ධර්මපාලතුමන්

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    අප ජීවත්වන ශ්‍රී ලංකාව සුරක්ෂිතව වත්මන් පරපුරට උරුම කර දීමට විශාලතම සේවය සිදු කළේ එතුමන් ය. විදෙස් ආක්‍රමණිකයන්ගේ පාලන සමයක, පරගැති කලු සුද්දන් විනාශ කරමින් සිටි සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගැනීමට සහ අප පරපුරට දයාද කිරීමට එතුමන් කළ සේවය සුලු පටු නොවේ. එතුමා ජාතික වීරවර අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ය.

    වර්ෂ 1815දී ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත්වූ පසු ශ්‍රී ලාංකිකයන්ට සිදුවූයේ ඉංග්‍රීසීන්ගේ පාලනයට නතුව ඔවුන්ගේ සිරිත් විරිත් වැළඳගැනීමටය. ඉංග්‍රීසි පාලන යුගයේදී ශ්‍රී ලංකාවේ බහුතරය වූ සිංහල බෞද්ධයන්ට ඉංග්‍රීසී රජයේ කිසිදු සැලකිල්ලක් නොලැබුණි.

    එම නිසා ධනවත් සිංහලයන් ඉංග්‍රීසී භාෂාව උගෙන, ඉංග්‍රීස්න්ගේ ආගමද වැළදගෙන රජයේ තාන්න, මාන්න ලබා ගත්තේය. බටහිර ක්‍රමයට හැඩ ගැසුණු මේ අය සිංහල භාෂාව, සිංහල සිරිත් විරිත් හා බුදුදහම පිළිබඳ කිසිදු තැකීමක් නොකර කළු සුද්දන් බවට පත්විය.

    1864 සැප්තැම්බර් 17 දිනදී මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා හේවාවිතාරණ දෙපළට දොන් ඩේවිඩ් හේවාවිතාරණ ළදරුවා මෙළොව උපන්නේ මෙවැනි වාතාවරණයක් රට තුළ පැවති යුගයකදීය.

    බෞද්ධ පාසල් නොතිබූ මේ සමයේ ඩේවිඩ් හේවාවිතාරණ දරුවා දෙමටගොඩ බැප්ටිස්ට් පාසල, කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා කෝට්ටේ ක්‍රිස්තු විද්‍යාලය යන පාසල් වලින් ඉංග්‍රීසී අධ්‍යාපනය ලැබූ අතර කොළඹ විද්‍යෝදය පරිවෙනාධිපති හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ගෙන් සිංහල, පාලි හා බුදු දහම ඉගෙනීමටද ඔහු පෙළඹුණි.

    මේ කාලයේදී බෞද්ධයන් හා ක්‍රිස්තු භක්තිකයන් අතර පානදුරා වාදය නමින් ආගමික වාදයක් පැවැත්වුණු අතර මේ වාදයේ බෞද්ධ පක්ෂයේ නායකත්වය ගෙන කටයුතු කළේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ය. මෙහිදී සිදු වූ තවත් වැදගත් සිදුවීමක් වන්නේ පානදුරා වාදයේ වාර්තා කියවූ ඇමෙරිකානු ජාතික හෙන්රි ඕල්කට්තුමා බුදු දහම හැදෑරීමට ශ්‍රී ලංකාවට පැමිණීමයි.

    එකල බෞද්ධ දරුවන්ට පාසල් නොතිබුණු බව දුටු ඕල්කට්තුමා පරම විඥාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා ඒ මඟින් බෞද්ධ පාසල් ආරම්භ කිරීමට පටන් ගත් අතර එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් ආනන්ද, නාලන්ද, ධර්මරාජ, සංඝමිත්තා, මහින්ද වැනි උසස් බෞද්ධ විද්‍යාල ශ්‍රී ලංකාවේ බිහිවිය.

