පූර්ණ ඒකාධිපතිත්වයක් කරා ඉදිරියටම

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    පූර්ණ ඒකාධිපතිත්වයක් කරා ඉදිරියටම

    අද ලංකාව ආර්ථික , සමාජයීය හා දේශපාලනික වශයෙන් දිනෙන් දින ආගාධයට යමින් තිබේ.රටේ ජනතාවගෙන් බහුතරයක් පවත්නා ජරපත් ක්‍රමයට අනුගත වෙමින් කෙසේ හෝ තමන්ටත් කුට්ටියක් කඩා ගැනීමට තැත් කරමින් සිටිත්දී විපක්ෂයේ දේශපාලන පක්ෂ තමන්ගේ අභ්‍යන්තර ගැටළු විසඳා ගැනීමේ මාරන්තික අරගලයක යෙදී සිටියි. මේ අර්බුදයට සංවේදී වෙමින් යම් තරමක හෝ ප්‍රතිරෝධයක් හා විවේචනයක් එල්ල කරන කණ්ඩායම් අතර විශ්වවිද්‍යාල සිසුන් පොදුවේත් හා ආචාර්යවරුන් ගෙන් සමහරකුත් පෙරමුණේ ම සිටිති.

    විශේෂයෙන්ම යෞවනයේ පසුවන සරසවි සිසුන් තරුණ වියේ ආවේගශීලිත්වයත් හා මුසු සංවේදී බව නිසාම රාජපක්ෂ රෙජිමය රට ගෙනයන විනාශයේ මාවතට එරෙහිව යම් හඬක් නගති. රාජපක්ෂලා තම උන්මත්තක අන්තේවාසිකයෙකුට අධ්‍යාපන ඇමතිකම පවරා සරසවි සිසුන් මර්ධනය සඳහා යැව්වේ ඒ නිසාය. අන්ත ඒකාධිපතිත්වයක් කරා යන තම ගමනට එරෙහිව නැගෙන හඬක් නැවත්වීමටය.

    මේ වන විට සරසවි තුල සිටින තම ඇම්බැට්ටයින්ගේත් සහය ඇතිව ඉතා විශාල ශිෂ්‍ය මර්ධනයක් දියත් වෙමින් තිබේ. සරසවි සිසුන් මෙතෙක් කල් භුක්ති විඳි දේශපාලන හා සමාජ නිදහස සම්පූර්ණයෙන්ම වල දමා ඇත. සිසුන් සිය ගණනකගේ ශිෂ්‍ය භාවය අහෝසි කර දමා තවත් විශාල සිසුන් පිරිසක් සිර ගෙට යවා ඇත.

    සිසුන්ට එසේ පහර දෙත්දී සරසවි ඇදුරන් කිහිප දෙනෙකු ඇර පොදු බහුතරය නිහඬවම සිටියහ. නැතහොත් කුමන හෝ හේතුවක් මවා ගනිමින් අනියමින් හෝ නියමින් සිසු මර්ධනයට සහය දුන්හ.

    එහෙත් දැන් ලබ්බට තැබූ අත පුහුලට තැබුවාක් මෙන් සරසවි ඇදුරන් වෙතද මර්ධනයේ හස්තය දියත් වෙමින් තිබේ.

    එහි ප්‍රථම පියවර ලෙස පසුගියදා සරසවි ඇදුරන්ගේ අදහස් පල කිරීමට ඇති අයිතියට වැට බඳිමින් ප්‍රතිපාදන කොමිසම එලි දැක් වූ චක්‍රලේඛය හැඳින්විය හැක.

    එම චක්‍රලේඛයට අනුව මින් පසු සරසවි ඇදුරන් යම්කිසි වැඩමුළුවකට හෝ සම්මන්ත්‍රණයකට සහභාගි වන වීමේදී ඒ සඳහා උසස් අධ්‍යාපන ලේකම් වරයාගෙන් අවසර ලබා ගත යුතුය.

    ඔහු විසින් අවසර ලබා නොදෙන යම් සම්මන්ත්‍රණයකට ‍රැස්වීමකට සහභාගි වීම තහනම්ය.

    උසස් අධ්‍යාපන ඇමැත්තාගේ චක්ගෝලයකු වන ලේකම් වරයා රජය විවේචනය කරන ‍රැස්වීම් සම්මන්ත්‍රණ සඳහා සහභාගී වීමට ඇදුරන්ට කිසි සේත් ඉඩ නොදෙනු ඇත.

    මෙය පැහැදිලිවම රාජපක්ෂ රෙජිමය ඒකාධිත්වය කරා යන ගමනේ තවත් එක් පියවරකි.

    මේ උත්සාහ කරන්නේ සරසවි ඇදුරන් බඳු සමාජය තුල යම් පිලිගැනීමක් ඇති පුද්ගලයන් ප්‍රසිද්ධියේ රජය විවේචනය කිරීම වැලක්වීම බව ඉතා පැහැදිලිය.විශ්වවිද්‍යාල යනු ශාස්ත්‍ර ගවේෂණයට හා සංවාදශීලිත්වයට ‍තෝතැන්නක් විය යුතු තැනකි.මේ චක්‍රලේඛ වලින් වැලක්වීමට උත්සාහ කරන්නේ එයයි.

    මේ ගැන යම් යම් මාධ්‍ය කිහිපයක් වෙත කරුණු දක්වා ඇති උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී.ජී. ජයසිංහ මහතා කියා ඇත්තේ අදාල චක්‍රලේඛය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැකසූ එකක් නොවෙන බවත් ජනාධිපති ලේකම් කාර්යාලය විස්න් සකසා තමන් වෙත එවූ එකක් බවත්ය. මේ අනුව නිදහස් අදහස් මර්ධනයට උවමනා වී ඇත්තේ කාටදැයි ඉතා පැහැදිලිය.

    තවත් කාරණයක් නම් පසු ගියදා ජීනිවා වලදී ශ්‍රී ලංකාවට මානව හිමිකම් චෝදනා එල්ල වූ විට ආණ්ඩුවේ කේවට්ටයින් හා ඇම්බැට්ටයින් සියලු දෙනා එක හඬින් ශ්‍රී ලංකාවේ එබඳු මානව හිමිකම් ප්‍රශ්නයක් නැතැයි කියා කට ගන්නටත් පෙර මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී චක්‍රලේඛය එලි දැක්වීමයි.

    මේ අවස්ථාවේ නිදහස හා මානව හිමිකම් ගැන යම් සංවේදීතාවක් ඇති මිනිසුන්ට අප කියා සිටින්නේ අදම මාර්ටින් නිමොලර් සිහි කරගන්නා ලෙසයි. සමහර විට හෙට වන විට ප්‍රමාද වැඩි විය හැක.

    සටහන-පසුගියදා පැවත්වූ රාවය 25 සංවත්සරයේදී ජනාධිපතිවරයාත් ඉදිරියෙන් තබාගෙන මහාචාර්ය සරත් විජේසූරිය මහතා කල කතාව , ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හෝ වෙන යම් කිසි තැනකින් ගත් මේ තීන්දුවට බල පෑ එක් ප්‍රධාන හේතුවක් වීමට ඉඩ ඇත.


    “First they came for the communists, and I did not speak out—
    because I was not a communist;
    Then they came for the socialists, and I did not speak out—
    because I was not a socialist;
    Then they came for the trade unionists, and I did not speak out—
    because I was not a trade unionist;
    Then they came for the Jews, and I did not speak out—
    because I was not a Jew;
    Then they came for me—
    and there was no one left to speak out for me.”
    ― Martin Niemöller
     
    • Like
    Reactions: mcwolfe