අද වැනි දිනෙක ලක් මවගෙන් සමුගත් ජනපති ප්‍රේමදාස
PHOTO: 1993 මැයි 1 වැනිදා ප්‍රේමදාස ජනාධිපතිතුමා මියයැමට මොහොතකට පෙර ආමර්වීදිය මංසන්ධියේදී එජාප මැයි පෙළපාලිය සංවිධානය කරමින්.
මැයි දිනය සහ වැඩ කරන ජනතාව යනු සමාන පද දෙකකි. මේ කරුණු දෙක ගැන කතා කිරීමේදී එක්‌සත් ජාතික පක්‍ෂයට අමතක කළ නොහැකි නාමය ආර්. ප්‍රේමදාස මැතිඳුන්ගේ නාමයයි.
එතුමන්ගේ වටිනා ජීවිතය ත්‍රස්‌තවාදය විසින් බිළිගනු ලැබුවේ, එතුමන් වැඩ කරන ජනතාවගේ දිනය වෙනුවෙන් වූ මැයිදින උත්සවය සංවිධානයේ යෙදී සිටියදීය. ඒ එක්‌සත් ජාතික පක්‍ෂ මැයි දින සැමරුම වෙනුවෙනි.
එක්‌සත් ජාතික පක්‍ෂයට ආර්. ප්‍රේමදාස නාමය අමතක කර මැයි දින සැමරුමක් පැවැත්විය හැකිද?
"ජනතාව පළමුව, තම ආරක්‍ෂාව දෙවනුව" ලෙසින් සලකා, ඔහු මැයි දින සැමරුමේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවිණ. මැයි දිනයේදී ඔහු ජනතාව අතරය. ඔහු සිටියේ ජනතාවගේ දහඩිය සුවඳ සමගිනි. දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පැමිණෙන ජනතාව සමග ඔහු කතාබහේ යෙදිණ. සෑම වැඩපලකින් ම වාගේ එන වැඩ කරන ජනතාව පෙළ ගැස්‌වීමට ඔවුන් අතර සිටිමින් උපදෙස් ලබාදුනි. ඔහුත්, ජනතාවත්, අතර පරතරයක් නොතිබිණ. සුපුරුදු සුදු සරමක්, ලාකොළ පැහැති අත්කොට කමිසයක්, සෙරෙප්පු දෙකක් සමගින් ඔහු මහ පාර අසලය.
තනතුරක ගාම්භීරත්වය ඔලුවට ගෙන, රතිඤ්Æ හඬ මධ්‍යයේ, මැයි දින රැලියේ වේදිකාවට රැකවලුන් සමග පැමිණ, ජනතාවට ඉහළින් සිට ආචාර කර, සුලු වේලාවකින් කතාවක් පවත්වා, රඟපෑම අවසන් කර පිටත්ව යැම ඔහුගේ සිරිත නොවීය.
වැඩ කරන ජනතාවගේ උත්සවය සාර්ථක උත්කර්ෂවත් එකක් බවට පත් කර ගැනීමට මගපෙන්වීම, උපදෙස් දීම, සංවිධානය ද ඔහු සිදු කළ අයුරු, කෙසේ අමතක කළ හැකිද?
සෑම වසරකම එක්‌සත් ජාතික පක්‍ෂය මැයි දින සැමරුම පැවැත්විය යුත්තේ ප්‍රේමදාස ගුණ සැමරුම හා එක්‌වය. එක්‌සත් ජාතික පක්‍ෂ මැයිදින සැමරුම වෙනුවෙන් කැප වූ, ඒ වෙනුවෙන් තම ජීවිතය අවදානමට භාජනය කරමින් වෙහෙස වූ, අවසානයේදී ඒ වෙනුවෙන්ම තම ජීවිතය බිළිදුන් පක්‍ෂයේ නායකයා, පක්‍ෂයේ ජනපතිවරයා වෙනුවෙන්, තම ණය ගැතිභාවය සහ කෙළෙහි ගුණය දැක්‌වීමට හොඳම මග එයයි.
