දුක සේ විඳින කර්ම විපාක- පේ‍්‍රත වස්තු

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
දුක සේ විඳින කර්ම විපාක- පේ‍්‍රත වස්තු

timthumb.php


අපත් සමඟ එකට ජීවත්වෙලා මියගොස් නැවත පේ‍්‍රත ලෝකයේ උපදින අපේ ඤාතීන් තමාට පින් අනුමෝදන් කරාවි යැයි බලාපොරොත්තුවෙන් සිටිනවා. ජීවත්ව සිටින්නන් ආර්ය මහා සංඝරත්නයට දන් පැන් පූජාකර ‘මේ පින අපගේ මියගිය ඥාතීන්ට අනුමෝදන් වේවා! ඔවුන් සුවපත් වේවා!‘ යි පින් අනුමෝදන් කළ පසු ඒ පින අනුමෝදන් වන පේ‍්‍රතයෝ පී‍්‍රතියට සොම්නසට පත්වන බවත් ‘අපේ නෑයෝ බොහෝ කලක් ජීවත් වෙත්වා‘යි පතන බව ද භග්‍යවතුන් වහන්සේ වදාළා.
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කොට පළමුව පේ‍්‍රත වස්තුවත්, ඉන්පසු විමාන වස්තුවත් දේශනා කළ බව මහාවංශයේ සඳහන් වෙනවා. පේ‍්‍රත වස්තුවෙහි විශේෂයෙන් සඳහන් වන්නේ මිනිස් ලොව ජීවත්ව සිටිත්දී සමහර පුද්ගලයන් විසින් ලෝභ ද්වේෂ, මෝහය, හේතුකොට ගෙන විවිධ අකටයුතුකම් සිදු කර මරණෙන් මත්තේ පේ‍්‍රත ලෝකයේ ඉපදෙන ආකාරයයි.
ඒ වගේම පේ‍්‍රත ලෝකයේ උපදින බොහෝ පේ‍්‍රතයන් අපමණ දුක්පීඩා විඳිමින් ඉතාමත් දුක්ඛිත ජීවිත ගත කරන ආකාරය ගැන අනුවේදනීය තොරතුරු රැසක් ඔබට ඉගෙන ගත හැකියි. ඒවා කියවන විට හද කම්පා කරවන සුළුයි. එමෙන්ම අකුසල කර්මයන් කෙරෙහි බලවත් බියක් මෙන්ම පිළිකුලක් ඇතිවීම නිතැතින්ම සිදුවේ.
පේ‍්‍රතාත්මයක් ලබා උපදින්නේ මිනිස් ලොවෙහිදී කරන ලද බලවත් අකුසල කර්ම හේතු කොටගෙනයි. ඇතැම් විට ඉතාමත් බලවත් අකුසල කර්ම සිදු කර මරණින් පසු සමහරු නිරයේ බොහෝ කල් දුක් විඳ එයින් චුතව පේ‍්‍ර‍්‍රත ලොව උපදියි. ඒ වගේම ඇතැම් අකුසල කර්ම හේතුකොට ගෙන සමහරු මිනිසත් බවින් චුතව ඊළඟ භවය පේ‍්‍රතාත්මයක් ලබයි.
පේ‍්‍රත ලෝකය තුළ තිරිසන් සතුන්ට මෙන් වෙන් වූ වෙනත් ලෝකයක් නැහැ. ඔවුහු අරණ්‍ය, පර්වත, හිස් ගොඩනැගිලි තමා ජීවත් වූ නිවාසවල ආදී අහුමුලුවල පවා උපදිනවා. පේ‍්‍රතයන්ට උපදින්නට නිශ්චිත තැනක් හෝ ස්ථානයක් ද නැහැ.
අභිජ්ජමාන පේ‍්‍රත වස්තුවේ තිබෙන කථාවල සඳහන් වන පේ‍්‍රතයෝ ආහාර සොයා යොදුන් ගණන් යන බව සඳහන් වෙයි. එයින් පැහැදිලි වන්නේ ඔවුන් එකම ස්ථානයක නොසිටින බවයි. ඇතැම් පේ‍්‍රතයෝ තමා ජීවත්ව සිටියදී සිටි නිවාස්ථාන අසළට ගොස් තම ඥාතීන් දන් දී පින් අනුමෝදන් කරතැයි බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔවුන් තම නිවසේ දොරමුළුවල, බිත්ති මුළු, කවුලුවල හෝ කලුවර ස්ථානවල සිටින බවද සඳහන් වෙනවා. ඒ වගේම සතරමං හන්දිවල තුන්මං හන්දිවල ජීවත් වෙනවා. මෙයින් අපට පැහැදිලියි පේ‍්‍රතයන්ට ස්ථිර ස්ථානයක් නොමැති බව.
සාමාන්‍ය අපට පියවි ඇසින් මේ පේ‍්‍රතයන් දැකගත නොහැකියි. නමුත් පේ‍්‍රතවත්ථුවෙහි සඳහන් වන පරිදි ඔවුන් ගේ ස්වරූපය පොදු ලක්ෂණ වලින් යුක්තයි. බොහෝ විට ඔවුහු නිරුවත්, විරූපි, කෙට්ටු, නහරවැල් ඉලිප්පී තිබෙන පිරිසක් ය. ඉතාමත් දුර්වර්ණ යි. සමහර පේ‍්‍රතයන්ගේ සිරුරෙන් අධික දුගඳක් හමයි. සමහර පේ‍්‍රතයෝ සිරුර ඇට සම් නහර සහිත ඇටසැකිල්ලක් පමණයි.
මේ පේ‍්‍රත ලෝකයේ ඉපදෙන්නන්ට මුහුණ පාන්නට තිබෙන ප්‍රධාන ගැටලුව නම් පිපාසය හා බඩගින්නයි. ඔවුන් ඉඳුල් බත්, වැමෑරූ බත්, ගැබ්බල, සෙම්, සොටු, සැරව, මිනිස් සිරුරෙන් පිටවන නොයෙක් අපද්‍රව්‍ය ආදිය සොයා යොදුන් ගණන් දුර යනවා. නමුත් ඔවුන්ට රිසි සේ කුස පිරෙන්නට ආහාර නො ලැබේ. අධික පිපාසයෙන් පිරිසුදුව ගලා යන ගංඟාවක් අසල දිය බීමට ගිය විට ඒ සියලු ජලය ලේ බවට හැරෙයි. බීමට කිසිවක් නොමැතිව අනන්ත වූ දුක් විඳිනවා.
ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පළිගැනීම, මසුරුකම, බොරුවට දිව්රීම, ගබ්සා කිරීම ආදී පාප කර්ම මිනිස් ලොවදී සිදුකර මරණින් මතු බොහෝ අය පේ‍්‍රත ලෝකයේ උපදින බව සඳහන් වෙනවා.
ඒ වගේම මසුරුකම, දන් නොදීම, අනුන් දෙන දානයක දී පවා නොසතුටු වීම, අන් අයගේ දානය තමා සතු කර ගැනීම, දන් දෙන අයට පරිභව කිරීම හා දානය දීම වැළැක්වීම ආදී නොයෙක් පාප කර්ම නිසා ද බොහෝ පිරිස් මිනිස් ලෝකයෙන් චුත වෙද්දී පේ‍්‍රත ලෝකයේ උපදින බව භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා වදාළා.
අපත් සමඟ එකට ජීවත්වෙලා මියගොස් නැවත පේ‍්‍රත ලෝකයේ උපදින අපේ ඤාතීන් තමාට පින් අනුමෝදන් කරාවි යැයි බලාපොරොත්තුවෙන් සිටිනවා. ජීවත්ව සිටින්නන් ආර්ය මහා සංඝරත්නයට දන් පැන් පූජාකර මේ පින අපගේ මියගිය ඥාතීන්ට අනුමෝදන් වේවා ඔවුන් සුවපත් වේවා පින් අනුමෝදන් කළ පසු ඒ පින අනුමෝදන් වන පේ‍්‍රතයෝ පී‍්‍රතියට සොම්නසට පත්වන බවත් අපේ නෑයෝ බොහෝ කලක් ජීවත් වෙත්වායි පතන බවද භග්‍යවතුන්වහන්සේ වදාළා. මිනිස් ලොව ජීවත් වූ අපගේ ඥාතීන් මියගිය පසු පේ‍්‍රත ලෝකයේ ඉපදුනි නම් ඔවුන්ට දිය හැක්කේ පින පමණයි. අප දෙන පින අනුමෝදන් වන ඒ පේ‍්‍රතයෝ දිවසැප ලබන අයුරුත් පේ‍්‍රත වස්තුවේ සඳහන් වෙනවා.
අද සිට අප ඔබට පේ‍්‍රතවස්තුවේ සඳහන් වන පේ‍්‍රත ලෝකයේ තිබෙන දුක් ගැහැට “දුකසේ විඳින කර්ම විපාක’’ නමින් ලිපි පෙළක් ඉදිරිපත් කරනු ලබනවා. තථාගතයන් වහන්සේ කෙරෙහි අපමණ ශ්‍රද්ධාවක් ඇති කරගෙන මෙම ලිපි කියවා පාපයට බියවන්න. පිනට කැමැති වන්න. නිතර නිතර පින්දහම් කරමින් සිල් රැකගෙන ලැබූ මිනිසත් ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට උත්සාහ කරන්න.
භාග්‍යවතුන් වහන්සේ වේළුමනාරාමයේදී වැඩ සිටින කාලයේ සූකර මුඛයක් ඇති පේ‍්‍රතයකු අරබයා මේ දේශනාව වදාළා.
අතීතයේ වැඩසිටි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයේ වැඩ විසූ එක් භික්ෂුවක් කයින් සංවර වූවා. එහෙත් වචනයෙන් අසංවර වූවා. තමා සමඟ සිටින පිරිසට අපහාස කරමින් නින්දා කරමින් නපුරු වචන කිව්වා. ඒ භික්ෂුව කලුරිය කර මරණින් පසු නිරයේ ඉපදුනා. බොහෝ කාලයක් නිරයේ දුක් විඳ පසුව නිරයෙන් චුතව ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ රජගහනුවර අසල පිහිටි ගිජ්ඣකූට පර්වතය පාමුල පේ‍්‍රතයකු ලෙස ඉපදුනා. බොහෝ කුසගින්නේ පිපාසයෙන් පෙළෙන ඒ පේ‍්‍රතයාගේ සිරුර රන්වන් වුවද මුහුණ ඌරෙකුගේ මුහුණට සමාන වුණා.
ඒ කාලයේ නාරද හිමියන් ඒ ගිජුකුළු පර්වතයේ වැඩ වාසය කළා. උන්වහන්සේ උදෑසන රජගහ නුවරට පිඬුසිඟා වඩින අවස්ථාවේදී මේ සූකර මුඛ පේ‍්‍රතයා දැක ඔහු කළ කර්මය කුමක්දැයි විමසුවා.
ඔබේ ශරීරය මුළුමනින්ම රන්වන්. දස දිසාවම බබලනවා. ඒ වුණාට ඔබගේ මුඛය ඌරෙකුගේ වගෙයි. ඔබ කලින් ජීවිතයේ දී මොන වගේ කර්මයක්ද කළේ යැයි තෙරුන් විමසන විට පේ‍්‍රතයා මෙසේ පැවසුවා.
ස්වාමිනි, මම මිනිස් ලොව සිටිද්දී කයින් සංවර වෙලා හිටියා. (කයෙන් සිල් රැක්කා) නමුත් වචනයෙන් අසංවර වෙලයි හිටියේ. (වචනයෙන් සිල් රැක්කේ නැහැ) පින්වත් නාරද ස්වාමින් වහන්ස ඔබට පෙනෙන මේ ලස්සන පැහැපත් ශරීරය ලැබුණේ කයෙන් පින් කිරීම නිසයි.
පින්වත් ස්වාමින් වහන්ස, දැන් ඔබ වහන්සේ මේ ශරීරය දැක්ක නෙව. මං දැන් කියන්නේ මේකයි. වචනයෙන් පව් විතරක් කරන්න එපා! ඌරු කටක් තියෙන කෙනෙක් වෙන්න නම් එපා!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
සටහන – නයනා නිල්මිණි
(බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…)

www.amadamvila.net
 
Last edited:

