නව අරහාදී බුදු ගුණ අතරින් පළමු බුදු ගුණය අරහං බුදු ගුණයයි

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    නව අරහාදී බුදු ගුණ අතරින් පළමු බුදු ගුණය අරහං බුදු ගුණයයි. "සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් ද කෙලෙස් සතුරන් නැසූ හෙයින් ද සංසාර චක්‍රයෙහි අවිද්‍යා ආදී අරයන් සිඳ දැමූ හෙයින් ද සියලු දෙව් මිනිසුන්ගේ ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වූ හෙයින් ද රහසින්වත් පව් නොකරන හෙයින් ද බුදු රජාණන් වහන්සේ අරහං නම් වන සේක" යන පාඨය කට පාඩමින් කීමට බොහෝ සැදැහැවත් බෞද්ධයන් දනී. පන්සලේ ස්වාමීන් වහන්සේ විසින් සැදැහැවතුන් බුදු ගුණ භාවනාවේ යෙදවීමේ දී බොහෝ විට මුලින්ම දේශනා කරන පාඨයද මෙයයි. බුදු ගුණ භාවනාව වැඩීමේදී එක් එක් බුදු ගුණය පිළිබඳ මෙසේ මාතෘකා පාඨ වශයෙන් පමණක් දැන සිටීම ප්‍රමාණවත් නොවේ. සැබෑ ලෙසෙම බුදු ගුණ භාවනාව වැඩීමට නම් එක් එක් මාතෘකා පාඨ වලින් දක්වා ඇති ගුණ සමුදාය විස්තර වශයෙන් දැන, ඒවා හදවතින් මෙනෙහි කරමින් බුදු රජාණන් වහන්සේ කෙරෙහි අපරිමිත වූ ශ්‍රද්ධාවක් උපදවා ගත යුතුය. අරහං බුදු ගුණය මෙනෙහි කිරීමේදී අප විසින් සවිස්තරාත්මකව දැන සිටිය යුතු කරුණු මොනවාදැයි දැන් අපි සලකා බලමු.

    කෙලෙස් සතුරන් නැසූ හෙයින් බුදු රජාණන් වහන්සේ අරහං නම් වන සේක. සම්මා සම්බුද්ධත්වයට පත් වීමේදී බුදු රජාණන් වහන්සේ විසින් සියලුම ක්ලේශ ධර්මයන් නැවත නූපදින ආකාරයෙන් සදහටම නසා දමන සේක. ක්ලේශ ධර්මයන් 1500 කට වඩා වැඩි ප්‍රමාණයක් සත්වයා තුළ පවතින බව පොත් පත් වල දක්වා ඇත. ලෝභය, ද්වේෂය, මානය, අති මානය, මසුරු බව, වෛරය, ක්‍රෝධය, නොරිස්සුම, ඊර්‍ෂ්‍යාව ආදී වූ මේ සියලුම කෙලෙස් සදහටම නසා දැමූ සිතක් කෙසේ නම් විය හැකිද? එය කෙතරම් උත්තරීතර, පාරිශුද්ධ වූ සිතක් විය යුතුද? ඔබට මින් එක් ක්ලේශ ධර්මයක් හෝ මුලු ජීවිත කාලය පුරාවටම නැවත නූපදින පරිදි නසා දැමිය හැකිද? රහතන් වහන්සේ නමක්ද සියලු කෙලෙසුන් නසා දමන මුත් බුදු රජාණන් වහන්සේගේ කෙලෙස් ප්‍රහීණ කිරීම ඊටත් වඩා සුවිශේෂ වූවකි. බුදු රජාණන් වහන්සේ වාසනා ගුණයන් සහිතවම කෙලෙස් දුරු කරන සේක. එනම්, අතීත භවයන්හි පටන් පැවති සංසාර පුරුදු ආදිය සම්මා සම්බුද්ධත්වයට පත් වීමේදී සම්පූර්ණයෙන්ම දුරු කරන සේක. බුදු රජාණන් වහන්සේ විසින් සම්මා සම්බුද්ධත්වයට පත් වීමේදී මෙසේ සියලුම කෙලෙස් සතුරන් නසා දමන්නේ කෙසේද? බුදු රජාණන් වහන්සේ විසින් මේ ලෝකය තුළ පවතින ජීවී, අජීවී සියලු දෑ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ද, නාම, රූප ධර්ම වශයෙන් ද, පංචස්කන්ධ ධර්ම වශයෙන් ද, සලායතන වශයෙන් ද, ධාතු වශයෙන් ද, පටිච්ච සමුප්පාද ධර්ම වශයෙන් ද, චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් ද අවබෝධ කිරීමෙන් සියලු කෙලෙසුන් ප්‍රහීන කරන සේක.

