දියවැඩියාව_Dr.කටුලන්ද

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දියවැඩියාව_Dr.කටුලන්ද

    ඩොක්ට කටුලන්ද කියන්නෙ ලෝකෙ තියන හොඳම රිසර්ච් ග්රූප් එක්ක වැඩ කරන ඩොක්ට කෙනෙක්. මම දන්න විදිහට ලංකාවටම ඉන්නෙ මේ ඩොක්ට විතරයි. එයා දියවැඩියාව ගැන කියල තියන දේවල් ගොඩක් වටින්නෙ අනිත් ඩොක්ටර්ස්ලා මෙයා විතර අප්ඩේට් නැති නිසයි. ඒ හින්ද මට හොයාගන්න පුළුවන් වෙච්ච එයාගෙ ඉන්ටර්වීව් මෙතන දානවා. ගොඩක් අයට වැදගත් වෙයි. මට මග ඇරුණු ඒවා තියනවනම් දාගෙන යන්න



    දියවැඩියාව පාලනය කරන විශ්මිත උණුසුම් ජල සාත්තුව

    වර්තමානයේදී අසන්නට ලැබෙන විවිධ රෝගාබාධ අතර වැඩියෙන්ම අසන්නට ලැබෙන රෝගයක් වන්නේ දියවැඩියාවයි. එය බෝ නාවන රෝග අතර බාල, මහලු, කාන්තා, පිරිමි භේදයකින් තොරව වැලඳෙන, බොහෝ දෙනකුට පීඩාකාරී රෝගයක් බවට පත්ව ඇත.

    දියවැඩියාව හා අත්‍යන්තයෙන් බැඳී පවතින්නක් වන්නේ කෙනෙකුගේ ආහාර පුරුදුය. ආහාර රටාවය. පිෂ්ඨය අධික, තෙල් සහිත ආහාර අධිකව පරිභෝජනය කරන්නෙකුට දියවැඩියාව වැලඳීමේ බොහෝ ඉඩකඩ පවතී. ස්ථුල ශරීර ඇත්තෙකු බොහෝ විට දියවැඩියාවට හිමිකම් කියයි.
    එවන් රෝගියකු ආහාර ලබා ගැනීම අඩුකර දියවැඩියාව පාලනය කිරීමට යොමු කරන ප්‍රායෝගික ක්‍රමවේද භාවිත කරන වෛද්‍යවරයකු හමුවීමට අපට අවස්ථාව සැලසිණි. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දියවැඩියාව හා හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතාය.
    ඔහු රෝගියකු සඳහා දිනකට උණුසුම් ජල වීදුරු 9ක් භාවිත කිරීමට උපදෙස් ලබා දේ. උදෑසන අවදි වූ සැණින් ප්‍රධාන ආහාර වේල් තුන ලබා ගැනීමට පෙර හා පසු හා කෑම වේල් දෙකක් අතර අවස්ථා දෙකකදී වශයෙනි. මේ පිළිබඳව ඉතා ඉහළ ප්‍රතිචාර රෝගීන්ගෙන් ලැබෙමින් පවතී.
    අප උණුසුම් ජලය සාත්තුව හා දියවැඩියාව පිළිබඳ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා හා සාකච්ඡා කළෙමු.
    “මේ උණුසුම් ජල සාත්තුව (Water Therapy) යන්නත් ආහාර පාලනයේම කොටසක්. මොකද අපි ඉතා සූක්ෂ්ම විදිහට විශ්‍ලේෂණය කරගෙන ගියාම අපිට පෙනී ගිහිල්ලා තියෙනවා මිනිස්සු අතර ආහාරවලට ඇබ්බැහියක් ඇති වෙලා තියෙනවා කියලා. ඒ කියන්නෙ හැම වෙලාවේම අවශ්‍ය ප්‍රමාණයට වඩා කන්න වුවමනායි. සත්ත්ව කාණ්ඩයක් වශයෙන් මිනිසුන්ට අපට බඩගින්න ඇති වෙනවා. එතකොට අපි බඩගින්නට අවශ්‍ය ප්‍රමාණයට වඩා කන්න පටන් ගත්තාම ශරීරය වැඩිපුර කෑම ඉල්ලනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. මේක විෂම චක්‍රයක් බවට පත් වෙනවා. මේකට අපිට හිතෙන්නෙ ආහාරවලට ‘ඇබ්බැහියක්’ කියලා.
    මේ තත්ත්වය මග හරවන්න අපි හිතලා බැලුවා නොයෙකුත් ක්‍රමවේදයන්. ඒකට අපි හිතලා බැලුවම කන්න එපා කියන්න අමාරුයි ඇබ්බැහිවීම නිසා. නමුත් බඩපුරවා ගන්න වුවමනායි. ඒ ශරීරයට සීනි නොලැබෙන ආහාරවලින්. ඒකට තමයි උණුසුම් ජලය පානය කිරීම (Water Therapy) ගෙනාවේ.
    අපි බඩගින්න එන්න කලින් වතුර එකක් බොනවා. එතකොට ශරීරයේ ආමාශය පිරීමකට ලක් වෙනවා. අපි තෘප්තිමත් භාවයට පත් වෙනවා. කන්න වුවමනා වෙන්නේ නැහැ. අමාශයේ පවතින ඇසිඩ් (Acid) එහෙම තනුක වන නිසා ගැස්ට්‍රයිටිස් භාවයත් අඩු වෙනවා. මේක ආහාර ප්‍රමාණය අඩු කිරීමට ලොකු පිටිවහලක් වෙනවා.
    ප්‍රධාන කෑමවේල් දෙකකට අතරේ හරියට සැලසුම් කරලා වතුර පානය කළොත් කෑම කන්න වුවමනා වීම අඩුවෙලා කෑම කන ඇබ්බැහිවීම මැඬපවත්වන්නට පුළුවන්.
    මේක මම පෞද්ගලිකව අත්හදා බලපු දෙයක්. විද්‍යාත්මකව හදාරපු දෙයක් ‍නෙවෙයි. උණුසුම් ජලය පානය කිරීම, සීතල ඇල් ජලය භාවිතයට වඩා ශරීරයට තෘප්තියක් ගෙන දෙනවා. අලසකම, විඩාව දුරු කරලා ප්‍රබෝධයක් ඇති කරනවා. මේ ක්‍රමය භාවිත කරන බොහෝ රෝගීන්ගේ ආහාර පාලනයක් සිදුවෙලා අපට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.”
    වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පවසයි. දියවැඩියාව පාලනය සඳහා බෙහෙවින් උපකාර වන ආහාර පාලනය පිළිබඳව තවදුරටත් අදහස් පළ කරයි.

    “මීට අමතරව හුඟ දෙනෙකුට කරන්න පුළුවන් දෙයක් තමයි අපිට අවශ්‍ය ශක්තිය අඩුවට අරගෙන බඩ පුරවා ගන්න එක. තෙල් සහ පිෂ්ඨය අඩු ආහාර වැඩිපුර ගන්න එක. උදාහරණ වශයෙන් බත් පිඟානේ බත් අඩු කරන කොට හුඟ දෙනෙක් කරන්නේ එළවළුත් අඩු කරනවා. කරන්න ඕනෑ බත් අඩු කරන කොට ඊට සාපේක්ෂව එළවළු වැඩි කරන්න ඕනෑ. බඩ පුරවා ගන්න ඕනෑ කොළ පාට එළවළුවලින්. පිෂ්ඨය අධික ඇට වර්ග, වට්ටක්කා වගේ දේවල් නැතුව අපි කොළ පාට ගෝවා, බෝංචි, මැල්ලුම් වර්ග වැඩියෙන් ආහාරයට ගන්න ඕනෑ. එතකොට බඩ පිරෙනවා.
    අමතර වේලාවන්වලදී බිස්කට්, කේක් වගේම සීනි වැනි පලතුරු කෙසෙල්, පැ‍පොල්, අඹ ආහාරයට ගැනීමට පුරුදු වෙලා. ඒ වෙනුවට විශේෂයෙන් දියවැඩියාව ඇති හා ස්ථුල අය සීනි අඩු පලතුරු ආහාරයට ගත යුතුයි. ඇඹරැල්ල, වෙරළු, කාමරන්ගා වැනි පලතුරු.
    දියවැඩියාව පාලනයට ආහාර පාලනය ඉතා වැදගත් බව කරුණු හෙළි කරන ඔහුගෙන් දියවැඩියාව යනු කුමක්ද යන්නත් ආහාර හා දියවැඩියාව අතර සම්බන්ධය කුමක්ද යන්නත් විමසා සිටියා.
    ‍ලේවල තියෙන අත්‍යවශ්‍ය අංගයක් වන ග්ලූකෝස් ප්‍රශස්ත මට්ටමට වඩා වැඩියෙන් දීර්ඝ කාලයක් පැවතීම තමයි දියවැඩියාව කියන්නේ. සාමාන්‍ය කෙනෙකුගේ නිරාහාර සීනි මට්ටම සාමාන්‍ය මට්ටමේදී 100mg අඩුවෙන් පැවතිය යුතුයි. එම අගය 126mg වැඩි නම් දියවැඩියාව ලෙස හඳුන්වනවා. එම අගය 100-126 අතර නම් අපි හඳුන්වනවා පූර්ව දියවැඩියාව කියලා.