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
timthumb.php


පේ‍්‍රත ලෝකයේ යම් කෙනෙක් උපත ලබන්නේ ඕපපාතික උපත් ලෙසයි. මිනිස් ලොවදී බොහෝ අකටයුතුකම් කරන වැරැදි යැයි සම්මත වැඩ සිදුකරන බොහෝ දෙනා මරණෙන් පසුව පේ‍්‍රත ලෝකයේ උපදිනවා. බොහෝ විට මනුස්ස ලෝකයේ දී එකතු වී වැරැදි කළ ද මිය ගිය පසු පේ‍්‍රත ලෝකයේ දී හෝ වේවා නිරයේ හෝ වේවා තිරිසන් ලෝකයේ හෝ වේවා දඬුවම් විඳිය යුත්තේ තම තමන් තනිවමයි. අද ඔබට කියා දෙන්නේ එසේ තනිවම දඬුවම් විඳින පේ‍්‍රතයෙකු ගැනයි.
එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සමයෙහි කුල පුත්‍රයන් දෙදෙනෙක් සහෝදර සෙනෙහෙසින් ජීවත් වුණා. ඒ දෙන්නා ඉතාමත් ශීලාචාරසම්පන්න යි. සැහැල්ලු ගති පැවතුම් ඇතිව නිහතමානී මිත්‍රයන් දෙදෙනෙක්. මේ දෙදෙනා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා ඒ ධර්මයට පැහැදී ඒ කෙරෙහි සිත පිහිටුවා ගෙන කාශ්‍යප බුදු සසුනේ පැවිදි වුණා. කාලයක් ගිය පසු මේ දෙදෙනා එක් ගමක ආවාසයක් හදාගෙන එහි සමගිව වැඩ වාසය කළා.
ඒ දෙනම වෙසෙන ගමට එක් දිනක් තව භික්ෂූන් වහන්සේ නමක් වැඩියා. ඒ හිමි පවිටු අදහස් ඇති කේලාම් බස් කියන, වචනයෙන් කිසිදු සංවරකමක් නැති අයෙක්. ඒ බව නොදත් මේ දෙනම අර හිමියෝ ද කැටුව පිණ්ඩපාතේ වැඩියා. අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. පිණ්ඩපාතය අවසන දී තිදෙනාම කුටියට වැඩියා.
ටික දිනකට පසු ආගන්තුක හිමි සිතුවා “මේ ගම්මානය හරිම සුන්දර තැනක්. මිනිසුන්ද ඉතාමත් ශ්‍රද්ධා සම්පන්න අය. ඉතා රසවත්ව දානය සූදානම් කර පිණ්ඩපාතය පූජා කරනවා. මේ කුටිය ද ඉතා සුවපහසු යි. සුන්දර ස්ථානයක්. සිසිල් සෙවණ සිසිල් ජලයද ශරීරයට පිබිදීමක් ලබා දෙනවා. මේ ස්ථානයේ දිගටම වාසය කරන්නට තිබෙනවා බොහොම වටිනවා. ඒත් මේ දෙනම සමඟ නම් එකට විසීමට බැරිවේවි. එනිසා මේ දෙනම මෙතැනින් පන්නා දමා මා පමණක් සුවසේ වාසය කළ යුතුයි” කියා.
ආගන්තුක හිමි මේ සඳහා උපායක් කල්පනා කළා. ඉන්පසු ඒ හිමියෝ එකිනෙකා එපා කරවීම මෙයට තිබෙන එකම දේ යැයි සිතා ඒ සඳහා සූදානම් වුණා. එක් දිනක් වැඩිමහල් හිමියෝ අනෙක් දෙනමට අවවාද කර සීලයේ සංවර කොට තමන් වෙසෙන ස්ථානයට වැඩියා. ආගන්තුකව සිටි කේලාම් බස් කියන හිමියෝ ටික වෙලාවකින් ඒ වැඩිමහල් භික්ෂුව ළඟට ගොස් වැඳ පසෙකින් වාඩි වුණා.
’ඔබ මේ අවේලාවේ පැමිණියේ ඇයිදැයි’ වැඩිමහල් හිමි ඇසුවා.
‘ඔබවහන්සේට කරුණක් කීමටයි මා පැමිණියේ’
‘කුමක්ද ඒ ?’
‘ස්වාමිනි, මම කියන දේ පිළිගන්න. මෙය බොරුවක් නොවේ. ඔබවහන්සේගේ මේ යහළු ස්වාමින් වහන්සේ ඔබවහන්සේ ඉදිරියේ මිතුරෙකු ලෙස පෙනී සිටියද ඔබ නැති තැන බොහෝ දොස් කියනවා. ගුණ මකා නුගුණ පවසනවා.
‘ඒ හිමියෝ කුමක්ද පවසන්නේ?’
‘මා සමඟ ජීවත්වන මේ හිමියෝ ඉතා කපටි, මායාකාරි සිත් තිබෙන කෙනෙක්. තමා තුළ නැති ගුණ ඇති ලෙස කියනවා. ඉතා කුහක සිතින් ඉන්නේ . නුසුදුසු දිවි පෙවතක් ඔබවහන්සේ ගත කරන බව කියමින් නුගුණම’ කියනවා.
ඉතින් අර වැඩිමහල් හිමියෝ කියනවා ‘ආයුෂ්මතුනි එසේ කියන්න එපා. ඒ හිමි මට දොස් කියන කෙනෙක් නොවේ. ගිහි කාලයේ පටන් ම අප දෙදෙනා එකිනෙකාව හඳුනනවා. ඒ වගේම උන්වහන්සේ ඉතාමත් පි‍්‍රයශීලි යහපත් සමාදන් වූ සීලය මැනවින් රකින හිමිනමක්’.
එවිට අර ආගන්තුක හිමි වදාළා ස්වාමිනි, ඔබවහන්සේගේ සිත පිරිසුදු නිසයි ඔය ආකාරයට සිතන්නේ. මගේ හිතේ උන්වහන්සේ ගැන කිසිම ආකාරයට තරහක් වෛරයක් නැහැ. මම උන්වහන්සේ නොකී දෙයක් කියන්නේ කුමකට ද? මා මේ කියන දෙය කවදා හෝ ඔබ වහන්සේට තේරේවි යැයි පවසා එතැනින් ඉවතට ගියා.
ආගන්තුක හිමියන් කියූ දේ පිළිබඳව වැඩිමහල් හිමියන්ගේ සිතේ යම් සැකයක් ඉපදුනා.
ටික කලක් ගත වෙද්දී අර ලාමක අදහස් ඇති හිමියන් වැඩිමහල් හිමියන්ගේ සිත බිඳ පසුව ඒ අයුරින්ම කේලාම් කියා අනෙක් භික්ෂුවගේ සිත ද බිඳවූවා. ඊටපස්සේ අර යහළු භික්ෂූන් වහන්සේ දෙනම හිත් අමනාප කර ගත්තා. එකිනෙකා කථා කරන දේ අඩු වුණා. පිඬුසිඟා වැඩ දානය ගෙන වෙන වෙනම වැළඳුවා. ටික කලක් යද්දී අමනාප සිත් ඇතිව දෙදෙනාම නොකියා කුටිය අතහැර වෙන් වී ගියා. කේලාම් කී හිමියන්ගේ අදහස් ඉටු වූ පසු ඒ හිමියන් තනිව කුටියේ වැඩ වාසය කළා. ගමට තනිවම පිඬුසිඟා වැඩියා. ගමේ මිනිසුන් ඇසුවා
‘ස්වාමිනි අර දෙනම කෝ ’
‘ඒ දෙනම එකිනෙකා සමඟ අමනාපකම් ඇති කරගන ආවාසය අතහැර වෙනත් ස්ථානයකට ගියා’
‘එසේනම් ඔබවහන්සේ මේ ගමේ වාසය කරන්න’ ඔවුහු ඉල්ලා සිටියා.
නමුත් මේ කේලාම් කී භික්ෂුවගේ සිත තමාට ම දොස් කියන්නට පටන් ගත්තා. බලවත් පසුතැවීමක් හා ශෝකයක් සිතේ හට ගත්තා. ටිකෙන් ටික අසනීප වුණා. දානය වළඳන්නට නොහැකි වුණා. ටික කලකදී ඒ හිමියන් මරණයට පත් වී අචීචි මහ නිරයේ ඉපදුනා.
ආවාසය අතහැර ගිය යහළු දෙනම එක් දිනකදී එක ගමක දී මුණ ගැසුවා. දෙදෙනා දැක බොහෝ සතුටු වුණා. තම තමන් ආගන්තුක හිමියන්ගේ බසට රැවටී ඇති බව වටහා ගත්තා. ඉන්පසු ඒ දෙදෙනාම සමඟි වෙලා නැවතත් වැඩ විසූ ගමට වැඩියා. ගමේ පිරිස ඒ දෙනම දැක සතුටු වෙලා සිවුපසයෙන් උපස්ථාන කළා. කලකදී භාවනායෝගීව කල්ගත කර ටික කලකින් රහත් බවට පත්වුණා.
පවිටු භික්ෂුව බොහෝ කාලයක් නිරයේ දුක් විඳ තථාගතයන් වහන්සේ ලොව වැඩ වසන කාලයේ රජගහ නුවර පේ‍්‍රතයකුව උපන්නා. ඔහුගේ සිරුර රන්වන්. නමුත් කටින් පණුවෝ ඇවිත් ඒ කටම කනවා. ඉතා ඈතට කටින් මහ දුඟදක් හමනවා.
ඒ කාලයේ ගිජ්ඣකූට පර්වතයේ නාරද හිමියන් වැඩ වාසය කළා. දිනක් උන්වහන්සේ පිඬුසිඟා වඩිද්දී මේ පේ‍්‍රතයා දුටුවා. උන් වහන්සේ ඇසුවා,
‘ ඔබේ ශරීරයේ පෙනුම නම් දිව්‍ය සිරුරක් වගේ සුන්දරයි. ඔබ ඉන්නේ ආකාසයේ. ඒ වුණාට ඔබේ මුඛය ඉතාමත් දුගඳයි. පණුවන් කටපුරා පිරිලා. කට කකා නොව ඉන්නේ. කලින් ජීවිතයේදී ඔබ මොන වගේ කර්මයක්ද කර ගත්තේ?
මං ඉස්සර පවිටු භික්ෂුවක්. මං හරියට දුෂ්ඨ වචන කිව්වා. සිල්වත් කෙනෙකුගේ වේශයෙන් හිටියා. වචනයෙන් සංවරකමක් තිබුණේම නැහැ. මම බඹසර රැකපු නිසා මගේ ශරීරය වර්ණවත් වුණා. කේලාම් කීම නිසයි මගේ කට කුණු වුණේ.
පින්වත් නාරදයන් වහන්ස, දැන් ඔබවහන්සේ මාව දැකගත්තා නේ. ලොවට අනුකම්පා ඇති බුද්ධාදී උත්තමයන් වහන්සේලා යම් කුසලයක් වදාරයිද මමත් දැන් ඒක කියනවා. කේළමක් නම් කියන්නට එපා! බොරුවක් කියන්නටත් එපා! එතකොට ඔබට කැමැති සැප ලබන දෙවි කෙනෙක් වෙන්ට පුළුවනි.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
සටහන – නයනා නිල්මිණි
(බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…)