    "සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් ද බුදු රජාණන් වහන්සේ අරහං නම් වන සේක." බැලූ බැල්මටම මෙම කරුණ පෙර සඳහන් කළ කරුණම යැයි කෙනෙකුට සිතිය හැකි නමුත් මෙම කරුණු දෙක අතර සියුම් වෙනසක් ඇත. පළමු කරුණ අනුව බුදු රජාණන් වහන්සේ බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වන අවස්ථාවේදී ලද අවබෝධය අනුව සියලු කෙලෙස් සතුරන් නසා දමන ලදී. ඒ සමගම, එහි විපාක ශක්තියක් හෝ ආනිසංශ වශයෙන් බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. එතැන් පටන් මුලු බුද්ධ ජීවිතය තුලම බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සිතක් සහිතව වැඩ සිටි සේක. අවිද්‍යාව දුරු කිරීමත් සමගම සංස්කාර නිරෝධ වේ. ඒ සමගම බුදු රජාණන් වහන්සේ තුළ චලන්ග උපෙක්ෂාව සහිත විමුක්ත සිත පහළ වේ. එම විමුක්ත සිතට කිසිවක් කෙරෙහි ඇලීමක්, ගැටීමක් හෝ උපාදානයක් ඇති නොවේ. ඇස, කන, නාසය ආදී ඉන්ද්‍රියන් හමුවේ ඇති වන සෑම අරමුණක් කෙරෙහිම මධ්‍යස්ථ භාවය එනම් චලන්ග උපෙක්ෂාවම පවතී. සියලු අරමුණු හමුවේ විමුක්ත සිත නිසලවම පවතී. ඇති වන කිසිම සිතුවිල්ලක හෝ මම, මගේ යන හැඟීමක් හෝ අහන, දකින, බලන, සිතන පුද්ගලයෙක් සිටී යයි යන හැඟීමක් නොපවතී. හුදු නාම ධර්මයන්ම හේතු ඵල ධර්ම අනුව ඇතිවී නැතිවී යාම හැර වෙන කිසිවක් සිදු නොවන බව අත් දකිමින් එම විමුක්ත සිත නිසලව පවතී. මෙසේ පවතින බුදු රජාණන් වහන්සේගේ සිත වික්ෂිප්ත කිරීම කිසිවෙකුටත් කල නොහැකිය. එබදු චිත්තේශ්වර භාවයක් සහිත වූ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ බුදු රජාණන් වහන්සේ අරහං නම් වන සේක.

    "සංසාර චක්‍රයෙහි අවිද්‍යා ආදී අර සිඳ දැමූ හෙයින් ද බුදු රජාණන් වහන්සේ අරහං නම් වන සේක." සියලුම බුදු වරුන් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ පටිච්ච සමුප්පාද ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ප්‍රතිවේද කිරීමෙනි. මෙම පටිච්ච සමුප්පාද ධර්මයන් කවරේද යන්නත්, එමගින් සත්වයා කිසිදා නොනවතින සංසාර චක්‍රයක් නොදැනුවත්වම ක්‍රියාත්මක කරන ආකාරයත්, එම සංසාර චක්‍රය බිඳ දැමීමට සුනු විසුනු කළ යුතු අවිද්‍යා ආදී දොලොස් අරයන් සිඳ දමන ආකාරයත් බුදු රජාණන් වහන්සේලා විසින් තම නුවණින්ම අවබෝධ කර ගන්නා සේක. "අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ, විඤ්ඤාණ පච්චයා නාම රූපං ආදී වශයෙන් හේතූන් නිසා ඇති වන ඵලයත්, එම ඵලය හේතුවෙන් නැවත හට ගන්නා තවත් ඵලයක් ආදී වශයෙන් පටිච්ච සමුප්පාද ධර්මය ක්‍රියාත්මක වන තාක් සත්වයා නොනවතින සංසාර ගමනක යෙදෙන බව අවබෝධ කර ගන්නා බුදු රජාණන් වහන්සේ සසර ගමන නවතා දැමීමට නම් අවිද්‍යාව මුලිනුපුටා දැමිය යුතු බව පසක් කර ගනී. ඒ අනුව, බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වීමේදී විදර්ශනා භාවනාව තුලින් අවිද්‍යාව සහමුලින්ම උදුරා දමා, සංසාර චක්‍රයෙහි සියලු අර සිඳ බිඳ දමා ඒ අති උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගත් සේක. එබැවින් ද බුදු රජාණන් වහන්සේ අරහං නම් වන සේක.

