පුද්ගලික රෝහල් මාෆියාව

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    පුද්ගලික රෝහල් මාෆියාව

    රජෙකු වුණත් ගිලන් වෙලා
    එක්තැන් වුන දා
    හිතනවාට සැකයක් නෑ
    නිරෝගි කම හැර
    සැපයක් ලොවේ කොයින්දා
    මේ සුනිල් එදිරිසිංහ විසින් ගයනු ලැබූ ගීයක පද කීපයකි. මේ ගීතය ලියූයේ කවුද යන්න නිර්-රාමු නොදනී. එසේම මේ ගීත ගැන කෙරෙන විවරණයක්ද නොවේ. මිනිසෙකුට ඇති උතුම්ම සම්පත නිරෝගීභාවයයි. නමුත් අප අතරින් බොහෝ දෙනා රෝගී වෙති. එනිසා රෝගී නොවීමට පසු ඇති හොඳම දෙය ඉකමණින් රෝගයෙන් සුවය ලැබීමයි. මේ සහනය අපට ලබා දෙන්නේ රෝහල් වලිනි.
    ඔබ සැම දන්න පරිදි මෙරට රෝහල් සේවය රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික සහ හමුදා ලෙස කොටස් හතරකට බෙදනු ලැබේ. මෙයින් පහසුකම් බොහෝ ඇති හමුදා රෝහල් වල ප්‍රතිකාර ලබා ගැනීමට අපට නොහැකිය. අපට ප්‍රතිකාර ගත හැක්කේ අනෙක් රෝහල් වලින් පමණය. රාජ්‍ය රෝහල් (උදා: මහනුවර මහ රෝහල, කරාපිටිය මහ රෝහල) තම සේවය නොමිළයේ ලබා දෙන අතර අර්ධ රාජ්‍ය රෝහල් (උදා: ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල) සහ පුද්ගලික රෝහල් (උදා: ආසිරි, ඩර්ඩන්ස්) මේ සඳහා මුදල් අය කරනු ලබයි. අප බොහෝ දෙනාට යහමින් මුදල් නැත. එනිසා රජයේ රෝහලකින් නොමිළයේ දෙන බෙහෙත් ගැනීමට හැකිනම් එය අපේ භාග්‍යයක් බව කිව යුතුය. නමුත් රජයේ රෝහල් වලට කරන ගමන, බොහෝ දෙනෙකුගේ සිතේ අප්‍රියජනක හැඟීම් ඇති කරවන අත් දැකීමකි. අධික පෝලිම්, අපිරිසිඳුකම හා ඖෂධ හිඟය මේ අතරින් ප්‍රධාන තැනක් ගනී. මේ බෙහෙත් දෙන්නේ නොමිළයේ බැවින් මේ ගැන අපට නිතරම කන් කෙඳිරි ගෑමට නුපුළුවන. නමුත් රෝහල් වල දොස්තරවරු, හෙදියන් හා කණිෂ්ඨ කාර්යමණ්ඩලය රෝගීන්ට සලකන අන්දම නම් ජුගුප්සා ජනක බව නොකිව මනාය. සායනය අටට පටන් ගත යුතු වුවත්, දොස්තර සායනයට එන්නේ අටයි තිහටය. ඒ ලෙඩ්ඩු ඉතාම වාසනාවන්ත නම් පමණකි. සායනයේ හෙදිය යක්ෂාවේශව රෝගීන්ට බැණ වදී. සායනයේ කංකානම්ලා සන්තෝසම් ගනිමින් ලෙඩ්ඩු පෝලිම් පන්වා බෙහෙත් අරන් දෙති. මේ ලෙඩ්ඩු කංකානම්ලාගේ නොවන බව දැන දැනත් දොස්තරලා පෝළිමෙන් පිට සිටිමින් බෙහෙත් ලියා දෙති. මෙ කතාව හැම සායනයකම සිදු වන එකකි. වාට්ටු වල තත්වයද මීට නොදෙවෙනිය. ලෙඩුන්ට කතා කරන්නේ සතුන්ට මෙනි. වැසිකිළි අපායවල් බඳුය. වාට්ටුවල මැස්සන් පිරී ඇත. ඔක්කොටම එහායින්, අපේ පන්තියේ ලෙඩ්ඩුද වැසිකිළි වලට රී වතුර ගසන්නේ නැතුව දොරකඩ රෙවා එති.
