(මේ දරුවට ගුරුවරියො දෙන්නට අමතරව ඇයගෙම තාත්තා ඊට කළින් දවසෙ පහර දීලා තියෙනවා කියලා කට උත්තරයක තියෙන බව දැන් කෙනෙක් දැනුම් දුන්නා. තව කෙනෙක් කියනවා ඇයට ගුරුවරියො දැඩි සේ පහර දුන්නෙ නැහැ, යම් පහර දීමකින් පසු අවුවෙ තණකොළ ගලවන්න යැව්වා කියලා. මේ වාර්ථා වෙන සියල්ල මේ සටහනට එකතු කරන්නෙ එහෙම කරන එක අත්‍යවශ්‍ය නිසයි. මේ දරුවා මැරෙන්නෙ කොයි කෙනා ගහපු කොයි පාරෙන්ද කියලා අපි තවම ඇත්තටම දන්නෙ නැහැ. පෞද්ගලිකව මම දන්නෙ නැහැ. හැබැයි මේ දරුවා මැරුණෙ ගුටි කාලා බවත්, මේ රටේ සමහර ගුරුවරු දරුවන්ට ගහන්න අයිතියක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න බවත්, මේ රටේ සමහර දෙමව්පියො දරුවන්ට ගහන්න තමන්ට පූර්ණ අයිතියක් තියෙන බවත් හිතාගෙන ඉන්න බව මම දන්නවා. ඒ නිසා මේ සටහන වෙනස් කරන්නෙ නැහැ)
News First පුවත් විකාශයට අනුව වෙන්නප්පුවේ මාටින් ද පෝරස් විද්‍යාලයේ ඉගෙනගත්ත මේ අවුරුදු 16 දුව මියයන්නෙ මොළයේ සිදු වෙච්ච රුධිර වහනයකින්. ඇය යාළුවා එක්ක පන්තියට එන්න ප්‍රමාද වීම නිසා ඇගේ පාසලේදී, ගුරුවරියන් දෙදෙනෙක් ඇයට පහර දීලා ඉන්පස්සෙ අවුවෙ දණ ගස්සලා තියලා කියලයි විවිධ පුවත්වල කියවෙන්නෙ. ගුරුවරියන් දෙන්නව යම් කාලයකට රක්ෂිත බන්ධනාගාර ගත කරපු බවත් තව තැනක දැක්කා. ඊටපස්සෙ මොකද වෙන්නෙ කියන ප්‍රශ්නය අහන්න දැන් අපිට සිද්ධ වෙනවා නේද?
ඉස්සර අපේ අම්ම නිතරම මතුරපු වාක්‍යයක් දෙකක් තිබ්බා. "අනේ බබා පරිස්සමෙන්. මොකක් හරි වුණාට පස්සෙ කරදර කරපු එකාව මරලා මස් කරත් අපිට වැඩක් නෑ නේ. ඔයාලා දෙන්නට මොනා හරි වුණොත් ඊටපස්සෙ කාවවත් හිරේ යැව්වා කියලා මට ඔය දෙන්නව ලැබෙන්නෙ නෑ නේ" තමයි ඔය වාක්‍ය දෙක.
අද වයසින් වැඩුණු කෙනෙක් හැටියට මට මගේ අම්මව වඩාත් හොඳින් තේරෙනවා. නීතියෙන් සපයන යුක්තියට පවා ඕනම බිදුණු හඳවතක් පිරියම් කළ හැකි ප්‍රමාණයක් තියෙනවා. එක සීමාවකින් පස්සෙ යුක්තිය ස්ථාපිත කිරීමේ සියළු යාන්ත්‍රණ බලරහිත වෙනවා. ඉන් එහාට දැනෙන වේදනාව, හිස්කම, කළකිරීම, පසුතැවීම, ක්‍රෝධය වගේ ඒවට නිමක් නැහැ. මිනිස්සු ඒවා අස්සෙම දියවෙවී යන හැටි අපි දැකලා තියෙනවා.