අප සමාජය තුළ නැති බැරි මිනිසුන් වෙනුවෙන්, ඔවුන්ගේ යහ පැවැත්ම වෙනුවෙන්, ඔවුන්ගේ ගරුත්වය වෙනුවෙන්, ඔවුන් සමානයන් ලෙස සලකන සමාජයක පැවැත්ම වෙනුවෙන් ඔහු ඉටු කළ මෙහෙවර, සාධාරණත්වය අගයන අප සමාජයේ බහුතර ජනතාව කිසි දිනක අමතක නොකරනු ඇත.
"දිළිඳුකම පිටුදැකීම", "නැති බැරි මිනිසුන් ඇති හැකි මිනිසුන් කිරීම" වැනි ධනාත්මක පද, අප දේශපාලන ශබ්දකෝෂයට හඳුන්වා දුන් නායකයා ඔහු විය. එම පදයන්හි අර්ථය, යථාර්ථයක් බවට පත් කිරීමට සැබෑ උවමනාවකින්, ශීඝ්‍රගාමී ගමනක් ඇරඹූ නායකයා ඔහු විය.
අප සමාජයේ නැති බැරි මිනිසුන් වෙනුවෙන් ඔහුට සිහිනයක් තිබිණ. දැක්‌මක් තිබිණ. අධිෂ්ඨානයක් තිබිණ. ඒ සඳහා වූ ගමනේදී තහංචි, අභියෝග පරදවා ඉදිරියට යන්නට නිර්භීතකම ඔහුට තිබිණ.
ආර්. ප්‍රේමදාස මැතිඳුන් තුළ ශ්‍රී ලාංකික සමාජයේ අනාගතය වෙනුවෙන් තිබූ සිහිනය සිහිපත් කරන විට මගේ මතකයට එන්නේ, ඇමරිකානු සමාජය තුළ නිදහස, සමානත්වය සහ මානව අයිතීන් වෙනුවෙන් අරගල කළ මාටින් ලූතර් කිංගේ, .ෂ ය්ඩැ a dරුaප. (මට සිහිනයක් ඇත) යන සුප්‍රසිද්ධ කතාවයි. 1963 දී වොෂිංටනයේ ලින්කන් ස්‌මාරකය ඉදිරිපිට, දෙලක්‍ෂ පනස් දහසක් පමණ වූ නිදහස සහ මානව අයිතීන් වෙනුවෙන් නැගී සිටි ක්‍රියාකාරිකයන් අමතා ඔහු කළ දේශනයේ ඇතැම් කොටස් කෙරෙහි මගේ මතකය අවදි වෙයි.
"මම සිහින දකිනවා, ජොර්ජියාවේ වහලුන්ගේ දරුවන් සහ වහල් හිමියන්ගේ දරුවන් සහෝදරත්වයේ මේසය වටේ එක්‌වහිඳ ගනිමින්, සමානයන් ලෙසින් කතා බහ කරන දිනය ගැන මම සිහින දකිනවා, මගේ පුංචි දරුවන් හතරදෙනා සම්බන්ධව, ඔවුන්ගේ සමේ වර්ණයෙන් නොව, ඔවුන්ගේ හැසිරීම් මත තීන්දු ගන්නා වූ සමාජයක පැවැත්ම පවතින දිනය ගැන මම සිහින දකිනවා. අසාධාරණත්වයේත්, මර්දනයේත්, උණුසුමෙන් පීඩාවිඳින මිසිසිපි ප්‍රාන්තය, නිදහසේත්, සාධාරණත්වයේත් ක්‍ෂේම භූමියක් වන දවස ගැන මම සිහින දකිනවා, අප සමාජයේ උස් තැන් පහත් කරන්නටත්, පහන් තැන් උස් කරන්නටත්, රළුතැන් මොළොක් කරන්නටත් අපට පුළුවන් වන දිනය ගැන."