    මෙ නිසාම කරදරයක් නොමැතිව බෙහෙත් ගන්නට බොහෝදෙනා පුද්ගලික රෝහල් වෙත ගමන් කරන්නට පටන් ගෙන තිබේ. හන්දියේ දොස්තරගේ “පොල්” කඩයේ සිට ආසිරි වැනි මහ රෝහල් දක්වා මේ පුද්ගලික වෛද්‍ය සේවය විහිදෙයි. මේ එක් එක් තැන්වලදී එක් එක් උප්පරවැට්ටි වලින් රෝගියා ගසා කෑම සිදු කරනු ලබයි. හන්දියේ දොස්තර බෙහෙත් ගේන්නේ ඔසු සලෙනි. ඔසු සලෙන් දොස්තර හැඳුනුපත පෙන්වූ විට තොග මිළට බෙහෙත් ලබා දෙයි. මීට අමතරව ඉන්දියාවෙන් බාල බඩු ගෙන්වන බෙහෙත් මුදලාලිලා දොස්තරලාට මීටත් අඩු මුදලට බෙහෙත් සපයති. හන්දියේ “පොල්” කඩයෙන් ලැබෙන්නේ මෙන්න මේ අන්තිම පහත් පෙළේ ගුණයෙන් යුතු බෙහෙත්ය. නමුත් බෙහෙත් වලට මිළ නියම වන්නේ ඔසු සලේ මිළට සමානවය! ඔසු සලෙන් මිළදී ගන්නා දොස්තරලාට නම් අපි පින් දෙමු. වැඩිපුර මුදලක් අය කළත් හරි හමන් බෙහෙතක් ඔවුන් ලබා දෙන බැවිණි. නමුත් ඉන්දියන් සහ පකිස්ථානු අගු පිල් වල අසුරණ සමහර බෙහෙත් අපට දෙන දොස්තරලාට වැදිය යුත්තේ කුමක්දැයි තීරණය කිරීම පාඨකයන්ට භාර දෙමි.
    නර්සිං හෝම් සහ පුද්ගලික රෝහල් වල තට්වය මීටත් භයානකය. මෙහිදී දොස්තරලා පමණක් නොව රෝහල් අධිකාරියද රෝගියා ගසා කති. ඒ මදිවාට රෝහල් අධිකාරිය හෙදියන් හා සාමාන්‍ය වෛද්‍යවරුන් ගේ ශ්‍රමය ද ඒ තරම්ම කැත අන්දමට සූරා කති. මේ සූරා කෑම ජයටම කෙරෙන එක හේතුවක් වන්නේ මේ රෝහල් වල පූර්ණ කාලිනව වැඩ කරන දොස්තරලා බොහොමයක් රජයේ “Act 16″ විභාගය අසමත් වී වෛද්‍ය කවුන්සලයේ ලියාපදිංච් වී නොතිබීමය. එවිට සූරා කෑම ගැන නීතිය හමුවට ඔවුන්ට යාමට නොහැක. කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ කරන රජයේ රෝහල් වල දොස්තරලා නම් නිති පතා තග දමමින් මඳක් හෝ සාධාරණ වැටුපක් ලබා ගනිති.
    රජයේ රෝහල් වල මෙන් නොව පුද්ගලික රෝහල් වල රෝගී සත්කාරය සම්පූර්ණයෙන්ම විශේෂඥ වෛද්‍යවරයා සතු කාර්යයකි. එවිට මේ මහ දොස්තර අය කරන ඕනෑම ගණනක් බිලට දැමීමට රෝහල එකඟ වෙයි. උදාහරණයක් ලෙස චැනල් කරන්නට ගාස්තුව රුපියල් 500ක් නම් රෝහල එයට එකඟ වෙයි. ඒ මදිවාට 75%-100% දක්වා රෝහල් ගාස්තුවක්ද එයට එකතු කරති. දැන් චැනල් ගාස්තුව රුපියල් 900ක් පමණ වේ. මහ දොස්තරට එයින් 500ක් යයි. කාමරය සපයන රෝහලට රුපියල් 400ක් යයි. කාමරයේ ලෙඩුන් බලන්නට උදවු කරන නර්ස් කෙල්ලට රෝහලෙන් ගෙව්න්නේ රුපියල් 10,000 – 12,000 දක්වා පඩියකි. ඒත්, දින 24ක් වැඩ කරන පොරොන්දුව පිටය. එවිට දිනකට ඇයට ගෙවන්නේ රුපියල් 500ක් පමණි. මහ දොස්තර ලෙඩුන් 40ක් බලන්නේ නම්, නර්ස් කෙල්ලට ගෙවන්නේ ඉන් 2.5%කි. ඉතිරි සියල්ලම රෝහල් මුදලාලිගේ පසුම්බියට යයි. මේ හැර රෝහලේ වාට්ටු වල වැඩ කිරීමටත්, සමහර විට වලත්ත මහ දොස්තරලාගේ වෙනත් උවමනා එපාකම් ඉටු කිරීමටත් මේ කෙල්ලන්ට සිදුවන බව අපි අසා ඇත්තෙමු.
    නර්ස් කෙල්ලන්ට වඩා බොහෝ දුරට උගත් සාමාන්‍ය දොස්තරලාට අත්වන්නේ සමාන ඉරණමකි. පැයකට රුපියල් 250-350 දක්වා වූ පඩියකට මොවුන් පැය 6 -12 දවා සේවා මුර සඳහා යොදා ගනිති. ලෙඩුන් 15 පමණ සිටින එක් වාටුවකට එක් දොස්තර කෙනෙක් යොදවයි. මේ දොස්තර ලෙඩා ගේ නාඩි බලා ඇඳ ඉහ පතේ ලිවූවත්, එයට රුපියල් 300 ක ගාස්තුවක් අයවේ. යම් හේතුවක් නිසා මෙයට වඩා බරපතල යමක් කිරීමට සිදු වී නම් ගාස්තුව මෙයටත් වැඩිවේ. රෝගීන් 15ක් සිටින වාටුවක රාත්‍රී මුරයේ එක් රෝගියා තුන්වර බැගින් බැලූවත් රෝගීන් පහළොස් දෙනෙකුගෙන් රුපියල් 13500ක මුදලක් අයවේ. නමුත් වාටුව භාර දොස්තරට ගෙවන්නේ රුපියල් 3000ක් එනම් 22% පමණකි. ඉතිරි සියල්ලම මුදලාලිගේ සාක්කුවට යයි. නමුත් සමහර මහ දොස්තරලා උදෙට ලෙඩාට “හලෝ” කිවූවත් රුපියල් 2500ක් පමණ බිල නම් වැටේ!