    මේ කාලයේදී ඩේවිඩ් හේවාවිතාරණ තරුණයාට රජයේ ලිපිකරු රැකියාවක් හිමිවූ අතර එකල ඉංග්‍රීසී ආණ්ඩුව යටතේ ලිපිකාර රැකියාවක් ලැබුණේද ඉංග්‍රීසී අධ්‍යාපනයක් ලද අයට පමණි. එහෙත් ඔහු “මම ඉංග්‍රීසී අධිරාජ්‍යයවාදීන්ගේ ගැත්තෙක් නොවෙමි” යි කියා එම රැකියාව අත්හැර දමා ඕල්කට්තුමාගේ ආගමික හා සමාජ කටයුතුවලට සහය විය. පසුව ඔහු තමාගේ සම්පූර්ණ කාලයම පරම විඥාර්ථ සමාගමේ පාසල් කටයුතු සඳහාත් එම සමාගම ආරම්භ කළ ‘සරසවි සඳරැස’ පත්‍රයේ කටයුතු සඳහාත් යෙදවීය.

    1894 දී ඉන්දියාවේ පැවිති පරම විඥාර්ථ සමාගමේ සංවත්සරික උත්සවයටද හේවාවිතාරණ සහභා‍ගි විය. ආපසු පැමිණි ඔහු ‘ඩේවිඩ්’ යන තම ඉංග්‍රීසී නම අතහැර ඒ වෙනුවට ‘ධර්මපල’ යන නම භාවිතයට ගත් පසුව අනගාරික ධර්මපාල ලෙසින් එතුමන් හැඳින්වුණි.

    මේ කාලයේදී ඕල්කට්තුමා දිවයිනේ ධර්ම ප්‍රචාර කටයුතුවල යෙදී සිටියේය. ඕල්කට්තුමාගේ ඉංග්‍රීසී කථා සිංහලට පරිවර්ථනය කළේ අනගාරික ධර්මපාලතුමා ය. දක්ෂ කතිකයෙකු වූ එතුමාද ජාතික සිරිත් විරිත් හා ආර්ය සිංහල නම් භාවිතා කිරීමේ අගය පහදා දෙමින් කතා පැවැත්වීය. එතුමාගේ කතාවලින් බොහෝ විට සිංහලයන්ගේ නිවට ගති හා උදාසීන කම් නිග්‍රහයට ලක් විය. සමහර විට එතුමා වැරදි හා නිවට කම් දුටු තැන බැණ වැදුණේය.

    1890 දී දඹදිව බුද්ධගයාවට වන්දනාවේ ගිය එතුමා හින්දු දේවාලයක් මෙන් හින්දු පූජකයින් යටතේ තිබූ බුද්ධගයා විහාරය දැක කම්පාවට පත් විය. ඉක්බිති එතුමා “සිංහලයිනි නැගිටිව්, බුද්ධගයාව බේරාගනිව්” යනුයෙන් අලුත් සටනක් ආරම්භ කළේය. 1891 දී මහබෝධී සමාගම අරඹන ලද්දේත් මේ සඳහාය. බුද්ධගයාව බෞද්ධයින්ට ලබාගැනීමේ සටනට ලෝවැසියන්ගේ අනුග්‍රහය ලබා ගැනීම සඳහා එතුමා ඉංග්‍රීසීයෙන් බුඩිස්ට් (බෞද්ධයා) නමැති සඟරාව ආරම්භ කළ අතර පසුකාලයේ ‘මහබෝධී’ නමින් ප්‍රචාරය වූයේත් මේ සඟරාවමයි.

    හින්දු පූජකවරුන් බුද්ධගයාව බෞද්ධයන්ට දීමට එරෙහිව ධර්මපාල තුමාට නොයෙක් හිරිහැර කළත්, නීති මාර්ගයෙන් කටයුතු කළ ධර්මපාලතුමාට අවසානයේදී ජය අත්විය. උසාවිය විසින් බුද්ධගයාව බෞද්ධයන්ට අයත් බව ප්‍රකාශ කළ පසුව 1896 දී ප්‍රථම වරට එහි වෙසක් උත්සවයක් පැවැත්වීමට ධර්මපාලතුමන්ට හැකිවිය.

