දොස්තර හාමුදුරුවෝ

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    දොස්තර හාමුදුරුවෝ

    282871_488471984536013_1960863992_n.jpg


    කල්ලඩියේ කන්ටේනරයක වැඩ වසමින් දුප්පතුනට බෙහෙත් දෙන දොස්තර හාමුදුරුවෝ
    ( පාෂාණ පබ්බත වෙහෙර ආරක්ෂක හිමියන්ගේ කතාව )

    උන්වහන්සේ ජීවිතයේ සැදෑසමය ගතකරති. එහෙත් හිඩිදැඩිය, ශක්තිසම්පන්නය. ‍‍වෛද්‍ය වෘත්තිය අතහැර දමා ශාසනාලයෙන් සසුන් බිමට පිවිසි සේක. ‍උන්වහන්සේගේ ක්‍රියාකලාපය බුදු දහමට පටහැනි බව බැලූ බැල්මට සිතෙනු ඇත. කරුණා කර මේ ලිපිය සම්පූර්ණ කියවා ඔබේ උපකාරය ලබාදෙන්න. මහ මාලිගා නොමැතිව කන්ටේනර් පෙට්ටියක් තුල වැඩ සිටින අනුවේදනීය කථාව අහන්න.

    මේ ලියැවෙන්නේ ඒ කථාවයි

    මම අහසේ පිපි ඒ සුදු නෙළුම් මල සමීපයේ මොහොතක් රැඳෙමි. මුහුදේ ඝෝෂාව පරයා නැඟෙන වා රැලි ලංකා පටුනේ ගල්දෙබොක්කාවේ තුරු වදුල, ඒ මේ අතර අඹරවයි. කොටින්ගේ මහා විරු ගම්මානය වසා පැතිර සිටි දුප්පත්කම හා නූගත්කම අහස උසය.

    ඔවුන්ගේ වටිනා කුල සිරිත්, සාරධර්ම, පිරිහී කොටින්ගේ දැති රෝදයෙන් මිදෙන්නට බොහෝ දෙනෙක් ළමා අම්මාවරු වූහ. එවැනි දුක්මුසු අනුවේදනීය කථා කිහිපයක් අපි ඉකුත් සතිවල කියවීමු. තවමත් හද කම්පනය කළ මේ මතකය බැහැර කිරීමට මේ සුදු නෙළුම් මල (ලංකා පටුන චෛත්‍යය) මට උපකාරි වෙයි. එහි සෙවණ යට සිටින අපට ඒ අඳුරු කාලච්ඡේදය මතකයෙන් බැහැර කිරීම අමාරුය.

    එදා අපේ ධීර වීර හමුදාවන් තොප්පිගල ජයගත් පසු ත්‍රස්තයෝ ත්‍රිකුණාමලයේ පිහිටි අපේ වෙහෙර විහාරවලට යළිත් වියරුවෙන් පහර දුන්හ. මානුෂීය මෙහෙයුමෙන් පසු ලංකා පටුනේ මේ සුදු නෙළුම පුබුදුවන්නට පෙර තිබුණු චෛත්‍යය පොළවට සමතලා කළ කොටි එහි කෝවිලක් තැනූහ.

    ඒ මිසදිටු කෝවිල එදා විවෘත කළේ ත්‍රස්තවාදීන්ට සහාය දුන් රාජ්‍ය නොවන සංවිධානයක ලොක්කෙකි. විදේශිකයෙකි. මානුෂීය හමුදා රට බේරා ගැනීමෙන් අනතුරුව එතෙක් සේරුවිල ප්‍රදේශයේ ඉතිරි සිංහලයන් ජීවිත පරිත්‍යාගයෙන් රැක බලා ගත් සේරුවිල නායක හිමි සරණ කිත්ති හාමුදුරුවෝ මෙහි වැඩියහ. උන් වහන්සේ අපේ රණවිරුවන්ගේ සහාය හා ආධාරය ඇතිව යළිත් මේ පින් බිම ගොඩනැඟූහ.

    අද ඉතා රමණීය පූජා භූමියක් මෙහි නිර්මාණය වී තිබේ. හේමමාලා කුමරිය හා දන්ත කුමරු දළදා වහන්සේ ද රැගෙන ලංකාවට ගොඩබැස්සේ ලංකා පටුනෙනි. එදා මේ ප්‍රදේශය සමෘද්ධිමත් ධාන්‍යාගාරයක් බඳුය. අද මෙහි දිළිඳුකම, නූගත්කම පැතිරුණේ ඇයි?

    මා දැන් යන්නේ එම ධාන්‍යාගාර මතු නොව ධාන්‍ය බැංකු පවා තිබුණු පෙරදා රහතුන් වැඩ සිටි ඒ ගල් වෙහෙරටය. කල්අඩි නමින් අද හඳුන්වන කොටින්ගේ මහා විරු ගම්මානය මේ රජමහ විහාරය මැදිකොට පිහිටියේය. ඒ රජමහ වෙහෙරේ “කොටි හඬ” ගුවන් විදුලිය පවත්වා ගැනීමට තරම් ඒ ම්ලේච්ඡයෝ සැහැසි වූහ.

    සෙල්ලිපි බොහොමයක් පිහිටි ගල් පව්ව ඉරා කොටි ඔවුන් ගේ අඩි 120 උස ගුවන් විදුලි සම්පේ‍්‍රක්ෂණාගාර කුලුන එහි එබ්බ වූහ.

    පහණ පබත වෙහෙර නමින් සෙල්ලිපිවල සඳහන් මේ ස්ථානයට පසු කාලයකදී පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් වැඩමවීමෙන් පසු එහි වැදගත් ගිරිලිපි හයක් සොයා ගනු ලැබිණ. ඉන් හෙළිවන කාරණා අනුව මේ විහාරය කළේ ක්‍රි. ව. 9 සිට 21 දක්වා අනුරාධපුරයේ රජකම් කළ මහා දාඨික මහා නාග (මහා දැලියා මානා) රජු ය.

    එම රජුගේ අණ පරිදි කිසියම් ඇළක දිය බද්ද මේ විහාරයේ භික්ෂුන්ට සිව්පසය සැපයීම සඳහා යෙදවිය යුතු බව සඳහන්ය.

    තවත් ගිරි ලිපියකින් කියවෙන පරිදි රජුගේ ඇමැතියෙක් වූ රබය විහාරයට ප්‍රදානයන් කර තිබේ. ඊටත් අමතරව එක්තරා වෙළෙඳ ආයතනයක මුදල් තැන්පත් කොට එහි පොලිය මෙම විහාරයට පූජා කිරීමක් ද සිදු වී ඇත.

    ඉතිහාස ගත කරුණු විමසීමට ඉතිහාසඥයන්ට බාර දෙමින් එහි එදා පැවති දියුණු නාගරික සංස්කෘතිය ගැන ඉඟියක් පමණක් මතු කළෙමි. එහෙත් අද මේ ප්‍රදේශය සිංහලයන්ගෙන් හා බෞද්ධයන්ගෙන් තොරය.

    එහි ඇත්තේ දුප්පත් අහිංසක දෙමළ ජනයා පමණකි. ගල් පර්වතයක පිහිටි පාෂාණ පබ්බත විහාරයේ චෛත්‍යය ද කොටි ත්‍රස්තවාදීහු බිඳ දමනු ලැබූහ.

    ඔවුන්ගේ ගුවන්විදුලි කාර්යාලය ඊට මදක් පහළින් කන්ටේනරයක් තුළ පිහිටුවා ගැනිණ.

    මුළු රටම කම්පා කළ කැබිතිගොල්ලෑවේ බස් බෝම්බය පුපුරා යාමත් සමඟ මළ දරුවෙකු අත තබාගත් පියෙකු ඒ අවස්ථාවට කම්පිතව සහභාගි වූ රටේ නායකයාට කීවේ තවත් ඉවසන්නේ කුමට ද යන්නයි. එම බස් බෝම්බය මෙරට බොහෝ චින්තනයන් වෙනස් කළ අවස්ථාවක් විය.

    රත්නපුරයේ වෛද්‍ය වරයකු ලෙස ජීවත් වූ එක්තරා බෞද්ධයෙක් මේ සිද්ධියෙන් බොහෝ සසල විය. එතුමා සේරුවිලට පැමිණ පැවිදි වී මේ භූමිය බේරාගන්නට පාෂාණ පබ්බත වෙහෙරට වැඩියේය. වෛද්‍ය රත්නපුර දේවානන්ද හිමියන් මෙතැන් සිට ඔබට පවසනුයේ එහි ඉතිහාස කථාවයි.

    “කොටි අපේ බෞද්ධ විහාරස්ථාන කඩල දාන එක තරම් වේදනාවක් මට තවත් නැහැ. අපේ පුරාණ බෞද්ධ උරුමය රැකගන්න කවුරුහරි ඉදිරිපත් වෙන්න ඕන. රටේ රණවිරුවෝ, නායකයෝ රට බේරල දුන්නට මදි. ඒව රැකගන්න ශාසනයත් ඉදිරිපත් වෙන්න ඕන.

    අදනම් මට නාවික හමුදාවෙන් සිව්පසය ලැබෙනවා. පොලීසියෙන් ආරක්ෂාව ලැබෙනවා. ඒත් මම මෙතෙනට එනකොට මේ පළාතේ හුස්ම ගත් එකම සිංහලයා මම විතරයි. මං තවමත් වැඩ ඉන්නෙ කොටින්ගෙ ගුවන් විදුලි මැදිරිය පිහිටි කන්ටේනරයේ.

    ඒක මට සුව පහසුයි. උන්නම් ඉඳල තියෙන්නෙ මේ පෙට්ටියට වායු සමීකරණ සවි කරල. මට විදුලි පංකාවක් ලැබුණා. මුලින් මම මේකට ඇවිත් තනියම උයාගෙන කෑවා. සමහරදාට විස්කෝතුවකින් මගෙ කුසගින්න නිවුණා. දෙමළ තරුණයො එකා ;දන්න මුලින් ඇවිත් මා ගැන විපරම් කළා.

    මට දෙමළ බස හොඳින් පුළුවන්. මං ඒ අයට කිව්ව මම හිටපු වෛද්‍යවරයෙක් කියල. මගේ සහතික මං සමහරුන්ට පෙන්නුවා.

    මේ පැත්තෙ ඉන්නෙ අන්තිම දුගී පිරිසක්. ඒ මිනිස්සු වවාගත්තු දෙයින්, අල්ලගත්ත මාළුවගෙන් පවා කොටි මුදලක් උදුර ගත්තා. පුංචි ළමයි බලහත්කාරයෙන් සංවිධානෙට අල්ලගන්න යනකොට උන්ට බේරෙන්න විදිහක් තිබුණෙ නැහැ. ඒ ගොල්ලන්ට තමන්ගෙ කුල සිරිත් සංස්කෘතිය අමතක කරන්න සිද්ධ වුණා. බේරෙන්න පුළුවන් එකම ක්‍රමය ගැබිනියක් වීම විතරයි. එහෙම ගැබිනියක් වූ සමහර විධි ගැන අපට බෞද්ධයන් හැටියට කියන්නත් බැහැ.

    මේ අපේ රටේ මිනිස්සු කියන කම්පාව මටත් තියෙනවා. මං මේ ප්‍රදේශයේ විවිධ ප්‍රජා කටයුතුවලට සහභාගි වෙනවා. ඒ අවස්ථාව මට ලැබුණෙ මගෙන් බෙහෙත් ගන්න ආපු දුප්පත් දෙමළ මිනිස්සු මාව ටික ටික පිළිගත් නිසයි.

    මගෙන් බෙහෙත් ගත්තෙ නැතිනම් ඒ ගොල්ල යන්න ඕන ඊච්චලම්පත්තු රෝහලට. මං ඒ දුප්පත් මිනිසුන්ට බෙහෙත් ටික දීල රුපියල් සීයක් වගෙ සුළු මුදලක් ගන්නවා. ඒ නිසාම ඒ මිනිස්සුත් මගෙ වටේ රොද බැදෙනවා. හැබැයි! රටේ ජනතාව මේ වගේ පූජා භූමි වැඳ පුදා ගන්න බස් සේවයක්වත් මෙහි ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.

    කොටි අවතාර තවමත් මෙහි අතරින් පතර තිබුණත් ඒවාට බයවෙලා වැඩ කරන්න බැහැ. මං කොළඹ ලංකා පටුන බස් එකක් අමාරුවෙන් දාගෙන තිබුණා. දැන් ඒකත් නවත්වල. ඉතින් බෞද්ධයෝ මේවා වැඳ පුදා ගන්න එන්නෙ කොහොම ද? නාවික හමුදාව මාව දැන් බලා ගන්නව. දැන් මටත් අවුරුදු 74 ක්.

    පහුගිය කාලෙ පිල්ලෙයාන් හිටපු මහ ඇමැතිතුමා මේ පන්සල් භූමියෙ කෙළවර කෝවිලක් හදන්න උත්සාහ කළා. දෙතුන් දහක් දෙමළ පිරිස ඇවිත් හිටියා. මාත් අතෑරියෙ නැහැ.

    බෞද්ධ උරුමය වනසන්න දෙන්න බැහැනෙ.

    අපේ සේරුවිල නායක හාමුදුරුවො වගේම මාත් බය නැතිව වගකිව යුත්තන්ට කථා කරල බේර ගත්තා. යුද්ධයෙන් පසුවත් මෙහෙම නම් එදා කොහොම ආධිපත්‍යයක් මෙහි තිබුණාදැයි මට එදා හිතුණා.

