්ති මූලාශ්‍ර සහ සංස්කාරකවරුන් අතර පවතින්නේ භාරකාර සම්බන්ධතාවක්(Fiduciary Relationship) බැවින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5 වන වගන්තිය යටතේ එම තොරතුරු හෙළි කළ නොහැකි බවය. අභියාචනාධිකරණය විසින් මෙම තර්කය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. 'භාරකාර සම්බන්ධතාවක්' යනු සාමාන්‍යයෙන් රෝගියෙකු සහ වෛද්‍යවරයෙකු හෝ බැංකුවක් සහ ගනුදෙනුකරුවකු අතර පවතින දැඩි රහස්‍යභාවය සහිත සම්බන්ධතාවක් බව පෙන්වා දුන් අභියාචනාධිකරණය, මාධ්‍ය ආයතනයක් සිය ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් තොරතුරු ලබා ගැනීමේ දී පවතින්නේ :සේව්‍ය-සේවක සම්බන්ධතාවක්' මිස භාරකාර සම්බන්ධතාවක් නොවන බවට ද මෙහිදී තීන්දු කර ඇත.

    අවසන් තීන්දුව:'හිරු' නීතියට පහළින්

    සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය හිරු මාධ්‍ය ජාලය (Asia Broadcasting Corporation) ඉදිරිපත් කළ පෙත්සම කිසිදු නෛතික පදනමක් නැති (No Merits) එකක් ලෙස සලකා ගාස්තුවලට යටත්ව නිෂ්ප්‍රභ කර තිබේ. ඒ අනුව ඉහත කී මවගේ 'අභියාචනය' සලකා බලා ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව 2024 ජූනි 01 වැනිදා ලබා දුන් තීන්දුව ස්ථිර වී තිබේ,' හිරු නාලිකාව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතට ගැනෙන "පොදු අධිකාරියක්" බව තහවුරු වී තිබේ.

    දැන් අදාළ පුවත විකාශය වූ දින වගකීම දැරූ කාර්ය භාර ප්‍රවෘත්ති සංස්කාරකගේ සහ ඒ වන විට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරය දැරූ අයගේ නම සහ අදාළ පුවත තහවුරු කරගත් ආකාරය පිළිබඳ තොරතුරු ඉල්ලුම්කාරිනියට ලබා දීමට හිරු මාධ්‍ය ජාලයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාට සිදුව තිබේ. මෙම තීන්දුව හේතුවෙන් මෙරට පෞද්ගලික මාධ්‍ය ආයතනවලට තවදුරටත් තම පටු උවමනාවන් අනුව ප්‍රවෘත්ති විකාශය කර පෞද්ගලික සමාගමක් යන ලේබලය යටතේ සැඟව සිටීමට නොහැකි වනු ඇත. මෙමගින් ඕනෑම පුරවැසියෙකුට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ පෞද්ගලික මාධ්‍ය ආයතනවලින් වගවීම ඉල්ලා සිටීමේ මාවත විවර කර ඇත. අවසාන වශයෙන් "ප්‍රමුඛ විය යුත්තේ විකාශකයාගේ අයිතිය නොව නරඹන්නාගේ සහ ශ්‍රාවකයාගේ අයිතිය" යන මූලධර්මය යළි යළිත් මේ රටේ අධිකරණ පද්ධතිය විසින් තහවුරු කර ඇති බව සඳහන් කළ යුතුව ඇත.

    #nppaustralia
    #NPPGovernment
    #JVPSrilanka