| උපාරම්භචිත්තෝ දුම්මේධෝ සුණාති ජිනසාසනං | |
| ආරකා හෝති සද්ධම්මා නභසෝ පඨවී යථා | |
360. මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා ධර්මයෙන් ඈත ඉන්න කෙනෙක්. අහසට පොළොව වගෙයි.
| 361. | උපාරම්භචිත්තෝ දුම්මේධෝ සුණාති ජිනසාසනං |
| පරිහායති සද්ධම්මා කාළපක්ඛේව චන්දිමා |
361. මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා පිරිහිලා යන කෙනෙක්. කලුවර වේගෙන යන සඳක් වගේ.
| 362. | උපාරම්භචිත්තෝ දුම්මේධෝ සුණාති ජිනසාසනං |
| පරිසුස්සති සද්ධම්මේ මච්ඡෝ අප්පෝදකේ යථා |
362. මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා සද්ධර්මයෙන් ඈත්වුණ වේලිලා ගිය කෙනෙක්. දිය සිඳුණ තැනක ඉන්න මාළුවෙක් වගේ.
| 363. | උපාරම්භචිත්තෝ දුම්මේධෝ සුණාති ජිනසාසනං |
| න විරූහති සද්ධම්මේ ඛෙත්තේ බීජංව පූතිකං |
363. මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා ධර්මය තුළ වැඩෙන කෙනෙක් නොවේ. කුණු වෙච්ච පැලයක් කුඹුරක හිටෙව්වා වගේ.
| 364. | යෝ ච තුට්ඨේන චිත්තේන සුණාති ජිනසාසනං |
| ඛෙපෙත්වා ආසවේ සබ්බේ සච්ඡිකත්වා අකුප්පතං |
| පප්පුය්‍ය පරමං සන්තිං පරිනිබ්බාති අනාසවෝ’ති |
364. එහෙත් නුවණැති තැනැත්තා සතුටු සිතිනුයි බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙ. එයා ආශ්‍රවයන් නැති කරලා දානවා. අමා නිවන සාක්ෂාත් කරනවා. පරම ශාන්තියට පැමිණෙනවා. නිකෙලෙස් සිතින් පිරිනිවන් පානවා.
ඉත්ථං සුදං ආයස්මා යසදත්තෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.
මෙය වනාහී ආයුෂ්මත් යසදත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය