පැරණි අප්‍රිකානු වහලුන්ගේ කතාව

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    පැරණි අප්‍රිකානු වහලුන්ගේ කතාව

    පැරණි අප්‍රිකානු වහලුන්ගේ කතාව අත්ලන්තික් සාගරයෙන් මතුවෙයි


    වසර තුන්සියයක් සැඟව තිබූ රහස

    image_82002eea64.jpg



    පෘතුගීසීන්ගෙන් හා ලංදේසීන්ගෙන් පසුව මුහුදු බලය ව්‍යාප්ත කරගත් ඉංග්‍රීසින්ගේ මූලික ඉලක්කය වූයේ ආසියාවේ කුළුබඩු හා ඇත් දළය. ඔවුහු රටවල් යටත් කරගත්තේ ද එම පරමාර්ථය පෙරදැරි කරගෙනය. බ්‍රිතාන්‍යයේ පෙරදිග ඉන්දීය සමාගමට අයත් නෞකා කුළුබඩු සොයා පෙරදිගට පැමිණෙද්දී එම සමාගමටම අයත් තවත් නෞකා කීපයක් අප්‍රිකාව දෙසට යාත්‍රා කරන්නට විය. මෙම නෞකාවල අරමුණ වූයේ කුළුබඩු නොවේ.
    ඒ වෙනවිට ඇමෙරිකාවේ සුද්දන්ට තිබුණේ වසර දෙසීයකටත් අඩු ඉතිහාසයකි. ඔවුහු මහා පරිමාණයෙන් බිම් වගාකිරීම අරඹා තිබුණි. මේ සඳහා ශ්‍රම බලකායක ඌනතාවකින් ඔවුහු පෙළෙමින් සිටියහ. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම, තවමත් ම්ලේච්ඡ යයි පිළිගෙන තිබුණු අප්‍රිකානු මහාද්වීපයෙන් ඇමෙරිකාවේ වගා කටයුතු සඳහා ශ්‍රම හමුදාවක් සැපයීමේ ජාවාරමට අත ගැසීය. මේ අනුව අප්‍රිකානු රටවලින් බලහත්කාරයෙන් අල්ලාගන්නා ලද හෝ ද්‍රව්‍ය හුවමාරු ක්‍රමය යටතේ කුණුකොල්ලයට ලබාගත් පිරිමින් හා කාන්තාවන්ද වහලුන් ලෙස අැමෙරිකාවට ප්‍රවාහනය කර, වෙන්දේසියේ විකිණීම ආරම්භ විය.
    මීට වසර තුන්සිය දහඅටකට පෙර, එනම් ක්‍රි.ව. 1700 දී ඇමෙරිකාවේ වර්තමාන ෆ්ලොරිඩා ප්‍රාන්තයට ආසන්නයේ අත්ලන්තික් සාගරයේ මුහුදුබත්ව තිබී, 1972 දී සොයාගන්නා ලද හෙන්රීටා මාරි නම් වූ නෞකාව මෙතෙක් සොයාගන්නා ලද වහලුන් ප්‍රවාහනය කරන ලද පැරණිතම නෞකාව ලෙස, සැඟවී තිබුණු කරුණු රැසක් අනාවරණය කරයි. අත්ලන්තික් සාගර පත්ලෙහි තිබී මෙම නෞකාවේ සුන්බුන් අතර තිබී එම නෞකාවේ සීනුව සොයාගැනීමත් සමගම, එය 1699 දී නිෂ්පාදනය කර අප්‍රිකාවේ සිට ඇමෙරිකාවට හා එංගලන්තයට වහලුන් ප්‍රවාහනය කළ ටොන් එකසිය දහයක් බරැති මීටර් විසිහයක් දිග පෙරදිග ඉන්දීය සමාගමට අයත් හෙන්රීටා මාරි නෞකාව ලෙස හඳුනාගන්නා ලදී. වසර තුන්සිය ගණනකට පසුව වූවද එම නෞකාවේ සුන්බුන් හා ඒ අතර තිබී සොයාගන්නා ලද විනාශ නොවී තිබුණු දැවමය හා අනෙකුත් ලෝහමය ද්‍රව්‍ය. එදා අප්‍රිකාවේ සිට වහලුන් ලෙස ගෙන එන ලද ජනතාව පිළිබඳව මහා දිග කතාවක් කියයි.


    අප්‍රිකාවේ නැමීබියා වැනි රටවලින් ඇමෙරිකාවට හා එංගලන්තයට වහලුන් ලෙස ගෙන ඒම සඳහා පිරිමින් සහ කාන්තාවන් බොහෝවිට වෙඩි තැබීමෙන් හා වෙනත් ආකාර බියවැද්දීම් මගින් නොමිලේ ම සපයාගෙන තිබුණු අතර, ද්‍රව්‍ය හුවමාරු ක්‍රමය යටතේ යකඩ කෑලි පිත්තල කෑලි වලට හෝ පබළුවලට හෝ වහලුන් ලෙස අප්‍රිකානුවන් හුවමාරුකරගත් අවස්ථාවන් ද තිබී ඇත. ගෝත්‍රික සටන්වලදී අත්අඩංගුවට පත්වෙන විරුද්ධවාදීන් බොහෝවිට මෙම ද්‍රව්‍ය හුවමාරුව යටතේ වහලුන් ලෙස හුවමාරු වී ඇත. ශක්තිමත් තරුණ වහලෙකු සෙන්ටිමීටර් තිහක් දිග (අඟල් 12 පමණ) යකඩ පටි දහතුනකට එවකට හුවමාරුවී ඇති අතර, කාන්තාවකගේ වටිනාකම වී ඇත්තේ එම ප්‍රමාණයේ ම යකඩ පටි එකොළහක් පමණි. වීදුරු පබළු අහුරකට වහලෙකු ලෙස අප්‍රිකානුවකු ලබාගැනීමේ අවස්ථාවද එවකට තිබී ඇත.


