බෞද්ධයාගේ පරම අපේක්ෂාව නිවන් දැකීමයි. ආර්ය සත්‍ය සතරන් එකක් වන මෙය අනික් තුන හා කොතරම් එකිනෙකට සම්බන්ධන්දැයි කියතොත් එකක් පිරිසිඳ දනිත්ම දුක දැනගත්තා යයි කීවත්, සමුදය, නිරෝධය හා මාර්ගය දැනගත්තා යයි කීවත් දැනීම අතින් එකම අදහසක් වන්නේය. මේ නිසා මේ සතරම පිළිබඳ පොදු අර්ථය “දැනීම” යි. බුදු දහමෙහි ඊට “අඤ්ඤා” යි කියනු ලැබේ. මේ අඤ්ඤාව හෙවත් දැනීම පැවැත්මක නැවැත්මක සම්බන්ධයෙන් ඇතිවන් ( ස්පර්ශ වන ) දැනීමක් නිසා ඊට ‘නිරෝධ’ යි කියනු ලැබේ. නැවත්ම යනු මෙහි නිරෝධයයි. අඤ්ඤා රාධන, නිබ්බාණසච්ඡිකිරියා, තණහක්ඛය යනුවෙන් ද ව්‍යවහාර කරනු ලබන මේ ලෝකෝත්තර ඥානයේ අරමුණ නිර්වාණයයි. ( නිරෝධො නිබ්බාණං යනු බුද්ධ වචනයි ) මේ නිර්වාණය කුමක්ද? කොහි පිහිටියේද? යන්න සූත්‍ර ධර්මයන්හි හා අභිධර්මයෙහි විවරණය කර තිබෙන ආකරයත් සාවධානව දහම් නයට අනුව විමසා බැලිය යුතු ධර්ම පදාර්ථයකි. වරක් ඡන්න පරීබ්‍රාජකයා ‘නිවනය නිවනය කියන්නේ කුමකට දැයි’ ඇසූ ප්‍රශ්නයට සැරියුත් තෙරුන් විසින් ‘රාගාදීන් ක්ෂය වීම නිවනය’ යි පිළිතුරු දී ඇත. එහිදීම ඔහු විසින්ම තව දුරටත් ‘අර්හත්වය අර්හත්වයයි කියන්නේ කුමකටදැ’ යි ඇසූ ප්‍රශ්නයටද එලෙසින්ම ‘රාගාදීන් ක්ෂයවීම අර්හත්වය’ යි එම තෙරුන් විසින්ම පිළිතුරු දෙන ලදී. මේ අනුව නිවන හා අර්හත්වය එකක් ලෙස සැරියුත් තෙරුන් සැලකූ බව පැහැදිලි වන අතර, එය රාග දොස මොහයන් ක්ෂයවීම ලෙස ද අදහස්
කර ඇති බවද ඔප්පුවේ. පසු කාලීන අටුවාචාර්යයන් පමණක් නොව ධර්මසංග්‍රාහක තෙරවරුන්ද මේ ධර්ම පදාර්ථයන්ගේ ඇති අන්‍යොන්‍ය සූක්ෂම වෙනසත් උපචාර වශයෙන් ඇති සමානතාවත් දක්වමින් කමනීය ලෙස නිර්වාණ ධාතුව විස්තර කර ඇත. ඒ විශාල විස්තරයන්ට අත නොතබා අපගේ මාතෘකාව වූ ‘නිවන පිහිටියේ කොහිද? යන්න ගැන පමණක් විමසීමක් කිරීමට මෙහිදී අදහස් කරමු.