    උන් වහන්සේගේ ආරෝහ පරිණාහ කාල වර්ණ දේහය යට සැඟවුණු දෑහිතකාමී යෝධයා මම දකිමි. උන්වහන්සේ මේ පළාතේ දෙමළ ප්‍රජාවට බොහෝ උපස්ථාන කර තිබේ. ඔවුනට සායන පැවැත්වීම ඉන් එක් කාරියකි. ගිහි කලදී වෛද්‍යවරයා ලෙස පාවිච්චි කළ මෝටර් රථය උන්වහන්සේ මෙහි ගෙන ආවේ ඒ ප්‍රජා කටයුතු කලට වේලාවට කර දීමටය.

    එහෙත් සේරුවිල නායක හිමියෝ භික්ෂුවක් රථයක් පැදවීම අනුමත නොකරති. මම ඒ ගැන ද උන්වහන්සේ විමසමි. (මීට පෙර දූපත් චාරිකා ලිවීමේ දී නාගදීපය පුරා තැනින් තැන මා ගමන් කළේ නාගදීප නායක හිමියන් පැදවූ රථයේ සිටය.)

    ලාකු හාමුදුරුවො කියන්නෙ ඒක භික්ෂුවකට අකැපයි කියල. භික්ෂුවක් අතපයවත් හයියෙන් හොල්ලන්න හොඳ නැහැ. ඒ කථා ඔක්කොම ඇත්ත. එහෙත් මේ අභියෝග ජයගන්න මේව රැකගන්න එච්චරම සිල්වත් වෙලා බැහැ. අනෙක මේ රථය නිසා සිද්ධ වෙච්ච දෙයක් අහන්න. මහත්තය පහුගිය දවස්වල ලිව්ව නේද? කල්අඩි හා ලංකා පටුනේ අඩු වයස් අම්මාවරුන් ගැන.

    දවසක් හැන්දෑවේ අවුරුදු 14 ක පමණ දැරියක් ප්‍රසූත වේදනාවෙන් විලාප දීගෙන තවත් වැඩිහිටි කාන්තාවක් එක්ක මෙහි ආවා. ඇවිත් කිව්ව ආන්ඩවනේ අනේ සාමි මා බේර ගන්ඩ කියල. ඒ මිනිස්සු රෝහලකට යනවනම් මෙතැනින් හැතැප්ම 10 ක් විතර එහා තියෙන ඊච්චලම් පත්තු රෝහලට යන්න ඕන. ඒ මිනිස්සු අතේ සල්ලි නැහැ. පාරෙ යන එන වාහනයක්වත් නැහැ. මේ මිනිස්සු මගේ උදව් ඉල්ලන්නෙ ඒකයි.

    එහෙත් භික්ෂුවක් හැටියට මං ගොඩක් කල්පනා කළා මේ බාල අම්මා හොඳ චේතනාවෙන් අරන් ගියත් අන්තිමට මොනව වේවි ද? මං මගේ ආරක්ෂක පොලිස් නිලධාරියෙක් කැඳවගෙන අර ළමා අම්මවත් වැඩිහිටි කාන්තාවත් නංවගෙන වාහනය පදවාගෙන ගිහින් ඒ ජීවිත බේර ගත්තා. පිහියක් වුණත් එහෙමයි. ඒක පරිත්‍යාග කරන්න පුළුවන් එළවළු රතු ලුනු කපන්න.

    නැත්නම් ඒ පිහියෙන්ම කෙනෙකුට අනින්නත් පුළුවන්. මේ වාහනය මම පදවන්නෙත් එවැනි සත් චේතනාවකින්. වැරැදි හිතකින් නෙවෙයි. අනෙක රියැදුරකුට පඩි ගෙවන්න මට නෑ. එහෙම ආධාර ලැබෙනවානම් කරන්ඩ පුළුවන්.

    පාෂාණ පබ්බත වෙහෙරේ දුරාතීත ගැඹුරු බෞද්ධ සංස්කෘතිය රැක දෙන්නට මේ යතිවරුනට අප උදව් කළ යුතුය.

    මෙවැනි බෞද්ධ සිද්ධස්ථාන රැකගන්නට ඔබත් කැමති නම් කල්අඩි පුදබිමේ පාෂාණ පබ්බත වෙහෙරේ විහාරාධිකාරී වෛද්‍ය රත්නපුර දේවානන්ද හිමියන් මෙලෙස ඇමතිය හැකිය. 0265676777 – 0263204880 මේ දුරකථන සංවේදී ඔබේ ඇමතුම බලා සිටී.

    උපුටා ගැනීම

    http://lrrp2.wordpress.com/2012/11/09/කල්ලඩියේ-කන්ටේනරයක-වැඩ-ව/

    සසර කතරේ අතරමංව සිටින අසරණයන් නිවන් මගට යොමු කිරීමට මා පතන බෝධියෙන් නිවන් ලැබේවා

    http://www.facebook.com/photo.php?f...045870275.80280.100001196487578&type=1&ref=nf