පොලීසියේ ලොකු මහත්වරුන් අනුර සේනානායකගෙන් උගත යුතු පාඩම ...

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳ විමර්ශනයේදී ඔහුගේ මෝටර් රථය ගිනිගෙන දැවෙමින් තිබියදී හමුවුණු ස්ථානය අසල පිහිටි මහල් නිවාසයක පදිංචි අයෙකු සාක්ෂි දී තිබුණේ පාන්දර 2.30 - 3.00 අතර වේලාවක එම ස්ථානයට "සිංදු කියන DIG මහත්තයා" කොට කලිසමකින් සැරසී පැමිණි බවටය.

    සිංදු කියන DIG මහත්තයා එදින එතැනට පැමිණ, ඊළඟට ගොස් තිබුණේ කිරුළපන පොලිස් ස්ථානයටය. පාන්දර දෙක හමාරට පොලිස් ස්ථානයක විවිධ අංශවල ස්ථානාධිපතිවරුන් රැඳී සිටින්නේ නැත. නමුත් අමුතුම උද්‍යෝගයකින් පසුවූ DIG මහත්තයා එතැනට වැදී කෑකෝ ගසා තිබුණේ "කෝ ඕඅයිසී ? කෝ ට්‍රැෆික් ඕඅයිසී ? කෝ ක්‍රයිම් ඕඅයිසී ? මේවා ගැන කවුරුත් බැලුවෙ නැද්ද ?" යනාදී වශයෙනි. මෙයින් කලබලයට පත් වූ ඒ මොහොතේ රාජකාරියේ නිරතව සිටි නිලධාරියා මේ ගැන සිය පුද්ගලික සටහන් පොතේ සටහනක් දමා තිබිණි.

    කලකට පසුව ආණ්ඩු පෙරළියකින් ද අනතුරුව තාජුඩීන් ඝාතනය පිළිබඳ විමර්ශනය යළි සක්‍රිය වෙද්දී සිංදු කියන DIG මහත්තයා හෙවත් නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීම් ඇරඹුණි. අපරාධය සිදුවුණු රාත්‍රියේ ඔහු කිරුළපන පොලිස් ස්ථානයට ගියේදැයි විමසීමේදී ඔහු එය තරයේ ප්‍රතික්ෂේප කර තිබිණි. එහිදී CIDයේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පෙරකී කිරුළපන පොලිස් නිලධාරියාගේ සටහන් පොත ඉදිරිපත් කරමින් "එතකොට සර් කියන්නෙ මේකත් බොරුවක් කියලාද ?" යැයි විමසීමේදී අනුර සේනානායකට කට උත්තර නැතිව ගොස් තිබේ. මඳ වේලාවක් තතනමින් සිටි ඔහු ගොත ගසමින් පවසා තිබුණේ "තමුසෙලා මාර දක්ෂ මිනිස්සු නේ ... කොහෙන්ද මේක හොයාගත්තේ ?" යනුවෙනි. තාජුඩීන් ඝාතනයෙහි සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් ඔහුට අත් අඩංගුවේ පසුවන්නටත් පසුව අධිචෝදනා ලැබ අධිකරණ හමුවට යන්නටත් සිදුවුණේ එයින් පසුවය. කෙසේවෙතත් ඔහු තම ස්වාමිවරුන් කෙරෙහි පක්ෂපාතීත්වය ආරක්ෂා කරමින් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළිදරව් කළේ ද නැත.

    image_27104d10bd.jpg


    අනුර සේනානායක යනු 2010 - 2015 කාලසීමාව තුළ ශ්‍රී ලංකා පොලිසිය තුළ අමුතුම ආකාරයේ භීෂණාත්මක රංගනයක වූවෙකි. ඒ සමයේ පොලිස්පති කවරෙකු වුවත් අනුර සිටියේ පොලිස්පතිට ඉහළිනි. ඔහු සතුව තිබුණු දේශපාලන බලපරාක්‍රමයේ තරම අනුව ඔහු ගමන් බිමන් ගියේත් ඇමතිවරයකුටත් වඩා විශාල ආරක්ෂක බල ඇණියක් ද පිරිවරාගෙනය. අධිකරණ ඉදිරියට පැමිණවීමක් සිදුවූවත් නැතත් ඔහු සම්බන්ධ වූ අපරාධ පිළිබඳ ක්ෂේත්‍රය වැලිකඩ සිරකරුවන් ඝාතනයේ සිට අලුත්ගම මුස්ලිම්වරුන්ට එරෙහි බොදුබල සේනාවේ ප්‍රහාරය දක්වා විවිධ අහුමුළු කරා පවා පැතිර පවතී.