නිවන හේතුප්‍රත්‍යයවලින් නොනිපන් හෙයින් අසංඛත ධාතුවක් වන අතර, රූපයක් ච්ත්තයක් හෝ චෛතසිකයක් නොව යෝගී සිතට පමණක් අරමුණු වන ධර්මාරම්මණයක් බව පළමු කොටම සලකා ගත යුතුය. මෙහි යෝගී සිත නම් ගොත්‍රභූච්ත්තයයි. එය උපද්න්නා හාම මාර්ග හා එලසිත් උපදීම ධර්මතාවයි. සතර මාර්ග සතර ඵලවශයෙන් එකවරටම හෝ කීප වරකට ද මෙය සිදුවිය හැකිය. කෙසේ වුවත් සිත එකකි. අරමුණ අනිකකි. මෙහි ‘නිවන’ වන්නේ අරමුණ මිස සිත නොවේ. මාර්ගඵල වනාහි සිත්ය. ඒවා මාර්ගඵල වන්නේ නිවන අරමුණු වූ නිසාය. මේ නිබ්බාණ අරහත්ත, තණ්හක්ඛය, මොක්ඛ, නිරොධ වන්නේ කෙසේද? තෘෂ්ණාවාමි සෑම ශබ්දයකින්ම අභාවාර්ථය ගත් කල නිර්වාණවාමී ශබ්දයක් ලැබේ. එසේම ඵල ච්ත්තයට අර්භත්ව යයි කියන අතර ඵලූපචාර වශයෙන් නිවනටද අර්හත්වයයි කියනු ලැබේ. නිර්වාණ යන වචනයේ මෙන්ම ඊට පර්යාය වු බොහෝ වචනයකින් අදහස් වන්නේ දුක්ඛ නිරොධය හෙවත් සහමුලින්ම තෘෂ්ණාව නැතිවීම ය.
නිබ්බාන ත්ණහක්ඛය දුක්ඛක්ඛය ආදී ශබ්ද ආධාර, කරණ, කර්ම, භාව ආදී කාරකවලින් විග්‍රහ කොට අර්ථ විවරණය කර තිබෙනනේ පැරණි අටුවා ටීකා චාරීන් විසින් මිස බුදුරදුන් විසින් හෝ ක්ෂීණාශ්‍රවයන් විසින් හෝ නොවන බවද මෙහිලා සැලකිය යුතුය. තවද එදා මාර්ග ඵල ලාභයන් නිවන් දුටු ගිහි පැවදි උතුමන් ඒ ඒ ධර්ම පදයන්හි කාරකාර්ථයන් විමසමින්ම එසේ නොවු බවද සිහි කළ යුතුය. එහෙත් අටුවාචාර්යයන් එසේ විවිධාකාරයෙන් ධර්ම පදයන් විග්‍රහ කරමින් අරුත් පැහැදිලි කළේ, නොතහොත් ආධාර ආදී කාරකවලින් නිර්වාණවාචී පදයන් විග්‍රහ කළේ කුමක් නිසාදැයි මෙහිලා විමසා බැලිය යුතුය. අටුවා රචනා කාලයේද මේ පිළිබඳ මතභේද පැවති බව ඇතැම් අටුවා පාඨවලින් ම ඔප්පුවේ. මේ නිසා මෙහිදී වැදගත්ම කාරණය වන්නේ පළමුව කාරකාථයන වටහා ගැණීමය.
නිදසුනක් වශයෙන් සලකන විට ‘ආසන’ යන්න ආධාර කාරකයෙහි සැදුණු පදයකි ‘ආසතෙ එත්ථාති ආසනං’ මේහි වාඩිවේනුයි ආසන නමි. තවද පාදයට කියන ‘චරණ’ යන පදය කරණ කාරකයෙහි සිද්ධ වූවකි. ‘චරති අනෙනාති චරණං’ – මෙයින් ඇවිදීනුයි චරණ නමි, මේ වචනවලින් වාඩිවීම හා ඇවිදීම යන භවයම අදහස් නොකෙරෙන අතර ඒ භාවයන් ( ක්‍රියා මාත්‍රයන් ) සිදුවන තැනක් හා දෙයක් එයින් අදහස් කරනු ලැබේ. එහෙත් ආධාර කාරකයෙන් ලැබෙන අර්ථයම කරණ කාරකයෙන් ලැබෙන්නේ නොවේ. ඒ එකම පදයක් මේ කාරක දෙකින්ම විග්‍රහ කිරීම ද නො ගැළපේ.
මෙසේ සලකන විට ‘තණහක්ඛය’ ආදී නිර්වාණවාචි’ පදයක් ආධාර හෝ කරණ ආදී හෝ වෙනත් කාරකයකින් අර්ථ ගන්නා විට එයින් බරපතල වරදක් ඇති වන බව මෙහිලා කිව යුතුය. ඒ කාරකාර්ථයන් සලකා නිවන තේරුම් ගන්ට ගියොත් ‘භාවයක් නොව භවයක්’ එයින් ගන්ට සිදුවේ. නිවන භාවයක් – සද්භාවයක් – මිස, භවයක් – වීමක් – නිෂ්පන්නයක් – සංඛතයක් නොවන බව ධර්ම ධරයෝ දනිති.
එසේ නම අටුවාචාරීන් විසින් ‘තණ්හා එත්ථ ඛියතීති, තණ්හා එතෙන ඛීයතී ති වා තණ්හක්ඛයො’ යි අර්ථ විවරණය කර තිබෙන්නේ ඇයි? උන්වහන්සේලාට වැරදිමක් ද? යන පශ්නය නැගිය හැකිය. එය උන් වහන්සේලාට වැරදීමක් නොවන බවත් එසේ කීවේ කරුණු ඇතිව බවත් ඊට පිළිතුරු වශයෙන් කිවයුතුය. තෘෂ්ණාවෙන් ම ජනිත වී සිටින එයින්ම හරිත වී සිටින සත්වයා එය ක්ෂය වෙනවා අසන්නට කොහොමවත් එක පාරටම සතුටු නැත. එසේම එය ක්ෂය වීමෙන් ලැබෙන දෙයක් හෝ තැනක් නොපෙනෙන විට වහාම එය ප්‍රත්ක්ෂෙප කිරීමද ස්වාභාවිකය. මේ අටුවාචාරීන් අර්ථ තෝරා දෙන්නේ එබඳු අයටය. ඉතින් එබඳු අය තෘෂ්ණාව ක්ෂය වීමෙන් ලැබෙන දෙයක් – තැනක් යොමු කරනු ලබනවිට ඊට උත්සාහවත් වන නිසා ඒ සඳහා මෙසේ අර්ථ විවරණය කළ යුතුය. එයින් අර්ථ සිද්ධියට උපකාරයක් වන අතර, අර්ථ සිද්ධිය සිද්ධ වූ කල ඉබේම ඒ කාරකාර්ථයන් ඉවත් වී ගොස් භාවාර්ථයහිම පිහිටීම ධර්මතාවක් වන බව දන්නා අටුවාචාර්යයන් දයානුකම්පා වෙන් එසේ කර ඇත. සුරඟනන් ලබාදෙන්නට ඇප වී බුදුරදුන් නන්ද කුමරුන් මෙහෙය වූවක් මෙනි. තවද අටුවාචාර්යයන් විසින් කාරක කිපයකින්ම මෙය විග්‍රහ කර තිබීමෙන් පෙන්වා තිබෙන්නේ එය නිදසුනක් වශයෙන් මිස යථාර්ථයක් වශයෙන් නොගත යුතු බවයි. යථාර්ථයක් වශයෙන් ගතයුතු ආධාරකාරකානුගත වචනයක් කිසිසේත් කරණ කාරකානුගත විය නොහැකිය. එ හෙයින් මෙය අටුවාචාර්යයන්ගේ වැරදීමක් නොව, එය වරදවා ගන්නා වුන්ගේ වරදීමක් බව කිව යුතුය.
තවද ශුන්‍යතා භීතිය වැළැක්වීමද මෙය ආධාර ආදී කාරකවලින් විග්‍රහ කර දැක්වීමට හේතුවක් වන්නට ඇත. තෘෂ්ණාවෙන් – දුක්ඛයෙන් – ශුන්‍යවීම ම නිවන බවත් එය අභාව ප්‍රඥප්තියක් නොවන වබත් වටහා ගැනීම ඉතා දුෂ්කර නිසාම එදා නොයෙන් වාද ඇති වී තිබේ. එහෙයින් ශුන්‍යතාවාදීන්ට පිළිතුරක් වශයෙන් ද මෙය මෙසේ කර ඇත.