    දියවැඩියාව ආකාර දෙකක් තියෙනවා. Type-1 හාType-2 වශයෙන්. Type-1 දියවැඩියාව හැදෙන්නේ තරුණ වයසේ අයට. අග්න්‍යාශයේ තියෙන ඉන්සියුලින් නිපදවන බිටා ෙසෙල සම්පූර්ණයෙන් විනාශ වෙනවා. මේ අයට නැවත දියවැඩියාව නිට්ටාවට සුව කරන්න ක්‍රමයක් හොයාගෙන නැහැ. ඉන්සියුලින් හදන බිටා ෙසෙල බද්ධ කරන ක්‍රමයක් ලෝකයේ යම් තරමකට කරනවා.
    අනෙක් දියවැඩියා වර්ගය තමයි Type-2 දියවැඩියාව. සාමාන්‍යයෙන් එය සුව කිරීමට නොහැකි වුවත් පාලනය කළ හැකියි. සමහර අය ඉන්නවා ආහාර පාලනයක් සිදු නොකරන ව්‍යායාම සිදු නොකරන ශරීරය අධිකව තරබාරු අය. මේ අය ඉතා වුවමනාවෙන් ආහාර පාලනය කරලා ව්‍යෘයාම කරලා ශරීරයේ බර අඩු කර ගත්තොත් ඖෂධ ගත යුතු නැති මට්ටමට දියවැඩියාව පාලනය කරගත හැකියි. ශල්‍යකර්ම මගින් අමාශය කුඩා කරන ක්‍රම ලෝකයේ පවතිනවා.
    මෙම දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව විශාල වශයෙන් වැඩිවීමට හේතු වී ඇත්තේ අපේ රටේ මිනිසුන්ගේ ආහාර හා ව්‍යායාම අතර තියෙන අසමතුලිතතාව නිසා. අපේ ශරීරයේ ශක්තිය වැය කරන ප්‍රමාණයට වඩා හැමදෙනාම වගේ ශක්තිය ගන්නවා. ඉස්සර වගේ ‍නෙවෙයි අපිට හැම දෙයකටම මෙවලම් තියෙනවා. වාහන තියෙනවා. විදුලිය, ජලය, යන්ත්‍ර සූත්‍ර හැම දෙයක්ම අපි උපයෝගි කර ගන්නේ පහසුවට. ඒ නිසා අපට අවශ්‍ය ශක්තිය ඉතා අඩුයි. අපි ආහාරවලින් ගන්නා ශක්තිය ඊට සමගාමීව අඩුවිය යුතුයි. එහෙම වෙලා නෑ. අපේ ආහාර සුලබතාව ඉතා වැඩියි. ශක්තිජනක ආහාර, පැණිබිම, තෙල් අධික ආහාර වැඩි නිසා ශක්තිය අවශ්‍ය ප්‍රමාණයට වඩා ගැනීම නිසා මිනිස්සු ස්ථුලතාවට පත් වෙලා. ඔවුන්ගේ ශරීරයේ ඉන්සියුලින් හෝමෝන ක්‍රියාත්මක වීම අඩපණ වෙනවා. ඉන්සියුලින් ප්‍රතිරෝධයක් ඇති වෙනවා. ඉන්සියුලින් ප්‍රතිරෝධය මැඬ පවත්වන්න මුලින් මුලින් අග්න්‍යාශය වැඩිපුර ඉන්සියුලින් ස්‍රාවය කරන්න උත්සාහ කරනවා. එය දිගටම කරන්න බැහැ. කාලයක් යන විට ඔවුන්ගේ අගන්‍යාශය අක්‍රිය වෙනවා. ඉන්සියුලින් අඩු වෙනවා. එවිට හොඳටම දියවැඩියාව තත්ත්වය ඇති වෙනවා.
    Type-1, Type-2 හෝ වෙනත් දුලබ තත්ත්වයක් යටතේ හෝ දියවැඩියාව හැදුණ රෝගියකුට ආහාර පාලනය අනිවාර්ය වෙනවා. අත්‍යවශ්‍ය වෙනවා. හැබැයි එය ළමයකුට නම් වර්ධනයට ‍පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වන නිසා ආහාර වෙනත් ක්‍රමයකට ලබා දෙන්න ඕනෑ. ඒ අනුව කෙනෙකුගේ වයස ඔහුගේ ජීවන රටාව අනුව ආහාර පාලනය සිදු කරන්න ඕනෑ.
    ඊළඟ කාරණය ව්‍යායාම කිරීමයි. ව්‍යායාම තුළින් දියවැඩියා රෝගියකුට ගොඩක් ප්‍රතිඵල අත් වෙනවා. ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩු වෙලා ක්‍රියා කිරීම හොඳ මට්ටමකට පත් වෙනවා. ශරීරයේ සීනි ප්‍රමාණය අඩු වෙනවා. ශරීරයේ ග්ලූකෝස් දහනය වෙනවා.
    යම් විදිහකින් ආහාර පාලනයකින් ව්‍යායාම තුළින් දියවැඩියාව පාලනය කිරීමට නොහැකි වුවහොත් ඖෂධ භාවිත කිරීමට සිදු වෙනවා.
    දියවැඩියාව නොසෑදී සිටීමට කුමක් කළ යුතුද? අපෙන් ප්‍රශ්නයක් යොමු වුණා.
    දියවැඩියාව නොසෑදී සිටීමට නම් අපේ ශරීරයට අධිකව කැලරි දීලා. තෙල් අධික ආහාර ලබා දීලා ශරීර ස්ථුලතාවට පත් නොවී සිටිය යුතුයි. මෙම තත්ත්වය එක් එක් පුද්ගලයාට සෑදීමට තියෙන හැකියාව විවිධාකාරයි. විශේෂයෙන් දියවැඩියා පවුල් ඉතිහාසයක් ඇති අය මේ පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. දේහ ස්කන්ධ දර්ශකය 23 අඩුවෙන් පවත්වා ගත යුතුයි. ඉණවට ප්‍රමාණය පිරිමි අයකුගේ සෙ.මී. 90ක් හා කාන්තාවකගේ සෙ.මී. 80කට අඩුවෙන් පවත්වා ගත යුතුයි. මීට අමතරව හැම දෙනකුම සක්‍රිය ජීවන රටාවක් පවත්වා ගත යුතුයි. සක්‍රිය ජීවන රටාවක් කියන්නේ ශරීරය වෙහෙස මහන්සි කරලා කටයුතු කිරීමයි. (Phycical Activition) එවිට දියවැඩියාව සෑදීම අඩු වෙනවා.

    දියවැඩියා රෝගයේ වර්තමාන තත්ත්වය කෙසේද? අපෙන් ප්‍රශ්නයක්.
    අපි දියවැඩියා රෝගයෙන් සිටින තත්ත්වය හරිම භයානකයි. දියවැඩියා රෝගී තත්ත්වය 2006දී ලංකාව පුරාම අවුරුදු 20 වැඩි වැඩිහිටි ජනගහනයෙන් 10ක් පෙන්නුම් කරලා තියෙනවා. ඉන්පසු ලංකාව පුරා විධිමත් පර්යේෂණයක් සිදුවෙලා නැහැ. නමුත් කුඩා පරිමාණ සමීක්ෂණ සඳහන් කරන්නේ නාගරික ජනගහනයෙන් වැඩිහිටි අයගෙන් 20ක් දියවැඩියාවට ගොදුරු වී ඇති බව. එය ඉතා භයානක තත්ත්වයක්.

    දියවැඩියාව නිසා ඇස් අන්ධ වීම, පාද කපා දැමීම වැනි විවිධ සංකූලතා ඇති විය හැකි බැවින් විශාල අවධානයක් මේ පිළිබඳව යොමුවිය යුතු වෙනවා. නැතහොත් රටේ සංවර්ධනයට පවා දැඩිව මෙය බලපැවැත්විය හැකියි. දියවැඩියාව පිළිබඳ අපි පාසල් මට්ටමින් පවා සාකච්ඡා කළ යුතුයි.
    ළමා ආරක්ෂාව
    ළමයි සක්‍රියව ක්‍රියාශීලීව තබාගත යුතුයි. සෑම ළමයෙක්ම ‍පොතපතට මෙන්ම ක්‍රීඩාවලටත් පුරුදු කළ යුතුයි. ළමයි කුඩා කල ක්‍රීඩා කිරීමට යොමු නොකර පසුකාලීනව සිදු කළ නොහැකියි.

    ළමුන්ව කුඩා කල පටන්ම හොඳ ආහාර පුරුදු සඳහා යොමු කළ යුතුයි. නිතර වතුර බොන්න පුරුදු කරන්න ඕනෑ. පැණි බිම භාවිතය වහාම නතර කළ යුතුයි. පැණි බිම හා දියවැඩියාව අතර සමීප සම්බන්ධතාවක් පවතින බව ලෝකයේ බොහෝ පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.
    ළමයින්ට පිෂ්ඨය අධික, තෙල් අධික ආහාර වෙනුවට කොළ එළවළු හා පලතුරුවලට ඇති කැමැත්ත වර්ධනය කළ යුතු වෙනවා.
    දියවැඩියා රෝගීන්ගේ ආරක්ෂාව සලසා ගත හැකි ආකාරය පැහැදිලි කළොත්? අපගෙන් ප්‍රශ්නයක්.
    දියවැඩියාව ශරීරයේ බොහෝ රෝග ලක්ෂණ මතු කිරීම අවම කරන රෝගයක්. අපි කියනවා දියවැඩියාවට ‘නිහඬ මාරයා’ (Silent Killer) කිසිදු රෝග ලක්ෂණයක් නොමැති වුණත් දියවැඩියාව හැදුන අය මාස තුනකට වරක්වත් HBA1C කියන පරීක්ෂණය කරලා තමන්ගේ රෝගී තත්ත්වය තියෙන මට්ටම දැන ගැනීම කළ යුතු වෙනවා. ඒ අනුව පැවතිය යුතු ප්‍රශස්ත මට්ටම්වල දියවැඩියාව පවත්වා ගැනීම මත සියලු සංකූලතා අවම කරගත හැකියි.
    ඊට අමතරව අපි පාද පරීක්ෂා කිරීම කර ගන්න ඕනෑ. විශේෂයෙන් කකුල්වල දැනීම අඩුවක් තියෙනවා නම් පාවහන් පාවිච්චි නොකර ගෙය තුළවත් ඇවිදීම නොකළ යුතුයි. සාමාන්‍යයෙන් සපත්තු පැලඳීම සිදු කළ යුතුයි. විශේෂයෙන් එළිමහනේ රත් වූ වැලි මත, ගල් මත ඇවිදීම නොකළ යුත්තක්.

    පාදවල තුවාල ඇති කර නොගැනීමයි වැදගත්. පාදවලට බලපාන ස්නායු සංවේදීතාව අඩු වූ විට තුවාල වේදනාව දැනෙන්නෙ නැහැ. පාදවල හැඩය පවා වෙනස්වීමට ලක් වෙනවා. එවිට ශරීරයේ බර ‍පොළොවට වැටෙන ස්ථාන ඝනවීම් සිදුවී ඒවා තුවාල බවට පත්විය හැකියි.
    දියවැඩියා රෝගීන්ගේ කකුල්වල ‍ලේ ගමනාගමනය අඩු වෙනවා. එතකොට තුවාල ඇති වුණොත් හොඳ කිරීම අපහසු වෙනවා. කාලයක් ගත වෙනවා. පාද කපා ඉවත් කිරීමට දියවැඩියා රෝගීන්ට සිදුවන්නේ එහෙමයි. ඒ නිසා දියවැඩියා රෝගීන් තම පාද ආරක්ෂාව පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වීම වැදගත්.
    දියවැඩියා රෝගීන්ට ලබාදෙන ආහාර පිළිබඳව යම් යම් දුර්මත සමාජය තුළ පවතිනවා. සමහර රෝහල් තුළ පවතින දියවැඩියා රෝගීන් ආහාර වට්ටෝරු තුළ පවා හොඳ, නරක ආහාර පවතිනවා? අපෙන් ප්‍රශ්නයක්.
    මේකේදී වෙලා තියෙන වැරැද්ද තමයි අපි වටහාගෙන නැහැ හරියටම විද්‍යාත්මකව සිද්ධ විය යුතු දේ. විද්‍යාත්මකව සිදුවිය යුතු දේ තමයි. අපේ ආහාරයේ කාබෝහයිඩේ්‍රට් ප්‍රමාණය අඩු කර ගැනීම. කාබෝහයිඩේ්‍රට් තියෙන ආහාර ගත්තාම, පිෂ්ඨය තියෙන ආහාර ගත්තාම ඒවා ජීර්ණය වීමෙන් අපට ග්ලූකෝස් ලැබෙනවා. කුරක්කන් වේවා, උඳුපිටි වේවා, රතු හාල් වේවා, සුදු හාල් වේවා හැම එකකම පිෂ්ඨය තියෙනවා. දුඹුරු පාට ඒවායේ තන්තු ප්‍රමාණය වැඩියි. ඒවායේ ග්‍රෑම් එකක තිබෙන කාබෝහයිඩේ්‍රට් ප්‍රමාණය හා ඉන් ග්ලූකෝස් රුධිරයට නිදහස්වීමේ වේගය (Glycemic index) තමයි වෙනස් වෙන්නේ. එහෙම නැතිව රතු හාල්, කුරක්කන්, ඇට වර්ග සියල්ලම ජීර්ණයෙන් පස්සේ අපිට ග්ලූකෝස් ලැබෙනවා. මේ ආහාර හොඳයි මේ ආහාර නරකයි කිව්වාම ඒ පණිවුඩය මිනිසුන්ට ගිහින් තියෙන්නේ වැරදි විදිහට. කුරක්කන් හොඳයි කිව්වොත් බඩ පිරෙනකම් කුරක්කන් රොටි කනවා. කැඳ බොනවා. ප්‍රමාණය අධිකව ගන්නවා හොඳයි කියලා. රතු හාල් හොඳයි කියලා ප්‍රමාණය සලකන්නේ නැතුව බඩ පිරෙනකම් කනවා.

    ආහාරයක හොඳ-නරක ‍නෙවෙයි තියෙන්නෙ ඕනෑ. සලකා බලන්න ඕනෑ. ආහාරයෙන් පිෂ්ඨය කොච්චර ගන්නවාද කියලා විතරයි. මිනිස්සුන්ට පණිවුඩයක් ගෙනියන්න ඕනෑ මාධ්‍ය මගින් කෑමවල ග්ලූකෝස් ප්‍රමාණය කොච්චරද කියලා දැනගෙන ප්‍රමාණාත්මකව ආහාරයට ගත යුතුයි කියන එක.
    සමහර රෝහල් තුළ පවා ආහාර වට්ටෝරු තුළ ගස් ලබු, කෙසෙල් දියවැඩියා රෝගීන්ට ලබා දෙනවා. ඒක දෙන්නෙ සමහර විට බත් පිඟානකුත් එක්ක. බතුත් කාලා ගස්ලබු කෑවාම සීනි මට්ටම ඉහළ යනවා. පැ‍පොල් කියන්නේ ඉක්මනින් සීනි ඉහළ නගින පලතුරක්. එවැනි පලතුරක් කෑමවේල් අතරට දුන්නාට කමක් නැහැ. එතකොට ටිකක් සීනි පාලනය වෙනවා. සමහර තැනක වට්ටක්කා සුප් ලබාදෙනවා. වට්ටක්කා එළවළුවද ඉක්මනින් සීනි ඉහළ නගින ආහාරයක්.
    ඒ නිසයි අපි කියන්නේ ඔය සාම්ප්‍රදායික ක්‍රම, අදහස් අයින් කරලා විද්‍යාත්මකව ආහාර පිළිබඳව විශ්‍ලේෂණයක් කරලා ආහාර රටාව සකසා ගන්න ඕනෑ කියලා.
    රෝහල්වලිනුත් වැරදි ආහාර රටාවක් ලබා දුනහොත් මිනිස්සු ඒ ගැන අවදියෙන් නිවසට ගිහිල්ලත් ඒ ආහාර ලබා ගන්නවා. මොකද ඉස්පිරිතාලයෙන් ලබා දුන්නෙත් එම ආහාර නිසා.
    මේ ක්‍රම වෙනස් විය යුතුයි. මිනිසුන්ට සැබෑ තත්ත්වය පෙන්වා දෙන්න ඕනෑ. තමන්ගේ ආහාරය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමයි වැදගත්.
    ආහාර පුරුදුවලට නව ක්‍රමයක්
    මිනිස්සු මාර්ග ඵලයකට පත් වී නැහැ. යම් යම් ආසාවන් පුද්ගලයන් සතුයි. යමෙකුට ආසයි කෙසෙල් ගෙඩියක් කන්න. හැබැයි එයාට පුළුවන් ඊට සමගාමී ප්‍රමාණයක් බත්වලින් අඩු කරන්න. තමන්ගේ ශරීරයට ලැබෙන පිෂ්ඨය ප්‍රමාණය පාලනයක් කරගන්න තමන් තුළ අදහසක් පැවතිය යුතුයි.

    අඹ ගෙඩියක් කන්න හිතෙනවා. අඹ ක්ෂණිකව සීනි මට්ටම ඉහළ ගෙන එනවා. කලාතුරකින් හරි අඹ ගෙඩියක් කන්න හිතෙනවා නම් අඹ ගෙඩියක් කන්න. හැබැයි තමන්ගේ කෑමවේ‍ලේ තියෙන පිෂ්ඨය ඊට සමගාමීව වෙන විදිහට අඩු කර ගන්න. ඒක අනිවාර්ය කටයුත්තක්.
    ඒ වගේම කොළ එළවළු වැඩියෙන් ආහාරයට ගන්න. සුදු සහ කහ පලතුරුවල එළවළුවල කාබෝහයිඩේ්‍රට් ප්‍රමාණය ඉතා ඉහළයි. ඒ නිසා කොළ පලතුරු ආහාරයට ගන්න. දියවැඩියා පාලනයට එය මහඟු පිටිවහලක් වේවි.
    දියවැඩියාවට බය වෙන්න – කළ යුතු දෙය කරන්න.

    අවසාන වශයෙන් අපි ප්‍රශ්නයක් නැගුවා. දියවැඩියාව වැලඳුන විට බය විය යුතුද? සියල්ල අත්හැර කලකිරීමට පත්විය යුතුද?
    දියවැඩියාවට බය නොවීම හොඳ නැහැ. දියවැඩියාවට බයක් තිබිය යුතුයි. අපි අධ්‍යාපනයට වැදගත්කමක් ලබා දෙනවානේ. ඒ වගේම දියවැඩියාවට වැදගත්කමක් ලබා දෙන්න. නිසි පරිදි සැලකිලිමත් වෙන්න. බය තියාගෙන කළ යුතු දෙය කළොත් අපිට දියවැඩියාව ජය ගන්න පුළුවන්.
    බයවෙන්න එපා කිව්වොත් මම බොරුවක් කියනවා වෙනවා. බය වෙන්නෙ නැතුව හරියට පාලනය කර ගන්නේ නැතුව තිබුණොත් ගැටලු ගොඩකට මුහුණදීමට සිදුවෙනවා. තමන්ගේ හිතෙන් දියවැඩියාවට වැදගත්කමක් ලබාදීලා සැලකිලිමත් වීම තමයි කරන්න ඕනෑ.


    කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ‍ජ්‍යෙ ෂ්ඨ කථිකාචාර්ය දියවැඩියාව හා හෝමෝන පිළිබඳ විශේෂඥ
    වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද | සාකච්ඡා සටහන : චන්දන සමරවික්‍රම




    දියවැඩියාවට වඩාත් සුදුසු වන්නේ HbA1c පරීක්‌ෂාවයි

    ලංකාවේ ගැබිනි මවුවරුන් ගෙන් සියයට දහයක්‌ පමණ ම දියවැඩියාවට ගොදුරු ව සිටිති. ලංකාවේ වැඩිහිටියන් අතර ද දියවැඩියාව ඉහළ යමින් පවතින අතර රෝගයෙන් පෙළෙන වැඩිහිටි ප්‍රතිශතය 10%ක්‌ පමණ වේ. නගරාශ්‍රිත ව මෙය 18%ක්‌ තරම් ඉහළ අගයකි.

    මේ තොරතුරු හෙළි වූයේ නොවැම්බර් 14 වැනි දාට යෙදෙන ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ දී පසුගිය දා පැවැති මාධ්‍ය හමුවේ දී ය. ශ්‍රී ලංකා දියවැඩියා ෆෙඩරේෂනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා විසින් මේ තොරතුරු ඉදිරිපත් කරන ලදි.

    ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසී ය.

    "අප ගේ ආහාර පුරුදු නිවැරැදි කරගත්තොත් දියවැඩියාවෙන් ගැලවෙන්න පුළුවන්. ආහාර තෝරාගැනීම්වල දී විද්‍යාත්මකව හිතන්න ඕනෙ. අන්තවාදී සංකල්ප නිසා පෝෂණ ගැටලු මතු වෙනවා. අපේ ජනතාව අතර පැතිරිලා තියෙන මිථ්‍යාවක්‌ තමයි බිත්තර කන්න හොද නැහැ කියන එක. අන්තගාමී ආකාරයට ඒ අදහස පැතිර යනවා. වෛද්‍යවරුන් පවා මේ වැරැදි මතය පතුරුවනවා. බිත්තරවල කොලෙස්‌ටරෝල් තියෙනව කියන මතය පතුරුවනවා. එය

    වැරැදියි. බිත්තර නිසා කොලෙස්‌ටරෝල් වැඩි වන්නේ නැහැ. ගුණාත්මක බවෙන් අතිශයින් ඉහළ ප්‍රොaටීන් බිත්තරවල තිබෙනවා කියන කරුණ මේ නිසා යටපත් වී යනවා.

    හොද පෝෂණයක්‌ ලබන්නට නම් බිත්තර, මාළු වැනි ආහාර පරිභෝජනය කළ යුතුයි. සීනි පාවිච්චිය නම් පාලනය කරන්නට අප ඉගෙනගත යුතු ව තිබෙනවා. සීනි පාවිච්චිය අඩු කළාට පමණක්‌ මදි. අනෙක්‌ පෝෂ්‍ය ද්‍රව්‍ය නිසි පරිදි ගන්නත් ඕන. විශේෂයෙන් ම කොළ පැහැ එළවළු හා පලතුරු කන්න ඕන. ව්‍යායාම කරන්න ඕන. කාන්තාවන් අතර ව්‍යායාම හොදට ම මදි. කාන්තාවන් අතර දියවැඩියාව වේගයෙන් පැතිර යන නිසා මේ ගැන අවධානය යොමු කළ යුතුයි. මෙවර ලෝක දියවැඩියා දිනයේ තේමාව වන්නේත් කාන්තාව හා දියවැඩිවාවයි".

    මේ මාධ්‍ය හමුවේ දී අදහස්‌ දැක්‌වූ අන්තරාසර්ගවේදීන් ගේ සංගමයේ සභාපති වෛද්‍ය විශේෂඥ මනිල්ක සුමනතිලක මහතා කියා සිටියේ මෙරට ජනතාව ගේ පාද අහිමි වීමට ප්‍රධාන ම හේතුව දියවැඩියාව බවයි. ටික කලකට පෙර දී ජනවාර්ගික යුද්ධය හේතු කොටගෙන පාද අහිමි වීම සිදු වූ අතර දැන් එය දියවැඩියාව මගින් සිදු වන බව ඔහු පෙන්වා දෙයි. එසේ ම අලුතෙන් හදුන්වා දී ඇති HbA1c නම් පරීක්‍ෂාව දියවැඩියාවට අදාළව කරගන්නා ලෙස ද වෛද්‍යවරයා දැනුම් දුන්නේ ය. මන් දයත් ඇතැම් විට රුධිරයේ ඇති සීනි සාමාන්‍ය පරීක්‍ෂණ මගින් හසු නො වන බැවිනි. සමහර අය ගේ සීනි මට්‌ටම නගින්නේ කෑම ගැනීමෙන් පසුව ය. එනිසා ආහාර නො ගෙන සිදු කරන Fasting Blood Test පරීක්‌ෂණයට වඩා නව HbA1c පරීක්‍ෂාව උචිත බව ඔහු කියයි. ලංකාවේ සුවදිවි සායන අති විශාල සංඛ්‍යාවක්‌ පැවතිය ද එයින් ප්‍රයෝජන ලැබීමට එන්නේ ඉතා අඩු පිරිසක්‌ බව ද ඔහු පෙන්වා දුන්නේ ය. දියවැඩියාව ඉහළ යැමට සීනි සහිත ආහාර හේතු වන අතර එය සෘජු ලෙස සීනි ගැනීමෙන් පමණක්‌ නො ව, සීනි සහිත එළවළු හෝ පිෂ්ටමය ආහාර මගින් ද සිදු වේ.

    එළවළු කෑමේ දී පවා අපට සීනි ලැබෙන නිසා එළවළු තෝරා අනුභවය ද වැදගත් ය. මෙහි දැක්‌වෙන පිටි අඩු කෝදි වැඩි එළවළු වැඩියෙන් ආහාරයට ගැනීම උචිත ය.

    පිටි අඩු එළවළු (කෝදි වැඩි) - වැටකොළු, කොහිල, කෙසෙල්මුව, බෝංචි, මෑ, බටු, බණ්‌ඩක්‌කා, මුරුංගා, පතෝල, ලීක්‌ස්‌, රාබු, ගෝවා, නෝකෝල්

    පිටි වැඩි එළවළු (කෝදි අඩු) - වට්‌ටක්‌කා, අළු කෙසෙල්, දෙල්, කොස්‌, කැරට්‌, බීට්‌, අර්තාපල් වැනි අල වර්ග.

    එළවළුවල තෙල් ඉතා අඩු ය. කොලෙස්‌ටරෝල් අඩංගු නැත. එළවළුවල තන්තු (කෝදි) ඇත. එය බඩවැල් රෝග වළක්‌වා, බර සුදුසු පරිදි පවත්වාගැනීමට උදව් වේ. ශරීරය නීරෝගී ව තබයි. එළවළුවල හැඩය, රසය, පැහැය, එකිනෙකට වෙනස්‌ මෙන්ම අඩංගු පෝෂණ ගුණයත් විවිධ ය. ඒ නිසා සිරුර හා මොළය වැඩීමටත්, නිරෝගි වීමටත් අවශ්‍ය සියලු ම පෝෂණ කොටස්‌ ලබාගැනීමට විවිධත්වයෙන් යුතු ව එළවළු ආහාරයට ගැනීම ඉතා ම වැදගත් ය. එළවළු පමණක්‌ නො ව ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමේ දී ද සැලකිලිමත් විය යුතු ය. අතීතයේ දී ලාංකීකයන් ප්‍රොaටීන බහුලව ඇතැයි සිතමින් පරිප්පු ආහාරයට ගත්හ. එහෙත් උක්‌ත වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ පරිප්පුවලින් සීනී විෂාල වශයෙන් ශරීරයට ලැබෙන බවයි.

    මනෝඡ් රත්නායක
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ‘දියවැඩියාව’ රෝගියකු සිහිතබාගත යුතු කරුණු (DIABETES- IMPORTANT FACTS)
    වර්තමානයේ ඉතා ශීඝ්‍රයෙන් පැතිරයන රෝගයක්‌ බවට දියවැඩියාව පත්ව තිබේ. ඊට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ අපගේ ජීවන රටාවේ පවතින වැරදි හුරුපුරුදුය. පිෂ්ඨය අධික ආහාරපාන වැඩිපුර ගැනීම, කය වෙහෙස කරවමින් එදිනෙදා කටයුතුවල නිරත නොවීම ආදී හේතු නිසා අප ඉතා ඉක්‌මනින් දියවැඩියා රෝගයට ගොදුරු විය හැකිය.

    මෙලෙස යම් පුද්ගලයකු දියවැඩියා රෝගයට ගොදුරුවී ඇත්නම් ඒ බව හඳුනාගන්නේ කෙසේද කියා අපි විමසා බලමු.

    දියවැඩියා රෝගියකුගේ රුධිර සීනී මට්‌ටම පවතින්නේ කුමන අගයකද ?

    නීරෝගී පුද්ගලයකුගේ රුධිරයේ ග්ලූකෝස්‌ මට්‌ටම (සීනී මට්‌ටම) පැවතිය යුතු අගයක්‌ තිබෙනවා.

    නිරාහාරව සිට පරීක්‌ෂා කිරීමේදී එය ඩෙසිලීටරයකට මිලිග්‍රෑම් 100 ට වඩා අඩු විය යුතුයි. (100 mg/dl)

    ආහාර ගැනීමෙන් පසු පරීක්‌ෂා කිරීමේදී හෝ ග්ලූකෝස්‌ මිලිලීටර් 75 ක්‌ පානය කිරීමෙන් පසු පරීක්‌ෂා කිරීමේදී එය ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 140 ට අඩුවිය යුතුයි. (140 mg/dl)

    යම් පුද්ගලයකුගේ රුධිර සීනී මට්‌ටම නිරාහාර පරීක්‌ෂාවකදී 100 mg/dl ත් 126 mg/dl ත් අතර අගයක පවතීනම් හෝ ආහාර ගැනීමෙන් පසු සිදු කළ පරීක්‌ෂාවේදී එය 140 mg/dl ත් 100 mg/dl ත් අතර අගයක පවතීනම් එම පුද්ගලයා පූර්ව දියවැඩියා මට්‌ටමේ සිටින බව තීරණය කරනු ලබයි.

    නිරාහාරව සිට පරීක්‌ෂා කිරීමේදී රුධිර සීනී මට්‌ටම 126 mg/dl වඩා වැඩි අගයක පවතීනම් හෝ ආහාර ගැනීමෙන් පසු සිදුකළ රුධිර සීනී පරීක්‌ෂාවේදී එය 200 mg/dl වැඩි අගයක පවතීනම් එම පුද්ගලයා දියවැඩියා රෝගයට ගොදුරුවී ඇති බව තීරණය කරනු ලබයි.

    මීට අමතරව රුධිරයේ පවතින ග්ලූකෝස්‌ අනු හා බැඳුනු හිමොග්ලොබින් අගයේ ප්‍රතිශතය පරීක්‌ෂා කිරීම හෙවත් ග්ලයිකෝසිලේටඩ් හිමොග්ලොබින් (Glycosylated Hemoglobin) පරීක්‌ෂාවේදී එහි අගය 6.5 ට වඩා වැඩිනම් (6.5 Hb A1C) එම තැනැත්තා දියවැඩියා රෝගයෙන් පෙළෙන බව තීරණය කරනු ලබයි.

    මෙම Hb A1C පරීක්‌ෂාව මඟින් පසුගිය මාස 02 ක්‌ හෝ 3 ක්‌ ඇතුළත පැවති රුධිරයේ ග්ලූකෝස්‌ මට්‌ටම හඳුනාගැනීමටද පිළිවන.

    දියවැඩියා රෝගයට ගොදුරු නොවී සිටීමට නම් Hb A1C අගය 7 ට වඩා අඩු මට්‌ටමක පවත්වාගත යුතුය.

    දියවැඩියා රෝගයට බහුලවම ගොදුරුවන වයස්‌ සීමාවක්‌ තිබේද ?

    දියවැඩියා රෝගය වර්ග දෙකක්‌ ඇත. කුඩා කල සිට යම් පුද්ගලයකුගේ අග්න්‍යාසයෙන් ඉන්සියුලීන් නිපදවීම දුර්වලව පවතින අවස්‌ථා තිබෙනවා.

    එය පළමු කාණ්‌ඩයේ දියවැඩියා රෝගය ලෙස හඳුන්වනු ලබනවා. මෙම කාණ්‌ඩයේ දියවැඩියාවට කුඩා කල සිට ගොදුරු විය හැකියි.

    වයසට යැමත් සමඟ අග්න්‍යාසයෙන් නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය අඩුවීම නිසාද දියවැඩියාව මතුවේ. මෙය දෙවැනි කාණ්‌ඩයේ දියවැඩියාව ලෙස හඳුන්වනවා. මෙම දියවැඩියාව බහුලව දැකිය හැක්‌කේ වයස අවුරුදු 35 පමණ ඉක්‌මවූ විටදීය. නමුත් වර්තමානයේ තරුණ පිරිස්‌ අතර සහ පාසල් වියේ පසුවන දරුවන් අතරද දෙවැනි කාණ්‌ඩයේ දියවැඩියා රෝගය දක්‌නට ලැබේ.

    මෙලෙස අඩු වයසින් දියවැඩියාවට ගොදුරුවීමට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ අධික තරබාරුවයි.

    දියවැඩියා රෝගයේ දී මතුවන රෝග ලක්‌ෂණ මොනවාද ?

    දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන් අතර බහුලව දැකිය හැකි රෝග ලක්‌ෂණ වනුයේ නිතර මුත්‍රා පිටවීම, අධික පිපාසය නිතර මතුවීම, රාත්‍රියට මුත්‍රා කළ යුතු වාර ගණන වැඩිවීම, ශරීරයේ බර අඩුවීම, සිරුරේ අප්‍රාණිකබව, අලසබව ඉතා ඉක්‌මනින් විඩාවට පත්වීම, ඇස්‌ බොඳවී පෙනීම, තුවාල හටගත් විට ඉක්‌මනින් සුව නොවීම, ලිංගික ප්‍රදේශවල දිලීර රෝග පැතිරීම ආදියයි.

    දියවැඩියාව සඳහා භාවිතා කරන “මෙට්‌ෆොමින්” ඖෂධය දිගුකලක්‌ ගැනීම අහිතකරද ?

    නූතන වෛද්‍ය පර්යේෂණ අනුව මෙට්‌ෆොමින් ඖෂධය දියවැඩියා රෝගීනට වඩාත් සුදුසු බව අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන් දෙවැනි කාණ්‌ඩයේ දියවැඩියා රෝගීනට රුධිරයේ සීනි මට්‌ටම පාලනය සඳහා ප්‍රමුඛව ලබාදිය යුතු ඖෂධයක්‌ බවට මෙට්‌ෆොමින් පත්ව තිබෙනවා.

    එනිසා මෙට්‌ෆොමින් දීර්ඝ කාලයක්‌ භාවිතා කිරීම නිසා වකුගඩු හෝ අක්‌මාවට හානියක්‌ සිදුවන බවට විද්‍යාත්මකව ඔප්පුවී නැහැ. ඉතා සුළු ප්‍රමාණයක්‌ වූ දියවැඩියා රෝගීන් පිරිසකට මෙට්‌ෆොමින් ගත්විට බඩ බුරුලට යැම, බඩ පිපුම වැනි අපහසුතා මතුවිය හැකිsයි.

    දරුණු ලෙස වකුගඩු හානියට ලක්‌වූ පුද්ගලයනට මෙට්‌ෆොමින් ලබාදෙන්නේ නැහැ.

    ඊට හේතුව මෙට්‌ෆොමින් මඟින් වකුගඩු හානියට ලක්‌වීම නොව මෙට්‌ෆොමින් ශරීරයෙන් ඉවත්වන්නේ වකුගඩු මඟින් වීමයි.

    එනිසා දියවැඩියා රෝගීන් මෙට්‌ෆොමින් ගැනීමට අනවශ්‍ය බියක්‌ ඇතිකරගත යුතු නැහැ.

    දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් හෝමෝනය ලබා දෙන්නේ කුමන අවස්‌ථාවේද ?

    පළමු කාණ්‌ඩයේ දියවැඩියා රෝගීන් හෙවත් කුඩා කල සිට ශරීරයෙන් ඉන්සියුලින් හෝමෝනය නිපදවීම දුර්වල අයට ඉන්සියුලින් එන්නත් මඟින් ශරීරයට ලබාදෙනවා.

    මීට අමතරව දෙවැනි කාණ්‌ඩයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ටත් ඉන්සියුලින් ලබාදෙන අවස්‌ථා තිබෙනවා. දැඩි ලෙස රෝගී තත්ත්වයට පත්ව මුඛය මඟින් ඖෂධ ලබාගත නොහැකි තත්ත්වයේ පසුවන අයට, ගර්භනී සමයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන කාන්තාවන්ට, ශල්‍යකර්මවලට ලක්‌ව තවම නිසි සුව අතට පත්ව නොසිටින අයට මෙට්‌ෆොමින් ඖෂධය මුඛය මඟින් ලබා ගැනීමට අපහසු අවස්‌ථාවලදී ඔවුනට ඉන්සියුලින් එන්නත් ලබා දෙනවා.

    දියවැඩියා රෝගීනට සුදුසු ආහාර මොනවාද ?

    රුධිරයට ඉතා ඉක්‌මනින් ග්ලූකෝස්‌ නිකුත් කරන සරල සීනි වර්ග සහිත ආහාර වර්ග සහ කෙඳි සහිත බව, අඩු පිටි සහිත බව වැඩි ආහාර වර්ග දියවැඩියා රෝගීන්ට සුදුසු නැහැ.

    දියවැඩියා රෝගීන්ට ඉතාමත් සුදුසු වන්නේ පිෂ්ඨය පාලනය කළ හැකි කෙඳි සහිත ආහාරපාන වර්ගයි.

    නිවුඩු හාල්, තම්බපු හාල්, රතු කැකුළු සහල් කුරක්‌කන්, කොල්ලු, මෙනේරි, කවුපි වැනි කෙඳි සහිත බව වැඩි පිෂ්ඨ ජනක ධාතුව අඩු ආහාර වර්ග ගුණදායකය.

    එළවළු වර්ග ආහාරයට ගැනීමේදී කොළ පැහැති එළවළු වර්ග ගුණදායකය. මැල්ලුම් වර්ග, ගෝවා, බෝංචි, පිsපිඤ්Æ, සලාද වර්ග, වැටකොලු, පතෝල, දඹල වැනි එළවළු වර්ග වැඩිපුර ආහාරයට ගැනීම සුදුසුය.

    පිෂ්ඨය වැඩි අල වර්ග වට්‌ටක්‌කා, කොස්‌, දෙල් වැනි ආහාර වර්ග ගැනීමේදී ආහාර වේලේ ඇති අනෙකුත් පිෂ්ඨ ආහාර වර්ග අඩු කළ යුතුයි.

    එනම් කොස්‌, දෙල්, අල වර්ග ආදිය ආහාරයට එක්‌ කරගන්නවානම් එම ආහාර වේලට එක්‌කරගන්නා බත් ප්‍රමාණය අඩුකර ගත යුතුයි.

    පලතුරු වර්ග ආහාරයට ගැනීමේදී කොළ පැහැති ඇඹුල් සහිත පලතුරු වර්ග වඩාත් ගුණදායකයි. වෙරළු, නෙල්ලි, ඇඹරැල්ලා, පේර, කාමරංකා, කොළපාට ඇපල්, දිවුල් ආදී පලතුරු වර්ග ආහාරයට ගත හැකියි.

    කෙසෙල්, අඹ, ගස්‌ලබු, රඹුටං, වරකා, දොඩම්, අන්නාසි වැනි පලතුරු වර්ගවල පිෂ්ඨය අධිකයි. එනිසා එම පලතුරු වර්ග ආහාරයට ගැනීම සීමා කළ යුතුයි. විශේෂයෙන්ම ප්‍රධාන ආහාර වේලකින් පසු මෙවැනි පලතුරු වර්ගයක්‌ ආහාරයට ගන්නේ නම් ප්‍රධාන ආහාර වේලේ ඇති පිෂ්ඨ අහාර වර්ග සීමා කළ යුතුයි.

    ප්‍රධාන ආහාර වේලකින් පසු කෑමට ගන්නා සීනි අධික අතුරුපස වර්ගවන කේක්‌, පුඩිං, අයිස්‌ ක්‍රීම් ආදිය ගැනීම සීමා කළ යුතුයි.

    කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
    ප්‍රසාද් කටුලන්ද





    තරබාරු අයට ආයුෂ අඩුවීමේ අවදානමක්

    කාර්යබහුල සමාජ රටාව තුළ අධි තරඟකාරී ජීවිත ගත කරන්නන්ට ස්ථුලතාවය වැළදීමේ ප්‍රවණතාවය වැඩි වී තිබේ. ස්ත්‍රි පුරුෂ භේදයකින් මෙන් ම වයස් සීමාවකින් තොරව ඇති වන ස්ථුලතාවය වර්තමානයේ ප්‍රධාන ගැටලුකාරී තත්ත්වයක් වී ඇත.එසේ වී ඇත්තේ ස්ථුලතාවය හේතුවෙන් රෝග ගණනාවක් වැළදීමට හැකි නිසාවෙනි. සිත තෘප්තිමත් වන අයුරින් ආහාරපාන ගෙන කුඩා කාලයේ පටන් ම ස්ථුලතාවයට ගොදුරු වුවන් ද නුතන සමාජයේ දැකිය හැකි ය. මුල් කාල සීමාවේදී ස්ථුලතාවයට නිසි ප්‍රතිකර්ම නොකර සිටීමෙන් සිරුර අවලක්ෂණ වීම පමණක් නොව මුළු ජීවිත කාලය පුරාම රෝගියෙකු මෙන් කල් ගෙවීමට සිදුවේ. ස්ථුලතාවය යනු කුමක් ද? එය වළක්වා ගැනීමට කළ හැකි පිළියම් මොනවා ද? යන්න පිළිබඳව දියවැඩියාව හා හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය, කොළඔ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පළ කළ අදහස් මෙසේ ය.
    ස්ථුලතාවය යනු කුමක්දැයි පැහැදිලි කරන්න
    යම් කිසි පුද්ගලයෙකුගේ ශරීරයේ තිබිය යුතු මට්ටමට වඩා වැඩි මේද පටක ප්‍රමාණයක් තිබීම ස්ථුලතාවය යනුවෙන් හදුන්වනු ලැබේ. බාහිරින් දුටු විට මෙම තත්ත්වය මහත එසේත් නැතිනම් තරබාරුබව වශයෙන් සළකනු ලබයි.සැබවින් ම ස්ථුලතාවය යනු වෛද්‍ය විද්‍යාවට අනුව අවශ්‍ය ප්‍රමාණයට වඩා මේද පටක තැන්පත් වීම වේ.
    ස්ථුලතාවය රෝගයක් වශයෙන් සළකනවා ද?
    ඔව්. අතීතයේ දී ස්ථුලතාවය අවධානම් තත්ත්වයක් වශයෙන් සළකන ලදී .එහෙත් මීට වසර දෙකකට පමණ ඉහත දී ඇමරිකාවෙහි ස්ථුලතාවය රෝගයක් වශයෙන් හදුනා ගැණිනි. ස්ථුලතාවය හේතුවෙන් සංකූලතා බොහෝමයක් ඇති වේ. එම නිසා රෝගයක් වශයෙන් හදුනා නොගන්නා අවස්ථාවක දී මිනිසුන්ට මේ සඳහා ප්‍රතිකාර කීරීමට අපහසු වේ. එමෙන් ම ඖෂධ සඳහා රක්ෂණ ආවරණ ලබා ගැනීමට ද නොහැකි ය. ඒ හේතුවෙන් වර්තමානයේ දී ස්ථුලතාවය රෝගයක් ලෙස හදුන්වනු ලැබේ.
    ස්ථුලතාවය මැන බැලීම සඳහා මිනුම් දඬු කිහිපයක් තිබෙනවා නේද?
    දේහ ස්කන්ධ දර්ශකය (Body Mass Index) භාවිතා කර ස්ථුලතාවය මනිනු ලැබේ. පුද්ගලයෙකුගේ බර කිලෝ ග්‍රෑම් වලින් ගෙන එම අගය බෙදනු ලබන්නේ උස මීටර් වලින් ලබා ගන්නා අගය වර්ග කිරීමෙනි.ඒ අයුරින් ශරීර ස්කන්ධ දර්ශකය තිරණය කරනු ලබයි. සාමාන්‍යෙයන් ආසියාතික රටක පුද්ගලයෙකුගේ බර 18.5- 23 ක් වේ. බර 23-25 අතර නම් අධි බර යනුවෙන් හදුන්වනු ලැබේ. බර 25 ට වැඩි නම් එම පුද්ගලයා ස්ථුලතාවයෙන් යුක්ත ය.
    උදරයේ ස්ථුලතාවය මනිනු ලබන්නේ ඉන වට ප්‍රමාණයෙනි.කාන්තාවකගේ ඉන වට ප්‍රමාණය 80 cm වැඩි නම් උදර ස්ථුලතාවයෙන් යුක්ත කෙනෙකු වශයෙන් හදුන්වයි. එමෙන්ම පුරුෂයෙකුගේ ඉන වට ප්‍රමාණය 90 cm වැඩි නම් එම පුද්ගලයා ද උදරයේ ස්ථුලතාවයෙන් යුක්ත කෙනෙකු වේ.
    එමෙන් ම නිවැරදි අකාරයටම ශරීරයේ තිබෙන තෙල් ප්‍රමාණය තීරණය කිරීමට පුළුවන. එහිදී ශරීරයේ මස්පිඩු සහ තෙල් පටක ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස පෙන්වා දීමට පුළුවන. Bioimpedance ක්‍රමය හා Dexa Scan ක්‍රමය මඟින් එලෙස ශරීරයේ තෙල් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ගත හැකි ය.
    ස්ථුලතාවය ඇති වීමට බලපාන හේතු සාධක මොනවා ද?
    යම් පුද්ගලයෙකු ගන්නා කැලරි ප්‍රමාණය එම පුද්ගලයා වැය කරන කැලරි ප්‍රමාණයට වඩා වැඩි නම් දිනෙන් දින එම පුද්ගලයාගේ ශරීරයේ මේදය තැන්පත් වේ. ඒ වාගේ ම පුද්ගලයෙකු වැය කරන ශක්ති ප්‍රමාණයට වඩා වැඩිපුර ආහාර ගැනීමෙන් ද ස්ථුලතාවය ඇති විය හැකි ය. එසේ වැඩිපුර ආහාර ගැනීමට බලපාන හේතු කාරණා තිබේ.
    සමහර පුද්ගලයින් ජානමය වශයෙන් වැඩිපුර ආහාර ගැනීමට පෙළ‍ඹේ. ජානමය සාධක හේතුවෙන් පවුල තුළ ශරීරය මහත් වු පුද්ගලයින් සිටීමට ද පුළුවන. ඒ හේතුවෙන් ද ස්ථුලතාවය ඇති විය හැකි ය. ජානමය හේතුන් නිසා නිතර ශක්තිය වැය නොකරමින් ( Sedentary LifeStyle) දිවි ගෙවන්නන්ට ද ස්ථුලතාවය ඇති විය හැකි ය.
    සිරුරේ පවතින හෝමෝන මඟින් ස්ථුලතාවය ඇති වනවා ද?
    ශරීරයේ තිබෙන සමහර හෝමෝන අධික වීමත්,අඩු වීමත් ශරීරය මහත් වීමට හේතු වේ. තයිරොක්සින් හෝමෝනයේ ඌනතාවය ශරීරය මහත් වීමට ප්‍රධාන හේතු සාධකයක් වේ. කෝටිසෝල් හෝමෝනය අධික වීමේන් ද උදරය ආශ්‍රීත මහත්වීම දැක ගත හැකි ය.පුරුෂයින්ගේ තිබෙන ටෙස්ටෙස්ටරෝන් හොමෝනය අඩු වීමෙන් ද ශරීරය මහත් වීමට පුළුවන.හොමෝනවල බලපෑම බොහෝ දෙනෙකුට ඇතිවන මහත ගතියට ප්‍රධාන හේතුවක් නොවේ.
    ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයෙකුට දෙනු ලබන ඖෂධ ප්‍රතිකාර මොනවා ද?
    කුමන හේතුවක් නිසා ස්ථුලතාවය ඇති වුව ද පළමුවෙන් ම සිදු කරන්නේ පුද්ගලයාගේ ආහාර රටාව වෙනස් කිරීමයි.එපරිදි ශරීරයේ ශක්තිය වැය කරන ජීවන රටාවකට පුද්ගලයකු හුරු කරනු ලබයි. Orlistat ඖෂධය මඟින් අප ගන්නා ආහාරවල පවතින මේදය ශරීරයට ජීර්ණය වීම වළක්වනු ලබයි.Liraglutide ඖෂධය මඟින් ආහාර ගැනීමේ තෘප්තිමත්බව නැති කරනු ලබයි .එසේත් නැතිනම් ආහාර රුචිය නැති කරනු ලබයි. තව ද මෙම ඖෂධය මඟින් ආමාශයේ පිරී ගිය බවක් ඇති කරයි. ශරීරයේ ශක්තිය වැය කිරීම වැඩි කිරීම ද ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයෙකුට දෙනු ලබන ඖෂධ මඟින් සිදු කරයි.එහෙත් ස්ථුලතාවයෙන් යුක්ත පුද්ගලයෙකුට දෙනු ලබන ප්‍රධාන ඖෂධ වන්නේ Orlistat ඖෂධය සහ Liraglutide ඖෂධයයි.
    වර්තමානයේ දී නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ස්ථුලතාවය සඳහා සැත්කම් සිදු කරනවා නේ ද?
    ස්ථුලතාවය සඳහා සැත්කම් සිදු කරනු ලබයි. එම සැත්කම් ඉංග්‍රීසියෙන් හදුන්වන්නේ Bariatric Surgery යනුවෙනි. Restric සැත්කම මඟින් සිදු කරනු ලබන්නේ අමාශයේ කුඩා කිරීමකි. Malabsorptive සැත්කම මඟින් සිදු කරනු ලබන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ ආහාර ජීර්ණය වන හා ආහාර අවශෝෂණය වන දිග ප්‍රමාණය අඩු කරනු ලැබීම ය.
    සමහර ශෛල්‍ය කර්ම Restrictive සැත්කම Malabsorptive සැත්කම යන සැත්කම් දෙකේ එකතුවකින් කරනු ලබයි.Restrictive සැත්කම සඳහා උදාහරණයක් ලෙස Sleeve Gastrectomy සැත්කම ද Malabsorptive සැත්කම සඳහා උදාහරණ ලෙස Gatric Bypass සැත්කම හදුන්වා දිය හැකි ය.
    හෘද රෝග ඇති වීම සඳහා ස්ථුලතාවය බලපානවා ද?
    ස්ථුලතාවය හේතුවෙන් ඇතිවන කොළෙස්ට්‍රරෝල් සහ අධික රුධිර පීඩනය නිසා හෘද රෝග ඇති විය හැකි බව වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ මඟින් සනාථ වී ඇත. එමෙන් ම ස්ථුලතාවය හේතුවෙන් හෘද ආබාධ ඇති නොවී හෘදය අකර්මණ්‍ය වීමට පුළුවන.
    ස්ථුලතාවය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් මොනවා ද?
    ස්ථුලතාවය හේතුවෙන් දියවැඩියාව,අධික රුධිර පීඩනය, අධික කොළෙස්ටරෝල් තත්ත්වයන් ඇති වීමට පුළුවන. මේ රෝගාබාධ හේතුවෙන් හෘදයාබාධ, අංශබාගය,වකුගඩු රෝග,Non Alcoholic Fatty Liver තත්ත්වය, සිරෝසිස් ඇති වීමට පුළුවන.ස්ථුලතාවය හේතුවෙන් පිළිකා වර්ග 12 ක් පමණ වැළදීමේ අවධානමක් තිබෙන බව වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ මඟින් සොයා ගෙන තිබේ. කාන්තාවන්හට පියයුරු පිළිකා,ගැබ් ගෙළ පිළිකා,ගර්භාෂ පිළිකා තත්ත්වයන් ඇති වීමට පුළුවන. සන්ධි ආබාධ,දණහිස් ආබාධ,කොන්දේ ආබාධ තත්ත්වයන් ද , ලිංගික දුර්වලතා,මඳසරුභාවය, වැනි රෝගාබාධ තත්ත්වයන් ද , Sleep apnea තත්ත්වය ( නින්දේදී ගෙරවීම) ,දිවා කාලයේ දී නිදිමත, අලස බව,ඇති විය හැකි ය.
    පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යයට ස්ථුලතාවය බලපානවා ද?
    වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ මඟින් පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යයට ස්ථුලතාවය බලපාන බව සනාථ වී ඇත.ස්ථුලතාවය මඟින් මානසික නිරෝගී බව අඩු කරනු ලබයි.මානසික ව්‍යකූල තත්ත්වයන් හේතුවෙන් ද ස්ථුලතාවය ඇති විය හැක. එම නිසා මෙය විෂම චක්‍රයක් බවට පත්ව ඇත.
    දහවල් කාලයේ දී ආහාර ගැනීමේන් පසු නිදා ගැනීම මඟින් සිරුරේ බර ප්‍රමාණය වැඩි වනවා ද?
    තරබාරු අයට ආයුෂ අඩුයි සාමාන්‍යෙයන් පුද්ගලයෙකු අවශ්‍ය ප්‍රමාණයට වඩා නිදා ගත්ත ද නිදා නොගත්ත ද ස්ථුලතාවය ඇති විය හැකි ය.එම නිසා නින්ද අඩු වුව ද වැඩි වුව ද ස්ථුලතාවය ඇති වීමට පුළුවන.දහවල් කාලයේ නිදා ගැනීමෙන් ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩු වීමෙන් ස්ථුලතාවය ඇති වන්නට පුළුවන.
    දිනකට පුද්ගලයෙකුට අවශ්‍ය ශක්ති ප්‍රමාණය කොපමණ ද?
    දිනකට පුද්ගලයෙකුට අවශ්‍ය ශක්ති ප්‍රමාණය තීරණය කරන්නේ එම පුද්ගලයාගේ උස,වයස සහ බර අනුව ය. ඒ අනුව පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය ශක්ති ප්‍රමණය ඒ පුද්ගලයා අනුව වෙනස් වේ. එමෙන් ම දිනකට පුද්ගලයෙකුට අවශ්‍ය ශක්ති ප්‍රමාණය තීරණය කීරීමේ දී ගර්භනී තත්ත්වය,වෙනත් රෝගාබාධයන් පවතිනවා ද? යනා දී විවිධ හේතු සාධක බලපානු ලබයි. සාමාන්‍යෙයන් කාන්තාවක් සඳහා දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය 1600 කි. පුරුෂයෙකු සඳහා දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය 1850 කි.





    දියවැඩියා රෝගය නිසා වකුගඩු සහ අක්‌මාවට සිදුවෙන දේවල් මෙන්න

    නිරාහාරව සිට සිදුකරන රුධිර පරීක්‍ෂාවේදී රුධිර සීනි අගය 126 mgdl වැඩි නම් දියවැඩියා රෝගයට ලක්‌ව ඇති බව තහවුරු වෙනවා
    ග්ලූකෝස්‌ වීදුරුවක්‌ පානය කර පැය දෙකකට පසු සිදුකරන රුධිර සීනි පරීක්‍ෂාවේදී රුධිර සීනි අගය 200 mgdl වැඩිනම් දියවැඩියා රෝගයට ලක්‌ව ඇති බව තහවුරු වෙනවා
    යම් පුද්ගලයකුට දියවැඩියා රෝගය ඇති බවට නිවැරැදිව හඳුනා ගැනීම සඳහා සිදුකරන තවත් රුධිර පරීක්‍ෂාවක්‌ ලෙස HBA1C හඳුන්වනවා. එම පරීක්‍ෂණයේදී ලැබෙන අගය 6.5% ට වැඩිනම් දියවැඩියා රෝගය ඇති බව තහවුරු වෙනවා
    ලංකාවේ වර්තමාන ජනතාවගෙන් බහුතරයක්‌ දෙනා ගතකරන ජීවන රටාව අනුව වැඩි පිරිසක්‌ දියවැඩියා රෝගයට ගොදුරුව හෝ ඊට ගොදුරුවීමට ආසන්න මට්‌ටමේ සිටිති.

    එනිසා දියවැඩියා රෝගය පිළිබඳව දැනගත යුතු වැදගත් කරුණු කිහිපයක්‌ ගැන අපි දැනුවත් බවක්‌ ලබා ගනිමු.

    වෛද්‍යතුමනි, දියවැඩියා රෝගය හඳුනා ගැනීම සඳහා සිදුකරන රුධිර සීනි පරීක්‍ෂාවේදී දියවැඩියාව ඇති බව තහවුරු කරගන්නේ කෙසේද?

    දියවැඩියා රෝගියකු බව නිවැරැදිව හඳුනා ගැනීමට සිදුකරන පරීක්‍ෂාවන් හතරක්‌ තිබෙනවා.

    නිරාහාරව සිට

    නිරාහාරව සිට සිදුකරන රුධිර පරීක්‍ෂාවේදී රුධිර සීනි අගය 126 mgdl වැඩි නම් දියවැඩියා රෝගයට ලක්‌ව ඇති බව තහවුරු වෙනවා.

    ග්ලූකෝස්‌ පානය කර

    ග්ලූකෝස්‌ වීදුරුවක්‌ පානය කර පැය දෙකකට පසු සිදුකරන රුධිර සීනි පරීක්‍ෂාවේදී රුධිර සීනි අගය 200mgdl වැඩිනම් දියවැඩියා රෝගයට ලක්‌ව ඇති බව තහවුරු වෙනවා.

    අහඹු ලෙස

    diabeticනිතර පවතින අධික පිපාසය, නිතර මුත්‍රා පිටවීම, ඇඟ කෙට්‌ටු වීම වැනි දියවැඩියාවට අදාළ ලක්‍ෂණ සහිත පුද්ගලයකුගේ ඕනෑම අවස්‌ථාවකදී සිදුකරන රුධිර සීනි පරීක්‍ෂාවේදී රුධිරගත සීනි අගය 200mgdl වැඩි නම් දියවැඩියා රෝගයට ලක්‌ව ඇති බව තහවුරු වෙනවා.

    විශේෂ පරීක්‍ෂණ

    යම් පුද්ගලයකුට දියවැඩියා රෝගය ඇති බවට නිවැරැදිව හඳුනා ගැනීම සඳහා සිදුකරන තවත් රුධිර පරීක්‍ෂාවක්‌ ලෙස HBA1C හඳුන්වනවා. එම පරීක්‍ෂණයේදී ලැබෙන අගය 6.5% ට වැඩිනම් දියවැඩියා රෝගය ඇති බව තහවුරු වෙනවා.

    වෛද්‍යතුමනි මෙලෙස හඳුනා ගන්නා දියවැඩියා රෝගීන් රෝගය පාලනය සඳහා කළයුත්තේ කුමක්‌ද?

    දියවැඩියා රෝගය පාලනය සඳහා ඖෂධ ලබා දුන්නත් අනිවාර්යයෙන්ම ආහාර පාලනයක්‌ ඇතිකර ගත යුතුයි.

    එය දියවැඩියා රෝගය කුමන මට්‌ටමක පැවතියත් සිදුකළ යුතුයි.

    ඇතැම් දෙනා සිතනවා මම දැන් දියවැඩියාව පාලනයට ඖෂධ ගන්න නිසා ආහාර පාලනය එතරම් අවශ්‍ය නැහැ කියා. එය වැරදියි. එනිසා වෛද්‍ය උපදෙස්‌ මත ආහාර පාලනයකට යොමුවිය යුතුයි.

    වෛද්‍යතුමනි, දියවැඩියාවට ගනු ලබන ඖෂධ දිගු කාලයක්‌ ගැනීම නිසා අතුරු ආබාධ ඇතිවිය හැකියි නේද?

    එය සම්පූර්ණයෙන්ම වැරදි මතයකි. දියවැඩියාවේ අතුරු ආබාධ ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණු තුනක්‌ තිබෙනවා.

    අධි රුධිර සීනි

    රුධිරයේ ග්ලූකෝස්‌ මට්‌ටම දීර්ඝ කාලීනව පාලනය කරගෙන නොතිබීම, එනම් HBA1C අගය 7 වඩා දීර්ඝ කාලයක්‌ පැවතීම.

    අධි රුධිර පීඩනය

    රුධිර පීඩනය පාලනය නොවී දිගු කලක්‌ පැවතීම.

    අධි කොලෙස්‌ටරෝල්

    රුධිරගත කොලෙස්‌ටරෝල් මට්‌ටම පාලනය නොවී ඉහළ අගයක පැවතීම. මෙම කරුණු තුන දීර්ඝ කාලීනව පැවතීම නිසා වකුගඩු, අක්‌මාව, හෘදය වැනි ඉන්ද්‍රියයන්ට හානි සිදුවිය හැකියි. එසේ නොමැතිව දියවැඩියාව සඳහා ගනු ලබන ඖෂධ නිසා වකුගඩු සහ අක්‌මාවට හානි සිදුවේ යෑයි කියා පවතින මතය අසත්‍යයකි.

    කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
    ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
    ප්‍රසාද් කටුලන්ද
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දියවැඩියා රෝගයට ගොදුරු නොවී සිටීමට නම් Hb A1C අගය 7 ට වඩා අඩු මට්‌ටමක පවත්වාගත යුතුය.

    ගොඩක් වැදගත් ලිපි දෙකක්. ඒත් 6.5% හෝ ඊට වඩා වැඩියි කියන්නේ දියවැඩියාව කියන එකනේ මචන්. :confused:

    For people without diabetes, the normal range for the hemoglobin A1c level is between 4% and 5.6%. Hemoglobin A1c levels between 5.7% and 6.4% mean you have a higher chance of getting diabetes. Levels of 6.5% or higher mean you have diabetes.

    Source:
    https://www.webmd.com/diabetes/guide/glycated-hemoglobin-test-hba1c
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    ප්‍රසාද් කටුලන්ද.. මෙයාගේ ක්‍රමය හරියට අනුගමනය කරනවානම් ගොඩක් හොඳ ප්‍රතිලබ ලබන්න පුළුවන්
     
    • Like
    Reactions: ManjuT

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගොඩක් වැදගත් ලිපි දෙකක්. ඒත් 6.5% හෝ ඊට වඩා වැඩියි කියන්නේ දියවැඩියාව කියන එකනේ මචන්. :confused:

    For people without diabetes, the normal range for the hemoglobin A1c level is between 4% and 5.6%. Hemoglobin A1c levels between 5.7% and 6.4% mean you have a higher chance of getting diabetes. Levels of 6.5% or higher mean you have diabetes.

    Source:
    https://www.webmd.com/diabetes/guide/glycated-hemoglobin-test-hba1c

    උඹ කියන එක හරි මචන්. ඒ උනාට ඔය ගොඩක් දේවල් හොයාගන තියෙන්නෙ යුරෝපියන් එවුන් එක්ක කරපු රිසර්ච් වලින්. ඩොක්ටර් කටුලන්ද ඊට එහා ගියපු කෙනෙක්. සමහරවිට එයා ඒෂියන් අයට වෙනම ස්කේල් එකක් දෙනවද දන්නෙ නෑ. එයා කරපු ගොඩක් රිසර්ච් අපිට ගැලපෙන විදිහට විදිහට තමයි ලංකාවෙ ඉම්ප්ලිමන්ට් කරන්නෙ. මම ඒක ප්ර්සනලි දන්න දෙයක්. සමහරවිට ඒක වෙන්න ඇති හේතුව.
     

    sudill12

    Junior member
  • Oct 8, 2008
    50
    53
    18
    Dr. Prasad Katulanda
    MBBS, MD, DPhil(Oxford)
    Consultant Endocrinologist/ Diabetologist
    Senior Lecturer
    Department of Clinical Medicine
    Faculty of Medicine, University of Colombo, Sri Lanka.
    Google scholar Citation
    Researchgate
    Dr. Prasad Katulanda is a Senior Lecturer in the Department of Clinical Medicine, Faculty of Medicine, University of Colombo. He graduated from the university of Colombo.


    Qualifications
    MBBS
    Bechlor of Medicine, Bachlor of Surgery

    University of Colombo, Sri lanka

    MD
    MD (Medicine)

    Sri lanka

    DPhil
    DPhil

    University of Oxford, UK

    Fellowships
    Member
    Member of International Diabetes Epidemiology Group

    International Diabetes Epidemiology Group

    Life Member
    Member of Sri Lanka Diabetes Association

    Sri Lanka Diabetes Association

    Life Member
    Member of the CeylonCollege of Physicians

    CeylonCollege of Physicians

    Life Member
    Member of the Health Informatics Society of Sri Lanka

    Health Informatics Society of Sri Lanka

    Awards
    1998
    Gold medal for the ‘Best Student of the Faculty of Medicine
    1998
    Student of the Year Award of the University of Colombo’ in 1998 for excellence in academic activities, proven leadership among peers and exemplary conduct and character
    2009
    Henri Rajaratnam Prize for the Best Paper in Diabetes and Endocrinology – Ceylon College of Physicians, Annual Academic Sessions
    2009
    Best poster presentation – Ceylon College of Physicians, Annual Academic Sessions
    2006
    EM Wijerama award for the best free paper – Ceylon College of Physicians, Annual Academic Sessions
    2007
    EM Wijerama award for the best free paper – Ceylon College of Physicians, Annual Academic Sessions 2007. High Prevalence of Diabetes Dyslipidaemia in Sri Lanka
    2007
    Best poster presentation – Ceylon College of Physicians, Annual Academic Sessions 2007. Smoking in Sri Lanka: Facts and figures
    2006
    Henry Rajaratnam award for the best free paper in the category of diabetes and endocrinology – Ceylon College of Physicians, Annual Academic Sessions
    2006
    Best poster presentation – Ceylon College of Physicians, Annual Academic Sessions
     
    • Like
    Reactions: Schrodinger Cat