    මීයක් කඩන්නේ අත ලෙවකෑමට නොවන බවට කතාවක් තිබේ. අනුර සේනානායක ඉතාම ඉහළින් රජුන් පිනවීම සිදුකළේත් නිකම්ම නොවේ. ඒ තුළින් ලද අතිවිශාල බලය හරහා ඔහු ඇති තරම් මුදල් හම්බ කළේය. පොලිස් වැටුපෙන් කිසිදා මිලදීගත නොහැකි ප්‍රකට ව්‍යාපාරික ස්ථාන මිලදී ගත්තේය. කොළඹ මැනිං වෙළඳපොලේ සහ මාළු වෙළඳපොලේ වෙළඳුන්ට දෛනික මුදල් එකතුකිරීමේ ක්‍රමයට මුදල් පොළියට දුන්නේය. මෙසේ විවිධාකාරයෙන් ඔහුට ගලා ආ ධනස්කන්ධයේ තරම කොතරම්ද යත් ඇතැම් දිනවල ඔහුගේ දෛනික ආදායම රුපියල් ලක්ෂ 120ක් පමණ වූ බව කියන්නේ පොලිසියේම නිලධාරීන්ය. ඒ, ඔහු තමන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා තමන් යටතේ සිටි පොලිස් නිලධාරීන් ද යොදවා ගෙන සිටි නිසාය.

    එවන් වූ අනුර සේනානායක වසර කිහිපයක් තිස්සේ මුඛ පිළිකාවකින් පීඩා විඳිමින් සිට, පසුගිය සතියේ මියගියේය.

    පිළිකාව අබියසදී ඔහු ඉපයූ කෝටි ගණන් මුදලින් ඔහුට සැලසුණු වාසියක් නැත. නැවත ආණ්ඩු පෙරළියක් සිදුවී, ඔහු දැඩි පක්ෂපාතීත්වය දැක්වූ කණ්ඩායමම බලයට පැමිණ සිටියත් එම දේශපාලනය බලයට ද ඔහුව පිළිකාවෙන් බේරාගැනීමට හැකිවුණේ නැත. ඔහුට සිදුවුණේ කටක් ඇර කතා කරගැනීමටවත් බැරි තැනට අසරණ වී තනියෙන්ම අවසන් ගමන් යාමටය.

    අදටත් ශ්‍රී ලංකා පොලිසිය තුළ අනුර සේනානායකගේ අඩිපාරේ යන්නට උත්සාහ කරන "වෙන්ඩ අනුර සේනානායකලා" කිහිපදෙනෙකුම සිටින බව බැලූ බැල්මටම පෙනේ. ඔවුන් අනුර සේනානායකගෙන් පාඩමක් උගත යුතුය. දේශපාලන රස්නය ඇඟට ගෙන කොතරම් දැඟළුවත් ඒ බලය සදාකාලික වන්නේ නැත. එසේම එකී බලවතුන්ට පවා පැන්ශන් ගිය පොලිස්කාරයින් වටින්නේ ද නැත. පැන්ශන් ගියදාට වටිනවායැයි සිතා කඳු ගසන මුදල් පවා තීරණාත්මක අසනීපයකදී වටින්නේ නැත. අන්තිමේ ඉතිරි වන්නේ කුණු නාමය පමණක්මය.

    මියගිය පසුවත් දෙනෝ දාහකගේ මුවින් "හොඳ වැඩේ කාලකණ්නියා මැරිලා ගිය එක" "අපරාදෙ තව ටිකක් විඳවන්නයි තිබුණේ" යනාදී කතා සහ "ආපෝ ... අරූගෙ නෑයෙක්ද, එහෙනම් අහන්න දෙයක් නෑනෙ" යනාදී චරිත සහතික තම සමීපතමයින් වෙනුවෙන් ඉතිරිකර යෑමට දැරිය නොහැකි මට්ටමේ ආශාවක් නැතිනම් පොලිසියේ ලොකු මහත්වරුන් අනුර සේනානායක ගිය පාරේ නොයා සිටීම නුවණට හුරුය.

     
    Last edited: