පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසම බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වග උත්තරකරුවකු ලෙස නම් කර අපරාධ චෝදනා නැගීමට යෝජනා කර ඇත.
2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින මෙරට ප්‍රධාන පෙළේ කතෝලික දේවස්තාන කීපයක් හා තරු පන්තියේ හෝටල් කීපයක් කේන්ද්‍ර කරගෙන එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබද විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂමේ අවසාන වාර්ථාවේ ඥානසාර හිමියන් පිළිබඳ මේ යෝජනාව අන්තර්ගත කර ඇත.
අරුණ සහෝදර ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත වන මෝර්නිං පුවත්පතටම සුවිශේෂී පුවතක් ලෙස අද (12) මෙම පුවත් වාර්තා කර ඇති අතර මොර්නිං පුවත්පතට විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් දැන ගන්නට ලැබී ඇත්තේ ඥානසාර හිමියන්ට සම්බන්ධයෙන් මෙවැනි යෝජනාවක් සිදු කර ඇත්තේ 2014 වසරේදී අලුත්ගම හා බේරුවල ජාතීන් අතර අසමගිය ඇතිවන පරිදි කටයුතු කිරීම යන චෝදනාව යටතේයි. 2014 ජූනි 15ත් 17ත් අතර කාලයේදී කලුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම, බේරුවල හා ධර්ගා නගරය යන ස්තානවලදී මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාරවලින් ආසන්න වශයෙන් සිව් දෙනකු මිය ගොස් 80 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර දේපල විනාශයන්ද සිදු වී ඇති බව මෙහි සඳහාන් වේ.
ආගමික හා ජාතිවාදී මත පතුරවමින් රට තුළ අසහනාකාරී තත්ත්වයන් ඇති කළ පුද්ගලයින් ගැන විමර්ෂණය කිරීමට පත් කළ කොමිසමට ලැබුණු නිල නියෝගවලට අනුව සිදු කළ පරීක්ෂණ වල ප්‍රතිපළ ලෙස ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මෙලෙස චෝදනා නැගීමට යෝජනා ඉදිරිපත් වී ඇත.
මේ සම්බන්ධයෙන් විමසීමට අප ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇමැතූ අවසථාවේදී උන් වහන්සේ සදහන් කර සිටියේ මේ පිළිබඳ උන්වහන්සේ දැන ගත්තේද අද උදෑසන මෝර්නිං පුවත්පතෙන් බවයි. මෙම වාර්ථාව උන්වහන්සේ නොදුටු බවත් වාර්තාව ගෙන්වා ගෙන එහි සඳහන් වන්නේ කුමක්ද යන්න පිළිබඳ විමර්ශනය කර වහාම පුවත්පත් සාකච්ඡාවක් පවත්වන බවද උන්වහන්සේ සඳහාන් කළේය. අලුත්ගම හා බේරුවල ඇති වූ සිද්ධි සම්බන්ධයෙන් උන්වහන්සේ සිර දඩුවම් වින්ද බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහාන් කළේය.