www.amadamvila.net
 
Last edited:
  • Like
Reactions: animation

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
BlogPost_2012_07_10-2.jpg


මෙයට බොහෝ කල්පයකට පෙර එක් බුදුරජාණන් වහන්සේ නමකට වස් තුන් මාසය තුළ උපස්ථාන කිරීමට එක් පිරිසක් සංවිධානය වුණා. ඒ අතර එක් අයෙක් ඉතාමත් ශ්‍රද්ධාවන්තයි. ඔහු තථාගතයන් වහන්සේ ඇතුලු භික්ෂු සංඝයාට දානයක් සූදානම් කර ඒ ගමේ ගම්මුලෑදෑනියා ඒ දාන වස්තුව බාර දුන්නා. ඔහු බොහෝ මිනිසුන් සමග ඒ දානය පූජා කිරීමට පිටත් වුණා. ඒ මිනිසුන් අතර සමහර පිරිසක් සැදැහැවත් නැහැ. ඔවුන් ඒ පිළියෙල කළ දාන වස්තුව සොරෙන් කෑවා. ඒ වගේම ඒ දන් පිළිවෙල කරන ගෙට ගිනි තබා බොහෝ අකුසල් කර ගත්තා. කලකට පසු ඒ තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ වදාළා. ඒ භික්ෂු පිරිසත් ගිහි පිරිසත් මරණයට පත්වුණා. ඒ පිරිසේ සැදැහැ පින් ඇති වූ අය දෙව්ලොව උපන්නා. සැදැහැ නැති අය නිරයේ ඉපදී අනූනව කල්පයක් දුක් වින්ඳා.
මේ භද්‍ර කල්පයේ ඒ නර පිරිස කාශ්‍යප තථාගතයන් වහන්සේ ගේ කාලයේ පේ‍්‍රතයන්ව ඉපදුනා. නමුත් ඔවුන්ට කිසිදු පිනක් ලැබුණේ නැහැ. මේ පේ‍්‍රතයෝ පින දැක තථාගතයන් වහන්සේ වෙත ගොස් ‘’ස්වාමිනී අපද පිනට ඉතා කැමැතියි. අපටද පින් ලබාදෙන සේක්වායි’’ ඉල්ලා සිටියා.
‘’මේ කාලයේදී ඔබලාට කිසිදු පිනක් ලැබෙන්නේ නැහැ. අනාගතයේ දී ගෞතම නමින් තථාගතයන් වහන්සේ නමක් ලොව පහළ වෙනවා. ඒ බුද්ධ ශාසනයේ බිම්බිසාර නම් රජ කෙනෙක්ද පහළ වෙනවා. ඒ රජතුමා මීට කල්ප අනූ නවයකට පෙර ඔබලාගේ ඥාතියෙක්. ඒ රජ තථාගතයන් වහන්සේට දන් පූජා කර ඔබලාට පින් පමුණුවයි. එවිට ඔබලාට සැප ලැබෙයි’ යනුවෙන් වදාළා.
එදා සිට ඒ පේ‍්‍රත සමූහයා සැප ලබනු පිණිස බොහෝ කාලයක් බලා සිටියා. ඉන් බොහෝ කලකට පසු අපගේ ගෞතමයන් වහන්සේ ලොව පහළ වුණා. උන් වහන්සේ බුද්ධත්වයෙන් පසු රජගහ නුවරට වැඩම කළා. එදින තමන් වහන්සේ වෙත පැමිණි බිම්බිසාර රජු ඇතුලු පිරිස ධර්මය ශ්‍රවණය කොට සෝවාන් ඵලයට පත් වූවා. රජු පසුදින භාග්‍යවතුන් වහන්සේ ඇතුලු මහා සංඝයාට දානය පූජා කළා. රජ විසින් දුන් දානයේ පින් පේ‍්‍රතයන්ට අනුමෝදන් කරතැයි අර පේ‍්‍රතයෝ රැස් කකා මාලිගාව අවට බලා සිටියා. නමුත් බිම්බිසාර රජුගේ සිතේ තිබූ සතුට නිසාම ඔහුට තම ඥතීන්ට පින් අනුමෝදන් කිරීමට අමතක වූණා. පින් නොලැබූ ප්‍රේ‍තයෝ එදින රාත්‍රියේ රජුගේ මාලිගයේ සිට අතිශයන්ම බිහිසුණු ශබ්ද ඇති කළා. නොනිදා රැය පහන් කළ රජතුමා ඇතුළු පිරිස පාන්දරින්ම භාග්‍යවතුන් වහන්සේ හමුවීමට ගොස් “ස්වාමිනී ඊයේ රාත්‍රියේ මාලිඟය පුරාම ඉතා බිහිසුණු ශබ්ද ඇසුණා. ඒ ශබ්ද කුමක්ද?’.
’රජතුමනි, ඔබගේ මියගිය පැරැණි නෑදෑයෝ ප්‍රේතයන්ව ඉපිද පින් බලාපොරොත්තුවෙන් සිටියි. ඔවුන් බොහෝ කලක සිට ‘තථාගතයන් වහන්සේට දානයක් දී පින් අපට දෙයි’ යනුවෙන් බලා සිටියා. නමුත් පින් නො දුන් නිසා මෙසේ ඝෝෂා කළා’
’දැන් ද අපට දානයක් දී පින් දීම කළ හැකි ද?’
’එසේය මහරජ’
’ස්වාමිනී එසේනම් අද දවසේ දී මාගේ දානය පිළිගෙන ඔවුන්ට පින් අනුමෝදන් කරන සේක්වා!
භාග්‍යවතුන් වහන්සේ එය පිළිගෙන භික්ෂූ සංඝයා සමග රජ මාලිගට වැඩම කළා. පේ‍්‍රතයන් ද අද හෝ අපට පින් ලැබේවියැයි අහුමුලු වලට මුවා වී බලා සිටියා. රජතුමා දානය සඳහා පැන් පිළි ගන්වමින් මේ පින මාගේ නෑයන්ට ලැබේවායි සිතුවා. එවෙලෙහිම පේ‍්‍රතයන්ට ජලය ලැබුණා. එයින් ඔවුන්ගේ පිපාසය නිවුණා. ඔවුන්ගේ සිරුරු රන්වන් වුණා.
රජතුමා තථාගතයන් වහන්සේට කැඳ කැවිලි ආහාර පූජා කර පේ‍්‍රතයන්ට පින් දුන්නා. සැනෙකින් දිව්‍යමය ආහාර පහළ වුණා. ඔවුන් ඒවා අනුභව කර කුසගිනි නිවා ගත්තා. අනතුරුව වස්ත්‍රද සෙනසුන් ද පූජා කර ඒ පිනද පේ‍්‍රතයන්ට අනුමෝදන් කළා. ඔවුන්ට දිව්‍යමය වස්ත්‍ර හා ප්‍රසාද ලැබුණා. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ පේ‍්‍රතයන්ට ලැබුණ හැම සැපක්ම රජතුමාට පෙනීමට සලස්වා තිරෝකුඩ්ඩ පේ‍්‍රත වස්තුව වදාළා.
(මළගිය ඥාතින් පෙරේත ලෝකයේ ඉපදුනාට පස්සේ) තමන් කලින් හිටපු ගෙවල්වලට ආයෙමෙත් එනවා. ඇවිදින් බිත්තියෙන් එන පැත්තෙන් දොර මුල්ලෙන් බිත්තිය මුල්ලෙන් හතර මංසංධිවලත් ඉන්නවා.
ගෙවල් වල උදවිය හොඳට කෑමබීම හදාගෙන කාලබීලා ඉන්න කොට අර මැරිච්ච උදවියගේ අකුසල කර්ම නිසා කාටවත් ඔවුන්ව මතක් වෙන්නේ නැහැ. නමුත් ඔවුන් ගැන අනුකම්පා කරන ඥාතිවරු සුදුසු කාලෙට කැපකරු විදිහට ප්‍රණීත විදිහට දානෙ හදලා ඒ ඥාතීන්ගේ නාමයෙන් (ගුණවතුන්ට) පූජා කරනවා. අපගේ පරලොව ගිය ඥාතින්ට මේ පින අයිති වෙත්වා. ඒ නෑදෑයෝ සුවපත් වෙත්වා! කියලා පින් දෙනකොට එතැනට ඒ මිය පරලොව ගිය ඥාති පේ‍්‍රතයෝ රැස් වෙනවා. ඒ මළගිය ඤාතීන් ඒ ඒ තැන්වලට ඇවිත් රැස්වෙලා ඉන්නවා. බොහෝ දන් පැන්වලින් දානමය පින්කම් සිදුකරන කොට ඉතා හොඳින් අනුමෝදන් වෙනවා.
ඒ පේ‍්‍රතයන්ට කුඹුරු වැඩ නැහැ. පාලනයක් නැහැ. වෙළහෙළදාමකුත් නැහැ. රන් රිදී මිල මුදල් ගනුදෙනුවක් නැහැ. කලුරිය කරලා පේ‍්‍රත ලෝකේ ඉපදුනාට පස්සේ මේ මිනිස් ලෝකේ දෙන පිනකින් තමයි ඒ උදවිය ජීවත් වෙන්නේ.
ඒක උස් බිමකට වැටුණු ජලය පහත් බිමකට ගලාගෙන යනවා වාගේ දෙයක්. ඒ විදිහට තමයි මේ මිනිස් ලොව ඥාතීන් විසින් දෙන පින්වලින් පේ‍්‍රතයන්ට සැප ලැබෙන්නේ.
ඒ වගේම මහ ගංඟා කුඩා ඇළ දොළවලින් රැස්වෙන දියෙන් මහ සයුර පිරෙනවා වගේ මිනිස් ලොව ඥාතීන් විසින් දෙන පින්වලින් තමයි පේ‍්‍රතයන්ට සැප ලැබෙන්නේ.
ඒ ඥාතින් ජීවත්වෙලා ඉන්න කාලේ මට මේ මේ දේවල් තියෙනවා. මට මේ මේ උපකාර කරලා තිබෙනවා. මේ අය මගේ ඥාති මිත්‍රයෝ මේ අය මාගේ යහලුවෝ කියලා ඔවුන්ට ඉස්සර කරපු කියපු උපකාර සිහිකර ගෙන පින් දෙන්නට ඕන.
අඬලා වැඩක් නැහැ. ශෝක වෙලා වැඩක් නැහැ. වෙන වැළපීමක් කරලා වැඩක් නැහැ. පේ‍්‍රත ලෝකයේ උපදින අයට ඒකෙන් නිසි ප්‍රයෝජනයක් නැහැ. ඒ ඥාති පේ‍්‍රතයෝ ඒ විදියටම එහෙ ඉන්නවා.
මේක හොඳ ඥාති ධර්මයක්. හොඳ ආදර්ශයක්. මියගිය උදවියට උසස් පූජාවක් කළා වෙනවා. භික්ෂු සංඝයාට ශක්තියක් ලබාදුන්නා වෙනවා. (රජතුමනි) ඔබ විසින් බොහෝ කලක් යහපත පිණිස හේතුවන මහත් පිනක් රැස්කර ගත්තා.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
සටහන – නයනා නිල්මිණි
(බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…)