    image_d82ab1b1a2.jpg




    උක්ත ක්‍රමවේදයන් යටතේ වහලුන් ලෙස ලබාගන්නා අප්‍රිකානුවන් අැමෙරිකාවට හා එංගලන්තයට ගෙන ඒම සඳහා හෙන්රීටා නෞකාවේ පහළම තට්ටුවේ ගාල්කර තිබී ඇති බවද හෙළි වී ඇත. උකුණන් සහ මැක්කන් බෝවීම වැළකීම සඳහා වහලුන් නෞකාව තුළ ගාල් කිරීමට පෙර, කෙස් මුළුමනින්ම ම මුඩු කර ඇත. වාතාශ්‍රයෙන් තොර එම කුටිය තුළ වරකට වහලුන් තුන්සියයක් පමණ ප්‍රවාහනය කර ඇති අතර, වහලුන් තම ශාරීරික අවශ්‍යතාවන්ද කර ඇත්තේ එම කුටිය තුළදීමය. කලබලකාරී හා තර්ජනයක් විය හැකි වහලුන් විලංගු දමා මර්ධනය කෙරුණි.


    මාස තුනක් පමණ ගතවෙන මුහුදු ගමනේදී වහලුන්ගෙන් සියයට විස්සක පමණ ප්‍රතිශතයක් මියයෑම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව තිබී ඇත. මෙසේ මිය යන අයගේ මළ සිරුරු මුහුදට ඇද දමා ඇති අතර, මෙම මළකුණුවලට ගිජුවූ මෝරුන් වැනි මත්ස්‍යයින් වහලුන් ප්‍රවාහනය කළ නැව් පසුපස ඒමට පුරුදුවී සිටි බවද සටහන්ව ඇත.


    ඇමෙරිකාවේ ගොඩබිම පෙනෙන තෙක් මානයේදී වහලුන් නෞකාවේ උඩ තට්ටුවට ගෙන, යළි කෙස් මුඩුකර, හොඳින් නහවා පිරිසිදුකර, තුවාල හෝ වෙනත් රෝග ඇත්නම් ඒවාට පිළියම් කිරීම සිරිතක්ව පැවතුණි.
    වහල් වෙන්දේසිය පැවතී අැත්තේ ඇමෙරිකාවේ පෝර්ට් රොයල් නම් වූ ස්ථානයේය. යදමින් බැඳි වහලුන් නිරුවතින් වෙන්දේසියට ඉදිරිපත් කෙරුනි. මිලට ගැනීමට අදහස් කරන වහලාගේ දත් පරීක්‍ෂාකර බැලීම, ශරීරය ස්පර්ෂ කර බැලීම හා අවශ්‍ය නම් සම ආග්‍රහනය කර බැලීමද ලන්සුව තැබීමට පෙර කළ හැකි විය. වහලුන් තුන්සියයක් වැනි සංඛ්‍යාවක් විකිණීමෙන් ස්ටර්ලින් පවුම් තුන්දහසක පමණ ලාභයක් පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමට ලැබුණි. මෙය අද මුදලින් යුරෝ ලක්‍ෂ හතරකට සමාන මුදලකි.


    image_4229fd4679.jpg



    ඇමෙරිකානුවන් විසින් මිලට ගන්නා ලද වහලුන්, ධාන්‍ය, උක් හා කපු වගාවන් සඳහා ශ්‍රම හමුදාව ලෙස යොදා ගැනිණි. කටුක ජීවිතය නිසාම බොහෝවිට වහලෙකු ලෙස ආයු කාලය වසර පහකට හෝ උපරිම දහයකට පමණක් සීමා විය.


    ඇ​ෙමරිකාවේදී නොවිකුණුනු වහලුන් හා සීනි කපු මෙන්ම ගොඩනැගිලි ඉදිකිරීම සඳහා දැව ද පටවාගත් හෙන්රීටා මාරි නෞකාව යළි එංගලන්තයට පැමිණීම සඳහා ඇමෙරිකාවෙන් පිටත් විය. ක්‍රි.ව. 1700 මැයි මස දහඅටවැනිදා මෙම නෞකාව ජැමෙයිකානු වෙරළ අසලින් යාත්‍රා කළ බව අවසන් වරට සටහන්ව ඇත. ෆ්ලොරිඩාවේ කී වෙස්ට් වෙරළට සැතපුම් තිස්හතරක් දුර මුහුදේ නිව් ග්‍රවුන්ඩ් රීෆ්හි මුහුදු පත්ලේ තිබී, වසර තුන්සියයකට පමණ පසුව 1972 දී සොයාගන්නාතුරු, හෙන්රීටා නෞකාවට සිදුවූ දෙය අභිරහසක්ව තිබුණි.


    හෙන්රීටා නෞකාවේ සුන්බුන් අතර තිබී සොයාගන්නා ලද දැවැන්ත කල්දේරම්, වහලුන් බැඳ තැබූ යදම් සහ විලංගු, කාසි, පබලු සහ නෞකාවේ සීනුවද, දීර්ඝ අධ්‍යයනයකින් පසුව දැන් ෆ්ලොරිඩාවේ මෙල් ෆිෂර් නාවුක කෞතුකාගාරයේ මහජන දර්ශනය සඳහා තබා ඇත.








    යටියන
    ක්ලැරන්ස් කොස්තා
     
    Last edited:

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    එන්ගලන්තෙ එවුන් එදා ඉඳලම ආසියාවටයි අප්‍රිකාවටයි කලේ බලුවැඩ .තාමත් එහෙමයි