නොත්‍රදාම් දේවස්ථානය

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    නොත්‍රදාම් දේවස්ථානය

    57155619_10215859218767887_3211395275406966784_n.jpg


    පෙරේදා ගිනි ගත් කටුඔටුන්න තිබූ ප්‍රංශයේ නොත්‍රදාම් දේවස්ථානය මෙන් තෙගුණයක් විශාල ඊටත් වඩා අලංකාර තේජවන්ත මහා ගොඩනැගිල්ලක් ලංකාවේ තිබුණ බවත්.....

    එය ද නොත්‍රදාම් දේවස්ථානය මෙන්ම අහඹු හේතුවකින් සම්පුර්ණයෙන් ගිනිබත් වූ බවත් ඔබ දන්නවා ද...?

    ඔව්, එය සාදා තිබුණේ ජේසුතුමා ඉපදීමටත්
    වසර එකසිය පණහකට පෙර අනුරාධපුර ය.

    ඒ කියන්නේ ප්‍රංශයේ මිනිසුන් නොත්‍රදාම් දේවස්ථානය හදන්නත් අවුරුදු දාහකට කලින්...

    එය අනෙකක් නොව ඔබ හොඳින් අසා ඇති අනුරාධපුරයේ "ලෝවාමහාපායයි."

    තඹ ලෝහයෙන් කළ උළු පියස්සෙන් වැසුණු මහා මන්දිරයක් වූ නිසා මෙයට ලෝවාමහාපාය ලෙස නම තබා තිබේ.

    ලෝවාමහාපාය නොහොත් ලෝවා මහා ප්‍රාසාදය අනුරාධපුර ශුද්ධ භූමියේ මහමෙවුනා උයනෙහි පිහිටා ඇත.

    දේවානම්පියතිස්ස රජතුමා විසින් මිහිඳුමහ රහතන් වහන්සේ වෙත පූජා කළ මහා විහාර සංකීර්ණයේ පොහොය ගෙය (උපෝසථාගාරය) ලෙස මෙය හඳුන්වයි.

    මෙම පූජා භූමිය රජතුමා විසින් රිදියෙන් කළ නගුලකින් හාරා මායිම් සලකුණු කළ බව ඉතිහාසයේ සඳහන් ය.

    එළාරගේ ආක්‍ර‍මණය නිසා කාලයක් මුළුල්ලේ වල් වැදී තිබූ මහමෙවුනාව.....

    දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය සමයේදී යළි ප්‍රති‍සංස්කරණය කිරීමේ දී මෙම පොහොය ගෙය මහල් නවයකින් යුක්තව කරවා ඇත.

    එළාර සමඟ කළ යුද්ධය දිනූ දුටුගැමුණු රජතුමා මහමෙව්නා උයනට මහා සංඝරත්නය රැස්කරවා දිනක් මෙසේ පැවසීය....

    ‘නුඹ වහන්සේලාට මම දිව්‍ය මන්දිරයක් සමාන වූ ප්‍රාසාදයක් කරවන්නෙමි. දිව්‍ය ලෝකයට වැඩ එහි ආකාර සැලැස්මක් මා වෙත ගෙන්වා දෙන සේක්වා’!

    ඒ අනුව රහතන් වහන්සේ අටනමක්
    තව්තිසා දෙව්ලොවට වැඩම කරවා....

    ‘භරණී’ නම් දිව්‍යාංගනාවගේ නවමහල් දිව්‍ය විමානය දැක එහි සැලැස්ම සිවුරක් මත සටහන් කරගත් බවත්....

    එම සැලැස්මට අනුකූලව ලෝවාමහාපාය කර වූ බවත් මහාවංශය සඳහන් කරයි.

    මහා ශෛලමය කුළුණු දහස් ගණනක් මත මහල් නවයකින් යුක්තව....

    එක් එක් මහලේ රිදියෙන් නිමවන ලද කුළුගෙවල් (කූටාඝාර) 100 බැගින් සහ
    ගබඩා දහසකින් සමන්විතව....

    රන් රිදී මැණික් ආදියෙන් දිව්‍ය විමානයක් ලෙසටම අලංකෘතව මේ මහා පාය කර වූ බව වංශකතා වල සඳහන් වේ....

    කොහොමද හිතාගන්න පුළුවන් ද...?

    නොත්‍රදාම් වල තිබුණේ පාට පාට විදුරුනේ මෙහෙ තිබිලා තියෙන්නෙ...රන් රිදී මුතු මැණික්!