    1906 දී බෞද්ධ මහජන මතය ප්‍රචලිත කිරීමට ධර්මපාලතුමා ‘සිංහල බෞද්ධයා’ පත්‍රය ආරම්භ කළ අතර එතැන් පටන් 1931 දක්වාම එතුමා ජාතික ආගමික කටයුතුවලට කැප වී වැඩ කෙළේය.

    එකල සිදුකළ අමද්‍යප සටනේද ධර්මපාලතුමන් මූලිකත්වය ගෙන කටයුතු කළේය. ගවමස් කෑමට ද එතුමා තදින් විරුද්ධ විය. එතුමාගේ ප්‍රචාරක රථයේ ‘හරක්මස් නොකනු’ යන පාඨය ප්‍රදර්ශනය කළ අතර හරක්මස් කන්නන් හා රා බොන්නන් එතුමා සැලකුවේ වසලයන් ලෙසිනි.

    1915 දී ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් සිරභාරයට ගනු ලැබූ ධර්මපාලතුමන් අවුරුදු 07ක් නිවාස අඩස්සියේ සිටි අතර එම කාලයද ආගමික කටයුතු සඳහා එතුමා යොදා ගත්තේය.

    එතුමන් නිරන්තරයෙන් පැවසූවේ තම ආගම, ජාතිය පිළිබඳ අභිමානය පිළිඹිඹු කරන වදන්ය.

    “සිංහල ජාතිය වෙනුවෙන් දිවි පුදන්නට මම සැරසී සිටිමි.”

    “මගේරට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව කියා වටිනා රත්න හතරක් මට තියෙනවා. ඒ රත්න හතර ආරක්ෂා කර ගැනීම මගේ යුතුකමයි.”

    “සිංහල බෞද්ධ දරුවනි, දිවි යතත් බොරුවක් නොකියන්නට අධිෂ්ඨාන කර ගනිමු.”

    “දිවා රෑ දෙක්හී සිංහලයන් වීරීය කළොත්, වර්ෂයක් තුළ සිංහල ජාතිය දියුණු අඩියකට පමුණුවා ගත හැකිය. එබැවින් සිංහලයෙනි, වීරියෙන් කටයුතු කරව්.”

    “සිංහලයන්ට විස මත්පැන් බොන්නට දී සිංහලයන් නැති කළ සුද්දා අපේ පරම්පරා හතුරකු ලෙස මම සලකමි.”

    “වරද දුටු තැන පෙන්වා දීම මගේ ගතියයි. මගේ අවවාද පිළිගැනීමට අසතුටු නම් ඒ බව දැන් වූ විට මට වෙන රටකට ගොස් සිටිය හැකිය”

    1931 වර්ෂයේදී ඉන්දියාවට ගිය අනගාරික ධර්මපාලතුමා එතුමාගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ වුණු මූලගන්ධි කුටි විහාරයේදී “සිරි දේවමිත්ත ධර්මපාල” නමින් පැවිදි වී, 1932 දී උපසම්පදාව ද ලැබීය. වැඩිකල් නොගොස් අසනීපයට පත් වූ උන්වහන්සේ 1933 අප්‍රේල් 29 වන දින අපවත් වූහ. ‘බුදුදහම ලෝකයේ ප්‍රචාරය කිරීම සඳහා තවත් 25 ස් වතාවක්වත් යළි උපදීවා’ යි එතුමා අවසානයේ ප්‍රාර්ථනා කළ බව සඳහන් වේ.

    අද වන විට ලොව පුරා බෞද්ධ විහාරස්ථාන ස්ථාපිතව මෙන්ම බටහිර ජාතීන් පවා බුදු දහම කෙරෙහි අවධානය යොමු කර ඇත්තේ එදා ධර්මපාලතුමා දියත් කළ ශාසනික ධර්මදූත මෙහෙවර නිසාය. ජාතිකත්වයේ පියාවන අනගාරික ධර්මපාලතුමන්ගේ 154වන ජන්ම දිනය අද (සැප්තැම්බර්17) වනදාට යෙදී තිබේ. එතුමා අප රට වෙනුවෙන් කළ සේවයට අප සැමගේ ආචාරය පළකළ යුතුය.


    source - nethgossip
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif