පිරිත් නූල් බැඳගෙන ක්‍රිකට් ගහන ඕස්ට්‍රේ

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    පිරිත් නූල් බැඳගෙන ක්‍රිකට් ගහන ඕස්ට්‍රේ

    පිරිත් නූල් බැඳගෙන ක්‍රිකට් ගහන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා

    Ashton-Agar_2615305b.jpg


    ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අලුතින්ම තෝරා ගන්නා ලද යොවුන් ක්‍රීඩක ඈශ්ටන් ඒගාර් සිය ශ්‍රී ලාංකීය සම්භවය පිළිබඳව ආඩම්බර වන බව ඔහුගේ මව පවසන්නීය.
    තමන් ශ්‍රී ලංකාවෙන් පිට වී බොහෝ කලක් වන නමුත් සිය පවුලේ සාමාජිකයන් සියලු දෙනාම තවමත් ශ්‍රී ලාංකීය චාරිත්‍ර වාරිත්‍ර පිලි පදින බවයි, සෝනියා ඒගාර් බීබීසී සංදේශයට කියා සිටියේ.

    එංගලන්තයේ පැවැත්වෙන අළු බඳුන කුසලානයේ සමාරම්භක තරඟයේදී ටෙස්ට් පිටියේ අලුත් වාර්තා දෙකක් බිහි කරද්දී ඈශ්ටන් ඒගාර් පිරිත් නූලක් බැඳගෙන ඒ තරඟයට සහභාගි වූයේ සිය මුත්තනුවන් ගේ ආභාෂය හේතුවෙන්.
    ශ්‍රී ලාංකික මවකට සහ ඕස්ට්‍රේලියානු පියෙකුට දාව උපත ලැබූ ඈශ්ටන් පළමු වරට ටෙස්ට් තරඟයකට සහභාගි වූයේ මෙවර අළු බඳුන තරඟාවලියේදී.
    තමාගේ පුතුන් තිදෙනා කතෝලිකයන් වුවත් ශ්‍රී ලාංකීය සම්භවය පිළිබඳව ඔවුන් ආඩම්බර වන බව සංදේශයට කියා සිටි සෝනියා ඒගාර්, අළු බඳුන තරඟාවලියට ඈශ්ටන් තෝරා ගනු ලැබීමෙන් අනතුරුව, මෙල්බර්න් නුවර බෞද්ධ විහාරයට ගිය තමා විජිත හිමියන් ගෙන් පිරිත් නූලක් රැගෙන විත් එය ඈශ්ටන්ට දුන් බව ද සඳහන් කළාය.
    1974 දී ශ්‍රී ලංකාව හැර ගිය ඔහුගේ මව, සෝනියා හේවාවිස්ස, එදා මෙදා තුර යලි ශ්‍රී ලංකාවට පා තබා නැහැ.

    සිවු දශකයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවට පා තබා නැතත්, ශ්‍රී ලංකාවේ ගත කළ බාල විය පිළිබඳව තමන්ට තවමත් සුන්දර මතකයක් තිබෙන බව පවසන සෝනියා, දරුවන් සමඟ තමන් තවමත් සිංහල, දෙමළ අලුත් අවුරුද්ද සමරන බව ද පවසන්නීය.
    සිය නිවසේ පැවැත්වෙන සාදයන් හිදී ආප්ප බුදිමින් පවුලේ සියලු දෙනා ප්‍රීතිවන බව පවසන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයාගේ මව, ශ්‍රී ලංකාවේ තරම් මිරිස් රස නැතත් සියලු දෙනාම ලාංකීය කෑම වේල රස විඳින බව ද සඳහන් කරන්නීය.
    මුරලි සහ රංගන හේරත්
    සිංහල පියකුට සහ බර්ගර් මවකට දාව උපත ලැබූ ඇයට සිය ස්වාමි පුරුෂයා, ජෝන් ඒගාර් හමුවී තිබෙන්නේ මීට වසර තිහකට ඉහත දී.
    ඩේව් වට්මෝර් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කොට තිබෙන ජෝන්, ඈශ්ටන් ගේ ක්‍රිකට් දිවියට දිරි දුන් ප්‍රධානම චරිතයයි.
    "ජෝන් ඕස්ට්‍රේලියාවේ ඉහලම පෙලේ ක්ලබ් එකකට සෙල්ලම් කෙරුව. මම අවුරුදු තිහක් ජෝන් ව දන්නවා. එයා ඩේව් වට්මෝර් වගේ අය එක්ක සෙල්ලම් කළේ," යනුවෙන් ද ඇය කියා සිටියා.

    සචින් තෙන්ඩුල්කාර්, ෂේන් වෝන්, ස්ටීව් වෝ ඇතුළු ක්‍රීඩකයන් මෙන්ම මුත්තයියා මුරලිදරන් සහ රංගන හේරත් ඈශ්ටන් ඒගාර් ගේ ක්‍රිකට් ලෝකයේ විරුවන් බව ද පවසන්නීය.
    එදා මෙදා තුර ශ්‍රී ලංකාවට පා නොතැබූ නමුත් සිය දෙටු පුතා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තේරී පත් වීමත් සමඟම ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හැකි වනු ඇතැයි ද ඇය බලාපොරොත්තු පළ කළාය.

    BBC
     
    • Like
    Reactions: c boy and kellsupun