www.amadamvila.net
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
BlogPost_2012_07_11.jpg

පේ‍්‍රත වස්තුව කියවන විට අපගේ හද කම්පාවන සුළුය. එහි බොහෝ පේ‍්‍රතයන්ගේ ස්වරූපය එක හා සමානය. ඔවුන් නිරුවත් ය. කෘශය. විරූප ය. ඔවුන්ගේ නහරවැල් ඉල්පී සිටී. දුර්වර්ණ ය. කළුය. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පළිගැනීම, බොරුවට දිව්රීම් ආදිය නිසා මෙසේ පේ‍්‍රත ලෝකවල ඉපදුන අය බොහෝය. එවන් තවත් පේ‍්‍රතියක් ගැන මෙසේ සඳහන් වෙනවා.
තථාගතයන් වහන්සේ සැවැත් නුවර දී මෙම දේශනාව වදාළා.
සැවැත් නුවර එක් යුවතිපතීන් දෙදෙනෙක් ජීවත් වුණා. ඒ බිරිඳ දරුවන් නැති වඳ ස්ත්‍රියක්. මේ ගෘහ පුත්‍රයාට ඔහුගේ මාපියන් තම පාරම්පරිකව ඉදිරියට ගෙන යාමට වෙනත් ස්ත්‍රියක් සරණපාවා ගන්න යැයි බලකළා. නමුත් ඒ ගෘහ පුත්‍රයා තම බිරිඳට ඇති සෙනෙහස නිසා එසේ කළේ නැහැ.
නමුත් මුල් බිරිඳ “ස්වාමිනි මා ගැන නොසිතනු මැන! ඔබ වෙනත් බිරියක් කැඳවාගෙන විත් පරම්පරාව ඉදිරියට ගෙනයනු මැන” යැයි ඉල්ලා සිටියා. ඇගේ බලකිරීම මත ඒ හිමියා වෙනත් ස්ත්‍රියන් කැඳවාගෙන ආවා. ටික කලකදී ඇය ගැබිනියක් වුණා. මෙය දැනගත් මුල් බිරියට සිතේ ඊර්ෂ්‍යාවක් ඇතිවුණා. මැය පුතකු ලදහොත් මේ නිවසේ හිමිකාරිය වෙයි. එනිසා මැගේ දරුගැබ නැතිකිරීම නොපමාව කළ යුතුයි සිතා එක් කාන්තාවකට මිල මුදල් ආහාරපාන ලබාදී ඇය ලවා දරුගැබ විනාශ කළා. හදිස්සියේ දරුගැබ විනාශ වූ නිසා හඬා වැටෙමින් ඇගේ මවට මේ බව කීවා. ඇය තම නැදෑයින්ද කැඳවා තම දියණියට ආසාධාරණයක් වී ඇති බව පවසා සියලු දෙනාම පෙර බිරිද සැක කරමින් ඇය ගෙන්වා ප්‍රශ්න කළා.
‘’නුඹ මේ දියණියගේ දරු ගැබ විනාශ කරන්නට උපායක් යෙදුවා නේද?”
‘’මම එසේ කළේ නැහැ’’ යි ඇය පිළිතුරු දුන්නා.
‘’එසේ කළේ නැතිනම් දිවුරා කිව යුතුයි’’
එවිට අර ස්ත්‍රිය බොරුවට දිවුරමින්
“මා විසින් දරු ගැබ එසේ විනාශ කළේ නම් සෑම ආත්මයකම පිපාසයෙන් හා කුසගින්නෙන් පෙළෙම්වා. උදය කාලයේ සහ සවස් කාලයේ දරුවන් පස්දෙනා බැගින් වදා ඒ දරුවන්ම කන එකියක් වුවත් මගේ කුසගිනි නොනි වී පවතිවා. නිතරම දුගද හමන නිලමැස්සන් ගැවසී ගන්නා ශරීරයක් ඇති එකියක්ම වේවා” යනුවෙන් තමාට ම සාපකර ගෙන ඒ පිරිස ඉදිරියේ තමාගේ නිර්දෝශිභාවය ප්‍රකාශ කළා. ඒ දිවුරීම ඉතා බරපතල බැවින් මැය මේ කියන්නේ සත්‍යයක් බව ඒ ඥාති පිරිස විශ්වාස කළා. ඒ ගැහැණිය කාලයාගේ ඇවෑමෙන් මරණයට පත් වුණා. බොරුවට දිවුරා කළ ප්‍රකාශය නිසා ඉතා දුර්වර්ණ සිරුරක් ඈත පේ‍්‍රතයක් වී ඒ ගමට සමීපයේ ඕපපාතිකව උපතක් ලැබුවා.
ඒ කාලයේ ඒ ජනපදයේම වස් විසූ භික්ෂූන් වහන්සේ අට නමක් ශාස්තෘන් වහන්සේ දැකීම පිණිස සැවැත් නුවරට වඩින අතරේ සිහිල් ගස් සෙවණක් හා ජලයෙන් යුත් වනයක් දැක එහි ගිමන් හැරීමට සුදුසු බව කතිකාකොට එහි වාසය කිරීමට තීරණය කළා. උන්වහන්සේ එහි වස් වාසය කරන අතරේ අර පේ‍්‍රතිය පින් බලාපොරොත්තුවෙන් අර ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටියා.
එතැන සිටි වැඩිමහල් හිමියන් ඒ පේ‍්‍රතිය දැක මෙසේ ඇසුවා.
”ඔබේ ඇඟේ නූල් පොටක් නැහැ හරිම විරූපයි. ඔබේ ශරීරයෙන් හමන්නේ කුණු ගඳක්. මැස්සෝ උතුරනවා. මෙහි ඉන්න ඔබ කවුද?”
”අනේ ස්වාමිනී! මං මේ දුකේ වැටිලා ඉන්නේ. මං යමලෝක උපන් පෙරේතියක්. මගේ අතින් පව්කම් කෙරිලා තමයි මනුස්ස ලෝකයෙන් පෙරේත ලෝකයෙට ගියේ.
අනේ මං උදේ වරුවේදී දරුවන් පස් දෙනෙක් බිහි කරනවා. ආයෙමත් හවස් වරුවෙත් මං තව දරුවන් පස් දෙනෙක් බිහි කරනවා. මං ඒ දරුවන් ඔක්කෝම කාල දානවා. අනේ ඒත් මගේ බඩගින්නට නම් ඒක සෑහෙන්නේ නැහැ. මගේ පපුව බඩගින්නේ පිච්චෙනවා. දුම් දානවා. මට බීමට වතුර පොදක් ලැබෙන්නේ නැහැ. අනේ මං පත්වෙච්ච විපත ගැන දැක වදාළ මැනව.”
ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කර ගත්තේ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද දරුවන්ගේ මස් කන්නේ?
ස්වාමිනී! මගේ සැමියාගේ අනෙක් බිරිඳට දරුවෙක් ලැබෙන්න හිටියා. උන්දෑට පාපී දෙයක් කළ යුතුයි කියලා මට සිතුණා. මං ඒ දූෂිත වූ සිතින් අර දරු ගැබ විනාශ වෙන්න කටයුතු කළා.
උන්දෑට තිබුණේ දෙමාසෙක කුසක්. අන්තිමේ දී ලේ වෙලා ඒ මස් වැදැල්ල වැක්කෙරුණා. එතකොට ඇයගේ අම්මා මමත් එක්ක කේන්ති ගත්තා. නෑදෑයන්ව රැස් කෙරෙව්වා. ඈ මා ලවා දිව්රෙව්වා. මට බැනැල දොඩල බය කෙරෙව්වා. එතකොට මම දරුණු විදිහට දිවුරලා ලොකු බොරුවක් කිව්වා. යම් හෙයකින් ඔය ගබ්සාව කළේ මා නම් මං දරුවන් වදල කන එකියක්මයි වෙන්න ඕන කියලා මම කිව්වා.
ඔය පාප කර්මයත් බොරුවත් කියන දෙකේ විපාකේ තමයි මේ. ලේ වැක්කෙරෙන ශරීරයක් ඇතිව මං දැන් දරු මස් කකා ඉන්නවා.
ඒ තෙරුන් වහන්සේ සැවැත්නුවරට වැඩම කොට තථාගතයන් වහන්සේ හමු වී මේ කරුණු කියා සිටියා. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණය මුල්කරගෙන පැමිණ සිටි පිරිසට ධර්මය දේශනා කොට වදාළා. ඒ දේශනාව අවසානයෙහි ශ්‍රාවකයන්ට මහත් වූ ප්‍රයෝජනයක් වූවා.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
සටහන – නයනා නිල්මිණි
(බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…)


http://amadamvila.net/4-panchapuththakhadakapethawaththu/:yes::yes::yes::yes:
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
BlogPost_2012_07_11-2.jpg