    "බුදු රජාණන් වහන්සේ සියලු දෙව් මිනිසුන්ගේ ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වූ හෙයින් ද අරහං නම් වන සේක." බුදු රජාණන් වහන්සේ ලද ආමිෂ පූජාවන්ගේ නිමක් නැත. 54 කෝටියක් වැය කර සාදා පූජා කල ජේතවනාරාමය, 27 කෝටියක් වැය කර සාදා පූජා කල පූර්වාරාමය, නිග්‍රෝධාරමය, ඝෝෂිතාරාමය ආදී ආරාම පූජා ද, 18 කෝටියක් වැය කර කොසොල් රජතුමා විසින් පිරිනමන ලද අසදෘෂ මහා දානයද, අනෙකුත් රජවරු, සිටුවරු හා ප්‍රභූන් විසින් පිරිනමන ලද අප්‍රමාණ වූ දාන වස්තූන්ද, අද දක්වාම පූජා කරන සුවඳ මල්, පහන් ආලෝක පූජා, සුවඳ දුම් පූජා, බුද්ධ පූජා, ගිලන්පස පූජා, සිවුරු, අටපිරිකර පූජා ආදී නිමක් නැති ආමිෂ පූජාවන්ද මේ අතර වේ. සම්බුද්ධ පරිනිර්වාණයෙහ් අවුරුදු දෙදහස් ගණනක් ගතවී ඇතත් අද දක්වාම බුදු රජාණන් වහන්සේට කරන ආමිෂ පූජාවන්ගේ කෙළවරක් නැත. තවත් අවුරුදු දහස් ගණනක් ඉදිරියටද මෙසේ පූජාවන් ලබන බුදු රජාණන් වහන්සේ තවත් කල්ප ගණනක් ගත වූ පසු ද වෙනත් සම්මා සම්බුදු සසුනක් ලොව බබළන කළ අට විසි බුද්ධ පූජා ආදී වශයෙන් නිරන්තරයෙන් පූජවන්ට ලක් වන සේක. කල්ප දහස් ගණනක් ගිය පසුත් මේ සා පූජා ලබන්නට බුදු කෙනෙකුන්ම හැර වෙන කවරෙක් නම් සමත් වේද? බුදු රජාණන් වහන්සේ උදෙසා ප්‍රතිපත්ති පූජා කරන පිරිස ද අති මහත්ය. මහා සංඝ රත්නය, භාවනා වඩන යෝගාවචරයින්, පන්සිල් සුරකින උපාසක උපාසිකාවන්, ධර්ම දේශකයාණන් වහන්සේලා ආදී වශයෙන් බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන සියලු දෙනා බුදු රජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරන්නෝ වෙති. දිව්‍ය ලෝක වල වැඩ වෙසෙන සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා ද නිරන්තරයෙන් බුදු රජාණන් වහන්සේ ප්‍රතිපත්ති පූජාවන් පුදති.බුදු රජාණන් වහන්සේට පහන් සිතින් පූජා කරන්නන්ට අප්‍රමාණ වූ කුසල් රැස් වේ. එම කුසල්, මෙලොව සැප සහ පරලොව සුගති සැප පිණිස ද අජරාමර වූ නිවන් සැප ලබා ගැනීම පිණිසද හේතු වේ. පූජා කරන්නන්ට මෙලොව පරලොව සැප සහ අමා මහ නිවන් සුව ලබා දීමට බුදු රජාණන් වහන්සේ හැර අන් කවරෙක් නම් සමත් වේද? එනිසාම බුදු රජාණන් වහන්සේ දෙව් මිනිසුන්ගේ ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් ලැබීමට ඉතාමත්ම සුදුසු වන සේක. එබැවින් ද බුදු රජාණන් වහන්සේ අරහං නම් වන සේක.

    "රහසින්වත් පව් නොකරන හෙයින් ද බුදු රජාණන් වහන්සේ අරහං නම් වන සේක." බුදු රජාණන් වහන්සේ මුලු බුද්ධ ජීවිතය තුළම පරිශුද්ධ කාය සමාචාර, පරිශුද්ධ වචී සමාචාර සහ පරිශුද්ධ මනෝ සමාචාර වලින් යුක්ත වූ සේක. බුදු රජාණන් වහන්සේ සියලුම කාය, වචී, මනෝ කර්ම පූර්ණ සතියෙන් යුතුවම නුවණ පෙරදැරිවම සිදු කරන ලද සේක. බුදුන් වහන්සේ සිදු කරන ලද එකදු ක්‍රියාවක් හෝ, කියන ලද එකදු වදනක් හෝ අඩු තරමින් සිතන ලද එකදු සිතුවිල්ලක් හෝ "මෙය අන් අය නොදකීවා" යයි සිතීමට තරම් නොවීය. බුදු රජාණන් වහන්සේ එතරම්ම පිරිසිදු වූ කාය, වචී, මනෝ සමාචාර වලින් යුක්ත වන සේක. මෙය බුදු කෙනෙකුන්ම හැර වෙන කිසිවෙකුටත් කළ නොහැකි අන්දමේ ආශ්චර්යවත් ජීවන පටිපදාවකි. ඔබට එක් දිනක් හෝ සියලුම කාය, වචී, මනෝ සමාචාර සම්පූර්ණයෙන්ම පිරිසුදුව තබා ගත හැකිද? බුදු රජාණන් වහන්සේ අති පාරිශුද්ධ වූ ජීවන රටාවකින් යුක්ත වූ සේක. කිසිවෙකුටත් බුදුන් වහන්සේ වෙත එලඹ ඔබ වහන්සේගේ මෙම කාය කර්මය නුසුදුසුය, මෙම ජීවන ප්‍රතිපදාව නුසුදුසුය යනාදී වශයෙන් කරුණු සහිතව පෙන්වා දීමට කිසිවක් නොමැතිය. මෙසේ රහසිනුද පවක් නොකළ බැවින් බුදු රජාණන් වහන්සේ අරහං නම් වන සේක.

    බුදු රජාණන් වහන්සේගේ බුදු ගුණ කියා නිම කළ නොහැකිය. සිතා නිම කළ නොහැකිය. එක් එක් පුද්ගලයාගේ ශ්‍රද්ධාව හා ප්‍රඥ්ඥාව අනුව බුදු ගුණ හදවතින් දකින ප්‍රමාණය හා නුවණින් අවබෝධ වන ප්‍රමාණය වෙනස් වේ. ඔබ බුදු ගුණ දකින ප්‍රමාණයට ඔබ බුදු රජාණන් වහන්සේ දකිනු ඇත. බුදු කෙනෙකුන්ගේ අපරිමිත වු බුදු ගුණ ස්කන්ධය ඒ ආකාරයෙන්ම අවබෝධ කර ගත හැක්කේ තවත් සම්මා සම්බුදු කෙනෙකුට පමණි. කෙසේ වෙතත් නිතර නිතර බුදු ගුණ මෙනෙහි කිරීමෙන් හා බුදු ගුණ භාවනාව වැඩීමෙන් කවර පුද්ගලයෙකුගේ වුවද ශ්‍රද්ධාව වැඩෙනු ඇත. එක් එක් බුදු ගුණය විස්තර වශයෙන් ගෙන විමර්ශනාත්මකව නුවණින් මෙනෙහි කිරීමෙන් එම ශ්‍රද්ධාව වඩාත් පුලුල් වූ අවබෝධාත්මක ශ්‍රද්ධාවක් බවට පත් කර ගත හැකිය. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීමට අවශ්‍ය මූලික අඩිතාලම මින් ඔබට ලැබෙනු ඇත. ශ්‍රද්ධාව පෙරදැරිව එම ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිස සමථ,විදරශනා භාවනා වඩා ඔබත් ඒ අති උතුම් වූ නිවනින්ම සැනසේවා...!!!

    තෙරුවන් සරණයි...!
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කොහෙන්ද කොපි කරේ.

    රේරුකානේ හාමුදුරුවන්ගේ සුවිසි මහ ගුණය පොතෙන්ද

    නැත්නම් සෝම හාමුදුරුවන්ගේ බුද්ධස්තුප පොතෙන් ද

    :D
     

    Similar threads