සැබවින්ම මාටින් ලූතර් කිංගේ සිහිනයේත්, ආර්. ප්‍රේමදාසයන්ගේ සිහිනයේත්, පදනම සහ මූලධර්ම දෙකක් නොව එකක්‌ම විය.
පොල් අතු පැලක, මැටි නිවසක, ලෑලි ගෙදරක, මුඩුක්‌කු නිවසක, වසින වැස්‌සට නිසි ආවරණයක් අහිමිව, නින්දක් නොලබන දරු පවුල්වල ජීවිත ගැන දැඩි සේ සංවේදී වූ නායකයා ඔහු විය.
පුංචි කාමරයක, දෙමාපියන්, දරුවන්, පවුල් කිහිපයක් මාරුවෙන් මාරුවට නිදා ගන්නාවූ දරු පවුල්වල ජීවිත ගැන ප්‍රමුඛ අවධානය යොමු කළ නායකයා ඔහු විය.
පූට්‌ටු ගෙවල්, අත්කම් නිවාස, නිවාස ලක්‍ෂය, නිවාස දස ලක්‍ෂය, නිවාස පහළොස් ලක්‍ෂය සහ ජාත්‍යන්තර නිවාස වසර යන මේ සියල්ල ඔහු හඳුන්වා දුන්නේ ඒ කඳුළු නිවන්නටය.
"ජන සවිය" මේ පොළවේ ජනිත වූ සංකල්පයකි. එය ක්‍රියාවට නැගුණේ, තුන්වේල කන්නට අවකාශ නැති අප සමාජයේ දරු පවුල් වෙනුවෙනි.
"සෙවන මා පිය කැපකරු" ක්‍රමය ක්‍රියාවට නැඟුණේ ද දෙමාපියන් අහිමි අසරණ දරුවන්ගේ ජීවිත ඉරණම වෙනස් කරන්නටය.
"පාසල් දිවා ආහාර" වැඩපිළිවෙළ ක්‍රියාවට නැගුණේ, උදයට හරි කෑම වේලක් නොමැතිව පාසලට පියමන් කරන දරුවන් වෙනුවෙනි.
"පාසල් නිල ඇඳුම" ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැගුණේ, දහස් ගණනින්, ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාසල් හැර යන දරුවනට පිහිට වන්නටය.
දුප්පත්කම රැකියාවක් ලබා ගැනීමේදී නුසුදුසුකමක් නොව, සුදුසුකමක් බවට පත් කරමින්, (දුප්පත් පවුල් කොන්කරන මිනුම් දඬු වෙනුවට) ජනසවිය පවුල් වෙත වැඩි ලකුණු ලබාදෙන ක්‍රම ඔහු හඳුන්වා දුන්නේ, දිළිඳු පවුල්වල ආර්ථික ශක්‌තිය නගාසිටුවන්නටය.
පළාත් පාලන මැතිවරණවලදී තරුණ නියෝජනත්වය සඳහා වන ප්‍රතිශතය අනිවාර්යය කෙරෙන නීති පැනවුණේ, ඒ තරුණ ජනගහනයට අවශ්‍ය පිළිගැනීම ලබා දීමටය.
"ජනපති ජංගම සේවා" රට පුරා ගෙන ගියේ, දේශපාලන නායකයන්ගේ නිසි අවධානය ලබාගත නොහැකි ජනතාව වෙනුවෙන්, දේශපාලන නායකයන් ඔවුන්ගේ දෙපා ළඟට ගෙන යනු පිණිසය.
ඇඟලුම් කම්හල් සිය ගණනින් ඈත දුෂ්කර ගම්මානවලට ගෙන යමින්, ගැමි ආර්ථිකයේ විප්ලවයකට මුලපිරුණේ "කොළඹට කිරි - ගමට කැකිරි" පිළිවෙත උඩු යටිකුරු කරමිනි.
"ග්‍රාමෝදය මණ්‌ඩල" වැඩපිළිවෙළ ක්‍රියාවට නැගුණේ ගමේ එකමුතුව සහ ගම් නගාසිටුවීම අරමුණු කර ගනිමිනි.