තථාගතයන් වහන්සේ සැවැත්නුවරදී මේ දේශනාව වදාළා. උන්වහන්සේ ගේ ශ්‍රාවක පිරිස අතරින් දොළොස් නමක් වූ භික්ෂූන් වහන්සේ තම ශාස්තෘන් වහන්සේ බැහැදැක උන්වහන්සේගෙන් භාවනා කමටහන් ගෙන වස් විසීමට සුදුසු ස්ථානයක් සොයමින් ගමකට වැඩම කරනු ලැබුවා. සිසිල් සෙවනකින් යුතු ජල පහසුව මැනවින් ඇති සිත්කළු වූ එක්තරා අරණ්‍යයක් සහ එයට ම නුදුරුව ඇති ගමක් ද දැක එහි වැඩ වාසයට කතිකා කොට ගත්තා. එදින රැයේ එහි වාසය කොට පසුවැනිදා ගමෙහි පිඬුසිඟා වැඩියා.
ඒ ගම්වැසියන් පේෂකර්මාන්තය ජීවනෝපාය කරගත් පිරිසක්. ඔවුහු භික්ෂූන් වහන්සේ පිඬුසිඟා වඩිනවා දැක ඉතාමත් පී‍්‍රතියට පත්වෙලා තම තමාගේ නිවාස වෙත ආරාධනා කොට ප්‍රණීතව සකසා දානය පිළිගන්වා,
‘ස්වාමිනී! ඔබවහන්සේලා වඩින්නේ කොහෙද?’
‘යම්කිසි තැනක අපට පහසුවෙන් සිටිය හැකිනම් අපි එහි යන්නෙමු.’
‘එසේ නම් ස්වාමිනි, අපට අනුකම්පාවෙන් අපගේ ගමේ ම වස් වසන සේක්වා!’ යි ඔවුන් ආරාධනා කළා.
භික්ෂූ පිරිස ඒ ආරාධනාව පිළිගෙන ඒ ගමෙහි වැඩ වාසය කළා. ඒ ගමෙහි ප්‍රධානියා භික්ෂූන් වහන්සේ දෙනමක් බාරගෙන උන්වහන්සේලාට සිවුපසයෙන් උපස්ථාන කළා. නමුත් ඔහුගේ බිරිඳ ඉතාමත් අප්‍රසන්න කාන්තාවක්. ශ්‍රද්ධාවක් නැති කිසිදු සැදැහැ සිත් නැති මිත්‍යාදෘෂ්ටික අදහස් ඇත්තියක්. ඇය ඉතාමත් ලෝභයි. සංඝරත්නයට කිසිදු ගෞරවයක් නැහැ. උපස්ථාන කරන්නෙත් නැහැ. නිතරම කිපී පුපුර පුපුර නිකරුනේ කාලය ගතකළා.
කාලය ඉක්ම ගොස් ඒ භික්ෂූන් වහන්සේලා වස් අවසන් කොට නැවත වඩින්නට සූදානම් වූ විට තම තමන් දානමාන පූජාකරගත් ඒ භික්ෂූන් වහන්සේලාට එක් එක් සළුව බැගින් ඒ ගම්මුන් පූජා කළා. එහිදී වැඩිහිටි පේෂකාර උපාසකගේ පවිටු සිත් ඇති ඒ බිරින්දෑ තමාගේ ස්වාමියාට අක්‍රෝධ කළා. පරිභව කළා. දූෂිත සිතින් ඔහුට බැන වැදුණා.
‘ඔබ විසින් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට දෙන ලද ආහාරපානාදිය යම් දානයක් වේනම් ඒ දානය පරලොවදී ඔබට මළ මුත්‍රව ද, සැරව හා ලේ ද වේවා. පූජා කළ සියලු වස්ත්‍ර යකඩ වස්ත්‍ර වේවා යැයි’ ක්‍රෝධ සිතින් සාප කළා.
කලක් ගත වී ඒ පේෂ කාර්මිකයා කළුරිය කොට වින්ද්‍යා නම් පර්වතයේ ආනුභාව සම්පන්න රුක් දෙවියෙක් වී උපත ලැබුවා. ඔහුගේ මසුරු බිරිඳ මරණින් පසු රුක් දෙවියා වසන තැනට නුදුරුව පේ‍්‍රතියක්ව ඕපපාතිකව ඉපදුනා. ඒ පේ‍්‍රතිය නිරුවත්ව, දුර්වර්ණව සා පිපාසයෙන් ජීවත් වුණා. ඒ භූමාටු දෙවියන් වෙත ගොස්
‘ස්වාමිනි මම වස්ත්‍ර නැතිව පාපිපාසාවෙන් සිටිමි. මට වස්ත්‍ර හා ආහාරපාන ලබාදුන මැනව‘ යැයි ඉල්ලා සිටියා. එවිට ඒ දෙවියා පේ‍්‍රතියට දිව්‍ය ආහාරපාන ලබාදෙන විටම ඒ සියල්ල මළ මුත්‍ර බවට හා ලේ සැරව බවට පත්වුණා. දෙන ලද සළුව ඇය අතට ගත් විගස දිලිසෙන යකඩ බවට පත්වුණා. ඇය සියල්ල හැරදමා මහත් ව දුකින් අඬමින් ආපසු ගියා.
ඒ කාලයේ එක්තරා භික්ෂුවක් වස් වසා නිමවා තථාගතයන් වහන්සේ හමුවීමට යන අතරේ ගැල්ගෙන වෙළෙඳාමේ යන පිරිසක් සමඟ වින්ධ්‍යා වනයට පිවිසියා. වෙළෙන්දා ජලය සහිත තැනක ගැල් මුදා හැර විඩා නිවා ගත්තා. ඒ භික්ෂූ නම සැඟවුන ගසක් මුල සඟල සිවුර අතුරා වෙහෙස නිවා ගන්නට එහි සැතපුණා. වෙළෙඳ පිරිස විඩා හැර නැවත පිටත් වුවත් ඔවුන්ට භික්ෂූන් වහන්සේට කතා කිරීමට අමතක වූවා. පිබිදුන භික්ෂුව වෙළෙඳ කණ්ඩායම නො සිටි බැවින් වැටී ඇති පාර දිගේ ගමන් කළත් උන්වහන්සේට පාර වැරැදී රුක් දෙවියා වෙසෙන තැනට පැමිණියා.
රුක් දෙවියා මේ භික්ෂූන් වහන්සේ දැක පිළිසදර කථා කරමින් සිටින විට අර පේ‍්‍රතිය නැවත ඇවිත් පෙනී සිටිමින්,
‘ස්වාමිනී, මට කෑමට දෙයක්, ඇඳීමට වස්ත්‍රයක් දෙන්නැයි’ ඉල්ලා සිටියා. රුක් දෙවියා ඇයට ඒවා දුන් විගස ආහාර මල මුත්‍රා හා ලේ සැරව බවට පත්වුණා. සළුව යකඩ බවට පත්වුණා. ඒ හිමියෝ මහත් සංවේගයට පත්වෙලා මෙසේ ඇසුවා.
‘මේ කාන්තාව අසුචි යි මුත්‍රා යි ලේ යි සැරව යි කකා ඉන්නවා. මේ මොන වගේ කර්මයක විපාකයක් ද මේ තැනැත්තිය මොනවගේ කර්මයක්ද කරගෙන තියෙන්නේ? හැම තිස්සේම අනුභව කරන්නේ ලේ යි සැරව යි නෙව?
අලුත් වස්ත්‍ර දෙකක් තියෙනවා. හරි ලස්සනයි. මෘදුයි. පිරිසුදුයි. සනීපයි. නමුත් මැයට දුන්න විගස ඒවා යකඩයෙන් කරපු වස්ත්‍ර වගේ වෙනවා. මේ ස්ත්‍රිය කරගෙන තිබෙන්නේ මොන වගේ කර්මයක් ද?
‘ස්වාමින් වහන්ස, මගේ බිරිද වෙලා හිටියේ. මේ තැනැත්තිය දානය ටිකක් පූජා කර ගත්තේ නැහැ. මසුරුකමින්ම හිටියා. කෑදරකමින් හිටියා. මම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දැන් පැන් පූජා කරනකොට ඇය කළේ මට බණින එක. නින්දා අපහාස කරපු එක.
‘උඹ දන් දෙනවා. ඔය දානෙන් විපාක වශයෙන් පරලොවදී උඹට අසුචි මුත්‍රා ලේ සැරව තමයි ලැබෙන්නට ඕන. හැම තිස්සේම උඹ අසුචි කාපන්. ඔය පූජා කරන වස්ත්‍ර යකඩයෙන් කරපු වස්ත්‍ර වෙයන්’
මේ ආකාරය මේ පේ‍්‍රතිය දුශ්චරිතයෙන්මයි හැසිරුනේ. දැන් ඉතින් පෙරේත ලෝකයට ඇවිල්ලා කාලයක් තිස්සේ ඒවා කකා ඉන්නවා.’
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
සටහන – නයනා නිල්මිණි
(බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…)



http://amadamvila.net/5-pesakarapethawaththu/
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
BlogPost_2012_07_12.jpg

තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවරානාරාමයේ වැඩ වාසය කරන කාලයේ සිදු වූ සිදුවීමක්. මෙම කතාවේ සඳහන් වන්නේ තට්ට හිසක් ඇති පේ‍්‍රතියක් පිළිබඳව යි.
අතීතයේ බරණැස් නුවර එක්කරා වෛශ්‍යාවක් සිටියා. ඇය ඉතාමත් සිත් කළු රූපයකින් යුක්තයි. ඉතා ප්‍රසන්නයි. දුටු දුටුවන් පහදවන සුළුයි. ඇයගේ කේශ කලාපයද ඉතාමත් දිගයි. මනහරයි. නිල්වන්ය. මෘදු සිනිදුයි. අගින් නැමී තිබුණා. නොවිසිරී මෙවුල් කලාපයන් වගෙයි . ඒ ගමෙහි විසූ තරුණයෝ ඇගේ කෙස් කළඹේ ශෝභාව දැක ඇය කෙරෙහි සිත් බැඳ ගත්තා.
ඇගේ මේ කේශ කලාපයට ඒ ගමේ විසූ කාන්තාවන් කිහිප දෙනෙක් ඊර්ෂ්‍යා කළා. ඔවුන්ට ඒ සුන්දරත්වය ඉවසිය නොහැකි වුණා. ඒ කාන්තාවන් ඇගේ මෙහෙවර කරන එක් දාසියකට මුදල් ලබාදී ඒ දාසිය ලවා ඇගේ හිසකෙස් ගැලවී යන බොහොතක් ලබා දෙනු ලැබුවා. ඒ දාසිය ඒ බෙහෙත ඇය ස්නානය කරන විට හිසේ ගල්වන කුඩු සමඟ මිශ්‍ර කළා. දිනක් ඒ වෛශ්‍යාවිය ගංගානම් ගඟෙහි ස්නානය කරන විට ඇය අතර අර බෙහෙත් යෙදූ හිස් සෝදනය ලබා දුන්නා. ඇය එය ගල්වා දියේ ගිලුවා පමණයි. හිස් කෙස් මුළුමණින්ම ගැලවී ගියා. ඇගේ හිස තිත්ත ලබු ගෙඩියක් වාගේ වුණා.
ඇය ඉදුරුණු කෙස් ඇතිව හිඳින ලද මුදුන ඇති පරවියෙක් මෙන් අවලස්සන වුණා. ඉතාම ලැජ්ජාවට පත්වුණා. නැවතත් තමා සිටි නුවරට යා නොහැකි බැවින් හිසෙහි රෙදි කඩක් දවටාගෙන පිටනුවර එක්තරා පෙදෙසක වාසය කළා. කාලයකදී ඇගේ ලැජ්ජාව අඩුවුණා. ඇය තල තෙල් හා රා වෙළෙඳාම් කරමින් ජීවත් වුණා.
එක් දිනකදී ඇය මධ්‍යසාර පානය කර වෙරි වී සිටි එක් මිනිසුන් කිහිප දෙනෙකුගේ ලිහිල් වී තිබු ඇඳීවත සොරාගත්තා. දිනක් පිඬු සිඟා වඩින රහතන් වහන්සේ නමක් දැක සිත පහදවාගෙන තම ගෙට වඩම්මවා අසුනක් පනවා එහි වැඩ හිදුවා තෙල් මිශ්‍ර වූ වැගිරෙන ඇති කැවුම් පූජා කලා. ඒ රහතන් වහන්සේ ඇය කෙරෙහි අනුකම්පාවෙන් එය පිළිගෙන වැළඳුවා. ඇය පහන් සිත් ඇතිව තෙරුන්ගේ හිසට කුඩයක් අල්වාගෙන සිටියා. රහතන් වහන්සේ ඇගේ සිත සතුටුවන ආකාරයට බණ අනුමෝදනාව සිදුකොට වැඩියා. අර ස්ත්‍රියද පින අනුමෝදන්වන අතර “මගේ හිස් දිගුව සිහින්ව මුදුව අක්බඹුරු වී පිහිටිවායි” ප්‍රාර්ථනාවක් සිදුකළා.
කාලයත් සමඟ ඇය මියගොස් පින් – පව් කුසලා කුසල කර්මයන්ගේ විපාකය අනුව මුහුද මැද රන් විමනෙක හුදකලාවෙම උපන්නා. ඇගේ කේශය ප්‍රාර්ථනා කළ අයුරින්ම බැබලීමෙන් පිහිටියා. මිනිසුන්ගේ ඇඳීවත සොරකම් කළ නිසා ඒ අකුසලෙයන් නග්නව උපන්නා. ඇය ඒ විමානයේ නැවත නැවත ඉපදෙමින් එක් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි නිර්වස්ත්‍රව කල් යැව්වා.
අනතුරුව අපගේ තථාගතයන් වහන්සේ ලොව පහල වී සැවැත්නුවර වැඩවාසය කරන සමයේ එනුවර වැසියෝ සියයක් පමණ වෙළෙන්දෝ ස්වර්ණ භූමියට යනු පිණිස නැව් නැග්ගා. චණ්ඩ වූ සුළං වේගය නිසා ඒ නැව ගසා ගෙන ගොස් විමාන පේ‍්‍රතිය විසූ ප්‍රදේශයට ගසාගෙන ගියා. එවිට ඒ පේ‍්‍රතිය විමානයත් තමාත් අර වෙළෙඳුන්ට පෙනෙන්ට සැලස්සුවා. ඒ දුටු ප්‍රධාන වෙළෙන්දා මෙසේ විමසුවා.
”ඔය විමානයේ ඇතුලේ ඉන්න ස්ත්‍රිය කවුද? විමානයෙන් එළියට එන්නේ නැත්තේ මොකද? පින්වතිය ඔය විමානයෙන් ඔබ එළියට එන්න. අපි මහ ඉර්ධි ඇති ඔබව දැකගන්නට කැමැතියි”.
”මම දුකෙන් ඉන්නේ. මට ලැජ්ජයි. මගේ ඇ‍ෙග් නූල් පොටක් නැහැ. මට එළියට එන්න විදිහක් නැහැ. මුළු ශරීරයම වැහිලා තිබෙන්නේ කෙස්වලින්. මං පුංචි පිනක් කරගත් කෙනෙක්.”
”හොඳයි මම දන් ඔබට මගේ මේ උතුරු සළුව පූජා කරනවා. මේ වස්තය පොරෝගන්න. ඊට පස්සේ විමානයෙන් එළියට එන්න.”
”අතින් අතට දෙන දෙයක් ලබාගන්නට කැප නැහැ. ඔය පිරිස අතරින් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රද්ධා සම්පන්න උපාසක කෙනෙක් ඉන්නවා. එතුමාට මේ වස්ත්‍රය පොරවන්න. ඊට පස්සේ ඒ පින මට දෙන්න. එතකොට මම හැම අතින්ම සැපවත් වෙලා සුවපත් වෙනවා. ඒ වෙළෙඳ පිරිස ඒ උපාසකතුමා හොඳට නහවා සුවඳ ගැල්වුවා. වස්ත්‍ර හොඳට ඇන්දුවා. ඒ පේ‍්‍රතියට ඒ පින අනුමෝදන් කළා.
ඇයට පින්දෙන විට පුණ්‍ය විපාකය ඉපදුනා. භෝජන, ඇඳුම් පැළඳුම් පැන් ආදිය පහළ වුණා. මෙය තමයි දානයෙහි ඵලය.
ඒ වගේම ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍ර වලින් සැරසුනා. ඒ වස්ත්‍ර කසීසළු වලටත් වඩා උතුම්. ඕ සිනහ වෙවී විමානයෙන් එළියට ආවා. මෙය තමයි දානයේ ඵලය.
”ඔබේ දිව්‍ය විමානය ඉතාමත් විචිත්‍රයි. සිත්කළුයි. බබළනවා. පින්වත් දෙව්දුව අපි අහන්නේ මොනවගේ පුණ්‍ය විපාකයෙන්ද මේ විපාකය ඇතිවුණේ.
ස්වාමින් වහන්සේ නමක් පිඬුසිඟා වැඩියා. සෘජු සිත් ඇති උන්වහන්සේ ගැන මම ගොඩාක් පැහැදුනා. මම උන්වහන්සේට තෙල් කැවුමක් පූජා කළා. ඒ පිනේ විපාකයක් ලෙස මං මේ විමානයේ ඉපදිලා බොහෝ කාලයක් තිස්සේ සැප වින්ඳා. දැන් ඒ පින ගෙවිලා තව ස්වල්පයයි තිබෙන්නේ. තව හාරමාසයකට පස්සේ මම චුත වෙලා භයානක වූ කටුක වූ අවීචි මහ නිරයේ ඉපදෙනවා.
ඒ නිරයේ කොන් හතරක් තිබෙනවා. දොරවල් හතරක තිබෙනවා. ඒවා කොටස් වශයෙන් ගානට බෙදලයි තිබෙන්නේ. වටේටම තියෙන්නේ යකඩ පවුරක්. වහල තියෙන්නේ යකඩ පියනකින්. ඒ අවීචි මහ නරකාදියේ ඇවිලෙන ගිනිදැල් හරිම සැරයි. ඒ සැර යකඩ භූමියේ හැම තිස්සේම යොදුන් සියයක් පුරාවට ගිනි දැල් පැතිරිලා තිබෙනවා. මට එහි ඉපදිලා දීර්ඝ කාලයක් දුක් විඳින්ට වෙනවා. කරපු පව්වලට විපාක තමයි. ඒ ගැන මම ගොඩාක් ශෝකයෙන් ඉන්නේ.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
සටහන – නයනා නිල්මිණි
(බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…


http://amadamvila.net/06-khallatiyapethawaththu/
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
BlogPost_2012_07_12-2.jpg

තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ මෙම දේශනාව වදාළ සේක.
ඒ පෙරේතයන් අධික බඩගින්නෙන් පිපාසයෙන් පීඩා විඳිනවා. බොහෝ කලක් දුකසේ තැවි තැවී පිච්චෙනවා. ඔය දුක ඇතිවෙන පාප කර්ම කරලයි කටුක ඵල ඇති දුක අනුභව කරන්නේ. මේ ජීවිතය මොහොතකින් ඉවරයි. මොහොතකින් ඉවරවෙලා යන දෙය පවතින්නේ මොහොතක් බව තේරුම් ගත්තු නුවණැති උදවිය තමන්ව දුකට යට නොවෙන දූපතක් කර ගන්නවා. ධර්මය තේරුම් ගත්ත දක්ෂ මිනිසුන් ඉන්නවා. ඒ අය ඔය කාරණය ඔය විදිහටම දන්නවා
සංකිච්ච සාමණේරයන් වහන්සේ සත් හැවිරිදි වියේ දී පැවිදි වීම පිණිස හිස කෙස් ගාන විටම රහතන් වහන්සේ නමක් බවට පත්වුණා. උන්වහන්සේ වනයේ වැඩ වාසය කරන විට සොරුන් පන්සියයක් බිල්ලක් දීම පිණිස එක් හිමි නමක් මරණයට පත් කිරීමට ආ විට සංකිච්ච සාමණේර හිමියෝ භික්ෂූන් වහන්සේ මරණයෙන් ගලවා සොරුන් දමනය කොට මහණ කරවා බුදුන් වහන්සේ වෙත රැගෙන ගියා. තථාගතයන් වහන්සේ ඒ භික්ෂූන් පිරිසට ධර්මය දේශනා කළා. දෙසුම අවසන දී ඒ භික්ෂූ පිරිස රහත් භාවයට පත්වුණා.
සංකිච්ච හිමියන් විසිවස් පිරී උපසම්පදාව ලබා පන්සියයක් භික්ෂූන් සමඟ බරණැස් නුවරට ගොස් ඉසිපතනයේ වැඩ වාසය කළා. මිනිසුන් තෙරුන් වහන්සේ සමීපයට ගොස් බණ අසා සිත් පැහැදි වීදී පිළිවෙලකට හා කණ්ඩායම් වශයෙන් ආගන්තුක දානය දෙන්නට පටත් ගත්තා. එහි විසූ එක්තරා උපාසක මහතෙක් මිනිසුන්ට සැමදාම දානය දීමට කැමැති කරවා ගත් නිසා ඔවුන් තමන්ට හැකි පමණින් නිත්‍ය දානය දීමට පටන් ගත්තා.
බරණැස් නුවර ජීවත් වූ එක් මිසදුටු බමුණෙකුට පුතුන් දෙදෙනෙක් හා දුවක් වූවා. ඔවුන්ගෙන් වැඩිමහලු පුත්‍රයා ඒ උපාසකගේ යහලුවෙක් වූ නිසා ඔහු සංකිච්ච තෙරුන් වහන්සේ බැහැ දැකීමට යාලුවා සමග ගියා. උන්වහන්සේගෙන් බණ අසා සිත පහදවා ගෙන ඔහු එක් භික්ෂූන් වහන්සේ නමක් නිවසට වඩමවාගෙන විත් දානය පූජා කළා. කල් යද්දී භික්ෂූන්ගේ පිළිවෙත් දැක බණ අසා ඔහුගේ බාල සොහොයුරුද සොහොයුරියද සසුන පිළිබඳව බෙහෙවින් පැහැදුනා. ඒ තිදෙනා නිතර නිතර දන් දීමට පුරුදු වුණා.
නමුත් ඔවුන්ගේ මවුපියෝ සැදැහැසිත් නැති අයයි. පිනට අකමැති වුණා. ශ්‍රමණයන් වහන්සේලාට පිදුම් බුහුමන් කළේ නැහැ. ඔවුන්ගේ දුවට තම සොහොයුරාගේ පුතා විවාහ කර දීමට මේ මව්පිය යුවල සුදානම් වුණා. නමුත් ඒ පුතා සංකිච්ච තෙරුන්ගෙන් බණ අසා සංවේගය උපදවා ගෙන පැවිදි වුණා. එම සාමණේර හිමියෝ නිතරම තම මවගේ නිවසට දානය වැළඳීමට වැඩියා. ඒ මෑණියන්ට සොයුරාගේ දියණිය කෙරෙහි සිතක් උපදවා ගන්නා ආකාරයට සාමණේර හිමියන් පොළවනු ලැබුවා. ඒ සාමණේර හිමියෝ කලකිරී තම ගුරු හිමියන් වෙත ගොස්
’ස්වාමිනී මම සිවුරු හරිමි’ කියා සිටියා
’මාසයක් ඉවසන්න’ ඒ භික්ෂුවගේ පින දුටු ගුරු හිමියෝ වදාළා. භික්ෂුව මාසයක් ගියවිට නැවත එලෙසම දැක්වූවා.
අඩමසක් ඉවසන්න’ ගුරු හිමියෝ වදාළා. අඩමසක් ගිය කල්හි නැවත අවසර පැතුවා
’සතියක් ඉවසන්න’ ඒ සතිය ඇතුළත සාමණේර හිමියන්ගේ නැන්දණිය ගේ ගෙය දිරාගිය වහල හා සවි නැති බිත්ති වැස්ස හා සුළඟ නිසා ඇද වැටුණා. එහිදී බුමුණා සහ බැමිණියත් ඔවුන්ගේ පුතුන් දෙදෙනාත් දියණියත් ගෙට යට වී මිය ගියා. බමුණා හා බැමිණිය පේ‍්‍රත ලොව ඉපදුනා. පුතුන් දෙදෙනා හා දියණිය භූමාටු දෙවියන් අතර ඉපදුනා. ඔවුන්ගේ වැඩිමහලු පුතුට ඇත් යානාවක් පහළ වුණා. බාල පුතාට අස් වෙළඹුන් සහිත රියද පහළ වුණා. දියණියට රන්සිවි ගෙයක් පහල වුණා.
බමුණා හා බැමිණිය විශාල යකඩ මුගුරු ගෙන ඔවුනොවුනට පහර දෙනවා. වැදුන වැදුන තැන්වල විශාල කලගෙඩි තරම් ගෙඩි නැගී මොහොතින් ඒවා පැසවා පැලී ගියා. ඔවුන් එකිනෙකා ඒ ලේ සැරව පානය කරමින් ගහබැන ගන්නවා. එයිනුත් සෑහීමකට පත් වන්නේ නැහැ.
අර සාමණේරයන් වහන්සේ තම ගුරු හාමුදුරුවන් වෙත ගොස් මෙසේ පවසනවා
’ස්වාමිනි මා පොරොන්දු වු පරිදි දවස ගෙවී තිබෙනවා. මම හෙට සිවුරු හැර යනවා.
සංකිච්ච හිමියෝ තම සෘද්ධි බලයෙන් අර සාමණේර හිමියන්ට ප්‍රේත ලෝකයේ හා භූමාටු දෙවිවරු දැකීමට සැලස්සුවා.
උන්වහන්සේ ඒ පේ‍්‍රතයන් දැක මෙසේ අසනවා.
එක දිව්‍ය පුත්‍රයෙක් සුදු ඇත් වාහනයකින් ඉස්සරවෙලා යනවා. තව දිව්‍ය පුත්‍රයෙක් වෙළඹුන් යෙදූ රථයකින් මැදට වෙලා යනවා. එතකොට දස දිසාවම බබලනවා.
ඒ වුණාට ඔබලානම් අත්වලින් දඩුමුගුරු අරගෙන හඬ හඬා හොඳටම කැඩුණු බිඳුණු අතපය ඇතිව යනවා. ඊළඟට එකිනෙකාගේ ලේ බිබී ඉන්නවා. මිනිස් ලෝකේ ඉන්න කාලේ ඔබලා කරපු පාපය මොකක්ද?
පාද හතරකින් යුතු සුදු හස්ථි රාජයෙක් ඉන්න වාහනයෙන් යන එක් අයෙක් ඉන්නවා නේද? එයා අපේ ලොකු පුතා. එයා දන් දුන්නා නෙව. දැන් ඉතින් සැප විඳිමින් සතුටු වෙනවා.
අර වෙලඹුන් හතර දෙනෙක් බැදපු අශ්ව රථයෙහි මැදට වෙලා ගමන් කරන කෙනෙක් ඉන්නවා නේද? එයා අපේ මධ්‍යම පුතා. මසුරු කෙනෙක් නෙමෙයිනේ. දානපතියෙක්. ඒකයි එයා බබලන්නේ.
අර රන්සිවි ගෙයකින් ගෙනයන දෙවගනක් ඉන්නවානේ. ඇය හරි නුවණැති. මුවැත්තියකගේ අඩවන් නෙත් තියෙනවා. ඒ අපේ බාල දෝණි. තමාට ලැබුණ කොටසින් භාගයක්ම දන් දුන්නා. දැන් ඉතින් සැපසේ සතුටු වෙනවා.
ඔය දරුවෝ ටික ඉස්සර දන් දුන්නා. සිත පහදවාගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටයි දන් දුන්නේ. ඒකට අපි. මසුරුකමින් හිටියා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නින්දා අපහාස කළා. දරුවෝ දිව්‍ය සැපෙන් සතුටු වෙනවා. ඒකට අපි. කපල අව්වේ දාපු බටගස් වගේ වේලි වේලී ඉන්නවා.
ඔබලාගේ කෑම බීම මොනවාද? මොනවගේ ද නිදා ගන්නේ. මහ පවිටුන් වන ඔබලා ජීවත් වන්නේ කොහෙද? හොඳට දේපල වස්තුව තිබෙන කාලේ ලැබිච්ච සැප වරදවා අරගෙන අද ඉතින් දුක් විඳිනවා.
අපි කරන්නේ එකිනෙකාට වද හිංසා කරගෙන ගලන ලේ සැරව බොන එකයි. අපිට කොච්චර බීවත් ඇතිවන්නේ නැහැ. අපිට එකිනෙකා රුස්සන්නේ නැහැ. දන් පැන් නොදෙන මිනිස්සු මරණින් මත්තේ පෙරේත ලෝකෙට යනවා. ගිහින් වැලපි වැලපි ඉන්නවා. සමහර මිනිසුන් භෝග සම්පත් ලබාදෙන විට තමන් අනුභව කරන්නෙත් නැහැ පින් කර ගන්නෙත් නැහැ.
ඒ පෙරේතයන් අධික බඩගින්නෙන් පිපාසයෙන් පීඩා විඳිනවා. බොහෝ කලක් දුකසේ තැවි තැවී පිච්චෙනවා. ඔය දුක ඇතිවෙන පාප කර්ම කරලයි කටුක ඵල ඇති දුක අනුභව කරන්නේ.
මේ ජීවිතය මොහොතකින් ඉවරයි. මොහොතකින් ඉවරවෙලා යන දෙය පවතින්නේ මොහොතක් බව තේරුම් ගත්තු නුවණැති උදවිය තමන්ව දුකට යට නොවෙන දූපතක් කර ගන්නවා. ධර්මය තේරුම් ගත්ත දක්ෂ මිනිසුන් ඉන්නවා. ඒ අය ඔය කාරණය ඔය විදිහටම දන්නවා. රහතන් වහන්සේලාගේ ධර්මය අහලා දන් දෙන්න ප්‍රමාද වන්නේ නැහැ.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
සටහන – නයනා නිල්මිණි
(බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…)
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
559069_115257131953302_1693245599_n.jpg


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

දසන්න රටවැසියන්ගේ ඒරකච්ඡ කියල ප්‍රසිද්ධ නගරයක් තියෙනවා.මං කලින් ජිවිතයේ දී ඔය නගරයේ සිටුවරයෙක් වෙලා සිටියා.මාව කවුරුත් දැන ගත්තෙ ධනපාල සිටුවරයා කියලයි.

මට අමු රන් විතරක් කරත්ත අසූවක් පුරවලා තිබුණා.රන්,රිදී තව සෑහෙන තරම් තිබුණා.වෛරෝඩි මැණික් මුතු ආදියත් හරියට තිබුණා.

ඉතින් ඔය වගේ මහා ධනස්කන්ධයක් තිබුණු මට දන් දෙන්ට කැමැත්තක් ඇති වුණේම නෑ නෙව.මං ආහාර අනුභව කළේ දොරවල් වහගෙන.යාචකයින්ට මාව දකින්ටවත් ලැබෙන්ට එපා කියල.

මට ශ්‍රද්ධාවක් තිබුණෙ නෑ.මං මසුරුයි.කෑදරයි.අනුන්ට හරියට අපහාස කරනවා.දන් දෙන උදවියට,පින් කරන උදවියට මං කරුණු කියල බොහෝ දෙනෙක්ව එයින් වළක්වලා තියෙනවා.

ඉතින් මං පෙරේත ලෝකෙ උපන්නා.බඩගින්නෙන් පිපාසයෙන් පුදුම දුකක් විඳින්නෙ.දැනට මං මිය පරලොව ගිහින් අවුරුදු පනස් පහක් වෙනවා.

