සුගත්... දම්මිට හුඟාක් ආදරේ කළා.... ධම්මිත් ආදරය කළා.... ඒත්... අන්තිමේදී ඇය සුගත්ව දාල ගියා..... සුගත්ගෙ හදවත ගොළු වුණා... තනිකම... පාළුව දරාගන්නම බැරි තැන සුගත්ගෙ හිතවතා වුණේ මධුවිත.... දුම්වැටිය... දම්මි සුගත්ගෙන් ඈත් වුණත් මධුවිතයි දුම්වැටියයි සුගත්ව අතැර ගියේ නැහැ.... මේ බව දැනගත් දම්මි... ආයෙත් සුගත් ගැන හිතන්න පටන් ගත්තා.....
ගොළු හදවතේ දම්මිලා.... අදත් අප අතර ඉන්නවා.... දම්මිලා නිසා පාළුව තනිකම එක්‌ක දවස ගෙවන සුගත්ලාත් ඉන්නවා...
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
ඔයා මගේ ජීවිතේට ආවේ හුඟාක් දුරක ඉඳලා නොවේ... මේ ළඟම ඉඳලා තමයි ඔයා මගේ හිත හොරා ගත්තේ.... නොකියාම මගේ ජීවිතයට එකතුවුණ ඔයා යන්න ගියා... ආයමෙත් ආවා... ඒත් මට බයයි... නැවතත්... ආදරෙන් පලා යාවි කියලා....
රචිතා වාකිෂ්ඨ... කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක්... ඇය තමයි මේ ගීය ලියුවේ....
මේක ඇත්තටම කැම්පස් එකේ මට ගොඩාක්‌ම හිතවත් මිතුරෙකු මුහුණ දුන් අත්දැකීමක්... ඔහු හම්බන්තොට දුෂ්කර ගමක ඉඳලා කැම්පස් එකට ආවේ... ඉගෙන ගන්න හරිම දක්‍ෂයි. මෙයා නුවර ඉඳලා කැම්පස් ආ ගැහැනු ළමයෙක් එක්‌ක යාළු වුණා.... ඒ ගෑනු ළමයම තමයි සම්බන්ධෙ පටන් ගත්තේ... මගේ මිත්‍රයා... ඇයට හුඟාක් ආදරේ කළා....
දකින හිමිවන හීනේ... නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා
ඇත්තමයි නුඹ අහසක්a වගේමයි හිතුණා
ඔහු ඇයට කොතරම් ආදරේ කළා ද කිව්වොත් මොහොතකට දෙනෙත් පියාගත්තත් පෙනෙන්නේ ඇයමයි.... වෙලාවකට ඇය ඔහුගේ උරතලයේ හිස තියාන හඬනවා... වෙලාවකට හිනාවෙනවා... ඔයාත් හරියට අහස වගේමයි... ඔහු ඇයට කියූ වාර ගණන අප්‍රමාණයි... ඒ මතක සැමරුම් ඔහුගේ ජීවිතය හා සමානයි....
මගේ මිත්‍රයා ඇයට කොතරම් ආදරේ කළත්... ඇය ටික කලකදී ඔහුව මඟහරින්න පටන් ගත්තා.... ඔයා හද්ද වන්නියේ... අනෙක දුප්පත්... ෆැමිලි බැක්‌ග්‍රවුන්ඩ් එකත් මට ගැළපෙන්නෙ නෑ..." එහෙම කියලා ඇය ඔහුව ප්‍රතික්‍ෂේප කළා....
කැම්පස් එකේ තියෙනවා බිත්ති පුවත්පතක්.... ඇය කොයිතරම් රිදවූවත් ඔහු ඇයට දොස් කිව්වෙ නැහැ... තරහා ගියෙත් නෑ... ඇයට ඔහු ප්‍රතිචාර දැක්‌වූයේ බිත්ති පුවත් පතින්... ඔහු බිත්ති පුවත්පතට තමන්ගේ හැඟීම් ලියුවා... තවමත් ආදරෙයි... කියලා ඔහු ලියුවා....
නුහුරු නුපුරුදු හීන අරන්
ළඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
ඔහු තනිවුණා.... හරියට ගොළු හදවතේ සුගත් වගේ.... තමන්ටම වධ දෙන්න පටන් ගත්තා.... තනිකමට.... පෙම්කරන්න පටන් ගත්තා...
මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුණා
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුණා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා
ඇය ඈතට ඈතට යන්න ගියා... ඒ ඔහුට මිරිඟුවක් පෙන්නලා... ඇගේ ආදරේ ආයෙත් කිසිදාක ලැබෙන එකක් නෑ.... ඔහුට හිතුණා... කැම්පස් එකේ කොල්ලෝ කෙල්ලෝ අතර රංචු ගැහිලා හිටියත්.... ඈ නැති තනිකම දැනුණා... ඇයගේ හමුවීම.... තුරුලුවෙලා ආදරය කළ අයුරු.... හරියට ඉක්‌මනින්ම පෙනිලා නොපෙනී යන හීනයක් වගේ... මගේ හිත හුඟක් රිදුණා.. මේ ආදරය කිසිම අර්ථයක් නැහැ කියලා වෙලාවකට හිතෙනවා.....
මගේ මිතුරා දුක්‌විඳින්න ගත්තා.... ඒත් ඒ ගෑනු ළමයා ආයෙත් ඔහුට ළං වුණා.... ඔහුට අදහා ගන්නත් බැහැ... ආයෙත් බිත්ති පුවත්පතට ඔහු මෙහෙම ලියනවා... එයා ආයෙත් නොකියාම මගේ ජීවිතේට ළං වුණා.... මට බයයි.... ආයෙත් මාව දාලා යාවිද කියලා....
මේ ගීය ගැළපෙන්නේ ආත්මා ලියනගේ හැඟුම්බර හඬකට. රචිතා වාකිෂ්ඨ ගීය ලියුවේ තිළිණ රුහුණගේගේ මෙලෙඩි එකකට. මෙලෙඩි එකත්, පදමාලාවන් දුටු ආත්මා එකපයින් ගීය ගයන්න එකඟ වෙලා... දවසින් දෙකෙන් ගීතයේ වැඩ අවසන්... මෙලෙඩි එක හදපු තිළිණ හිරු එෆ් එම් සංගීත අධ්‍යක්‍ෂවරයා... රචිතා... තවමත් සරසවි දියණියක්....
ඇගේ පියාත් ප්‍රවීණ ගීත රචකයෙක්. ඔහු චන්ද්‍රd වාකිෂ්ඨ. උතුරු කොනේ නුඹ හිනැහේ.... නඩරාජා මල්ලියේ..." කපුගේ ගැයූ ගීයේ රචකයාත් රචිතාගේ පියා....
ආත්මා ලියනගේ ගයන පෙනෙන නොපෙනෙන ගීය මේ දිනවල තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය ගීයක්... මේ ගීය හිට් වෙන්න බලපෑවේ පද මාලාවත්, තනුවත්, ගායනයත් තුනම ඉස්‌තරම්ම මට්‌ටමක තියෙන නිසා බවනම් නිසැකයි.
අජිත් අලහකෝන්