සෑම ආගමික ජන කොටසක් වෙනුවෙන්ම "ආගමික අමාත්‍යාංශය" ආරම්භ වූයේ සැමට සාධාරණය සැළසීමේ සද්භාවය මුල් කර ගනිමිනි.
"මහ ගම් උදාව" ප්‍රාදේශීය ගම් උදාව" සහ ඒ හා බැඳුණු විවිධ ක්‍ෂේත්‍රයන් සම්බන්ධ කර ගත් සති වැඩපිළිවෙළ" රට පුරා ගෙන යනු ලැබුවේ ඒකාබද්ධ සංවර්ධනයක අරමුණු ඉටුකර ගන්නටය.
"කැපකරු ගම්මාන" වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරිණි. රජයේ ප්‍රතිපත්තිවලට අමතරව දානපතීන්ගේ සහායද දිළිඳු ජනතාව නඟා සිටුවීම සඳහා ලබා ගත්තේය.
"මට භාර කර ඇත්තේ දෙපැත්ත පත්තු වන විලක්‌කුවක්"
ප්‍රේමදාස ජනාධිපතිතුමන් මෙසේ කියා සිටියේ උතුරේ ගිනිදැල් සහ දකුණේ ගිනිදැල් මධ්‍යයේ තමනට ජනපති ධුරයේ කටයුතු භාරගන්නට සිදුවූ අවස්‌ථාවේදීය.
තුණ්‌ඩු කෑල්ලකින් පාසල්, රජයේ කාර්යාල වැසී යයි. දේශපාලන ක්‍රියාකාරිකයන් තනතුරුවලින් ඉවත් නොවුණහොත් ඔවුන් ඝාතනය වෙයි. රාජකාරියට වාර්තා කරන රජයේ සේවකයන් ඝාතනය වෙයි. සවස හයෙන් පසු විදුලිය තහනම් වෙයි. වටිනා රජයේ ගොඩනැඟිලි, දේපළ ගිනිතැබිණි. ඡන්දය පාවිච්චි කරන්නට යන පිරිස් ඝාතනය විණි. ඝාතනය වන අයවලුන්ගේ මෘත දේහයන් දණ හිසට ඉහළින් ඔසවා ගෙන යැම තහනම් කෙරිණි. ප්‍රේමදාස මැතිඳුන් බලයට පත්වූයේ මෙවන් පසුබිමකය. එදා ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම තිබුණේ අනතුරකය.
"ජීවිතයට හානිකරන්නට එපා. මම කැමැතියි ඔබලා සමග සාකච්ඡා කරන්නට. ඒ සඳහා ඇස් දෙක වසාගෙන ඕනෑම කැලෑවකට සාකච්ඡා සඳහා මම එන්නම්.
මේ ප්‍රේමදාස ජනපතිඳුන්ගේ ඉල්ලීම විය. ආයාචනය විය. මිනිස් ජීවිත ඝාතනය වීම වළක්‌වා ගන්නට ඔහු බැගෑපත්විය. එහෙත් ඒ ආයාචනයට ප්‍රතිචාර නොලැබිණි. ආරක්‍ෂක හමුදා පවුල්වල පිරිස්‌ද තර්ජනවලට මුහුණ දුන්හ.
අවසානයේදී ත්‍රස්‌තවාදය පරාජය කෙරිණි. ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම ආරක්‍ෂා විණි. ජීවිත හානිවලින් තොරව සාකච්ඡාවෙන් විසඳුමක් ලබාගන්නට අවසන් මොහොත දක්‌වා ඔහු ගත් උත්සාහය නිෂ්පල වීම ඔහුගේ වේදනාවට හේතු විය.
එතුමන්ට සැඟවුණු න්‍යායපත්‍ර නොතිබිණි. විදේශ සම්බන්ධතාවලදී රටේ ගරුත්වය ඉහළින් තබාගත් ඔහු, ශක්‌තිය නොව යුක්‌තියට ගරු කරන නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් වෙනුවෙන් තිරසාර ලෙසින් පෙනී සිටියේය.