- ධනපාල ප්‍රේත වස්තුව -
ඛුද්දක නිකාය (පේතවත්ථු - 2 උබ්බරී වර්ගය)
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
418741_115296091949406_939542180_n.jpg


෴නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස෴
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!

මං හිටියේ රජගහ නුවර.ඒ රම්‍ය වූ ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ මං හිටියේ.නිදුකාණන් වහන්ස,මං බොහෝ ධනසම්පත්වලට අධිපති වෙල සිටියෙ.

මගේ බිරිඳත්,දියණියත්,ලේලියත් කියන මෙයාලා මලුයි මහනෙල් මලුයි වටිනා සුවඳ වර්ගයි අරගෙන ස්ථූපයට වන්දනා කරන්ට පිටත් වෙන කොට මං ඒක වැළැක්වුවා.මා තමයි ඒ පාප කර්මය කර ගත්තෙ.

අසූහයදාහක් වගේ පිරිසක් වන අපි ස්ථූප පූජාවට නින්දා අපහාස කළා.දැන් වෙන වෙනම අපි දුක් විඳිනවා.ඝෝරදුක් තියෙන නිරය වැනි පෙරේත ලෝකයේ ඉපදිලයි දුක් විඳින්නෙ.

අරහත් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ස්ථූපයට පුදපුජා පවත්වන වෙලාවක කවුරු හරි කෙනෙක් ඒකට දොස් කියනවා නම්,එයා බැහැර වෙන්නෙ පිනෙන් බව තේරුම් ගන්න.

මේ බලන්න.මල් දරාගෙන අලංකාර වෙලා අහසින් වඩින මේ දිව්‍යංගනාවන් දෙස බලන්න.මෑලා මේ අනුභව කරන්නේ ස්ථූපයට මල් පූජා කිරීමේ විපාකයයි.

ආශ්චර්යය වූ පුදුම සහගත වූ ලොමුඩහ ගැන්වෙන මේ පුණ්‍ය විපාකය දැක්කට පස්සෙ නුවණ තියෙන උදවිය ඒ මහා මුනින්ද්‍රයන් වහන්සේට නමස්කාර කරනවා.

ඒ මමත් මේ පෙරේත යෝනියෙන් චුතවෙලා මනුස්ස ආත්මයක් ලබා ගෙන අප්‍රමාදීව නැවත නැවතත් ස්ථූප පූජාවමයි කරන්නෙ.

ධාතුවිවණ්ණික ප්‍රේත වස්තුවයි.
- ඛූද්දක නිකාය - (පේතවත්ථු - 3 චුළ වර්ගය)
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
BlogPost_2012_07_13.jpg


තථාගතයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන කාලයේ මගධ රටේ ඉට්ඨකාවතී ගමේ එක්තරා පේ‍්‍රතියක් නිසා මේ දේශනාව වදාළා.
මගධ රටේ ඉට්ඨකාවතී හා දියරාජි ගම් දෙකක් තිබුණා. එහි මිත්‍යාදෘෂ්ඨිකයෝ බොහෝ දෙනෙක් වාසය කළා. අතීතයේ අවුරුදු පන්සියයකට පෙර එක්තරා ස්ත්‍රියක් ඒ ඉට්ඨකාවතියෙහි වනයක සංසාරමෝචක පවුලක උපන්නා. ඇය මිත්‍යාදෘෂ්ඨික නිසා බොහෝ කුඩා සතුන් පළගැටියන් මරා ඒ පවින් පේ‍්‍රත ලෝකයේ උපන්නා.
ඇය අවුරුදු පන්සියයක්ම කුසගින්නේ හා පිපාසයෙන් දුක් විඳිමින් ගෞතම තථාගතයන් වහන්සේ ලොව පහල වූ කාලයේ අර පේ‍්‍රතිය නැවතත් සංසාරමෝචක කුලයෙහිම දුප්පත් පවුලක දැරියකව උපන්නා. ඇය අන් දැරියන් සමග වීථියේ සෙල්ලම් කිරීමට පුරුදු වුණා. සැරියුත් තෙරුන්ද ඒ නගරයේ පිණ්ඩපාතයේ වැඩියා. අන් දැරියන්ද මාපියෝද සැරියුත් තෙරුන් වහන්සේ දැක වැඳ නමස්කාර කර දානය පූජා කළා. නමුත් මේ දැරිය බොහෝ කාලයක් කුසල් කර නොමැති නිසා ඒ පිළිබඳව තැකීමක් නොකර සිටියා.
සැරියුත් තෙරුන් ඇයගේ අතීතයද වර්තමානයද දුටුවා. ඒ වගේම ඇය අනාගතයේ නිරයේ ඉපදෙන බවද දැන ඈ නිරයේ ඉපදීම මුදවා ගැනීමට හෝ සිතා අන් දැරියන්ට මෙසේ වදාළා.
”ඔබලා භික්ෂූන් වහන්සේලාට වැඳ නමස්කාර කළද මැය වන්දනා නොකරන්නේ ඇයි දැයි?” විචාලා.
එවිට අනෙක් දැරියෝ ඇගේ අතින් ඇදගෙන විත් සැරියුත් තෙරුන්ට වැන්දවූවා. අර දැරිවිද සිත පහදවාගෙන උන්වහන්සේට වැඳ එතැනින් ඉවත්ව ගියා. කාලයක දී ඇය විවාහ වී දරුවෙකු ලැබෙන්නට ගොස් මිය ගියා. ඇය පේ‍්‍රත ලෝකයේ නිර්වස්ත්‍රව දුර්වර්ණව ඉපදී නිතරම සා පිපාසයෙන් සිටියා. දිනක් ඇය සැරියුත් රහතන් වහන්සේට තමාව පෙනෙන්නට සැලැස්සුවා. එවිට උන්වහන්සේ ඇසුවා.
ඔබේ ඇ‍ෙග් නූල් පොටක් නැහැ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තිබෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද?
අනේ ස්වාමීන් වහන්ස. මං දුකේ වැටිලා ඉන්නේ. මම යම ලෝකේ උපන් පෙරේතියක්. මගේ් අතින් පව්කම් කෙරිලා තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකෙට ගියේ.
ඔබ සිතින් කයින් වචනයෙන් මොනවගේ පවක්ද කර ගත්තේ. මොනවගේ කර්මයක විපාකයක් නිසා ද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකයට ආවේ.
අනේ ස්වාමින් වහන්සේ මට අනුකම්පා කරන්න කවුරුත් හිටියේ නැහැ. තාත්තාත් අම්මත් වෙන නෑදෑයෙක් හිටියේ නැහැ. හිත පහදවා ගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දානයක් දෙන්න කියලා ඔය කවුරුත් මා පෙළඹුවේ නැහැ.
පිපාසයෙන් කුසගින්නෙන් මට මේ විදිහට නිරන්තරයෙන් තව අවුරුදු පන්සියයක් කල් ජීවත්වෙන්ට වෙනවා. මං කරගත් පාප කර්මවල විපාක තමයි මේ.
පින්වත් ආර්යන් වහන්ස, මං නුඹ වහන්සේට වන්දනා කරනව. මහා අනුකම්පා ඇති ප්‍රාඥයන්වහන්ස, මට අනුකම්පා කරන සේක්වා. යම්කිසි දෙයක් මට දන් දීලා පින් දෙන සේක්වා. ස්වාමිනි මාව මේ අපා දුකෙන් මුදවා ගනු සේක්වා.
පේ‍්‍රතිය කෙරෙහි අනුකම්පාවෙන් සාරිපුත්ත මහරහතන් වහන්ස හොඳයි කියල භික්ෂූන් වහන්සේට බත් පිඬකුත් රියනක රෙදි කැබැල්ලකුත් පැන් භාජනයකුත් පූජා කළා. ඊට පස්සේ ඇයට පින් අනුමෝදන් කළා.
බත් පිඬ දීපූ සැනින් පුන්‍ය විපාකය පහළ වුණා. භෝජන වස්ත්‍ර පැන් ආදී සැප සම්පත් පහළ වුණා. මේක තමයි දානයෙහි ඵලය.
එතකොට ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුනා. ඒ වස්ත්‍ර කසීසළුවලටත් වඩා විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුනු ඒ තැනැත්තිය සැරියුත් මහරතන් වහන්සේ වෙත එළඹුණා.
පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබුළුවාගෙන ඕෂධි තරුවක් වගේ.
ඇත්තටම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට පි‍්‍රය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද?
මහානුභාව ඇති පින්වත් දෙව්දුව. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද කළේ. ආනුභාව සම්පන්න ඔබ බැබලී බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළිය හැම දිසාවම බබලනවා.
ලෝකයේ කාරුණික මුනිද්‍රයන් වහන්ස ඔබ වහන්සේව මාව දැක්කා. ඒ මං පඬු පාටවෙලා කෙට්ටු වෙලා මහ බඩගින්නෙකින් නිර්වස්තරයෙන් කැඩුණු බිදුණු අතපය ඇතිව සිටියේ.
භික්ෂුන් වහන්සේලාට බත් පිඬකුත්, රියනක රෙදිත්, පැන් භාජනයකුත් පූජා කළා. මට පින අනුමෝදන් කළා.
බත් පිඬක පුණ්‍ය විපාකය දැක වදාල මැන. මට දැන් අවුරුදු දාහකට ඇති වෙන්න තියෙනවා. ප්‍රනීත රසකෑම ඇතිව කැමැති විදිහට බත් කනවා.
රියනක පමණ රෙදි කැබැල්ලේ පුණ්‍ය විපාකය දැක වදාළ මැනව. නන්ද රජ්ජුරුවන්ගේ රාජධානියේ යම් තාක් රෙදිපිළි ඇත්නම් ස්වාමිනි ඊටත් වඩා බොහෝ වස්ත්‍ර මට තිබෙනවා. මට කසීසළු කැබලි තිබෙනවා. පට රෙදි, කපුරෙදි තිබෙනවා. විශාල වස්ත්‍ර රෙදිපිළි ආකාස ගැබෙහි එල්ලී තිබෙනවා. මම කැමැති වෙන්නේ යම් යම් රෙදිවලටද ඒවා තමයි මං අඳින්නේ.
පැන් බඳුනක පුණ්‍ය විපාකය දැක වදාල මැනව. හරිම ලස්සන පොකුණක් මැවිලා තිබෙනවා. ඒකේ වතුර හරි සීතලයි. නෙළුම් මහනෙල් පිපිලා තියෙනවා. මල් රේණු වතුරේ ඉහිරිලා තිබෙනවා.
මම දැන් කිසිදෙයකට බය නැහැ. ඉතින් ස්වාමිනි ලෝකයෙහි කාරුණික මුනිවරයන් වහන්සේ නමක්වන ඔබවහන්සේ වන්දනා කරන්නටයි මම ආවේ.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
සටහන – නයනා නිල්මිණි
(බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…
)
http://amadamvila.net/08-sansaramochakapethawaththu/