නවදැලිහේනක පෑව වැඳිරි රුව මැනීම.
නවදැලිහේනක පෑව වැඳිරි රුව, සෝමතිලක ජයමහ ශූරින්ගේ ලස්සන සින්දුවක් මේක අහලා නැති අයෙක් නැහැ. සින්දුව ලියලා තියෙන්නෙ බෞද්ධ සාහිත්‍යයේදී අපට හමුවන නන්ද හාමුදුරුවන්ගේ හා ජනපද කල්‍යාණිගේ කථාව මුල් කරගෙන. නන්ද හාමුදුරුවෝ ජනපද කල්‍යාණියට, මහණ වීමෙන් පස්සෙත් බැඳිලා ඉදියා. ඒ නිස මහණදම් පුරාගන්න බැරුව තීරණේ කලේ උපැවිදි වෙන්න. මේ ගැන බුදුරජාණන්වහන්සේට දැන්වුවාම උන්වහන්සේ නන්ද හාමුදුරුවොත් කථා කරගෙන දිව්‍ය ලෝකයට වැඩම කලා. ඒ වඩින අතරේ දී පිච්චිලා ගිය හේනක තිබුන වඳුරු රූපයක් නන්ද හාමුදුරුවන්ට දකින්න ලැබුනා. දිව්‍යාංගනාවෝ දැක්කම නන්ද හාමුදුරුවෝ කිව්වේ ඒ අයත් එක්ක බැලුවම ජනපද කල්‍යාණිය හරියට අතර මගදී දැක්ක දැවුන හේනෙ හිටපු වැඳිරිය වගේ කියලා. ඉතින් මේ කතාව මුල් කරගෙන ඔය සින්දුව ලියලා තියෙනවා. නමුත් සිංදුවෙ කතාව, බෞද්ධ සාහිත්‍යයේ කතාවට වඩා ටිකක් වෙනස්. අපි ඒ කතාව ගැන විතරයි කථා කරන්නේ අද. මේ කතාව මතක් කරලා බලන්න. නන්ද හාමුදුරුවෝ දිව්‍යාංගනාවක් සමග ජනපද කල්‍යාණිව සසඳනවා නැත්නම් මනිනවා ඔබට පෙනෙනවා ඇති. එසේ මැන්නම තමයි ජනපද කල්‍යාණිගෙ රූපය වැඳිරියගේ රූපයට සමාන වෙන්නේ.
මේ මැනීම, නැත්නම් මේ ගැලපීම අපේ හිතේ ස්වභාවයක්. මේ ස්වභාවය නිසා අමුතු අමුතු දේවල් අපිට ලැබෙනවා. නිදසුනකට හිතලා බලන්න ඔබ කන බත් පිඟාන ගැන. ඔබ අද කන බත් පිඟාන අතට අරන්, බත් කටක් ව්‍යංජන එක්ක මිශ්‍ර කරලා කටට දාගත්තම එක සැරේටම ඒ බත් කටේ රස එක්ක, තව දෙයක් සිහියට එන්නේ නැත්ද? දෙයක රස නීරස අපි තීරණය කරන්න මේ ගැලපීම යොදා ගන්නේ නැද්ද? කාවහරි ආශ්‍රය කරද්දී අපි ගැලපීම කරන්නෙ නැද්දෙ? හුඟක් වෙලාවට නෙමෙයි, ජීවිතයේ හැම අවස්ථාවකදීම පාහේ අපි මේ ගැලපීම කරනවා. ඒ ගැලපීම හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ අතීත අත්දැකීමක් එක්ක. අද කන මාළු හොද්දේ රස එක්ක ගලපන්නෙ ඊයෙ කාපු මාළු හොද්දේ රස. අද කියවන පොතත් එක්ක ගලපන්නෙ ඊයෙ කියවපු පොත.
මෙන්න මේ ගැලපීම අපේ හිත කරන්නේ අපිට දැනුවත්වවත් නොවේ. ඒ නිසා අපි එහෙම ගැලපීමක් වෙන බව දන්නේ නැහැ. අපි දන්නෙ ඒ ගැලපීම නිසා ලැබෙන ප්‍රතිඵලය ගැන විතරයි. ඒක නිසා කලින් අත්දැකීමක් හේතුවෙන් අපේ වර්තමානය විඳින්න අපිට නොහැකිවෙන අවස්ථා ඉතා වැඩියි. ඒ නිසා ඇතිවෙන්නෙ අතෘප්තිය. ඒ අතෘප්තියට හේතුව අතීත අත්දැකීම සමඟ වර්තමානය ගැලපීම හා එහෙම ගැලපීමක් වෙන බව නොදැනීම.
මේ අතෘප්තිය ලස්සන අවස්ථා ජීවිතයට අහිමි කරනවා. අපෙන් ඈත් කරනවා. අසහනයට පත් කරනවා. පීඩනයට පත් කරවනවා.
බුදුදහම මෙන්න මේ අතෘප්තියට පිළියම් ලබාදෙනවා. යෝනිසෝ මනසිකාරය. ඔබට ගැලපීමක් සිදු වූ බව දැනගැනීමට එහෙම දෙයක් වෙන බව දැනගන්න ඕන. ඒකට සිත වැඩකරන ආකාරය දැන සිටිය යුතුයි. නිදසුනකට අද කන පරිප්පු හොද්ද සැලකීමට ගන්න. ඒ පරිප්පු හොද්ද රස නෑ කියලා ඔබට දැනේවි. ඒ රස නෑ කියලා දැනෙද්දීම ඔබ දැනගන්න දේ තමයි, කලින් දවසක කාපු පරිප්පු හොද්දක් එක්ක ඔන්න අද පරිප්පු හොද්ද ගැලපුනා කියන එක. දැන් ඔබට තීරණය කල හැකි එදා පරිප්පුව අද කනවද නැත්නම් අද පරිප්පුව අද කනවද කියලා. වැඩිපුරම කන්නේ එදා පරිප්පුව. අද පරිප්පුව නෙමෙයි. ඉතින් අද පරිප්පුව රස නෑනේ. නීරස දෙයක් කද්දී තෘප්තියක් දැනේවිද? ඒත් අපි දැනගතහොත් එදා පරිප්පුවයි අද පරිප්පුවයි ගැලපුනා, එදා එක දැන් විදලා ඉවරයි. මේ අද පරිප්පුව, දැන් මේක කනවා. මේ මේක රස කියලා. එතකොට තත්වේ වෙනස් වෙන්න පුළුවන්. නිකමට මේ දේ ගැන හිතලා, කරලා බලන්න.
බුදුරජාණන් වහන්සේ දේශන කරන්නෙ අතීතයේවත්, අනාගතයේවත් ජීවත්වෙන්න ඒපා වර්තමානයේ ජීවත් වෙන්න කියලා. ඒක කරන්න තියෙන එක විදියක් තමයි මේ ගැලපීම නැතිව ජීවත්වෙන එක. ඒක ඉතින් ඔබට බාරයි.