    මෙම වටිනා වස්තූන්ට අමතරව
    මේ මහා ප්‍රාසාදය සෑදීමට
    තිස් කෙළක් කහවනු (කහවනු කෝටි තිහක්) වැය වූ බවද කියැවෙයි.

    මහා වංශයේ සඳහන් වන පරිදි
    ලෝවාමහාපායේ දිග, පළල සහ උස
    රියන් දහස බැගින් විය.

    ඒ අනුව එය ගිනිගත් නොත්‍රදාම් දේවස්ථානය මෙන් තෙගුණයක් සෑම අතින්ම විශාලය...

    නමුත් අද දක්නට ඇති නටබුන් වූ ගල් කණු වලින් වැසී ඇති භූමියේ දිග, පළල, අඩි 200 ක් බැගින් වෙයි.

    බලන්න ගින්නෙන් විනාශ වෙලා අවුරුදු දෙදාහක් ගිහිල්ලත් ඒ යෝධ ගොඩනැගිල්ලේ අත්තිවාරම හා නටබුන් තාමත් තියෙන හැටි!

    කොහොමද ඒ කාලේ ඉදිකිරීම්වල විශිෂ්ටත්වය....

    මේ නව මහල් ප්‍රාසාදයේ....

    🎆 පළමු මහල - පෘථග්ජන භික්ෂූන් වහන්සේ සඳහා ද

    🎆 දෙවැනි මහල - ත්‍රිපිටකධර භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ද

    🎆 තෙවෙනි, සිව්වැනි සහ පස්වැනි මහල් - සෝවාන් සකෘදාගාමි සහ අනාගාමී ආර්යයන් වහන්සේ සඳහා ද වෙන් කරන ලද බවත්....

    🎆 පස්වැනි මහලේ සිට නවවන මහල දක්වා රහතන් වහන්සේ වෙනුවෙන් වෙන්ව තිබූ බවත් සඳහන් වෙයි.

    මේ අනුව බලන කල ලෝවාමහාපාය ඉතා දර්ශනීය හා දැවැන්ත එකක් වූ බව අවිවාදයෙන් පිළිගත හැකිය.

    ක්‍රි.පූ. දෙවන සියවසේ ලොව කොතැනක හෝ මෙවැනි විශාල මහල් ගොඩනැගිල්ලක් මෙතෙක් වාර්තා වන්නේ නැත.

    එහෙත් නොත්‍රදාම් දේවස්ථානයේ සිදුවූවාක් මෙන්...

    සද්ධාතිස්ස රාජ්‍ය සමයෙහි එක්තරා දිනයක එක්තරා රැයක මහාපාය ආලෝකවත් කළ පහනක් පෙරැළී....

    මේ සුවිසල් අලංකාර ගොඩනැගිල්ල
    ගිනිගත් බව කියැවෙයි.

    එයින් එම ගොඩනැගිල්ල ම මුළුමනින්ම
    දැවී ගොස් ඇත.

    ගිනි විපත් අද මෙන් සුලභ නොවූ නිසා ගිනි නිවිමේ එකක ද එකල නොතිබීම මෙයට හේතු වන්නට ඇත.

    ලොව විශිෂ්ටතම ගිනි නිවීමේ එකක ඇති
    ප්‍රංශය ද නොත්‍රදාම් දේවස්ථානයේ ගින්න ඉදිරියේ අසරණ වූ අයුරු අපි දුටුවෙමු.

    නොත්‍රදාම් ගිනිගනිද්දී ප්‍රංශ ජනතාව දුකෙන් බලාගෙන හිටියා වගේ එදා අනුරාධපුර හිටපු අපේ මුතුන්මිත්තොත් ලෝවාමහාපාය ගිනි ගන්නවා දුකෙන් බලා ඉන්න ඇති. අඬන්න ඇති.

    සමහරු අනිත්‍ය මෙනෙහි කරලා එදා සසරින් එතෙර වෙන්නත් ඇති.

    ගිනි ගැනීමෙන් පසු ලෝවාමහාපාය විටින් විට නැවත ප්‍රතිසංස්කරණය කළත් පැරණි ශ්‍රී විභූතිය නම් නැවත කවදාවත් ආවේ නැත.

    නොත්‍රදාම් දේවස්ථානය ද නැවත කෙතරම් ප්‍රතිසංස්කරණය කළත් ඒ අතීත ප්‍රෞඪ පෙනුම යළි නොඑනු ඇත.
    .
    .
     
    • Like
    Reactions: Pessimist

    Similar threads