ප්‍රේමදාස මැතිඳුන් මේ රටේ නායකත්වයට පත්වීම සැබවින්ම විප්ලවයක්‌ම විය. ආර්ථික, සමාජ, පංති, වර්ග, කුලමල වැනි අභියෝග ජයගෙන මේ රටේ ඉහළම තනතුරට ප්‍රේමදාස මැතිඳුන් පත්වීම තුළින් පෙන්නුම් කරනුයේ මේ රටේ ඕනෑම දරුවකුට තම දක්‍ෂකම සහ ජනතා ආදරය දිනාගැන්ම තුළින් මේ රටේ ඉහළම පුටුවට යැමට දොරටුව විවෘතව පවතින බවයි.
එක්‌සත් ජාතික පක්‍ෂය තුළින් මේ විප්ලවය සිදු කරන්නට හැකිවීම ගැන ඒ සඳහා දායක වූ සියලු දෙනාට නිහතමානීව සතුටක් ලැබිය හැක.
සියල්ලන්ට සමානව සැලකීම, සියල්ලන්ට සමාන අවස්‌ථා ලබාදීම, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම සමාජ සාධාරණත්වය වෙනුවෙන් එක්‌සත් ජාතික පක්‍ෂය සැමදා පෙනී සිට ඇත. එම වටිනාකම් වෙනුවෙන් රට තුළ මෙන්ම පක්‍ෂය තුළද පෙනී සිටීම එක්‌සත් ජාතික පාක්‍ෂික වගකීම වේ. එක්‌සත් ජාතික පක්‍ෂයේ ඒ උරුම ගමන අනාගත පරපුරටද ආරක්‍ෂා කරදීම, ආර්. ප්‍රේමදාස නාමයට කළ හැකි ඉහළම උපකාරය වනු ඇතැයි මම තරයේ විශ්වාස කරන්නෙමි.
ඉමිතියාස් බාකීර් මාකාර්
(හිටපු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)
කඳු මුදුනට නැග පාමුල බැලූ රාජ්‍ය නායකයා .
අමල් වික්‍රමතුංග උප භාණ්ඩාගාරික ශ්‍රී සුචරිත ව්‍යාපාරය ..
2012 අප්‍රේල් 30 වෙනි සදුදා, 23:03
මරණින් පසුවත් ජීවත්වීම යනු අමරණීයවීමය, ලෝකයේ අමරණීය වූවන්ගේ නාමාවලිය ගොනු කළහොත් එය ඉතාම පුංචි පොතක් වෙයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අමරණීය වූවන් ලෝක වාර්තාවද පරදවයි. අපේ ඉතිහාසය බටහිර ඉතිහාසයට වඩා දීර්ඝවීම ඊට හේතුවයි.
දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ගැන ලියන්නට මම ඒ පෙරවදන උපයෝගී කර ගනිමි. දේශපාලනඥයින් වශයෙන් නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැති මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගෙන් පටන්ගෙන වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙක් ගණනය කරතොත් රාජ්‍ය පාලකයන්ගේ ගණන් විශාල වුවත් අමරණීය වූවන්ගේ සංඛ්‍යාව ඉතා කුඩාය. අල්පය.
පුංචි මිනිහා සමග වැඩි ඇසුරක් පවත්වා ගෙන යමින් කටයුතු කළ එකම ජන නායකයා රණසිංහ ප්‍රේමදාස මහතා යැයි කිවහොත් කවුරුත් එය අවිවාදයෙන් පිළිගනිති. අහස උසට බැඳි තාප්පවලින් හෝ වැටකඩොලු බැඳගෙන හෝ දහස් ගණනක ආරක්ෂක නිලධාරීන්ට මැදිව සිටීමට ඔහු පුරුදු පුහුණු වී සිටියේ නැත. ජනතාව අතරට නිතරම ගියේය. වැට කඩොලු ඉවත් කර ජනතාවට තමන් සමීපයට පැමිණීමට ඉඩ සැලැස්වීම එතුමාගේ කැමැත්ත විය. තම ආරක්ෂක නිලධාරීනට පවා එවැනි උපදෙස් ලබාදී තිබිණ.
බොහෝ දේශපාලනඥයින් කන්ද පාමුල සිට ඉහළට නැගුණ පසු යළි පහළ බැලුවේ නැත. එහෙත් රණසිංහ ප්‍රේමදාස මහතා කන්ද පාමුල සිට කන්ද මුදුනට නැග කන්දේ පාමුල සිටින්නා දෙස සෘජුව බැලුවේය. එතුමාගේ ජනප්‍රියත්වයේ රහස එයයැයි සිතමි. කඳු මුදුනට නැගි මිටියාවත දෙස බැලූ රාජ්‍ය නායකයාය.
උතුරේ සහ දකුණේ යුද්ධ දෙකක් පවතිද්දී තම පාක්ෂිකයන් විසින්ම ඉදිකළ මහා බාධක කඳු වැටිය පෙරළා ගෙන ජය කණුවට ළංවීමට එතුමාට හැකිවූයේ පුංචි මිනිහා කෙරෙහි තැබූ විශ්වාසය නිසාමය.
එක්සත් ජාතික පක්ෂයේ අයෝමය ශක්තිය දෙදරන්ට නොදී රැක ගැනීම වෙසෙසින් අගය කළ යුතුය. පැසසිය යුතුය. යුද්ධය මුහුණ දෙමින් භාණ්ඩ මිල සමබරව පවත්වාගෙන යමින් රටේ ආර්ථික සංවර්ධනය 8 දක්වා ඉහළ නැංවීමට දක්ෂවීම ප්‍රශංසනීය කටයුත්තකි. එය වෙසෙසින් අගය කළ යුතුය.
අද යුද්ධය නිමාවී සාමකාමී පරිසරය තුළ ලබා ඇති ආර්ථික වර්ධනය එදා යුද්ධ දෙකක් කරමින් ලබාගැනීමට හැකිවිය. ඇඟලුම් කම්හල් 200ක් ආරම්භ කළ අවස්ථාවේ සුද්ධන්ට ජංගි මහනවයි කියා අවලාද නැගුවා පමණක් නොව හිසට සෙවණක් වූ මහල් නිවාස කුකුල් කූඩු කියමින් කාලකණ්ණි දේශපාලන සතුටක් ලැබූ අයගෙන් ද අඩුවක් නොවීය.
විදෙස් සරසවියක උපාධි කබාය ලා ගත්තේ තමා ශ්‍රේෂ්ඨයයි සිතා කටයුතු කිරීමේ පුහු අහංකාරකමින් පෙළුණු අමනෝඥ පිරිසක් සාමාන්‍ය මිනිහාට මග හරස් කළහ. එතැන තිබුණේ සමාජ ගැටුමයි.
සතියකට වරක්වත් සමීපතම පොඩි මිනිහාට දුරකථනයෙන් කතාකොට දුක සැප විමසීම ඔහුගේ සිරිත විය. එහෙත් තමා ගොඩ නැගූ පාක්ෂික බලයට අමතර හිතෛෂී බලය වත්මන් පක්ෂයේ නායකයා ප්‍රයෝජනයට ගත්තේ නැත. එතැන අමතක කර ඉදිරි ගමනක් පක්ෂයට නැති බව දත් රණසිංහ ප්‍රේමදාස මහතා පොඩි මිනිසා කිසිවිටෙකත් අමතක කළේ නැත. තම නමින් අන් අය අමතන්නට තරම් පුදුම මතක ශක්තියක් ඔහු තුළ විය. එවිට එසේ ඇමතුම ලැබූ පුද්ගලයා තුළ ඇතිවනුයේ මහත් ආඩම්බරයකි. මහත් අභිමානයකි. අද දේශපාලනඥයින්ට එවැනි මතකයක් නැත. මතක් කර ගැනීමට කලක් ගතවේ. රණසිංහ ප්‍රේමදාස මහතාගේ චරිතයෙන් උගත හැකි දේ බොහෝය.