දැන් මේ ගුරුවරියො දෙන්නෙක් එකතු වෙලා පහර දීලා, අවසානයේ මරණය තෙක් තල්ලු වුණ දරුවගෙ පවුලෙ මිනිස්සුන්ට අපි දෙන්න යන උත්තරේ මොකක්ද? ගෙවල්වලත් අපා දුක් විඳලා පාසලට යන්න වෙන, ගිහිල්ලත් බැණුම් අහලා ගුටි කන්න වෙන ඉතුරු දරුවන්ට අපි දෙන පණිවිඩේ මොකක්ද?
රටක් හැටියට අපි දරුවව ආරක්ෂා වෙන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කරන්න අසමත් වුණා. ඒ නිසා මේ වතාවෙට සමාවෙන්න. ඊළඟ දරුවොන්ව නොමරා ගෙදර එවන්නම් කියලද අපි කියන්නෙ?
ගුරුවරුන්ගෙ වෘත්තීය සංගම් "දරුවන්ට පහර දීමට හෝ වද හිංසා පැමිණවීමට අපට අයිතියක් නැති ය" කියන පණිවිඩේ තම සහෝදර ගුරුවර ගුරුවරියන්ට අවධාරණය කරලා කියන්නෙ කවදද?
මට මුණගැහිලා තියෙනවා හරිම දුකෙන් "බලන්නකො අනේ ඉස්සර වගේ දැන් ළමයින්ට දෙකක් ගහලා හදන්නවත් අපිට අවසර නෑ නේ" කියලා කියන ගුරුවරුන්ව. ඒ වෙලාවට ඒ මිනිස්සු දිහා අමුතු සත්තු දිහා බලනවා වගේ නොබලා ඉන්න මට තවම අමාරුයි. "දෙකක් ගහලා ළමයින්ව හදන්න පුළුවන්" කියලා අපිට හිතෙන්නෙ අපිත් දෙකේ ඒවා සියගාණක් කාලා උස් මහත් වුණ නිසා නම්, දැන් අපි දිහා බලලවත් අපිට තේරෙන්න ඕනේ නැද්ද "දෙකක් ගහලා ළමයින්ව හදන්න බැහැ" කියලා?
සියළු ගුරුවරුන්ට මූලික විභාග සමත්වීම වගේම මූලික මනෝවිද්‍යාවත් ඉගැන්වීම ආරම්භ කරන්න වෙනවා නේද? එහෙම නැතුව තව ළමයි කී දෙනෙක්ව අපිට අහිමි කරගන්න වෙනවද මේ රට සහ අදාළ නීති සකසන ආයතන පියවි සිහියට එනකම්?
යාළුවෙක් එවලා තියෙනවා "මේ පොඩි දරුවා දුක් විඳලා මැරුණෙ" කියලා.
දුවලා දෙන්නෙක් ඉන්න තව යාළුවෙක් එවලා "මට මේක දරාගන්න බැහැ. නිදාගන්න බැහැ. මේ පොඩි දුව පවු" කියලා.
ඔබ හිතන හැටියට, මේ කුණු ක්‍රමය, තමන්ගෙ පෞද්ගලික ආතතිය පිට කරගන්න දරුවන්ට ගහන, එහෙම ගහන්න අයිතිය තියෙනවා කියලා හිතෙන, එහෙම හිතන්න ඉඩ හදලා දෙන ක්‍රමය කොහෙන්ද වෙනස් වෙන්න ඕනේ?
දෙමව්පියො දරුවන්ට පහර දෙන එක ගැන සංවාදය අපි කොහෙන්ද පටන්ගන්න යන්නෙ? මේ වෙනස්කම් අපි කරන්න යන්නෙ කොහොමද?
ඒ වෙනස කරන්න අපි දැනට මරාගත්ත දරුවො, ලෙඩ්ඩු කරපු දරුවො ප්‍රමාණය මදිද? නැත්තම් තව ඕනෙද? මේ ගැන බරපතලව හිතන්න අපිට තව කොච්චර කල් ඕනෙද?
#ෂෙනූ පෙරේරා