    ඊලඟ ගසා කෑම සිදුවන්නේ ඊනියා “පැකේජ” හරහාය. මේ පැකේජ, එක් එක් රෝගී තත්වයට ප්‍රතිකාර කිරීමට ගන්නා “සම්මත” මිළ ගනන් වේ. උදාහරණයක් ලෙස දරු ප්‍රසූතියකට, නියපොත්තක් ඉවත් කිරීමට එසේත් නැතිනම් ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයකට මෙසේ පැකේජ ඇත. මේ පැකේජ වල දොස්තර ගාස්තු, රෝහල් ගාස්තු වලට අමතරව, රෝගියාට ප්‍රතිකාර කරන විට වැයවෙන ද්‍රව්‍ය වල ලැයිස්තුවක්ද අඩංගු වේ. ගසා කෑම සිදු වන්නේ මෙන්නේ මේ ද්‍රව්‍ය වලට දාන බිල් වලිනි. මේ ද්‍රව්‍ය සන්න්හහා බොහෝ විට ඵැකෙජයේ මුදලින් 10%ක් වත් වෙන් නොකරන අතර, පැකේජයේ සඳහන් ද්‍රව්‍ය පරමාණය එකී ප්‍රතිකාර සඳහා කෙසේවත් ප්‍රමාණවත් නොවේ. මෙනිසා අමතර ද්‍රව්‍ය යොදන අතර, ඒ සඳහා ගිණි කපුරු බිලක් ද ඒ සමග එකතු වේ. උදාරණයක් ලෙස හර්නියා සැත්කම පැකේජයේ ඇත්තේ “ගෝස්” මීටර කීපයක් පමණි. එය මේ ශල්‍යකර්මයට කිසිසේත් ප්‍රමාණවත් නොවේ. අමතර ගෝස් සඳහා පෙර පරිදි ගිණි කපුරු මිළක් එකතු කරනු ලබයි.
    ඊලඟ ගසා කෑම සිදු වන්නේ දැඩි සත්කාර සේවය හරහාය. රජයේ රෝහල් වල දැඩි සත්කාර ඒකක නිතරම රෝගීන් ගෙන් පිරී පවතින නිසා, හදිසියේ එවන් ඒකකයක් ඉඩක් සොයා ගැනීම අපහසුය. මෙවිට රෝගියා ජීවත් කර ගැනීම එකම පරමාර්ථය වූ නෑදෑයින් කරන්නේ පුද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයකට රෝගියා ඇතුළු කිරීමය. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා පුද්ගලික රෝහල්, හිත් පිත් නැති, අමානුෂික අන්දමින් රෝගියා හූරාගන කති. දැඩි සත්කාර ඒකකයට රෝගියා ඇතුලු කරන විටම මහ දොස්තරලා දෙදෙනෙකුටවත් මුදල් වැටේ. ඒ සිහි නැති කරන මහ දොස්තර සහ කායික රෝග / ළමා රෝග / නාරිවේද / ශල්‍ය මහ දොස්තර කෙනෙක් ද වශයෙනි. මේවන් රෝගීන්ට නොයෙක් රෝග ඇති නිසා ඒ එක් එක් රෝග වලට විශෙෂඥතාවය දවන මහ දොස්තරලාට ඊලඟට යොමු කෙරෙයි. පෙණහල්ලට එක අයෙක්, වකුගඩුවට එක අයෙක්, මොළෙට ලේ බැසීම සම්බන්ධයෙන් එක අයෙක් ලෙස මහ දොස්තරලා රෑනකගගේ ම බිල් රෝගියාට වැටේ. මේ සේවය අත්‍යවශ්‍ය බව කෙනෙක්ට තර්ක කිරීමට පුළුවන. නමුත් මේ ඔක්කොම අවශ්‍යද යන සාධාරණ සැකය නම් අපට මතු වීම ස්වභාවිකය.
    ඉන් පසු ගසා කෑම සිදු වන්නේ ඖෂධ හරහාය. ලෙඩෙකුට පැය කීපයක් ඔක්සිජන් දුන්නත්, රෝහල් අධිකාරිය ඔක්සිජන් සිලින්ඩරයකම බිල රෝගියාට එකතු කරයි. මිනිත්තුවට ලීටර 4 ගණනේ ඔක්සිජන් සිලින්ඩරයක් පැය 60කට වඩා පාවිච්චි කළ හැකි බව භෞතික විද්‍යාව ගැන සරල දැනුමක් ඇති ඕනෑම අයෙකුට වැටහේ. නමුත් අපි හරකුන් ලෙස සිතා සිටන රෝහල් අධිකාරිය පැය කීපයකටත් සිලින්ඩරයකම මුදල එයට එක් කරති. එසේම සිහි නැති කිරීමට ගන්නා වායූන් සම්බන්ධවද ගසා කෑම මේ අයුරින්ම වේ. එන්ෆ්ලූරේන්, නයිට්‍රස් ඔක්සයිඩ් සහ අයිසොෆ්ලූරේන් වැනි වායූන් සඳහා මේ රෝහල් අතිවිශාල බිලක් අය කරනු ලබයි. සමහර සැත්කම් සඳහා අවශ්‍ය වන්නේ ප්ලාස්ටර් අඩියක් පමණ ප්‍රමාණයක් වුවත්, බිල වැටෙන්නේ තනිකර ප්ලාස්ටර් රෝලකටය. පැරිස් බදාම යොදන විට (කැඩුම් බිඳුම් සඳහා) වැයවන්නේ රෝල් කීපයක් වුවත්, බිල වැටෙන්නේ රෝල් 25 පෙට්ටියකටය. ගසා කෑමේ තරම ඔන්න ඔය ආකාරය!
    ඊලඟ ගසා කෑම සිදු වන්නේ පරික්ෂණ වාර්තා හරහාය. බාහිර රෝගියෙක් ලෙස මුත්‍රා පරීක්ෂණයට වැයවන්නේ රුපියල් 240ක් වුවත්, අභ්‍යන්තර රෝගීයකුට රුපියල් 320ක බිලක් වැටේ! කෙලින්ම 33%ක වැඩිවීමකි. ෆුල් බ්ලඩ් කවුන්ට් එකක බාහිර රෝගියෙකුට රුපියල් 350කි. අභ්‍යන්තර රෝගියෙකුට රුපියල් 490කි. මෙලෙස එකී මෙකී නොකී සියළුම පරීක්ෂණ බාහිර රෝගී අංශයෙන් කරන්වාට වඩා 25% – 75% දක්වා වැඩි මිළක් නේවාසික රෝගියකුට ගෙවීමට සිදුවේ. මේ දෙගොල්ලන් ගේ ම පරීක්ෂණ වලට භාවිතා වන්නේ එකම ප්‍රතිකාරකයන්ය. එසේ නම් ගන්නා මුදලද සමාන විය යුතුය. එක්කෝ බාහිර රෝගීන්ගේ පරීක්ෂණ වලට බාල ප්‍රතිකාරක යොදනවා විය යුතුය. කෙසේ බැලුවත් රෝහලෙන් කෙරෙන්නේ වංචාවකි. එසේම මහ දොස්තරලා අතදිගහැර මේ පරීක්ෂණ නියම කරන අන්දම අනුව, ඔවුන්ටත් මේකෙන් කොමිස් එකක් යනවාද යන සැකයක් අප තුළ මතු වෙමින් යයි.
    මේ මතු කලේ පුද්ගලික රෝහලේ ගසා කෑමෙන් ඇබින්දක් පමණකි. ඇත්ත යකා මීට වඩා බොහෝ සේ කළුය. මේ මුදලාලිලාගෙන් රෝගියා ආරක්ෂා කර ගැන්මට සෞඛ්‍ය ඇමතිතුමා දැන්වත් පියවර ගත යුතුය. ලොකු කතා කියවමින් ඉන්නවාට වඩා රෝගීන්ගේ බිල් විගණනය කිරීමට කඩා පණින කණ්ඩායමක් යෙදෙව්වා නම් පුද්ගලික රෝහල් වලින් රෝගීන් ගේ ඉහමොළ හූරා ගෙන කෑම මදකින් හෝ අඩු වනු ඇත.


    http://lankacnews.com/sinhala/main-news/23394/