මැයි 1වන දින ලෝක කම්කරු දිනයයි. එය සැමරීම වස් මෙයට වසර 19කට පෙර මැයි පෙළපාලිය සංවිධානය කර සිටියදීම රටට අහිමි විය. රටට අහිමි වූවාට වඩා අහිමි කළා යන්න වඩාත් උචිතය. මහත් ජන මෙහෙවරක් කළ සැබෑ මිනිසෙකුගේ මෙහෙවර මෙසේ අවසන් කළේය. කෙසේ වෙතත් වියයුතු දේ දැන් සිදු වී හමාරය. එහෙත් ඒ මහතාගේ ප්‍රතිපත්තිය රටට අවශ්‍ය විය.
විශේෂයෙන් දුගී දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන් ඉටුකළ මෙහෙය අපමණය. කුමන දේශපාලන මතිමතාන්තර දැරුවද කුමන එදිරිවාදිකම් පැවැතියද, එතුමා ගෙන ගිය වැඩපිළිවෙළේ හරවත් යමක් විය. එය දුගී දුප්පත් ජනතාවට මහත් සහනයක් විය. නෑ බෑ යන්න වෙනුවට කළයුත්ත නිලධාරීන්ගෙන් බලාපොරොත්තු විය. කල් දැමීමට හෝ කල් මැරීමට අකමැතිය. එවැනි නිලධාරීන්ට ඔහු ප්‍රිය කළේ නැත.
1970 වර්ෂයේ දී එක්සත් ජාතික පක්ෂය පතාක යෝධයින් ලෙස ප්‍රබලයින් පවා පරාජයට පත්වෙද්දී ඡන්ද ලක්ෂය ඉක්මවා මැද කොළඹ පළමුවන මන්ත්‍රීවරයා වශයෙන් ජයග්‍රහණය කර තේරී පත්වීමට සමත් විය. පරාජයට පත් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය සඳහා මෙහෙයවීමේ කාර්ය භාරයේ වැඩි කොටසක් තම කරට ගත් එතුමා 1977 වර්ෂයේ දී රට පුරා යමින් අනභිභවනීය ජයක් එක්සත් ජාතික පක්ෂයට ලබා දුන්නේය. සුපිරි පන්තියක් එක්සත් ජාතික පක්ෂය වටා කවදත් සිටිය මුත් පීඩිත දුප්පත් අසරණ ජනතාව පක්ෂය වටා රඳවාගෙන ඉදිරියට ගෙන යාමේ අභිප්‍රාය ඔවුන් තුළ ඇති කිරීමට රණසිංහ ප්‍රේමදාස මහතා මූලික විය.
එම විශ්වසනීයත්වයට හානි නොකර පළුදු නොකර කටයුතු කිරීමේ ප්‍රතිඵල මත 1977 දී එක්සත් ජාතික පක්ෂය
විශිෂ්ට ජයග්‍රහණයක් ලැබිය. පළාත් පාලන හා නිවාස අමාත්‍ය ධුරයට අමතරව ශ්‍රී ලංකාවේ 8වන අගමැතිවරයා වශයෙන් කටයුතු කිරීමේ භාග්‍ය ද ලැබිය. පසු කාලයේ දෙවන විධායක ජනාධිපති ධුරයද හෙබවීමට එතුමා සමත් විය.
එතුමා ආරම්භ කළ නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවන්නට රටේ උග්‍ර නිවාස ප්‍රශ්නයක් මතුවන බව අවිවාදයෙන් පිළිගත යුතුය. කෙසේ වෙතත් එම නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවූ ප්‍රදේශයක් රටේ සතර දිග්භායෙන්ම සොයා ගත නොහැක. එපමණට ගම තුළට නිවාස වැඩපිළිවෙළ ඇදී ගියේ ය. උදාකළ ගම්මාන, උදා ගම්මාන, ආදර්ශ ගම්මාන ඒ අතර වේ. ජල ප්‍රශ්නයටද විසඳුම් ලබා දීමට රටපුරා ජල සම්පාදන ව්‍යාපෘති ආරම්භ
කළේය. නාගරික ජනගහනයෙන් 82කට ත් ග්‍රාමීය ජනතාවගෙන් 67කටත් පිරිසිදු පානීය ජලය ලබාදීමට සමත් විය. විශේෂයෙන් අති විශාල නළ ළිං ප්‍රමාණයක් ග්‍රාමීය ජනතාව වෙනුවෙන් ඉදි කළේය.
සුචරිත ව්‍යාපාරය මගින් දායාද කොට රටට ලබාදුන් මෙම උතුම් මිනිසා සමාජයට වැඩදායක මෙන්ම සමාජයට මෙහෙවරක් කළ සැබෑ මිනිසෙකු වූ අතර යා යුතු මග නොබියව ඉදිරියට යන කොන්ද පණ ඇති අයෙකු විලසින් තිස් හත් වසරක් දේශපාලනයෙහි නියැලුනේය. එතුමා පොළවට බරක් වූයේ නැත.
එතුමා ලොක්කෙකුට වඩා සැබෑම නායකයෙකි. ලොක්කෙකු මෙන් වැරදිකරු කවුද කියා සොයනවාට වඩා නායකයකු මෙන් වරද කොතැනද යන්න සෙවීය. ලොක්කෙකු මෙන් ගෞරවය බලෙන් ලබාගන්න ගියේ නැත. නායකයෙකු මෙන් ගෞරවය ඉබේ ලබාගත්තේය. ලොක්කෙකු මෙන් රාජකාරිය හිසරදයක් කර ගන්නවා වෙනුවට නායකයතු මෙන් රාජකාරිය ආශ්වාදයක් කර ගත්තේය. රටට අවශ්‍ය එවැනි රාජ්‍ය නායකයකු අහිමි කර අදට වසර 19කි. එතුමා කර ඇති දේ අපමණය එය අකා මකා දැමිය නොහැක. අදටත් ගම් උදාව ජනසවිය වෙනත් නම්වලින් ක්‍රියාවට නැංවේ.
ශ්‍රී ලංකාවේ කොතෙකුත් රාජ්‍ය නායකයින් පහළ වූවද එයින් අතැඟිලිවලට වඩා අඩු පිරිසක් වාර්ෂික අනුස්මරණය කරයි. එයද අඛණ්ඩව අනුස්මරණය නොකරයි. එම නායකයාගේ පක්ෂය රාජ්‍ය බලය ඇතිවිට ඉතා සාර්ථක අයුරින් අනුස්මරණය කරන අවස්ථාද ඇත. නින්දෙන් අවදිවූවක් මෙන් ඉඳහිට අනුස්මරණය කරන පිරිසක්ද ඇත. එහෙත් දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාව වාර්ෂිකව නොකඩවා අනුස්මරණය කරනවා පමණක් නොව එතුමා පොඩි මිනිහාට කර ඇති මෙහෙවර නිතරම සිහි කරන්නේ.
අනේ ප්‍රේමදාස මහතා සිටියානම් යන බලාපොරොත්තුව හා විශ්වාසනීයත්වය පෙරදැරිවය.
ප්‍රේමදාස මහතා අහිමි වීම පොඩි මිනිහාට වෙසෙසින්ම බලපෑවේය. එම හිඩැස තවමත් පවතී. කෘතගුණ දත් ජනතාව එතුමා වෙනුවෙන් පින් දහම් නොඅඩුව ඉටුකරමින් එතුමාට නිවන් සුව පතයි. සුචරිත ව්‍යාපාරයේ ද පැතුම එය වනු ඇත.


