රාවණාගේ නිධානයක සැඟව තිබි සොයාගත් බව කියන සෙම්බුව කෝටි 25කට විකුණන්නට යද්දී කොටු කරගත් අයුරු
දිය උල්පතකින් උපන් කුඩා දිය පහරක් ලෙස ගල්තලා පසුකරමින් ගහකොළට ද පණ දෙමින් සතා සිවුපාවුන්ගේ පිපාසය සන්සිදුවාලමින් ගලා බසින රන්මුදු ඔය කොමළිය හැඩ වැඩ වෙන්නේ බලංගොඩ මොණරගම නියන්දගලදීය. ඒ රන්මුදු කොමළිය අඩි 147ක් පමණ ඉහළක සිට පෙන බිඳු නංවමින් කඩා හැලෙන්නේ නියන්දගලදී වන බැවිනි. රන්මුදු ඇල්ලට එම නම පටබැඳී ඇතැයි ජනප්‍රවාදයේ පැවැසෙන්නේ සීතාවක රාජසිංහ රජුගේ දියණිය මේ ඇල්‍ලේ දිය නෑමට පැමිණි අවස්්ථාවක ඇගේ මුදුව මේ ඇල්ලට වැටුණු නිසා බවය. එසේම මෙම ඇල්‍ලේ රාජසිංහ රජුගේ රන් මුතු මැණික් ඇතුළු විශාල වස්තුවක් සඟවා තිබූ බවට වන ජනප්‍රවාදයක්ද පවතී.
රන්මුදු ඇල්ල පාමුල ගල් වළවල් තුනක් ඇති බවටත්, ඒ වළවල් ඇති තැනින් රන් කෙන්ඩියක් පාවෙන බවටත්, රන් මුතු මැණික් ඇත්තේ එම කෙන්ඩිය පාවෙන තැන ඇති ගල්කුට්ටියක් යට බවටත් ජනප්‍රවාද කථා කොතෙකුත් තිබේ.
07-1එකී ජනප්‍රවාදවලට අනුව එම නිධන්ගත වස්තුව ගැනීමට නිකම්ම බැරිය. ඊට පුදපූජා පවත්වා යාග හෝම කර බිලි පූජාවක් කළ යුතුය. ඒ රාජසිංහ රජු එම වස්තුව ආරක්ෂා කරන්නට බහිරවයෙකුට භාරදී ඇති බැවිනි.
තවත් ජනප්‍රවාදයකින් කියැවෙන්නේ රන්මුදු ඇල්‍ලේ සඟවා ඇත්තේ රාවණාගේ වස්තුව බවය. රාවණාගේ බලය එහි ඇති බවද ඇතැම්හු විශ්වාස කරති.
එකී ජනප්‍රවාද ඔස්සේ යමින් රන්මුදු ඇල්‍ලේ ඇති බව සඳහන් එකී නිධානයට අත තබන්නට නිදන් හොරුන් කිහිප වතාවක්ම උත්සාහ දැරුවත් ඒ සියල්ල ව්‍යර්ථ වන්නේ ඇල්ල කඩා හැලෙන ප්‍රදේශය ආශ්‍රිතව ඇති ගම්මානවල ජීවත් වන ජනතාව සිය දිවි හිමියෙන් එම ස්ථානය ආරක්ෂා කරන්නට පෙළ ගැසී සිටි බැවිනි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ද වරක් රන්මුදු ඇල්ල අසලදී ගම්මුන් අතින් ගස් බැඳෙන්නේ ඒ අනුවය. ඔහු පාතාල අපරාධකරුවන් ලුහුබැඳ පහර දෙමින් කොළඹ නගරය පාතාල අපරාධකරුවන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමට දියත් කෙරුනු විශේෂ පොලිස් මෙහෙයුම් අංශයක් භාරව සිටි නිලධාරියෙකි. 2002 වසරේ අප්‍රේල් 22 වෙනිදා ඔහු ඉහත කී ආකාරයෙන් ගස් බැඳෙන්නේ කොළඹින් රැගෙන ගිය කණ්ඩායමක් සමග මෙම ස්ථානයේ පුද පූජා පවත්වමින් ගිනිඅවියක් ද අතැතිව සිටියදීය.
එය එසේ සිදුවූවත් ඔහු එදා නිදහස ලබන්නේ කොන්දක් නැති එවකට පොලීසියේ සිටි ඉහළ නිලධාරීන්ට පින් සිදුවන්නටය.
එකී අතීතය නැවත මෙසේ සිහිපත් කරන්නට සිදුවන්නේ රන්මුදු ඇල්‍ලේ ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වන නිධානයෙන් ගොඩගත් බව කියන යම් පුරාවස්තුවක් සමග යුද හමුදාවේ ආබාධිත කර්නල්වරයෙකු සහ ව්‍යාපාරිකයෙකු මේ වනවිට පොලීසියට කොටුවී ඇති බැවිනි. රුපියල් කෝටි 35 කට මිල කර ඇති එම පුරා වස්තුව ඔවුන් දෙදෙනා ජපන් ජාතිකයෙකුට අලෙවි කරන්නට සූදානම් වූ අවස්්ථාවේදී අත්අඩංගුවට පත්වන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමකටය. ඒ ඉකුත් 14 වෙනි සෙනසුරාදා වත්තල ප්‍රදේශයේ පිහිටි කන්ටේනර් රථ නැවතුම්ගාලක ඇති කාර්යාලයකදීය.
කළු ගලින් නිර්මාණය කරන ලද, නාග පෙන සලකුණු දෙකක් සටහන්ව ඇති එම පුරාවස්තුව පුන් කලසක හැඩැති, ඔටුන්නක් ලෙස හිසෙහිද පැළඳ ගත හැකි අපූරු වස්තුවකි. නමුත් එය හිසෙහි පැළඳ සිටින්නට නම් යෝධ බලයක් අවශ්‍යය. ඒ එය කිලෝ පහළොවක් පමණ බරකින් යුක්ත වන නිසාය. පුෂ්පරාග, රතු, නිල්, වෛරෝඩි, ආරනූල් වැනි වටිනා මැණික් ගල්, රිදී කම්බියෙන් ගෙත්තම්කර වටේට ඔබ්බවන ලද එම පුරාවස්තුව මිල කළ නොහැකි වටිනාකමක් ඇති, වසර අටසියයකට වඩා පෞරාණික එකක් බව මේ වනවිටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තහවුරුකර හමාරය.
හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටින, යුද්ධයෙන් ආබාධිත විශ්‍රාමික කර්නල්වරයා මිල කළ නොහැකි එම පුරාවස්තුවත් සමග ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කොටුවන්නේ එම පුරාවස්තුව අලෙවි කිරීමට ඔහු ගැනුම්කරුවෙකු සොයමින් සිටියදී ඒ බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කෙරුනු සංවිධානාත්මක වැටලීමක ප්‍රතිඵලයක් ලෙසින්ය. එම මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ මෙන්ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිස්ටගේ අධීක්ෂණයෙනි. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංක කරවිට, සහකාර පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක එම පොලිස් කණ්ඩායමට නායකත්වය ලැබෙන්නේ පොලිස් පරීක්ෂක සමන් කරුණාරත්නය. සැරයන්වරුන් වන දාස් ගුප්තා, චන්ද්‍රවංශ, කොස්තාපල්වරුන් වන හරිස්චන්ද්‍ර, කෝකිල, සෙනෙවිරත්න, ඉන්දික යන නිලධාරීන්ගෙන් සැදුම්ලත් පොලිස් කණ්ඩායම ව්‍යාපාරික වෙස්ගෙන මුලින්ම කර්නල්වරයාට කිට්ටු විය. ඔහුගේ සිත දිනාගැනීමෙන් අනතුරුව ව්‍යාපාරික කටයුත්තකට මෙහි පැමිණ සිටි හිතවත් ජපන් ජාතිකයෙකුව කෞතුක භාණ්ඩ රැස්කරන්නෙකු සේ කර්නල්වරයාට හඳුන්වාදෙන්නට පොලිස් කණ්ඩායම වගබලා ගත්තේය. කර්නල්වරයා පොලිස් ගැටයට හසුවිය. ජපන් ජාතිකයා මුදලින් රුපියල් කෝටි පහක් මුලින් දීමටත්, පුරාවස්තුව පරීක්ෂා කිරීමෙන් පසු ඉතිරි මුදල චෙක්පතකින් ලබා දෙන්නටත් එහිදී එකඟ වූයේය.
ගනුදෙනුව සිදුකෙරෙන තැන නියම කරන්නේ කර්නල්වරයාය. ඒ තැන වත්තල ප්‍රදේශයේ පිහිටි කන්ටේනර් අංගණයකි. එහි හිමිකරු මෙම ගනුදෙනුවේදී බ්‍රෝකර්වරයෙකු ලෙස පෙනී සිටි ව්‍යාපාරිකයෙකි. කන්ටේනර් අංගණයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක දෙවැනි මහල එදා වෙන්වන්නේ මෙම ගනුදෙනුව සඳහාය. ව්‍යාපාරික වෙස්ගත් පොලිස් නිලධාරීන්ද, ජපන් ජාතිකයාද නියමිත වේලාවට එහි එන්නේ කෝටි පහක මුදල් නෝට්ටු පුරවන ලද ගමන් මල්ලක්ද කරපින්නාගෙනය. කෝටි පහක් යැයි කීවාට සැබෑ ලෙසම එහි වූයේ උඩින් මුදල් නෝට්ටු තැබූ, නෝට්ටුවලට සමාන ලෙස කපන ලද කඩදාසි මිටි තොගයකි. එම මුදල් බෑගයට වහවැටුණු කර්නල්වරයා එතෙක් වේලා සිය මෝටර් රථයේ සඟවාගෙන සිටි පුරාවස්තුව එහි ගෙන ආවේ ඔහු සහ අතරමැදියෙකු ලෙස කටයුතු කළ ව්‍යාපාරිකයාද වෙස්වලාගෙන සිටි පොලිස් කණ්ඩායමේ අත්අඩංගුවට පත්වෙමිනි.
එම පුරාවස්තුවේ ඔබ්බවා ඇති මැණික් ගල්වල වටිනාකම පමණක් රුපියල් කෝටි ගණනක් බව බැලූ බැල්මටම එහිදී පොලිස් කණ්ඩායමට පෙනී ගියේය. එහි අල්ලා තිබුණු එක් ආරනූල් වර්ගයේ මැණික් ගලක ප්‍රමාණය බිත්තරයක ප්‍රමාණයට වඩා කුඩා වන්නේ ඉතා සුළු වශයෙනි. එම පුරාවස්තුව කර්නල්වරයා අතට පත්ව තිබුනේ ඔහුට හිතවත් තවත් ව්‍යාපාරිකයෙකු මගිනි. එම ව්‍යාපාරිකයා මෙරට ඉහළ දේශපාලනඥයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටියෙක් බව අනාවරණය වී ඇත. කර්නල්වරයා පුරාවස්තුව විකුණන්නට රැගෙන එන්නේ ද කඩුවෙල කොතලාවලපුර පිහිටි එම සම්බන්ධීකරණ ලේකම්වරයා පදිංචිව සිටි නිවසේ සිට බව හෙළිවී ඇත. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් එම සම්බන්ධීකරණ ලේකම්වරයාද සිය භාරයට ගන්නේ ඒ අනුවය. දීර්ඝ ලෙස ඔහුගෙන් ඒ ගැන ප්‍රශ්න කරනු ලැබිය.
ඔහු සඳහන් කර ඇති ආකාරයට එම පුරාවස්තුව ඔහු අතට පත්කර ඇත්තේ කට්ටඩියෙකු විසිනි. ගාල්ලේ වැසියෙකු බව සඳහන් වූ මෙම කට්ටඩියා රත්නපුර පැත්තේ මේ වන විට පදිංචිව සිටින බව සඳහන්ය. එකී පුරාවස්තුව ගොඩගත්තේ යැයි සඳහන් වන්නේ ඔහුය. විශ්‍රාමික මේජර්වරයෙකුගෙන්ද ඔහුට ඒ සඳහා යම් සහයක් ලැබි ඇත්තේය. සම්බන්ධීකරණ ලේකම්වරයාට කට්ටඩියා පවසා ඇති ආකාරයට අනුව පුරාවස්තුව ගොඩගත්තේ යැයි සඳහන් වන්නේ රන්මුදු ඇල්‍ලේ ගල්දොරක් විවරකරය. කට්ටඩියා කියා ඇති ආකාරයට අනුව මෙය රාවණාට අයත් සෙම්බුවකි. රාවණාගේ බලය කැටිකරගත් යම් තෛලයක්ද එහි අඩංගුය. පුරාවස්තුව තනි කළුගලකින් කළ නිර්මාණයක් වුවත් සෙලවීමේදී එහි අභ්‍යන්තරයේ යම් ද්‍රවයක සෙලවීමක් දැනෙන බවද පැවැසේ. එය තෛලයක්ද නැතිනම් වෙනත් ද්‍රාවණයක්ද යන්න තවම කිව නොහැකිය.
මෙම පුරාවස්තුව කඩා බිඳ එම ද්‍රාවනය පරීක්ෂා කරන්නටත්, මැණික් ගල් වෙන්කර විකිණීමටත් කර්නල්වරයාටත්, සම්බන්ධීකරණ ලේකම්වරයාටත් කිහිප වරක් සිතී තිබේ. නමුත් යම් විටෙක එවන් දෙයක් කරන්නට ගියහොත් ශාප ගෙනදේවි යැයි කට්ටඩියා ඔවුන්ට අනතුරු අඟවා තිබුණු බැවින් ඒ අදහස ඔවුන් අතහැර දමා ඇත. කට්ටඩියා මෙම පුරාවස්තුවෙන් ඔහුට අවශ්‍ය මිල නියමකර තිබුණේ කෝටි විසිපහකටය. කෝටි තිස්පහකට කර්නල්වරයා එහි මිල නියම කරන්නේ කෝටි විසිපහ කට්ටඩියාට දුන් පසු ඉතිරි මුදල සම සමව බෙදාගන්නට සිතාය.
පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇති ආකාරයට අනුව සම්බන්ධීකරණ ලේකම්වරයා එම කට්ටඩියාව දැනහඳුනාගෙන ඇත්තේ මෙයට වසර පහකට පමණ ඉහතදීය. ඒ හිතවත්කම දලුලා වැඩෙන්නේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ රත්නපුරයේ ඇති ඉඩම්වල මැණික් ඇති ස්ථාන ගුරුකම්වලින් පෙන්වන්නට මෙම කට්ටඩියා ඉදිරිපත්වීමත් සමගිනි. ඒ කටයුතුවලට පමණක් ඔහු කට්ටඩියාට ගාස්තු වශයෙන් රුපියල් කෝටි එකහමාරක් පමණ ගෙවා තිබිණැයි පැවැසේ. පුරාවස්තුව අලෙවි කිරීමේ වගකීම කට්ටඩියා විසින් සම්බන්ධීකරණ ලේකම්වරයාට පවරනු ලබන්නේ ඒ අනුවය.
මේ වන විට කට්ටඩියා උන්හිටි තැන්වලින් අතුරුදන්ව සිටින්නේ මේජර්වරයාද සමගිනි. මෙම පුරාවස්තුව සම්බන්ධයෙන් තවත් බොහෝ තොරතුරු ඔවුන් දෙදෙනා කොටුකර ගැනීමෙන් පසු හෙළිකරගන්නට හැකි වෙතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන්ගේ විශ්වාසයයි.
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=23773:---------25-----&catid=58:urumaya&Itemid=80