මං අදහස් කෙල් "නිදිවරාෙගන මල් කැඩීම" ගැන..
.
හෙහෙ. Planthis සහෝ කියන්නේ, අද කොල්ලෝ, කෙල්ලෝ මහ රෑ තිස්සේ phone එකෙන් කරන මල් කැඩීම ගැන වෙන්න ඇති. ඒත්, මම මේකෙන් අදහස් කරන්නේ එහෙම දෙයක් ගැන නෙමේ. එත්, මේක ආදරය ගැන තමයි (දුක්බර වුනත්).
සම්පූර්ණයෙන් කියවපු කෙනෙක්ට දැනෙනවා ඇති, මේ කියන පරිසරයේ තියෙන පාලු, මූසල බව. බස්සගෙ හ්ම් හඬ, තද සීතල ඒ බව කියා පානවා. නමුත්, මුල්ම පද දෙකින් කියවෙන ගෙම්බෙක් කෑගහන හඬ මම භාවිත කළේ ඒ කියන පරිසරයේ ස්වභාවය තහවුරු කරන්න නෙමේ. දෙවෙනි පදයේ "වර්ණයෙන්" කියලා තියෙන්නේ, පාට වලට නෙමේ. ගොඩක් දෙනෙක් දන්නව ඇති, සංගීතයේ වර්ණ කියන්නේ ස්වර රටා වලට කියලා. මේ මුල් පද දෙක ලියනකොට මම උපකල්පනය කරපු දෙයක් තමයි, ගෙම්බෙක්ගෙ හඬ එතරම් මිහිරි එකක් නොවන බව. (කට්ටිය මේ ගන කොහොම හිතයිද මම දන්නේ නෑ
.) ගෙම්බෙක්ගෙ හඬ ගැන එහෙම හිතන මට, ඒක අලංකාර ලෙසින් ඇසෙන්නේ කොහොමද?. කොහේ හරි වැරද්දක් වෙලාද?. පෙර නොවූ දෙයක්, දැන් එහිම අනිත් පැත්ත ලෙස මට පෙනෙන්න පටන් අරන් තියෙන්නේ ඇයි?. මේ පැහැදිලි කිරීම කියවල අවසන් වෙනකොට සමහරවිට ඔයාලට ඒක තේරුම් යාවි.
හතර වෙනි පදයේ, විෂම වුන දෙබිඩියාවක් ගැන කියවෙනවා. දෙබිඩියාව කියන්නේ ස්වභාවයෙන්ම නිශ්චිත නැති තත්වයක්. ඒ නිසා, දෙබිඩියාව කියන එක උපතින්ම විෂමයි/විවිධයි. එහෙනම් ඇයි එතන විශේෂයෙන් "විෂම" කියන වචනය යොදා ගෙන තියෙන්නේ?. හේතුව, හිතේ තියෙන අධික නොසන්සුන්තාවය, අවිනිශ්චිත බව හඟවන්න තමයි එහෙම යොදලා තියෙන්නේ. බස්සගේ හඬ ඇසීමෙන් ඒක සිදුවෙනවා කියල සඳහන් කරල තියෙන්නේ, උගේ හඬේ පවතින තත්වය තවත් අවුල් කරන ගුප්ත සහගත අනතුරක සේයාවක් ගැබ් වෙලා තියෙන නිසා. අධික සීතල සහිත රැයක් නොනිදා පහන් කිරීම පහසු වැඩක් නෙමේ. ඒත් එහෙම කරන්න නම්, ඒකට විශේෂ හේතුවක් තියෙන්න ඕනේ. මොකක්ද මේ හේතුව?. මාතෘකාවෙන් සහ අවසාන පදයෙන් කියවෙන විදියට මලක් නෙලා ගැනීම තමයි අරමුණ. නිදි වරාගෙන මේ සැරසෙන්නේ ඒකට තමයි. අවසන් පදයට පෙර පදයේ තියෙන "ඉච්ඡානුග අවිශ්වාස විලම්භනය" කියන වචනය සමහර අයට තේරුම් යන්නේ නැතුව ඇති කියල මම හිතන්නේ. නමුත්, මේ පදය තමයි බොහොම වැදගත්. හේතුව, මුලු නිර්මාණයෙනම කියන්න හදන දේ ඒ තුළ ගැබ් වෙලා තියෙනවා. මේ වචනයට අපේ මව් භාෂාවෙන්
lol
කියන්නේ, "Suspension of disbelief" කියලා. මේ වචනය, සාහිත්‍යය සහ කලා විෂයන් වලදි කියවෙන වචනයක්. සිංහල වචනයෙන්ම කියවෙන විදියට, අවිශ්වාසය විස්තාපනය නැත්නම් ඉවත් කර ගැනීම තමයි සරල අදහස.
ඉච්ඡානුග කියන්නේ අනුදැනුමින්/ඕනෑකමින් කරගන්නවා කියන එකයි. කට්ටියට මතකද දන්නේ නෑ, ඉස්කෝලෙදි විද්‍යාවට, ඉච්ඡානුග පේශී සහ අනිච්ඡානුග පේශී කියලා ඉගැන්නුවා. අන්න ඒක මතක් කර ගත්ත නම් තේරුම් ගන්න ලේසි වෙයි. පහත සම්බන්ධකයෙන්, කැමති කෙනෙක්ට මේ "ඉච්ඡානුග අවිශ්වාස විලම්භනය" කියන දේ ගැන තව දැන ගන්න පුලුවන්.
http://en.wikipedia.org/wiki/Suspension_of_disbelief
මම උදාහරණයක් දෙන්නම් මේ කුණුහරුපෙ තේරුම් ගන්න. හිතන්න අපි චිත්‍රපට නරඹන එක ගැන. අපි ඇත්ත ජීවිතයෙදි අත්නොදකිනා, අද්භූත, මායාකාරී දේවල් අපි ඒ නිර්මාණ මගින් දැක ගන්නවා. අපි දන්නවා, ඒ සියල්ල බොරු බව. නමුත්, අපි තාවකාලික රස වින්දනය සඳහා ඒ බව මොහොතකට අමතක කරනවා. මේ දේ, අපේ ජීවිත වලටත් කොයිතරම් සමීපද කියලා දැන් කට්ටියට තේරෙනව ඇති කියල මම හිතනවා. ඉතින්, අර පදයෙන් කියන විදියට, මම යථාර්තවත් නොවන, මිරිඟුවක් සැබැවින් සිදු වන්නක් බව හිතා ගෙන ඉන්නවා. වෙන විදියකට කියනව නම් ඒ මල නෙලා ගැනුම මට කරන්න බැරි වුනත්, මම ඒ බව අමතක කිරීමට උත්සහ කරමින් මල නෙලුමටම සැරසෙනවා. බලන්න අවසන් පදය. ඒ කියවෙන විදියට මල පිපෙන්නේ හෙට. නමුත්, මම ඒක නෙලා ගන්න මුලු රැයම අවදිව දුක් විඳිනව. මම මුලු රෑම අවදි වෙලා හිටියට වැඩක් නෑ, මල පිපෙන්නේ හෙට නිසා. හෙට වෙන කෙනෙක් ඇවිල්ලා ඒ මල නෙලා ගෙන යයි. බොරුවක් ගැන සිහින දකිමින් හිටපු මට, අන්තිමට ඉතිරි වෙන්නේ දුකකුත්, හිස් බවකුත් විතරයි. හ්ම්ම්, මේකත් මගේ "දිගන්තය අභිමුඛව" කියන එක වගේම පුදග්ලික අත්දැකීම් පදනම් කරගෙන ලියවුනක්. පැහැදිලි වුනාද දන්නේ නෑ.
මෙවැනි දේ, තම තමන්ගෙ රස වින්දනය අනුව රස විඳින්න තියෙන දෙවල් වුනත්, මේ වගේ දේවල් ලියන්න, කියන්න කැමති අයට පෙළඹවීමක් ඇති කරන්න තමා මේ විදියට යම් පැහදිලි කිරීමක් කළේ. නිදහස් රස වින්දනයට බාධාවක් වුනා නම් සමා වෙන්න ඕනේ.
කියෙව්වට බොහොම ස්තූතියි.
Last edited: